ඇසළ පුර අටවක ජූලි 05 වනදා සෙනසුරාදා
මිනිසත් භවය
සිත පාපයෙන් වළක්වා ගැනීමට උත්සාහ කළ යුත්තේ ස්වභාවයෙන් ම සිත
පවට නැඹුරු වන හෙයිනි.
මනුෂ්‍යයා මෙලොවට බිහිවීම ස්වකීය කර්මශක්තිය අනුව සිදුවන්නකි.
කිරි කැටි බිළිඳකු වශයෙන් උපත ලබා වසර කීපයක් ගත වන තුරු ඒ
කුඩා බිළිඳාගේ සිත බෙහෙවින් පවිත්‍රය. එහෙත් කාලය කෙමෙන් ගත වන
විට වයස මුහුකුරා යාමත් සමඟ සමාජයට එකතුවන බිළිඳාගේ මනස විවිධ
ක්‍රියාකාරකම් පිළිබඳ යොමු වෙයි.
තම නිවසින් පාසලට පියමං කරන දරුවා සමාජයට පිවිසෙන්නේ තවත් එක්
සාමාජිකයකු ලෙසය. එම දරුවාගේ ක්‍රියාකාරකම් අනුව ඔහු සමාජයට
අර්ථවත් තැනැත්තකු හෝ අනර්ථවත් තැනැත්තකු බවට පත්වේ.
කුඩා කල පාසලේ දී අධ්‍යාපනය ලබන විට සම වයසේ දරුවන් හා
වෙසෙනවිට ඔවුනොවුන් අබිබවා ඉදිරියට යාමට උත්සාහ දරයි. තමා
නොදැනුවත්වම තරගයට පවා පෙළඹෙයි. මල් මෙන් මෘදු මොළොක් ගති
බැහැරවීමට පවා ඉඩ කඩ පවතී.
උනන්දුවෙන් උත්සාහයෙන් ගොඩනඟා ගත යුතු මෙලොව ජීවිතය සාර්ථක කර
ගැනීමට අධ්‍යාපනය ලැබීම අත්‍යවශ්‍යය. දැනුම වර්ධනය කර ගනිමින්
සමාජයේ යහපත් ජීවිතයක් ගත කිරීමට උත්සාහ කිරීම අගය කළ යුතු ය.
සමාජයේ පවතින සාමාන්‍ය ස්වභාවයට අනුව විභාග ආදිය සමත්වෙමින්
උසස් යැයි සම්මත රැකියා ආදිය ලබා ගැනීමට මහත් කැපවීමෙන්
ක්‍රියා කළ යුතු වේ. එසේ නොකළහොත් මෙලොව ජීවිතය ගොඩනඟා ගැනීම
පහසු නොවනු ඇත.
අධ්‍යාපනය ලබා සමාජයට පිවිසීමේ දී එම සමාජගත ජීවිතයේ දී අප
අතින් ඉටුවන ක්‍රියාකාරකම් අනුව ජීවිතයේද සාර්ථකත්වය රඳා පවතින
බව කල්පනා කළ යුතු ය.
අධ්‍යාපනය අතර මඟ නගර කළහොත් ජීවිතයක අභිවෘද්ධිය බොහෝ දුරට
අඩපන වනු ඇත.
අධ්‍යාපනය මඟින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම තුළින් ජීවිතයේ
බලාපොරොත්තු, අපේක්‍ෂා ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකිවනු ඇත.
ජීවිතය යනු බලාපොරොත්තු, අපේක්‍ෂා පමණක් පොදිබැඳගෙන සිටීමෙන් ම
පමණක් ඵලක් නොවනු ඇත.
ජීවිතයේ යහපත් අපේක්‍ෂා සඵල කර ගනිමින් ලබා ගත් වටිනා මිනිස්
ජීවිතය පිළිබඳ කල්පනා කළ යුතු වේ.
තමන්ගේ ජීවිතය තමන්ට මෙන්ම අන්‍යයන්ටද හිත පිණිස, වැඩ පිණිස ගත
කළ යුත්තකි. වැරැදීමකින් හෝ එසේ නොවුවහොත් එබඳු ජීවිතය පිළිබඳ
තමාටවත් සැනසීමක් ලද නොහැකිය. මනුෂ්‍යයකු වශයෙන් උපත ලද අප හැම
විට මනුෂ්‍යයකු ලෙසම ජීවිතය ගත කිරීමට උත්සාහ කළ යුතු ය.
මනූෂ්‍යයා කවර රටක උපත ලැබුවද ඔහු මනුෂ්‍යයාමය. ඒ ඔහුගේ
ක්‍රියාකාරකම් මත තීරණය වන්නකි. කවර රටක උපත ලබා කවර ජාතියකට
කවර ආගමකට අයත්ව විසුවද මනුෂ්‍යයා මනුෂ්‍යයකු ලෙස ජීවිතය ගත
කරනුයේ ඔහු සතු උසස් මානුෂික ගුණාංගයන් අනුවය.
මනුෂ්‍යයා උස් පහත් වන්නේ ඔහු සතු ක්‍රියාකාරකම් අනුව බව ගෞතම
බුදුපියාණන් වහන්සේ ලොවට දේශනා කර වදාළහ. එබැවින් මිනිසා සතු
ක්‍රියාකාරකම් කෙතරම් මනුෂ්‍යත්වයට බලපාන්නේ දැයි ඉන් වැටහේ.
කයින් කරන ක්‍රියාවේදීත්, වචනයෙන් කරන කතාවේදීත් සංයමය ඇති කර
ගැනීමේදීත් මිනිස්කම ආරක්‍ෂා කර ගැනීමට එයම බොහෝ දුරට හේතුවනු
ඇත.
මනුෂ්‍යයා සමාජගත ජීවිතයේ දී විවිධ වගකීම් හා යුතුකම්
සමුදායකින් බැඳී සිටින බව කල්පනා කළ යුතු ය. එමෙන්ම එම වගකීම්
හා යුතුකම් නොපිරිහෙලා ඉටු කරන විට සමාජය අතර ඇතිවන කුඩා කුඩා
හෝ අඩුපාඩුකම් මඟ හැරී යනු ඇත. විශ්වාසය ගොඩනැඟී ඔවුනොවුන් අතර
සමඟිය වර්ධනය වනු ඇත.
මනුෂ්‍යයා සමාජයේ වෙසෙන විට සංස්කෘතික වශයෙන් ගත්කළ විවිධ
වෙනස්කම් පැවැතිය හැකි ය. එහෙත් අප අපගේ සංස්කෘතිය අගයන්නා සේම
වෙනස් සංස්කෘතියක වෙසෙන අයකු පවා ආරක්‍ෂා කරමින් කටයුතු කිරීම
වගකීම වේ.
තමාටත් තමා වෙසෙන සමාජයටත් හිතානු කම්පීව, තමා මෙන්ම තමා වෙසෙන
සමාජ පරිසරයද පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු කිරීම මනුෂ්‍යයාගේ
බුද්ධිමත් බවේ ලක්‍ෂණයකි.
දුර්ලභව ලබා ගත් මිනිසත් භවය වාසනාවන්ත කර ගැනීමට මිනිස්කම
අගැයීමට කල්පනා කළ යුතු ය. එසේ වුවහොත් තමාට මෙන්ම තමා වෙසෙන
සමාජයට ද එමඟින් මහඟු මෙහෙවරක් සිදුවනු ඇත. |