නිවනට පිවිසෙන දොරටුව
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය
ශී‍්‍ර සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි
නිවන යනු සියලු කෙලෙසුන් අවසන් වන අවස්ථාවයි. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගය
ඔස්සේ ගමන් කොට පියවරෙන් පියවර සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත්
වශයෙන් ලැබිය යුත්තකි. තම ප්‍රඥාවෙන් ලැබිය යුතු එම නිවන් මඟ අවබෝධ කර
ගැනීමට වීර්යයෙන් යුක්තව කටයුතු කළ යුතුව ඇත. බුදුදහම වනාහි
ප්‍රඥාවන්තයින් උදෙසා දේශනා කළ එකකි. එයට හේතුව එය අවබෝධ කර ගැනීම
එතරම්ම ගැඹුරු වූවක් බැවිනි. බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෝකයාට ධර්මය
නොදෙසීමට තීරණය කළේද, එහි ගැඹුරු බව ද හේතුවෙනි.
බුදු,පසේ බුදු, මහරහත් යන උතුමන් හැරුණු කොට සියල්ලෝම වැරදි අඩු
පාඩුවලින් අනූනය. සියල්ලෝම කාම ලෝකයේ නොයෙක් විලසින් එක එක අරමුණු
ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඉච්ඡාභංගත්වයෙන් ජීවත් වෙති. එවැනි ලෝකයකට
ගැඹුරු දහමක් දේශනා කිරීමෙන් ඇති ඵලක් නැත. නමුදු බුදු කෙනෙක්
නිරන්තරයෙන් උත්සාහ කරන්නේ සංසාර චක්‍රයට හසුවී සිටින අපමණ දුක් විඳින
සත්වයා ඉන් මුදා ලීමටය. ඒ සඳහා එකම විසඳුම නිවන අවබෝධ කරවීමයි. එය ඍජුව
කර දීමට අපහසු බැවින් පළමුව පුද්ගලයා ඒ සඳහා නැඹුරු වීමේ ආකල්පය ඇති
කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා ඇති එකම විකල්පය වන්නේ ශ්‍රද්ධාව වර්ධනය කර
ගැනීමයි.
බුදු දහම වනාහි ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් වන්නකි. බුදු
දහම කිසිම අවස්ථාවක භක්ති මාර්ගය අගයන්නේ නැත. බුදුන් ලොව පහළ වන යුගය
තුළ පැවතියේ භක්ති මාර්ගයයි. සර්ව බලධාරි දෙවි කෙනෙකු අරභයා පුද පූජා,
යාග හෝම පැවැත්වීම එහි කාර්යයි. අදෘෂ්‍යමාන වස්තුන් මූලිකකොට ගෙන නිවන
සෙවූ යුගයක බුදු හිමි ඤාණ මාර්ගය පෙන්වා දී පරම සත්‍ය වූ චතුරාර්ය
සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය පාදා දුන් ආකාරය ඉතා පැහැදිලිය.
ම.නි. කීටාගිරි සූත්‍රයට අනුව ශ්‍රද්ධාව හා එහි ප්‍රභේද පිළිබඳව දක්වා
ඇත. ඉහතින් මතක් කළ ආකාරයට සියල්ලෝම ප්‍රඥාවන්තයින් නොවන බැවින්
ශ්‍රද්ධාව මුල් කොට ගෙන බුදු දහම වැළඳ ගැනීම හා නිවනට යන මාර්ගය පාදා
ගැනීමට සිදුවේ. ඒ අනුව ශ්‍රද්ධාව ඉතා වැදගත් වේ. ශ්‍රද්ධාව එහි මූල
බීජයයි. සැදැහැයෙන් පෙළෙඹෙන පුද්ගලයා සම්‍යයක් දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට
එළඹෙයි. පැමිණ සමීපයෙහි හිද ගනියි. හිද සවන් යොමු කරයි. යොමු කළ සවනින්
දහම් අසයි. ඇසූ ධර්මය දරයි. දැරූ ධර්මය අර්ථ පරික්ෂා කරයි. අර්ථ
පරික්ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි.
එකල්හි ශාසන කාර්යයෙහි කැමැත්ත ඇති වෙයි. එබැවින් උත්සාහ කරයි. උත්සාහය
නිසා ත්‍රිලක්ෂණය මනසිකාරයට පෙළඹෙයි. එය පධන් වීර්යයට පුද්ගලයා
මෙහෙයවයි. පධන් වීර්යය නිසා නාම කයින් පරම සත්‍යය සාක්ෂාත් කරයි.
ප්‍රඥාවෙන් එය ප්‍රතිවේධ කොට දකියි.
මේ ආදි වශයෙන් ප්‍රඥාව අඩු වුවත් ශ්‍රද්ධාව ඇත්නම් ක්‍රම ක්‍රමයෙන්
නිවන කරා ගමන් කරනා අයුරු එම සූත්‍රය අනුව විග්‍රහ වේ. මෙහිදී අප අවබෝධ
කර ගත යුතු කරුණක් වන්නේ ශ්‍රද්ධාවේ කොටස් දෙකක් ඇති බවත් එයින්
ආකාරවතී ශ්‍රද්ධාවම අනුගමනය කළ යුතු බවත්ය.
අමූලික ශ්‍රද්ධාව තුළින් සිදුවන්නේ නොවිමසා අවිචාරශීලිව අනවබෝධයෙන්
පිළිගැනීමයි. කටයුතු කිරීමයි. නමුත් ආකාරවති ශ්‍රද්ධාව එසේ නොව එතුළින්
විචාරශීලිව සොයා බලා විමසා තර්කානුකූලව බුද්ධිමත්ව ක්‍රියා කිරීමත්
ප්‍රසාදයට පත්වීමත් සිදුවේ.
බුදුරදුන් ජීවමාන කල්හිද සමහර දෙනෙකුට අමූලික ශ්‍රද්ධාව තිබූ බැවින්
නිවන පවා අවබෝධ කර ගැනීමට අපහසු විය. සැරියුත් හිමි ප්‍රඥාවන්තයින් අතර
අග තනතුර ලැබීම ප්‍රශංසා කොට ඇති මුත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ වක්කලී
හිමියන්ගේ ශ්‍රද්ධාව ගැන ප්‍රසංසා කොට නොමැත. එයට හේතුව අධික ශ්‍රද්ධාව
නිවනට පවා බාධා වන බැවිනි. ආනන්ද, වක්කලී, මේඝිය වැනි හාමුදුරුවරුනට
නිවන් ලබා ගැනීම ප්‍රමාද වී ඇත්තේද අධික ශ්‍රද්ධාව තිබූ බැවින් බව
පැහැදිලි වේ.
ම.නි. කීටාගිරි සූත්‍රය තුළම ශ්‍රද්ධාව පිළිබඳ තවත් විධිමත් විස්තරයක්
සිදු කොට ඇත. එම සූත්‍රයට අනුව ශ්‍රද්ධාව විවිධ අංශයන් ඔස්සේ විකාශනය
වන අයුරු පැහැදිළි වේ. නිර්වාණාවබෝධය උදෙසා වැඩෙන සද්ධා, සීල, සුත, චාග
,පඤ්ඤා යන සම්පත් අතර සද්ධා සම්පදා නමින්ද, සද්ධා විරිය, සති, සමාධි,
පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන් අතර සද්ධා ඉන්ද්‍රිය වශයෙන්ද ඒ ඉන්ද්‍රියම
බල ධර්ම වන විට සද්ධා බල නමින්ද තමාම සුරැකෙමින් පමාවට නොනිසි සද්ධා
විරිය හිරි ඔත්තප්ප පඤ්ඤා යන අප්‍රමාදී ධර්මයන් අතර සද්ධා නමින්ද ආදි
වශයෙන් දක්වා ඇත. ඒ කෙසේ දැක්වුවද කෙටියෙන් අවබෝධ කර ගත යුතු වන්නේ
ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් වන බවයි.
නිවන් දැකීම අසීරු වන්නේ ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකිවන බැවිනි.
සත්වයා සසර දුක් විඳින්නේ ද එම හේතුවෙනි. එසේ නම් එම ගැඹුරු දහම අවබෝධ
කර ගැනීමට පෙර එම ධර්මය දෙසට යොමු වන ශක්තිය වන්නේ ශ්‍රද්ධාවයි.
ශ්‍රද්ධාව ඇති කළ පන්සල් යෑමට , මල් පහන් පූජා කිරීමට ,දන්දීමට ,
බුදුන් වැඳීමට ආදි ආමිස පූජා වලට නැඹුරු වනු ඇත.
එම නැඹුරු වීමේ කෙළවර ප්‍රතිපත්ති පුජාවද සිදු කිරීමට අපහසුවක් නැත.
එසේ නම් නිවනට යන ගමන් මගේ සමාරම්භක අවස්ථාව නොහොත් දොරටුව ශ්‍රද්ධාව
කීවොත් ඉතා නිවැරැදිය. එහිදී අමූලික ශ්‍රද්ධාව ඉවත් කොට අකාරවතී
ශ්‍රද්ධාවම ප්‍රගුණ කිරීමට උත්සාවත් විය යුතුය. එවිට තුණුරුවන් හරහා
නිවන් මඟ පෑදෙනු ඇත.
සමහර ධනවතුන් තමන්ගේ නම දැන්වීම් පුවරුවල ලියා ගැනීමට හෝ තමන්ගේ නම
පිරිස මැද කියවා ගැනීමට තරම් බොලඳ වී ඇත. ඒ අය සිඳු කරන්නේ නැති බැරි
අසරණ දුප්පත් අයට දීමට නොව තියන තැනටම දීමටය. අමූලික ශ්‍රද්ධාව ආකාරවතී
ශ්‍රද්ධාවකට පරිවර්තනය කිරීමට නොයති. එසේ වුවහොත් ඔවුන්ටද මදි පුංචි
කමක් කළා කියමින් සිතා අමනාප වෙයි ද යන ආකල්පය හේතුවෙනි. යන ආකල්පයෙනි.
එවිට ලාභ ප්‍රයෝජනද නවතිනු ඇත. නමුදු අමූලික ශ්‍රද්ධාවෙන් නම කියා
ගැනීමට හෝ නම ලියා ගැනීමට උත්සාහවත් වන එම තැනැත්තියට හෝ තැනැත්තාට
උපාදානයෙන් මිය ගොස් සසර තව තවත් දික් වී නිවන තබා සෝවාන් වීමටවත්
අවස්ථාවක් උදා නොවනු ඇත. |