නිරන්තරයෙන් ක්‍රියාත්මක
මනසේ විඤ්ඤාණය
වල්පොල ගෝතම හිමි
බිනර පසළොස්වක පත්‍රය හා සම්බන්ධයි
බොහෝ දෙනා අපෙන් විමසනවා ස්වාමිනි, අප අහන ධර්මය අපට මතක හිටින්නේ නැහැ
කියා. එයට බොහෝ විට කර්ම ශක්තියත් බලපානවා. ඉන්ද්‍රියන් මෝරා ගොස්
ස්නායු දුර්වලවීමත් බලපානවා. සමහර කාරණාවලදී මනසේ බොහෝ වැඩකට නැතිදේ
හිත හිතාගෙන සිටින පුද්ගලයාට මනෝ විඤ්ඤාණය නැඹුරු වෙන්නේ නැහැ. කනේ
විඤ්ඤාණයට මේ දැන් අසන දේ දැන් මතක නැහැ. හේතුව කනේ විඤ්ඤාණය හරියට
දැනගන්නේ නැහැ. දැනගත්තානම් මනෝ විඤ්ඤාණය දැන ගන්නවා. මනෝ විඤ්ඤාණය
දැනගන්නේ නැත්නම් මතක හිටින්නේ නැහැ. එසේනම් කන යොමාගෙන අහන්න කියන්නේ
ඒකයි. කන යොමාගෙන අහනකොට කනේ විඤ්ඤාණය දේශනාවටම යොමු වෙනවා. එවිට
මනසින් දැන ගැනීමක් එනවා. ඒ මනෝ විඤ්ඤාණය නැඹුරුවෙලා තිබෙනවා කනේ
විඤ්ඤාණයට. ඔබ එහෙනම් මෙසේ ධර්මයන් දැන ගනිද්දී කනින් විතරක් නැතුව
මනසිනුත් දැන ගැනීමේ ක්‍රමය කන් යොමාගෙන අහන එකයි. කන් යොමාගෙන අහනවිට
මනෝ විඤ්ඤාණයට නැඹුරුවෙලා දොරටුවක් වෙලා, පුරුදුවෙලා එකට හැසිරී තිබෙන
නිසා මන සිනුත් එය දැන ගන්නවා. මනසින් දැන ගත්තාම එය මතක හිටිනවා.
එසේනම් මේ ක්‍රියාවලිය ගැන ඉන් එහාට කොහොමද මිළිදු රජු විමසාගන්න
උත්සාහ කළේ. රජතුමා අසනවා ස්වාමිනි, දැන් ඔබවහන්සේ වදාළා චක්ඛු
විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය නැඹුරුවෙලා කියා. කොහොමද ස්වාමිනි නැඹුරුවෙලා
කියන්නේ කියා අහනවා. එහෙම නැඹුරුවෙලා තිබෙන කරණාව අපූරුවට නාගසේන මහ
රහතන් වහන්සේ මෙසේ උපමාවකින් විස්තර කළා. වැස්සක් වහිනවිට බිමට වැටෙන
වැහි වතුර එතැන තිබෙන පහත් බිමට ගලාගෙන යන්නේ. බැස්මට තිබෙන පැත්තට තමා
ගලාගෙන යන්නේ. නැවතත් යම් වෙලාවක වහිනවිටත් අර බැස්ම තිබෙන පැත්තටමයි ඒ
වතාවටත් වැහි වතුර ගලන්නේ නේද කියා ඇසුවා. රජතුමා කියනවා එසේය
ස්වාමිනි, එවිට නාගසේන හිමියන් වදාළා රජතුමනි, පළමුවැනි වැස්සේ වතුර
දෙවන වැස්සේ වතුරට අණක් දුන්නද මම මේ පැත්තෙන් බහිනවා නුඹත් මේ
පැත්තෙන්ම බහින්න කියා. නැහැ කිවුවා. දෙවැනි වැස්සේ වතුර පළමු වතුරේ
වැස්සට අණක් දුන්නද නුඹ ඒ පැත්තෙන්ම බහින්න, මමත් ඒ පැත්තෙන්ම බහින්නම්
කියා. එහෙමත් නැහැ ස්වාමිනි කියා කිවුවා. එහෙමනම් මෙතැන බැස්මේ
ප්‍රශ්නයක් වෙලා නැහැ. වෙලා තිබෙන්නේ ඒ අය තමාට හිතෙන ආකාරයට ඔහේ පැති
වලට ගියෙත් නැහැ. හේතු සකස්වෙලා තිබෙන ආකාරයට කොයි පැත්තද ඒ පැත්තට
ගියා. බැස්ම තිබෙන්නේ, පහත් බිම තිබෙන්නේ කොයි පැත්තට නැඹුරුවෙලා ද, ඒ
නැඹුරුවෙලා තිබෙන පැත්තට ගියා. චක්ඛු විඤ්ඤාණය මනසට නැඹුරුවෙලා තිබෙන
නිසා චක්ඛු විඤ්ඤාණය හට ගත්ත ගමන් මනෝ විඤ්ඤාණය හට ගන්නවා. ඒ අතර කිසිම
කතාවක් වෙලා නැහැ. හේතු සකස් වූ ආකාර-යට හට ගත්තා. එහෙනම් මනසේ
විඤ්ඤාණය සසර පුරා නැඹුරු වෙලා ඇවිල්ලා චක්ඛු විඤ්ඤාණය හට ගත්ත ගමන් හට
ගන්නවා. ඒකයි මේ සිදුවෙන්නේ. වැහි වතුර උපමා කරගෙන නැඹුරු වූ අයුරු
පෙන්වා දී ප්‍රශ්නය විසඳුවා.
මිළිඳු රජතුමා නැවත අහනවා ස්වාමිනි, ඒ වගේම ඔබ වහන්සේ වදාළ චක්ඛු
විඤ්ඤාණය මනෝ විඤ්ඤාණයේ දොරටුවක් වෙලා තිබෙනවා කියා. කොහොමද ස්වාමිනි
මේ දොරටුවක් වූ බව අප තේරුම් ගන්නේ. එයත් උපමාවකින් වදාළා. රජතුමනි,
යම් සුවිශේෂි ස්ථාන එකතු වූ ප්‍රධාන නගරයක් තිබෙනවා. ඒ නගරය වටකරලා
ලොකු ආරක්ෂක පවුරක් තිබෙනවා. ඒ පවුරට එකම එක දොරටුවයි තිබෙන්නේ. ඒ
දොරටුවෙන් පමණයි නගරයේ වැසියන් ඇතුලු වෙන්නෙත්, පිට වෙන්නෙත් නාගසේන
හිමියන් අහනවා රජතුමනි, මේ නගරයට කෙනෙක් ඇතුළු වෙන්න එනවිට මේ
පුද්ගලයාට ඇතුලුවීමට තිබෙන්නේ මේ දොරටුවෙන්ම ද? එහෙමයි ස්වාමිනි, කියා
කිවුවා. ඊටපස්සේ නාගසෙන් හිමියන් වදාළා රජතුමනි, තවත් පැත්තකින් තව
කෙනෙක් මේ නගරයට ඇතුලුවීමට එනවා. ඔහුට ඇතුලු වෙන්න තිබෙන්නෙත් මේ
දොරටුවයි. මේ දෙදෙනා එකම දොරටුවෙන් ඇතුලු වුණා. මෙහිදී පළමු පුද්ගලයා
දෙවැනි පුද්ගලයාට අණක් දුන්නාද මම මේ දොරටු-වෙන් ඇතුලුවෙනවා. ඔබත් මේ
දොරටුවෙන්ම ඇතුලුවෙන්න කියලා. එහෙම අණක් දුන්නේ නැහැ. දෙවැනි පුද්ගලයා
පළමු පුද්ගලයාට අණක් දුන්නාද නුඹ ඉස්සරවෙලා මේ දොරටුවෙන් ඇතුලුවෙන්න මම
එනවා පස්සේ කියලා. එහෙම අණක් නැහැ.නමුත් නගරයට ඇතුලුවෙන හැමෝටම හේතු
සකස් වෙලා තිබෙන ආකාරයට ඇතුලු වුණා මිසක් අණදීමක් එකතුවෙලා ආවා නොවේ.
මේ ආකාරයට රහතන් වහන්සේ වදාළා මේ දොරටුවක් වෙලා තිබෙන්නේ මනෝ විඤ්ඤාණය
චක්ඛු විඤ්ඤාණයටයි. චක්ඛු විඤ්ඤාණය දොරටුවක් වෙලා තිබෙන නිසා චක්ඛු
විඤ්ඤාණය හට ගන්නා විට මනෝ විඤ්ඤාණය හට ගන්නවා. ඒ දොරටුව පමණයි
තිබෙන්නේ චක්ඛු විඤ්ඤාණයට හට ගන්න. වෙන එකක් නැහැ. නැඹුරු වූ හැටිත්,
දොරටුවක් වූ හැටිත් මෙසේ විස්තර කළා.ඊළඟට මිළිඳු රජු නාගසේන ස්වාමින්
වහන්සේගෙන් අසනවා, ස්වාමිනි ඔබවහන්සේ වදාළා චක්ඛු විඤ්ඤාණයට මනෝ
විඤ්ඤාණය නිතරම පුරුදුවෙලා තිබෙනවා කියා. කොහොමද පුරුදුවෙලා තිබෙන්නේ
කියා ඇසුවා. එවිට රහතන් වහන්සේ වදාළා රජතුමනි, පළමු ගැල-ක් යනවිට
දෙවැනි ගැලත් ඒ පස්සෙන් යනවා. පළමු ගැල අණක් දෙන්නේ නැහැ මම එන්නම්
ඉදිරියෙන් නුඹ පස්සෙන් එන්න කියා. දෙවැනි ගැල අණ දුන්නෙත් නැහැ මම
එන්නම් පස්සෙන් ඔබ ඉදිරියෙන් යන්න කියා. ඒ ගැල්වලින් කළ දේ අද පොදු
ප්‍රවාහනයක් ලෙස බස්වලින් ලොරිවලින් කරනවා. බඩු ඇදීම හා මිනිසුන්
ප්‍රවාහනයයි ගැල්වලින් කළේ. අද කාලය දෙස බලා අප උදාහරණයක් සිතුවොත්
මොරටුව කොළඹ කියලා බස් එකක් තිබෙනවා කියා සිතන්න. ඒ බස්එකට නිශ්චිතව
යාමට පාරක් තිබෙනවා. උදේට ඒ බස්එක මොරටුවේ සිට කොළඹටට යනවා. ඊළඟට තව
බස්එකක් නැවත වතාවක් කොළඹ සිට මොරටුවට යනවා. ඒ දෙවැනි බස්එක කොළඹට ඒ
පාරින්ම ගියේ පළමු බස්එකට අණක් දීලාද මම එන පාරින්ම ඔබත් එන්න කියා.
එසේ අණක් දී නොවේ. දෙවැනි බස් එක අණක් දුන්නෙත් නැහැ ඔබ පළමුව යන්න මම
පිටුපසින් එනවා කියා. පුරුද්දට ගියා. පළමු ගැල යන පුරුද්දට දෙවැනි
ගැලත් එනවා වගේ චක්ඛු විඤ්ඤාණය හට ගත්තා. එයත් සමඟ ඇවිත් පුරුදුයි මනෝ
විඤ්ඤාණයට. එයත් ඒ පස්සේම එනවා. එහෙනම් නිතරම තිබෙනවා ඒ අය අතර චක්ඛු
විඤ්ඤාණය සමඟ මනෝ විඤ්ඤාණය ඇවිත් පුරුදුයි. සෝත විඤ්ඤාණයට මනෝ විඤ්ඤාණය
සමඟ ඇවිත් පුරුදුයි. ඒ පුරුද්ද තමා සසරේ දිගට යන්නේ. එහෙනම් මනෝ
විඤ්ඤාණය චක්ඛු , සෝත, ඝාන, ජිව්හා, කාය කියන විඤ්ඤාණයන් සමඟ සසරේ හොඳට
පුරුදු වෙලා තිබෙන්නේ. නැවත අලුතින් පුරුදු වෙන්න දෙයක් නැහැ.
ඒ වගේම හතරවැනි කාරණය එකට හැසිරෙනවා. එයත් උපමාවකින් කියන්න රජතුමා
ඉල්ලා සිටියා ස්වාමින්වහන්සේ වදාළා රජතුමනි, යම් කෙනෙක් රැකියාවකට
ගියාම හෝ නොදන්නා දෙයක් කරන්න ගියාම මුල් කාලයේදී වරදිනවා. නමුත් පස්සේ
පස්සේ එය නිවැරැදි වෙනවා. ඒ වගේ හැසිරීමත් සමඟ එය හුරු වෙනවා. අප
දන්නවා බස් රථයක කොන්දොස්තර මහත්මයෙකු ගණන් හදද්දී කැල්කුරේටරයකින් හෝ
ගැන ගැන හෝ ගණන් හදන්නේ නැහැ. එයා සම්පූර්ණයෙන් මනසින් තමා ගණන්
හදන්නේ. මුල් කාලයේදී එය වරදින්න පුලුවන්. නමුත් කලක් පුරුදු කරන කොට
කිසිම වැරැද්දක් නැතුව මනසින් ගණන් එකතු කරන්න හොඳට පුරුදු වෙනවා. ඒ
කෙරෙහිම හැසිරිලා හැසිරිලා එය හුරු වෙනවා. ඒ වගේ මනෝ විඤ්ඤාණය හැසිරිලා
හැසිරිලා හුරුවෙලා තිබෙනවා.ඒ නිසා මේ මනසේ විඤ්ඤාණය අනෙකුත් විඤ්ඤාණයන්
සමඟ හට ගන්නා ආකාරය ඔබ දැනගත්තා. මේ කාරණා ටික නිතර නිතර හුරුකරලා
විමසලා තේරුම් ගන්න අවබෝධ කර ගන්න උත්සහ ගන්න. එයට ඔබට ශක්තිය, නුවණ
පහළ වේවා
නයනා නිල්මිණි |