UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රබෝධමත් අරුණැල්ලක පහස විඳි වීරගහ පන්සල

එක් යුගයකදී ටිබෙට් දේශයේ මධ්‍යම ආසියාවේ කුඩාම රාජ්‍ය වූ සිකීම් දේශයට සැපැමිණි රාජවංශික පවුලක ලාබාලයා වශයෙන් උපත ලදදේ කේ තෂිනම්ගල් කුමරුය.

සහෝදරයන් 4 දෙනෙකුත්, සහෝදරියන් දෙදෙනකුත් සහිත පවුලේ තෂිනම්ගල් උපන්නේ 1901 වසරේදීය.

වසර 13 ක් වයසැති මෙම ටිබෙට් ජාතික කුඩා දරුවා ලංකාවට පැමිණෙන්නේ එස්.පුණ්ණජි නම් වූ තම සහෝදර සාමණේරයන් ද ජර්මන් ජාතික කීර්තිමත් භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස ප්‍රකට ඥානතිලෝක හිමියන් සමඟය.

හයක් හතරක් නොදත් කුඩා දරුවා වසර අවුරුදු 13 දී සසුන්ගත කෙරෙන්නේ දොඩම්දූවේ ශෛලබිම්බාරාමයේ රත්ගම සිරි චූලසුමන හිමියන්ගේ ආචාර්යත්වයෙන් සිකීම් මහින්ද නමිනි. දොඩන්දූව ශෛල බිම්බාරාම පිරිවෙන, මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන සහ මහාබෝධි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන සිකීම් මහින්ද හිමි ලක් ඉතිහාසයේ මෑත යුගය උණුසුම් වර්ණයෙන් දීප්තිමත් කළ දිදුලන විමුක්තියේ තරුවක් බවට පත්වෙතියි එදා කිසිවකු නොසිතන්නට ඇත.

සම්බුදු දහම මනාසේ ප්‍රගුණ කළ සිතක් අධ්‍යාත්මයෙන් සදැහැති වන බව සැබෑය. අධ්‍යාත්මික සැබෑ විමුක්තිය වෙනුවෙන් තම භික්‍ෂූ ජීවිතය කැප කළ යුතු බව සැබෑවක්මය.

එහෙත් දේශයක් බලහත්කාරයෙන් නතු කරගත් අධිරාජ්‍යවාදී සංක්‍රමණික හස්තයට නිදහසේ හුස්ම ගැනීමට අපහසු නම් මහණ දම් පිරීමද අපහසු යැයි මේ තරුණ අභීත භික්‍ෂූන් වහන්සේ සිතුවා විය හැකිය.

නිර්වාණය නම් විමුක්තියෙන් මෙපිට දේශයේ විමුක්තිය වෙනුවෙන් දිවි පිදූ උත්තම සංඝ පීතෘවරුන් මේ බිමේ ජාතික වීර නාමාවලිය රතු පැහැය මුසු කහ පැහැයෙන් පිපී සුවඳවත් කළ පුෂ්පයන් සේ බැබළවූහ. ඒ පුෂ්පයෝ කිසිදා මිළින නොවනු ඇත.

රටත් ජාතියත් සමයත් කරණ කොට
තුවක්කුවට උණ්ඩෙට ගල් මුල් වලට
ඉලක්කයක් වෙන්නට ඇත්නම් අපට
සැපක් තමයි නොනිමෙන නිවන මෙපිට

යැයි කියමින් එස්.මහින්ද හිමියන් දේශයේ විමුක්තිය වෙනුවෙන් කගපතක් සේ කවියේ අවිය එසවූයේ ඒ නිසාමය.

දැන් මේ අප කතා කරන්නේ ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් පිළිබඳව යැයි හැඟෙන විට, ඒ නාමය ඇසූ පමණින් නිද්‍රාගත සිත් පිබිදෙනු නියතය. නව උණුසුමකින් සිරුරට නව ප්‍රාණයක් ලැබෙනු නියතය.

ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් අසාමාන්‍ය ගණයේ සුවිශේෂී චරිතයකි. උන්වහන්සේගේ වීරත්වයේ අභිමානය හෘදයාංග සෙනෙහසක් වී අප ආත්මයට දැනෙන්නේ මේ සුවිශේෂි තත්වය නිසාය. අපේ විරුවෙක් අප වෙනුවෙන් තම උපන් බිමේ උරුමය රැක ගැනීම වෙනුවෙන් සටන් කිරීම සාධාරණය තම මාතෘභූමිය ගිනිගන්නා විට එවන් මිනිසුන්ගේ ලෙය කැකෑරී දේශයේ විමුක්තිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරියට ඒම සාධාරණය.

එහෙත් වෙනත් දේශයක මිනිසකු ආත්මාර්ථයෙන් තොරව පරාර්ථකාමීව තවත් දේශයක විමුක්තිය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් බිමට අවතීර්ණ වන්නේ නම් ඒ විරල අවස්ථාවකි. එවන් වීරත්වයේ අගය විශ්වයටම පොදුය. ඔවුන් ලෝක පූජාති විරුවන්ගේ නාමාවලිය සරසන සදාතනික වටිනාකම් ප්‍රදානය කළ විරළ වීරවරුන් අතර අභිමානවත් ලෙස විශ්වය පුරා තම නම ලියා තබනු ඇත.

ඉංගී‍්‍රසි ජාතික ‘ෂෙලී’ නමැති කවියා අයර්ලන්තයේ නිදහස සඳහා කවි ලීවේය. ඉංගී‍්‍රසි ජාතික ‘බයිරන්’ කවියා ඉතාලියේ හා ගී‍්‍රසියේ නිදහස් සටනට තම ජීවය කැව්වේද කවි අවියේ බලයෙන්ය.

ඒ පරාර්ථකාමි මෙහෙය වෙනුවෙන් කළ කැපවීම නිසා මේ උදාර මිනිසුන් විශ්ව කීර්තියෙන් උත්තරීතර තත්වයට පත්වූ වා සේම ලාංකේය ජාතියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමේ සටනේ මුවහතක් බවට පත් වූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් මේ නිසාම එක් ජාතියකට පමණක් සීමා නොවූ මහා වීරෝදාර මිනිසා අබිබවා ගිය අධ්‍යාත්මික විමුක්තියෙන් මෙපිට වූ දේශයක විමුක්තිය උදෙසා පෙනී සිටි පරාර්ථකාමීත්වයෙන් අගතැන්පත් විමුක්තිදායක භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙක් විශ්ව කීර්තියට පත්විය.

කොන්ද නොනැමූ ජාතියක තෙදවත් බව ඇදැහූ මේ සහෘද කවියා පිටස්තර දේශයක සිට පැමිණ අපේ මිනිසුන් අවිදි කළේය.

දික්කල කෙනෙහි සතුරන්ගේ ගෙල නොසිඳ
වක්නූ පොරණේ සිංහල අත් යුවළ අද
ඔක්කොටම වඳින හැටි බල බලා හිඳ
ලක්මව හඬන හැටි නුඹටත් පෙනෙනවද?

අපි උසස් ගුණයන්ගෙන් සපිරි ජාතියක්ව පැවැතුණු බව මේ විදේශීය හෘදයාංග හිතවතා දැන සිටියේය.

පසෙකින් සිට බලන මේ විදේශීය සැබෑ මිතුරා දකින්නේ ලංකා මාතාව හඬා වැටෙන සැටිය. තම මාතෘ භුමිය නම් අම්මා හඬනවාට වඩා මිය යෑම උතුම් බව උන්වහන්සේ කීවේ ඒ නිසාය.

නිදහස් ගසේ ජාතික මල් පිිපෙන තුරූ
ඇද වක්කරමු පපුවේ ලේ උණු වතුරූ
එද නොහැකි නම් නිවහල් මිනිසකු අයුරූ
වැඳ ලක්මවට ඇද අවසන් හුස්ම හරූ

මෙවන් සඟ විරු හිමිනමකගේ පහස විඳි භූමියේ’ පහසවිඳි වැලිකැටයක් ගණනේ පය ගැටෙන විට දැනෙන්නේ හිරුමල පිබිදෙන අරුණෝදයක මෙන් නව ප්‍රබෝධයකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී 1936 වසරේදී ආචාර්යන් වහන්සේගේ ආරාධනයෙන් පානදුරයේ මහබෙල්ලන ශ්‍රී සුධර්මාරාම විහාරයට එහි විහාරාධිපති වහන්සේ වශයෙන් පැමිණෙන්නේ 1936 වසරේදීය. මෙම විහාරස්ථානය වැඩි දෙනා හඳුන්වන්නේ වීරගහ පන්සල යන නමිනි.

එතැන් සිට වසර 15 ක් පමණ මේ වීරෝධාර භික්‍ෂූන් වහන්සේ වැඩ විසූ ශ්‍රී සුධර්මාරාම විහාරය සුවිශේෂී විහාරස්ථානයක් වශයෙන් ලංකා මාතාවගේ විහාර නාමාවලිය වර්ණවත් කිරීමට සමත් වන්නේ ටිබෙට් ජාතික එස්.මහින්ද හිමිපාණන් වහන්සේගේ ස්වර්ණමය සිහිවටන දරා ගැනීමට සමත් වූ භූමියක් වශයෙන්ය.

මෙම විහාරස්ථානයේ ප්‍රගතිය වෙනුවෙන්ද සමස්ත ශ්‍රී ලාංකික මාතෘභූමියේ ස්වාධීනත්වය ස්වෛරී භාවය වෙනුවෙන්ද කවියෙන් මෙන්ම වියත් කතිකත්වයෙන් පූර්ණ වූ දේශනයෙන්ද රටත් ජාතියක් අවදි කළා වූ විදේශීය වුව අපේම යැයි සිතෙන මේ සහෘද හිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ වසමින් එහි ප්‍රගතිය වෙනුවෙන්ද එහි සමීප ගම් දනව් වෙනුවෙන්ද තම සේවය නොපිරිහෙළා ඉටුකළ සේක.

ප්‍රදේශයේ මිනිසුන් අධාර්මික දිවිපෙවෙතින් මුදවාලූ සේක. අමද්‍ය සමිති ගවමස් කෑමේ ආදීනව ආදිය හදවත් වෙත කා වැද්දීම වෙනුවෙන් චතුර ලෙස ධර්ම දේශනාවන් පැවැත්වූ අයුරු ඒ යුගයේ ජීවත් වූ මිනිසුන්ට තවමත් මතක තිබේ. අද එම විහාරස්ථානයේ මහින්ද හිමියන් වෙනුවෙන් ගොඩනැගී ඇති කෞතුකාගාරය ඉතා වටිනා ජාතික උරුමයක් බවට පත් වී තිබෙයි.

උන්වහන්සේගේ ජීවන ප්‍රවෘත්ති ලියූ කවි මෙන්ම පොත්පත් අත්අකුරු ආදිය දැක විමසීමට සමත් පරිසරයක් ඒ තුළ නිර්මාණය වී ඇත.

මහින්ද හිමියන් සැතපුණු වියන් ඇඳ ජාතියක් රටක් අවදිකළ කවි ප්‍රබන්ධ ලිවීමට උරදුන් මේසය ආදියද එහි තැන්පත් කර තිබෙයි. මෑත යුගයේ එස්.මහින්ද හිමියන් ඇසුරු කළ මිනිසුන්ට තවමත් මහින්ද හිමියන්ගේ පුංචි සිරුර මතක තිබේ . රවුම් මුහුණෙහි තේජාන්විත අපූර්වත්වයට ඡායාරූපයකට නැගී තිබෙයි.

වසර 15 ක් පමණ වැඩ වාසය කර 1951 වසරේ මාර්තු 16 වැනි දින හෘදයාබාධයක් සැදී වසර 50 වැනි කෙටි ආයුෂ වැළදීමෙන් අප අතරින් වියෝවූ මේ අපේම යැයි කිව හැකි වූ උදාර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අවසන් හුස්ම උණුසුම් වාතලයට මුදාහැරියේද මේ විහාරස්ථානයේදීමය.

ඒ නිසාම එවන් පින්බිමකට පා තැබීමට ලැබීමත් අභිමානයකි. එතැනට යනෙන ඇත්තන්ටත් එවන් උත්තමයකුට සෙවණ සැළසූ විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්‍ෂූන් වහන්සේටත් ඒ අභිමානය උණුසුම හොඳින් දැනෙනවා ඇතැයි සිතමි. මහින්ද හිමියන්ගේ ඒ උදාර විමුක්තිකාමි ගති ලක්‍ෂණ ආත්මීය ප්‍රකාශන ශවියේ උණුසුමෙන් පෝෂිත වූ අචේතනික ගොඩනැගිල්ලක පවා තේජාන්විත බව රැදී පවතින්නේ අද අප ඒ වෙනුවෙන් කරනා කැපකිරීම නිසාය. මතු දිනයේදී මෙවන් විමුක්තිකාමියකු නගා සිටවූ බිමක වටිනාකම තව තවත් වර්ධනය විය යුතුය. වෙනත් දේශයක සිට පැමිණි පුංචි දරුවකු උස් මහත් වන විට රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ මුතුන්මිත්තන්ගේ ජාන හා සමවැදුනේ පෙර සසරේදී මේ මව්බිමේම රණවිරුවකු වශයෙන් ඉපදී සිටි නිසා දැයි සැක හිතන තරමට අපේම මිනිසකු වූ ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන්ගේ මතකය අවදිකරන මේ මහා සැමරුම් ස්මාරයක මෙයිටත් වඩා වැඩි බරක් තබා සුරක්‍ෂා කිරීම මාතෘ භූමියේ ලක්මවගේ සහජාත වීරෝදාර දරු මුනුපුරන්ගේ වගකීමය. එසේ නොවුණහොත් එදාට පිට දේශයේ ඉපැදී අපේම අතිජාත පුතකු වෙනුවෙන් “ලක්මව හඬන හැටි ඔබටත් පෙනෙනවා’දැයි කියන්නට සිදුවනු ඇත.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 05 වැනි දා සෙනසුරාදා පූර්වභාග 04.49 ට ලබයි.06 වැනිදා ඉරිදා පූර්වභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි මස 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]