භවය හා භව දුක්ඛය
උපාදානය
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
මහාචාර්ය
මකුරුප්පේ ධම්මානන්ද හිමි
මෙම ලිපියේ මුල් කොටස ඇසළ පුර පසළොස්වක පත්‍රයේ සහ දෙවන කොටස ඇසළ අව
අටවක පත්‍රයේ පළ විය (භවය හා භව දුක්ඛය)
භවයක් ලැබීමට හේතු වන ප්‍රධානතම කරුණ උපාදානය බව උපාදාන පච්චයා භවො”
යනුවෙන් සූත්‍ර දේශනාවල සඳහන් වේ. මෙහි උපාදානය යනු දැඩිව අල්වා
ගැනීමයි. කවරක් දැඩිව ගනී ද යන්න විග්‍රහ කිරීම සඳහා උපාදාන හතරක්
දක්වා ඇත.
1. කාම උපාදානය 2. දිට්ඨි උපාදානය 3. සීලබ්බත උපාදානය, 4. දිට්ඨිවාද
උපාදානය යනුවෙනි. රන් රිදී මුතු මැණික් පුත්‍ර දාරාදී නාම වස්තූන්
මාහැඟි වස්තූන් ලෙස දැඩිව සිතින් අල්වා ගැනීමෙන් කාම භවයක් ලැබීමට හේතු
වේ. එකී කාම වස්තූන් භුක්ති විඳීමේ ආශාවෙන් අකුශල කර්ම කරන අය අපායෙහි
උපදිති. එසේම එකී කාම වස්තූන් පතා පින් කරන අය මනුෂ්‍ය දිව්‍යලෝකවල උපත
ලබති. රූපාවචර ධ්‍යාන වඩා එකඟ වූ සිත් ඇති ඇතැම්හු මිනිස් ඇස ඉක්ම වූ
දිව්‍ය චක්ෂුසය උපදවා අතීතයෙහි ආත්මභාව හතළිස් දහසක් පමණ ද අනාගතයෙහි
ආත්ම හතළිස් දහසක් පමණ ද දකිති. මෙසේ දකින ඔවුහු ලෝකය ශාස්වත හෙවත්
සදාකාලික බව සිතා එයම දැඩි කොට ගනිති. මෙය වූ කලී මිථ්‍යා දෘෂ්ටියකි.
එම මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු වූවෝ දුන් දෙයෙහි විපාක නැත, යනාදී වශයෙන්
සිතා කරනු ලබන කර්ම අනුව භවයක් ලැබේ. මෙය දෘෂ්ටි උපාදානයයි. මෙයින්
ශුද්ධිය වේ යැයි සිතා ශීලව්‍රත, ගෝව්‍රත අජව්‍රත ආදිය අනුගමනය කිරීම
සීලබ්බත උපාදාන නම් වේ. එකී ව්‍රත අනුගමනය කිරීමෙන් මේ ලෝකයෙහි හෝ
වෙනත් රූප අරූප භවයෙක සැප ලැබේ යැයි සිතා කර්ම කිරීමෙන් ලබන භවය කර්ම
භවයයි, එයින් ලබන උපත භව උප්පත්තියයි. රූපය ආත්මය ආදී වශයෙන් විසි
වැදෑරුම් ලෙස ගැනීම නැතහොත් සත්වයා මැරීයන කල මිය නො ගොස් පරලොව ඉපදීමට
යන ආත්මයක් ඇත යන ආදී වශයෙන් ආත්ම සංකල්පයක් දැඩිව සිතින් අල්වා ගැනීම
අත්තවාද උපාදානයයි. මේ නිසා මෙකී උපාදානය හෙවත් දැඩිව සිතින් අල්වා
ගැනීම නිසා කර්මානුරූප ලෙස සත්වයාට ඉහත විස්තර කළ පරිදි වූ භවයක් හිමි
වේ. දීඝනිකායේ මහානිදාන සූත්‍රය බුදුදහමේ වැදගත්ම සූත්‍රයක් ලෙස සැළකේ.
එම සූත්‍රයෙහි බුදුන් වහන්සේ මෙසේ වදාරා ඇත. “ආනන්දය, එහෙයින් යම් මේ
උපාදානයක් වේද, මෙයම භවයට හේතුවය, මෙයම නිදානය, මෙයම සමුදයය, මෙයම
ප්‍රත්‍යය” (තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො
භවස්ස, යදිදං උපාදානං) මේ නිසා උපාදාන නැති කිරීමෙන්ම භව නිරෝධය කළ
යුතු වේ. උපාදානය නැති කිරීමට නම් රූප තෘෂ්ණාව ශබ්ද තෘෂ්ණාව ගන්ධ
තෘෂ්ණාව රස තෘෂ්ණාව ස්පර්ශ තෘෂ්ණාව හා ධර්ම තෘෂ්ණාව නැති කිරීම අවශ්‍ය
ය. මෙසේ හේතු ඵල න්‍යාය අනුව කල්පනා කිරීමේ දී දුක නැති කිරීමේ
ක්‍රමවේදය සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතු වේ.
මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයකින් ද භව සංකල්පය පිළිබඳ හැදෑරීමක් කළ හැකි
ය. එනම් බුද්ධ දේශනාවල බොහෝ තැන්වල දක්නට ලැබෙන එතං මෙ, ඵසො හමස්මි,
එසො මෙ අත්තා යන ප්‍රකාශය අනුව සිතීමෙනි. මෙහි තේරුම මෙය මගේය, මේ මම
වෙමි, මේ මගේ ආත්මය යන්නයි. මෙම පද පිළිවෙල ත්‍රිපිටකයේ කිසිදු තැනක
වෙනස් නොවේ. ඒ අනුව සත්වයෙකුගේ චින්තන රටාව තුළ මුලින්ම ඇති වන්නේ මගේ
යන සංකල්පනාවයි. උපාදානය යනු ද මගේ යන හැඟීමයි. තෘෂ්ණාව ඇති කවර
කෙනෙකුට හෝ මගේ යන ආකල්පයෙන් බැහැර විය නො හැකි ය. මගේ අත, මගේ පය, මගේ
මුහුණ, මගේ බිරිඳ, මගේ පුතා, මගේ රැකියාව, මගේ තත්ත්වය, මගේ ගරුත්වය
යනාදී මෙම සංකල්ප තෘෂ්ණාවේ ඵලයන්ය. මගේ යන සංකල්පය තහවුරු වූ තරමට මම
යන හැඟීම ත්‍රීව්‍ර වේ. තවත් විධියකින් කිවහොත් මගේ යන හැඟීමෙන් දැඩිව
අල්වා ගත් දේ ශක්තිමත් ලෙස පවතින විට ‘මම’ වශයෙන් සමාජය ඉදිරියේ පෙනී
සිටීමට උත්තේජනයක් ඇතිවේ. සමාජයේ සියල්ලෝම මෙය මා විසින්ම කරන ලද්දක්
ලෙස සිතත්වායි බාලයා සිතන බවත් එහෙයින්ම ඔහුගේ ඉච්ඡාව හා මානය වැඩෙන
බවත් ධර්මයෙහි සඳහන් වේ.
අනෙක් අතින් කෙනෙකුට මගේ යැයි ගත යුතු යමක් නැති කල්හී මම කුමටද? යන
හැඟීම උපදී. නිදසුනක් ලෙස සුනාමිය වැනි උපද්‍රවයක් හෝ නාය යාමක් සුළි
සුළඟක් වැනි ස්වාභාවික උපද්‍රවයක් නිසා ගේ දොර දූ දරු ආදී මගේ යැයි ගත
යුතු වූ වස්තු අහිමි වූ පුද්ගලයෙකු ගැන සිතමු. එබඳු අත්දැකීමකට මුහුණ
පෑ පුද්ගලයෙකුට මම යන හැඟීමෙහි සාරවත් බවක් නො පෙනේ. මම වශයෙන් ගත හැකි
යමක් නැති බව වැටහේ. මේ පිළිබඳ ඉතා පැහැදිලි හා වටිනා විස්තරයක්
මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයෙහි දක්නා ලැබේ. එම සූත්‍රයෙහි
බුදුන් වහන්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් හා හිස අත්බැඳ හැඩීම්
වැළපීම් මගේ යැයි ගැනීම නිසා ඇති වන බව වදාරති. එසේ නොවන උපාදානයක්
ලෝකයෙහි ඇත්නම් එය ගැනීමට උපදෙස් දෙන උන්වහන්සේ එනමුත් එබඳු උපාදානයක්
ලෝකයෙහි විද්‍යාමාන නොවන බව පෙන්වා දෙති. එබැවින් යමක් මගේ යැයි ගැනීම
උපාදානය ලෙසත් එයින් ශක්තිමත් වන මම යන හැඟීම භවය ලෙසත් අර්ථකථනය කළ
හැකි ය. මම යන හැඟීම තහවුරු වූ විට ආත්මීය වශයෙන් ගැනීමේ උත්තේජනය
ඇතිවේ. එබඳු තැනැත්තා භවයෙන් නිදහස් නොවේ. “දීඝරත්තං හෙතෙ භික්ඛවෙ
අස්සුතවතො පුථුජ්ජනස්ස අජ්ඣොසිතං මමායිතං පරාමට්ඨං - එතං මම එසො හමස්මි
එසො මෙ අත්තාති තස්මා තත්‍රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං
විරංජ්ජිතුං නාලං විමුච්චිතුං” යනුවෙන් අශ්‍රැතවත් පෘථග්ජනයා මෙය මගේ
ය. මේ මම වෙමි. මේ මගේ ආත්මය යැයි බැසගන්නා ලද මමායනය කරන ලද පරාමර්ශනය
කිරීමක් ඇති හෙයින් ඔහු සංස්කාරයන් කෙරේ කළකිරීමට එහි නො ඇලීමට හා ඉන්
නිදහස්වීමට නුසුදුසු බව දක්වා ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදු බව
පසක් කිරීමත් සමගම වයස අවුරුදු තිස් පහේ දී තමන් වහන්සේ ජාතිය ජරාව
මරණය හා පුනර්භවය නැති කළ බව ප්‍රකාශ කළේ මෙම මගේ යන සංකල්පයත්. මම යන
හැඟීමත් දුරු කළ හෙයිනි. එහෙයින්ම උන්වහන්සේ ආත්මීය වශයෙන් ගත හැකි
ස්වල්ප මාත්‍ර වූ ද දෙයක් ලෝකය තුළ විද්‍යමාන නොවන බව ද වදාළහ.
සාමාන්‍ය මිනිසෙක් ආත්මීය වශයෙන් තමා අවට දේ ආත්මීය වශයෙන් ග්‍රහණය
කරන්නේ මම යන සංකල්පය ඔහු තුළ තහවුරු වී ඇති හෙයිනි.
භවය තුළ සිටින සත්ත්වයාගේ ස්වභාවය නම් භවය තුළ යථෝක්ත ආදීනව විඳිමින්
භවයටම ඇලුම් කිරීමයි. අරියපරියේසන සූත්‍රයෙහි මෙය බුදුන් වහන්සේ
පැහැදිලි කළහ. ජාතිය ජරාව මරණය ස්වභාව කොට ඇති සත්වයා ජාති ජරාව හා
මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන බවත් මෙය අනාර්ය පර්යේෂණයක් බවත් එහි
පෙන්වා දී ඇත. මේ නිසා ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතාවන් සෙවීම ආර්ය
පර්යේෂණයකි.
දුක නැති කිරීම සියලු සත්වයන්ගේ අපේක්ෂාවයි. ඒ සඳහා භවය නැති කිරීම
නැති කිරීමත් භවය නැති කිරීම සඳහා මගේ යැයි දැඩි ලෙස ගැනීම නම් වන
උපාදානය දුරු කිරීමත් කළ යුතු වේ. එහෙයින් බුදුන් වහන්සේ විසින් දුන්
මෙබඳු උපදේශයක් සුත්තනිපාතයේ දක්නා ලැබේ.
“ මමායිතෙ පස්සථ ඵන්දමානෙ, මජ්ඡෙ’ව අප්පොදකෙ ඛීණසොතෙ
එතම්පි දිස්වා අමමො චරෙය්‍ය භවෙසු ආසත්ති අකුබ්බමානො”
(ක්ෂය වූ දිය පහර ඇති ස්වල්ප වූ ජලයෙහි මසුන් මෙන් මගේ යැයි ගත්
වස්තුවෙහි සැලෙන සත්වයන් බලව්. මේ ආදීනවය දැක භවයන්හී මමත්වය නැතිව
හැසිරෙන්න.)
තවද ජනයෝ මගේ යැයි ගත් වස්තුව කරණ කොට ගෙන ශෝක කෙරෙති. ලොව නිත්‍ය වූ
වස්තූහු නැත්තාහ. මෙය විද්‍යමාන විනා භාවයමැයි, මෙසේ දැක ගෙහි නො විසිය
යුතු ය.
“ සොචන්ති ජනා මමායිතෙ, න හි සන්තා නිච්චා පරිග්ගහා
විනාභාවං සන්තමෙවිදං, ඉති දිස්වා නාගාරමාවසෙ”
භව තෘෂ්ණාව ක්ෂය කළ බව හා දුක නැති කළ බව රහත් තෙරවරු හා තෙරණිවරු උදාන
වශයෙන් ප්‍රකාශ කළ බවට නිදසුන් අපට ථේර ථේරීගාථාවල බහුලව දැකිය හැකි ය.
බුදුන් වහන්සේ ද මෙසේ වදාළහ.
චතුන්නං අරිසච්චානං, යථාභූතං අදස්සනා
සංසිතං දීඝමද්ධානං, තාසු තාස්වෙව ජාතිසු,
තානි ඵතානි දිට්ඨානි, භවෙනත්ති සමූහතා
උච්ඡින්නං මූලං දුක්ඛස්ස, නත්ථි දානි පුනබ්භවො
මෙසේ හෙයින් භවය වූකලී දුක විඳීම සැකසුණු නවා තැනක් වැනි ය. අපාය
මනුෂ්‍ය ලෝකය දිව්‍යලෝක හා බ්‍රහ්මලෝක යනාදිය අබලන් වූ හා මනරම් ලෙස
ඉදි කරන ලද නවාතැන් වැනි ය. බාහිර ආකෘතිය කෙසේ වෙතත් මේ සියල්ලම සැකසී
ඇත්තේ දුක, දොම්නස, හඬා වැළපීම සඳහාම වේ. එහෙයින් භවයට ඇලුම් කිරීම වූ
කලී මායාවකට හසුවීමකි. භවයක් කෙරේ ඇල්මෙන් කුසල් හෝ අකුසල් කිරීම මුග්ධ
ක්‍රියාවකි. බුදුදහමේ භවය හඳුන්වන්නේ භව චක්‍රය නමිනි. ඊට හේතුව එය
හුදු තනි ඒකකයක් නොවීමයි. පටිච්ච සමුප්පාද න්‍යායෙන් හෙළි පෙහෙළි කොට
ඇත්තේ මෙම චක්‍රය සැකසී ඇති ආකාරයයි. ඉපදීමෙන් වන දුක නැති කිරීමට භවය
නැති කළ යුතු ය. භවය නැති කිරීමට මගේ යැයි ගැනීම අත්හළ යුතු ය. මගේ
යැයි ගැනීම නැති කිරීමට තෘෂ්ණාව නැති කළ යුතු ය. තෘෂ්ණාව නැති කිරීමට
වේදනා නැති කළ යුතු ය. මේ ආදී වශයෙන් ප්‍රතිලෝම නයින් ස්පර්ශය, සළායතන,
නාම රූප, විඤ්ඤාණ, සංස්කාර, අවිද්‍යාව යනාදිය නැති කළ යුතු වේ. මෙම භව
චක්‍රයෙහි අග මුල කොතැනක දැයි නිශ්චය කළ නො හැකි ය. කවර හෝ තැනකින් මෙම
චක්‍රය කැඩිය යුතු ය. එකල්හී යථාර්ථමය වශයෙන් දුක නැති කළ හැකි ය. එය
භව නිරෝධයයි, දුක්ඛ නිරෝධයයි. |