UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළයේ මහා කලා මංගල්‍යයට කප් සිටුවයි

හෙළයේ මහා කලා මංගල්‍යයට කප් සිටුවයි

මහනුවර ඇසළ මංගල්‍යය පෞරාණික චාරිත්‍ර විධි ඉස්මතු කර දැක්වෙන්නාවූ හෙළයේ මහා කලා මංගල්‍යයයි. බුද්ධරත්නය පිළිබඳ ගෞරවය ශ්‍රද්ධාව පදනම් කොට දළදා සමිඳුන් විෂයෙහි ආමිෂමය පූජාවක් වශයෙන් ද සතර මහ දෙවිවරුන් උදෙසා සිදු කරන්නාවූ පූජාවක් වශයෙන් වාර්ෂිකව රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන්නාවූ පෙරහරේ ආරම්භය සිදුවන්නේ සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙනි.

පෙරහර සම්බන්ධයෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍ර මංගල්‍ය කප් සිටුවීමයි. කප් සිටුවීම සඳහා සහ සම්බන්ධවනුයේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාලයන්ය. පෙරහර ආරම්භ කරමින් කප් සිටුවීම සඳහා සුදුසු “පණස වෘක්ෂයක්” තෝරා ගැනීම සිදුකරනුයේ අලුත්නුවර දේවාල භූමියෙනි. ඒ ඒ දේවාලයන්ට කප බෙදා දීම අතීතයේ දී අලුත්නුවර දේවාලයට පැවරී තිබිණි. මහනුවර විෂ්ණු මහ දේවාලයට වර්තමානයේ කප බෙදාදීමේ භාරය පැවරී තිබුණ ද අතීත චාරිත්‍ර ගරුකරමින් අද ද ඒ සඳහා කප වැඩම කිරීම අලුත්නුවර දේවාලයේ සිට සිදු කරනු ලබයි.

කලා ශිල්පීන් තුන් දහසක් සමඟ ශිල්ප දක්වන අලි ඇතුන් සියයක් පමණ සහභාගිවන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පුරා දින 11 ක් අඛණ්ඩව වීදි සංචාරය කරයි. මෙය භාරදූර කාර්යයකි. ඒ නිසාම පෙරහරේ නියැළෙන්නාවු අයගේ ආරක්ෂාව සුබසෙත ප්‍රාර්ථනය කැරමින් කිසිඳු උපද්‍රවයකින් තොරව පෙරහර මංගල්‍යය සාර්ථකව අවසන් කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනය කරමින් ඊට දේව ආශිර්වාදය ලබාගැනීම කප සිටුවීමේ මූලික අරමුණයි.

කප සඳහා තෝරා ගනු ලබන්නේ නැඟෙනහිර දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන පණස වෘක්ෂයකි. ඵල දැරීම ආරම්භ නොවූ කොස් පැළයක් මේ සඳහා බොහෝ විට තෝරා ගනී. ගස තෝරා ගැනීමෙන් පසු අලුත්නුවර දේවාලයේ ප්‍රධාන කපු මහතා ඇතුළු පිරිස පෙරහරින් එහි ගොස් ගස වටා පිරිසුදු කැර, සුවඳ දුම් අල්වා, සුවඳ දුම් ඉස, ගස වටා පහන් නවයක් දල්වා බුලත් කොළ නවයක මල්වර්ග නවයක් තබා පූජා පවත්වයි. පසුව ගස නැඟෙනහිරට වැටෙන සේ කපා දමයි.

අනතුරුව මහනුවර විෂ්ණු මහ දේවාලයට පණස වෘක්ෂයේ කඳ කොටස වැඩමකරවා එය කැබලි හතරකට වෙන් කරයි. පිළිවෙලින් එම කැබලි නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි, දේවාලවලට බෙදා දෙයි, ස්වේත වර්ණ රෙදි කඩකින් කප ඔතා දේවාලවෙත එය පෙරහරින් රැගෙන යයි. පසුව දේවාලයන් ඉදිරිපිට සකස් කළ විශේෂ ස්ථානයක වටතිර බැඳ උඩුවියන් යොදවා කුඩා වළක් කැපීමෙන් අනතුරුව එහි සුබනැකතට කප සිටුවනු ලබයි. දේවාල හතරෙහිම එකම මොහොතකදී මෙම කප් සිටුවීම සිදු කරයි.

කප් දෙපස ලෙලි පොල් ගෙඩි, තුනක් තබා ඒවායෙහි පහන් තුනක් දල්වනු ලබයි. පෙරහර නිල වශයෙන් අවසන් වනතුරු මේ පහන් අඛන්ඩව දල්වා තබා ගනී. කප් සිටුවීමෙන් පසු ඒ ඒ දේවාලයන්හි කපු මහත්වරුන් පංචතූර්ය වාදන සහිතව පුරා දින පහක් කප වටා දේව ආභරණ වැඩම කරවමින් පෙරහර පවත්වයි. එම පෙරහර දේවාල අභ්‍යන්තර පෙරහර ලෙස හඳුන්වයි.

දේවාල අභ්‍යන්තර පෙරහර පහ පැහැත්වීමෙන් පසු කුඹල් පෙරහර වීදි සංචාරය කරයි. අවසන් රන්දෝලි මහ පෙරහර දින අලුයම දියකැපුම මංගල්‍යය සඳහා මෙම කප ගලවාගෙන ගොස් ගැටඹේ තොටේදී ගං දියේ පාකර හරිනු ලබයි. මෙසේ පාකර හරිනු ලබන කප ලබාගැනීම සඳහා අතිවිශාල පිරිසක් අලුයම කාලයේ දියකැපුම් කොට පහළ ගං ඉවුරේ රැඳී සිටින්නේ එය ලබාගැනීමෙන් දේව ආශිර්වාදය සමඟ සශ්‍රීකත්වය ලැබෙන බවක් ජනප්‍රවාදයේ පැවත එන නිසාවෙනි.

 

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි මස 26 වැනිදා සෙනසුරාදා පූර්වභාග 01.59 ට ලබයි. 27 වැනිදා ඉරිදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 26 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය
අගෝස්තු 04 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 26

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]