පින් දහම්වල නිරත වෙමු
පින් දහම් සිදු කිරීමට විශේෂ කාල නියමක් නැත. උදා වූ මොහොත තුළ
එය අත නොහැර පින්දහම්හි නිරතවීම අත්‍යවශ්‍යය. එබැවින් පින්දහම්
සිදු කිරීම කල් දැමීමක් ද කළයුතු නොවේ.
ජීවිතයක ඉඩ ලද හැම මොහොතකම ගත සිත පිනට යොමු කරන්නේ නම් එහි
සැප විපාක විඳිනුයේ තම තමන්මය. එමෙන්ම ජීවිතය පවට නැඹුරු වන්නේ
නම් එහි අමිහිරි වූ කටුක දුක් විපාක ගත කිරීමට සිදුවනුයේ ද තම
තමන්ටමය.
පින් දහම් වෙත යොමුවීම සඳහා කෙනෙකුට නිසි මඟ පෙන්වීම කළ හැකිය.
එහෙත් පිනට යොමුවීම හැමවිට රඳා පවතිනුයේ තම තමන් තුළම ය.
කෙනෙකු පින් දහම් සිදු කිරීමට ගොස් අවාසනාවකට මෙන් පව්කම් එකතු
කරගනු ලැබේ. එහෙත් නැණවත් මනුෂ්‍යයා හැම විට පින්කම, පින්කමක්
ලෙසින්ම සිදු කර ගැනීමට කල්පනා කරති.
කවර පින්කමක් සිදු කළ ද ඒ සඳහා විශාල පිරිසක් සහභාගි කරවා
ගැනීමට ද කල්පනා කළ යුතු ය. ජීවිතයේ අමතක නොවන පින්කම් සිදුකර
ගැනීමට ඉතාමත් සුදුසු කාලයක් දැන් උදා වී ඇත. එනම් මෙවර වස්සාන
සමයේ උදාවයි.
කාලයක් පුරා සංවිධානය කර අලංකාර පින්කම් බොහෝ පිරිසකගේද
සහභාගිත්වයෙන් සිදුකළ හැකි කාලයකි වස්සාන සමය.
අන් කාලවලටත් වඩා භික්ෂූන් වහන්සේ සිල්ගුණ පුරමින් ගුණ දහම් වඩ
වඩාත් වර්ධනය කිරීමට මුළු වස්කාලය පුරාම ඇප කැප වී කටයුතු
කරමින් ස්වකීය අධ්‍යාත්මික ජීවිතය ගොඩනඟා ගැනීමට උනන්දුවන
කැපවන කාලයයි.
ඒ හා සමඟම තමන් වහන්සේ වෙත සිව් පසයෙන් උපස්ථාන කරනු ලබන දායක
පිරිස වෙත කරුණා මෛත්‍රියෙන් අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා
කරමින් ඔවුන්ද සුචරිත වර්ධනයෙහි යොමු කරවීමට මහත් ඇප කැපවීමෙන්
ක්‍රියා කරන සුවිශේෂී කාලය වස්සාන සමයයි.
සතර පේරුවේ දායක පිරිස ද දිනපතා ගමේ පන්සලට ඒකරාශීවී ආගමික
වතාවත්වල නැඹුරු වෙමින් වස්සාන සමය පින් වැඩෙන පුණ්‍ය කාලයක්
බවට පත්කර ගනිති.
ගමේ පන්සල ගමට යහගුණ කියාදෙන කේන්ද්‍රස්ථානයයි. පන්සලේ
ස්වාමීන් වහන්සේ සතර පේරුවේ දායක පිරිසේ මාර්ගෝපදේශකයන් වහන්සේ
, අනුශාසකයන් වහන්සේ වෙයි.
කැපවීමෙන්, මහත් ඕනෑකමෙන් ශ්‍රද්ධාවෙන් තෙරුවන් වෙතම තම ජීවිතය
යොමු කර සංසාර ගමන පුරා සුවපත් ජීවිතයක් ගත කරන්නට පාරමීපුරන
සමයක් ලෙස වස්සාන සමය බෞද්ධ බහුතර ජනතාව ගත කරන බව නොරහසකි.
අපගේ අතීත මුතුන් මිත්තන්ගෙන් ද අප ලද ආගමික ආභාෂය සුළුපටු
නොවේ. පරම්පරාවෙන් පරම්පරාවට අප ලද ඒ ආගමික උරුමය බෞද්ධ
සංස්කෘතිය වර්ධනයවීමෙහිලා ද මහත් රුකුලක් වූ බවද ගෞරවයෙන්
සිහිපත් කළ යුතුව ඇත.
ගම්වැසියන් හා විහාරස්ථානයත්, විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේත්
අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරන සුවිශේෂී කාලයද වස්සාන
සමයයි.
දිනපතා හෝ සතිපතා උදේ සවස විහාරස්ථානයට ගම්වාසීන් ඒකරාශීවීම
නිසාම ගම්වැසියන් අතර ද සුහදත්වය වර්ධනය වන සමයකි. පටුවාද අමතක
කර සියලු දෙනා එක ලෙස ඒකරාශී වන පොදු කේන්ද්‍රස්ථානය පන්සල
නිසාම සුළු අසමගිකම්, සුළු අමනාපකම් අතහැර සමගිය ඔවුනොවුන් තුළ
වර්ධනය කරන පුණ්‍ය සමයයි.
වස්සාන සමය තෙමසක් පුරා ගෙවී යන කළ උදාවන චීවර මාසයේ දී අටමහ
කුසල් අතර ගැනෙන ප්‍රධානම පින්කම සිදු කිරීමට දායක පක්ෂය ඇප
කැප වී කටයුතු කරති.
දිනපතා පින්කම්වලට සහභාගී වෙමින්, දායකත්වය සැපයීමෙන් මෙලොව
වශයෙන් අපමණ සතුටට පත්විය හැකි යහපත් කාලය ද වස්සාන සමය වේ.
පින් රැස් කර ගනිමින් මෙලොව සතුටු වන තැනැත්තා පරලොවදීත් ඒ
පිනෙන් සුවපත් වේ. සැනසිල්ලට පත්වේ.
එසේ දෙලොවදීම සැනසීමෙන් ජීවත්විය හැකි අවස්ථාව උදාකර ගනුයේ
තමන් මෙලොවදී කරන කුසලාකුසල ශක්තිය අනුවම බව කල්පනා කළ යුතු ය. |