UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ දරුවන්ට වගකීම් වටහා දෙමු

තරුණ දරුවන්ට වගකීම් වටහා දෙමු

දරුවන්ගේ අනාගතය හැම ආකාරයෙන්ම යහපත් කිරීමටයි සෑම මවක්, පියෙක්ම උත්සාහ දරන්නේ. එහෙත් ඒ සඳහා මවුපියන් කොතෙක් දුරට ආදර්ශවත් වනවාද? එමෙන්ම මව්පියන් ඒ සඳහා කොතෙක් දුරට අවශ්‍ය පසුබිම සකසනවාද? එමෙන්ම කෙතෙක් දුරට දරුවන් සම්බන්ධව සොයා බලනවාද යන්න අද සමස්තයක් ලෙස විමර්ශනයට ලක් කළ යුතු කරුණක් වනවා.තම දරු දැරියන් උදෑසන පාසල් වෑන් රථයට යොමුකිරීමෙන් පසුව ඔවුන් ගැන සොයා බලන්නට මවුපියන්ට වෙලාවක් නැහැ. කිසිදා නිම නොවන ආශාවන් පස්සේ යමින් තව තවත් තම ආසාවන් මුදුන් පත් කර ගන්නට වෙර දරන වැඩිහිටියන්ට කෙතරම් දුරට තම දරුවන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන් යහමඟට ගැනීමට හැකිවනවාද?

ඇතැම් වැඩිහිටියන්ට සිදු කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ තම අවශ්‍යතා සපුරා ගැනීම නොව අසල්වාසීන් සමඟ තරග කිරීමයි. එම තරග කිරීම කෙතෙක්දුරට විසිරී ගොස් ඇත්ද යන්න පැවසුවහොත් දානයක් පිරිනැමීමේ දී පවා තම අසල්වැසියා නැත්නම් අනෙක් තැනැත්තා විසින් පිරිනමන ලද දානය වැළඳීමට පැමිණි භික්‍ෂූන් වහන්සේ සංඛ්‍යාව පවා සොයා බලා ඊට වඩා එක් නමක් හෝ වැඩියෙන් තමන්ගේ දානයට වඩමවා ගැනීමට කටයුතු කරනවා. එසේ කරන්නේ නම් එතැන ඇත්තේ දානමය පින්කමක් ද නැත්නම් තරගකාරී ආහාර ලබා දීමක් ද යන්න ගැන අප මඳක් සිතා බැලිය යුතු වනවා.

අවමංගල්‍යකදී පවා බොහෝ දෙනා මේ ආකාරයට තරගකාරී රටාවකට යොමු වන බවක් දක්නට තිබෙනවා. නිවසට රූපවාහිනියක් අවශ්‍ය වනවා. නමුත් බොහෝ විට සිදුවන්නේ අවශ්‍යතාවය නොව අනෙක් නිවසට වඩා ප්‍රමාණයෙන් හා වටිනාකමින් වැඩි රූපවාහිනියක් ගෙන ඒමටයි. මෙහිදී අවශ්‍යතාව නොව මානය ඉස්මතු කර ගැනීමයි සිදු වන්නේ. අන් අයට වඩා තමන් උසස් බව සලකා ‘සෙයිය මානය’ උපදවා ගැනීමටයි මෙහිදී කටයුතු කරන්නේ.

විවාහ මංගල්‍යයකදී පවා තමන්ට ඉසිලිය නොහැකි ණය බරක් මතයි සිදු කරන්නේ. ඇතැම්විට එම ණය ගෙවා ගැනීමට නොහැකිව විවාහ වූ දින පටන්ම අඬදබර ඇති වනවා. මේ තත්ත්වය මත පවුල් සංස්ථාව කෙතරම් දෙදරා ගොස් ඇද්ද?

මේ පූර්වාදර්ශය දරුවන් කරා ඇදී යනවා. ඔවුන් ද හැම විටකදීම අනෙක් දරුවන්ට වඩා උසස් ලෙසින් භෞතික සම්පත් විඳීමටයි උත්සාහ කරන්නේ. මේ තත්ත්වය කරා යොමු වීමට නොහැකි වූ විට ඔවුන් සිදු කරන්නේ වෙනත් වැරැදි මාර්ගවලට යොමුවීමටයි. එවිට දෙමව්පියන් පසුතැවිලි වී පලක් නැහැ. මන්ද මේ වැරැදි ආදර්ශය ලබා දුන්නේ ඔවුන් නිසා ඒ වේදනාවත් ඔවුන් විසින්ම විඳ දරා ගත යුතු වෙනවා.

මීට වසර 40 කට 50 කට පෙර උදෑසන නිවසින් පිටව යන දරුවා ගැන මෙන්ම සවස නිවසට පැමිණෙන දරුවා දෙස අවධානය යොමු කිරීමට මව්පියන් කටයුතු කළා. මව්පියන් අකුරු නොදන්නා වූවත් පොත පත පරීක්‍ෂා කළා. දරුවන් උගත් දේ සම්බන්ධව විමසිලිමත් වුණා. අද ඇතැම්විට එවැන්නක් දක්නට ඇත්තේ සියයට දශම ගණනක් වන පවුල් සංඛ්‍යාවක විය හැකිය.

එමෙන්ම පවුලේ සැමට එකට හිඳ නැරැඹිය හැකි ටෙලි නාට්‍ය හා වැඩසටහන්වල විශාල අඩුවක් තිබෙනවා. බොහෝ විට දක්නට ඇත්තේ බොළඳ හරසුන් වැඩසටහන්, විවිධ වචන මේ ටෙලිනාට්‍ය හරහා සමාජයට බිහිවෙමින් පවතිනවා. එයින් කිසිදු වැදගත්කමක් සමාජයට නැහැ. මෙමඟින් වැරැදි පූර්වාදර්ශ සමාජයට ලැබීම පමණයි සිදු වන්නේ. නිවසේ දී එවන් වචන භාවිතය මවුපියන් විසින් වැළැක්වූවත් සමාජයේ ඇසුරට වහ වැටුණු විගස යළි ඔවුන් තමන්ගේ ලෝකයට අනුගත වනවා.

එසේම සමාජයේ දරු දැරියන් අතර පොත පත කියවීමත් දක්නට නැහැ. පාසල් අධයාපනය ද හැඩ ගැසී ඇත්තේත් ඒ අනුවයි. ‘ටියුට්’ යනුවෙන් සකස් කළ කෙටි සටහන් සහිත නිබන්ධනයක් දරුවන්ට ලබාදෙනවා. එමඟින් දරුවන් අවබෝධයෙන් පොත පත බැලීමෙන් ඈත් වෙනවා. නව තාක්‍ෂණය සමාජ යහපතට යොදා ගැනීමයි කළ යුත්තේ. එහෙත් බොහෝ විට වැඩිහිටියන් දරුවන්ට ලබා දෙන්නේ වැරැදි ආදර්ශයක් විනා යහපත් ආදර්ශ නොවේ. ඒ සියල්ල ඔවුන්ගේ නොදැනුවත්කමින් හා අවබෝධයෙන් නොබැලීම නිසයි සිදු වන්නේ. ඔවුන් පවා දන්නේ නැහැ එය වරදක් බව.

ලෝකයේ සදාචාරයෙන් පරිහානිය කරා ගමන් කරනවායැයි අප කියන බටහිර රටවල දරුවන් පොත පත කියවනවා. එහෙත් ‘දියුණුයි සමාජ සදාචාරය ඉහළයි’ යනුවෙන් පවසන අපේ ඇතැම් දූ දරුවන් පොත පතෙන් ඈත් වෙලා. සති අන්ත පත්තරයක් අලෙවි කරගන්න ඒ පත්තරේ ඇතුළේ තවත් පොඩි පත්තර කීයක් ලබා දෙනවාද? එහෙත් කියවන්නේ නැහැ. අද සති අන්ත ඇතැම් පුවත්පත් බොහෝ දුරට වාහන අලෙවිකරුවන්, ඉඩම් අලෙවි කිරීම් විවාහ මංගල කටයුතු ආදියටයි පරිහරණය වන්නේ.

රස උපදවන කියවන්න කැමැති පුවත්පත් අප අතර නැතුවාමත් නොවේ. එමෙන්ම මේ පුවත් පත් ඒ තත්ත්වයට පත් කළ හැකියි.

තරුණ දූ දරුවන්ට පොත පත ඇතුළු සියලු කියවීම සම්බන්ධ දැනුවත් කිරීමක් අවශ්‍යයි. අද ඇතැම් දරුවන් මේ තත්ත්වයට පැමිණ තිබෙනවා. ඒ අය පොත් අලෙවි සැල් වෙත ගොස් ‘මට අහවල් ලේඛකයාගේ අසවල් පොත දෙන්න’ කියන තත්ත්වයට මුහුකුරා ගිහින්.

මේ තත්ත්වය සමාජය පුරාම විසිරී යන පරිදි සමාජයේ දරු දැරියන් හැඩ ගැස්විය යුතු වෙනවා. නමුත් සමාජයේ තිබෙන්නේ එක තැන පල් වෙන එක තැන කැරකැවෙන ක්‍රියාදාමයක්. එය නැති කළ යුතුයි.

ගේ දොර වැඩ ගැන අනිත් අයට උපදෙස් දෙන මවුවරුන්ගේ දියණිවරුන්ට ගේ දොර වැඩ විතරක් නෙමෙයි. කුස්සියේ වැඩ කිසිවක් බැරි තත්ත්වයක් තිබෙන්නේ. ඒ කාර්යයන් පහත් එහෙමත් නැත්නම් මදිකමක් ලෙස සැලකීමට ඒ වැඩිහිටියන් පුරුදු වෙලා. එවිට ඒ මානසිකත්වය දරුවන්ට නිතැතින්ම යොමු වනවා. මේ තත්ත්වය නැති කර සමස්ත තරුණ පරපුරටම තමන්ගේ වගකීම් ගෙවත්තේ ගේ දොර කටයුතු සම්බන්ධව නිසි දැනුමක් ලබා නොදුනහොත් අනාගතයේ අපේ දරු දැරියන් අඳුරු ලොවකට යොමු වීම වැළැක්විය නොහැකියි.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 05 වැනි දා සෙනසුරාදා පූර්වභාග 04.49 ට ලබයි.06 වැනිදා ඉරිදා පූර්වභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි මස 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 05

Full Moonපසෙලාස්වක

ජුලි 12

Second Quarterඅව අටවක

ජූලි 19

Full Moonඅමාවක

ජූලි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]