UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රැස් දහරාවක් ස්වර්ණ වර්ණ කළ රන්කොත් වෙහෙර

මාතෘ භූමියේ ශිෂ්ටාචාරයේ සංස්කෘතියේ කලාවේ ආර්ථිකයේ යටගියාව සොයා යන ගවේෂකයාට කිසිසේත්ම පොළොන්නරුව අත් හැර ඉදිරියට ගමන් කළ නොහැක.

ඒ යන චාරිකාවේදී ගවේෂකයා ලංකාතිලක විහාරය ළඟ නැවතී බලන්නේ විශ්මයට පත්වූ සිතින්මය. ඒ තරමටම මෙය සුවිශේෂීය. කලාත්මකය. කුතුහලය දනවන සුළුය. වරක් දැක සෑහීමකට පත්නොවන අපූර්වත්වයෙන් පිරිපුන් ය.

මෙය නමටම සරිලන නිර්මාණාත්මක ඉදිකිරීමකි. එය ලංකාවට තිලකයක් බඳුය.

චූල වංශයට අනුව ලංකාතිලක පිළිමගෙය පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරවන ලද විශිෂ්ට බෞද්ධ කලා නිර්මාණයකි.

මීට වසර එක්දහස් අටසිය ගණනකට පෙර ගොඩනංවන ලද මෙම පිළිමගෙයෙහි අද අප දකින්නේ ශේෂ පත්‍රයක් පමණි.

එහෙත් පුරා ලකුණු මතින් වුව එහි පැවැති අපූර්වත්වයේ විශේෂිත ලකුණු හඳුනා ගැනීමට හැකියාව ලැබේ.

ලංකාවේ ඉදිකරන ලද බුද්ධ මන්දිර විමසා බැලීමේදී ඒ සියල්ල අභිබවන සුළු දුර්ලභ, එහෙත් රමණීය ආකෘතියකින් මෙම පිළිමගෙය නිමැවීමට රජතුමා උත්සුක වූ බවක් පෙනෙයි.

පොළොන්නරු රාජධානිය තුළ ආලාහණ නමින් පිරිවෙනක් දක්නට ලැබේ. මෙම ආලාහණ පිරිවෙනට අයත් බුදු මැදුර ලංකා තිලක විහාරය බව මහාචාර්ය චන්ද්‍රවික්‍රම ගමගේ මහතා පවසයි. පිළිම ගෘහය නිමවා ඇත්තේ ගඩොලින් වන අතර පියසද ගඩොලින්ම වෘත්තාකාර ආකාරයට නිමවා ඇති නිසා එය ගෙඩිගේ සම්ප්‍රදායට අයත්ය.

මෙය මහා පරාක්‍රමබාහු රජතුමා කරවු විශාලතම පිළිම ගෙය වශයෙන් සැළකෙයි. ගර්භ ගෘහය, අන්තරාලය, හා මුඛ මණ්ඩපය යන කොටස් තුනකින් යුතු පිළිම ගෙයි හිටි බුදු පිළිමය අඩි 42 ක් පමණ දැවැන්ත උසකින් යුතුය. බුද්ධ ප්‍රතිමාව දීර්ඝ කාල වකවානුවක විපත් මැද නටබුන් ආකාරයකින් දිස් වෙයි. පිළිමයේ අත් යුගලයෙහි බොහෝ කොටස් විනාශ වී ඇත. මුව කමල දකින්නට නොලැබේ. එහෙත් පිළිමයක හැඩතල ඡායා පමණක් දකින්නට ලැබේ. 1906 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඡායාරූපයක මුහුණෙහි කොටසක් දකින්නට පුළුවන් කම තිබුණි. මේ ප්‍රතිමා ගෘහයේ අභ්‍යන්තරය කොටස අඩි 26 ක දිගකින්ද අඩි 13.6 ක පළලකින්ද යුක්තය.

මෙහි ආකෘතිය වෙනස් වන්නේ එය දැවැන්ත උසකින් අඩු පළලකින් සහ වැඩි දිගකින් නිර්මාණය කර ඇති නිසාය. ඒ නිසාම මෙයට ගාම්භීර ප්‍රෞඩ පෙනුමකින් ආරෝපණය වී තිබෙයි. හතරැස් පැතිකඩ සහිත හිසකින් යුතු ගල්කණු දෙපස සරසන අතර එක් පසෙක කුලුනු 17 ක් දකින්නට ලැබෙයි. එ මත දැවයෙන් නිර්මිත ඉහළ මාලය පිහිටා තිබෙන්නට ඇත. මෙය මහල් පහකින් සමන්විතව තිබු බව කියැවෙයි. ප්‍රතිමා ගෘහය රූකම් වලින් අලංකෘතව තිබු බව සනාථ කරන ලකුණු අදද යන්තමින් හෝ දැක ගැනීමට ලැබෙයි.

ඉදිරිපස හංස සහ සිංහ රූප වලින් හැඩ වී තිබෙයි. මෙහි විශේෂයක් වන්නේ මේ දැවැන්ත උස් ප්‍රතිමා ගෘහයට ඇතුළු වීමේදීම ඒ සා විශාල උසකින් යුතු වූ ප්‍රතිමා වහන්සේ එක එල්ලේ දැක ගැනීමට පුළුවන් වීමය. මෙම උස් ස්වභාවය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන මිනිසාගේ ගෞරවය වඩාත් ඉස්මතු කරවන සුළුය. එහි ගාම්භීර පෙනුම මිනිස් සන්තානයේ ඇති කරවන හැඟීම වෙනත් බුදු මැදුරකදී දැනෙන හැඟීමට වඩා වෙනස් ස්වරූපයක් ඇතිකරවන සුළුය.

ලංකාතිලක පිළිම ගෘහයෙහි ඉදිරියෙන් දෙපසින් ඇති බහු කෝණික කුලුනු දෙක වඩාත් සුරක්ෂිතව පවතින අතර එකක උස අඩි 58 ක් පමණ වෙයි. අදත් එහි දැවැන්ත බවෙහි අඩුවක් නොවූවද ආරම්භයේදී මෙහි උස අඩි 100 කටත් වඩා තිබූ බව පුරා විද්‍යාඥයන්ගේ අදහසයි. මෙම පිළිම ගෘහයෙහි තවත් විශේෂිත වැදගත්කමක් ද වෙයි. එනම් එය ආලාහණ පිරිවෙනෙහි කේන්ද්‍රීය ස්මාරකයයි. අනුරාධපුර යුගයේදී ඒ ස්ථානය ලැබුණේ ස්තූපයටය. මෙම වෙනසට හේතුව කුමක් දැයි තවමත් නිශ්චිත නැති බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා පවසයි. ඒ පිළිබඳව එතුමා තවදුරටත් මෙසේ පවසති.

“බෞද්ධ ඉතිහාසයට අනුව සධාතුක ස්තූපය ප්‍රධාන පූජනීය ගොඩනැගිල්ලයි. දෙවන තැන බෝධිය සහිත ගෘහයටත්, තෙවන තැන බුදුමැදුරටත් හිමිය. පොළොන්නරු යුගය වන විට කලින් තුන්වන තැන හිමිව තිබුණු බුදුමැදුර ප්‍රධාන තැනට පත් වූ බවත් ලංකා තිලකයෙන් සනාථ වෙයි”

මෙම පිළිමගෙයි ප්‍රධාන දොරටුව ඇත්තේ නැගෙනහිර දිශාවට මුහුණලාය. තවදුරටත් මහාචාර්යතුමා පවසන්නේ “එහි මුරගල්වල අල්ප උන්නත ලෙස කැටයම් කර ඇත්තේ නැඟෙනහිර දිසාවට අධිපති ධෘතරාෂ්ට්‍ර මහා රාජාගේ රූපයයි. කොරවක්ගල්වල ඇතුළු පැතිවල පද්මය මත සිටින කාන්තාව ධෘතරාෂ්ට්‍රගේ භාර්යාවයි. ඇය දෙපස පරිවාර කාන්තා රූප දෙක බැගින් වෙයි. ධෘතරාෂ්ට්‍ර මෙන් ඔහුගේ භාර්යාවද අතකින් පුන්කළස සහ අනෙක් අතින් මල් ඉත්ත ගෙන මල් ඉත්ත සහිත අත කටියෙහි රඳවා ගෙන සිටියි. ඇයගේ ඉරියව්ව මුරගල්වල ධෘතරාෂ්ට්‍රගේ මෙන් ත්‍රිභංග වර්ගයට අයත්ය” .මෙයින් පෙනෙන්නේ මේ අපූර්වත්වයෙන් යුතු විහාර මන්දිරය මෙන්ම කැටයම් චිත්‍රාදියද විශේෂිත මෙන්ම වෙනස් ස්වරූපයකින් නිර්මාණය කර ඇති බවකි. මෙහි චිත්‍ර හා ප්‍රතිමාදියේ දකින්නට ලැබෙන්නේ දක්ෂිණ භාරතීය කලා සම්ප්‍රදායට සමීප වූ ලක්ෂණයක් බව ඇතැම් වියතුන්ගේ අදහස වී තිබේ.

එසේම ලංකාතිලක විහාර මන්දිරයේ තවත් සුවිශේෂීතාවයක් අපට හඳුනා ගැනීමට පුළුවන. එනම් එහි ප්‍රදක්ෂිණාපථයයි.

අනුරාධපුර යුගයේදී මෙම ප්‍රදක්ෂිණාපථය අත්‍යවශ්‍ය අංගයක්ව පැවැති බව ඒ යුගයේ නිර්මාණ විමසීමේදි පෙනී යයි. එය සැකසී තිබුණේ බිම් මට්ටමේය. එහෙත් පොළොන්නරු යුගයේදී ඉහළින්ද ප්‍රදක්ෂිණා පථයක් තිබූ බව ලංකාතිලක පිළිම ගෘහයෙන් අනාවරණය වෙයි.

ප්‍රතිමා ගෘහයේ දකුණූ පැත්තේ ඇති කොරවක්ගලෙහි ඇතුළු පැත්තේ ඇති ශිලා ලේඛනය අනුව මෙම ස්මාරකය සිව්වන විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1270-1272) විසින් ප්‍රතිසංස්කරණය කළ බව සඳහන්ව තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කල පොළොන්නරුවේ ලංකාතිලකය අසාමාන්‍ය අසහාය අපූර්වතා ප්‍රකට කරනා රමණීය ප්‍රතිමා ගෘහයකි.

අහස උසට නැගෙන කීවිට එතනින් එහාට එන වදන ස්තූපය නැතිනම් චෛත්‍යය ලෙස අප හඳුනාගෙන සිටිමු. එහෙත් අහස උසට නැගි ලංකාතිලක විහාරය වෙනස් ආකෘතියකින් වෙනස් කලා සම්ප්‍රදායකින් ඉදිකර තිබේ. එය අදටත් විහාර නිර්මාණ කලාවේ නැවුම් වූ අත්දැකීමකි.

විශිෂ්ට රජවරු තම බල පරාක්‍රමය මෙන්ම තම නාමය රඳවා තබා ගැනීම වෙනුවෙන් බහුතරයක් ඉදි කෙරුවේ ස්තූපයන්ය. එහෙත් ලාංකේය රාජ වංශයේ පැහැදුල් නමක් රැන්දූ මහා පරාක්‍රමබාහු රජතුමා ස්තූපයේ උසට අභියෝග කරමින් එවන් උස් බව ජය ගැනීම උදෙසා කළ ලංකාතිලක පිළිම ගෙය එතුමාගේ මනස පිළිසිඳගත් විප්ලවීය චින්තනයේ අපූර්ව ගුණය පසක් කරවන සුළු සදාතනික සැමරුමකි.

නව විද්‍යා තාක්ෂණයේ අභියෝග ජයගත් නූතන මිනිසාද විමතියට පත්කරවන සුළු මෙවන් නිර්මාණයක් සදාතනික සිහිවටනයක් වන්නේ මතු පරපුරටද සිතන්නට බොහෝ දේ මේ ඉතිරි වී ඇති සැකිල්ල මත තවමත් රඳවාගෙන සිටිනා බැවිනි.

විශ්මයද ගාම්භීරත්වයද සුන්දරත්වයද ඒ සියල්ල පරදන සද්ධාසම්ප්‍රයුක්ත ගෞරව බහුමානයද එකට එකතු කළ විශිෂ්ටත්වයේ ස්මාරකයක් වූ ලංකාතිලකය ලක් මාතාවගේ නළලත තැබූ තිලකයක් සේ යැයි සිතෙයි.

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 01.59 ට ලබයි. 27 වැනිදා ඉරිදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 26 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය
අගෝස්තු 04 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]