වීමංසක සූත්‍රයෙන් පෙන්වාදෙන
නිවැරැදි මාවතේ තෝතැන්න
කිරිබමුණ, ඉබ්බාගමුව
(පහළ) ශෛලතලාරාමයේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසයේත්, සිංහල සංස්කෘතියේත් වැදගත් සුවිශේෂී සන්ධිස්ථානීය
අවධියක් සනිටුහන් කරන ලද්දේ මහින්දාගමනයත් සමඟිනි.
ශාන්තිනායක අමාමෑණි බුදුපියාණන් වහන්සේ විසින් දේශිත උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ
පණිවිඩය රැගෙන වැඩමකොට වදාළ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලාංකේය ජනසන්තානයට උචිත
ලෙස චින්තනයට අනුකූලතාවය දක්වමින් ඇදහිලි හා විශ්වාසයන්ට නැවුම් බවක් උරුම කරමින්
බුදුසමයට සමීප බවක් ඇතිකරමින් යථාර්ථය පෙන්වා දීමේ උදාරතර කාර්යය ශ්‍රී ලාංකිකයන්
වෙත සිදුකොට වදාළ සේක.
මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනාකොට වදාළ බුද්ධ දේශනාවෙන් ලාංකිකයන්ට ගැළපෙන
අයුරින් තෝරා බේරාගෙන සුපරික්‍ෂාකාරිව සිදුකරන ලදී. ඒ දහම් දේශනාවන් අතුරින්
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සිංහනාදය නම් වූ මජ්ජිම නිකායේ මූලපණ්ණාසකයෙහි
එන වීමංසක සූත්‍රය සුවිශේෂී දේශනාවකි.
බුදුපියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගතහොත් සියලු පුණ්‍ය ක්‍රියාවන් සිදුකළ
හැක්කා සේම සසර දුකින් අතමිදීම උදෙසා උපකාරක වන බව බුද්ධ දේශනාවයි.ඒ අනුව
බුදුරජාණන් වහන්සේ කවුද යන්න පිළිබඳ භික්‍ෂුවක් විසින් විමසා බැලිය යුත්තේ කෙසේද
යන්න මෙම සූත්‍ර දේශනාව මුල්කොටගෙන ඉස්මතු වන කරුණ වේ. සම්පිණ්ඩණය කොට දැක්වු කල,
බුදුරජාණන් වහන්සේගේ වචන සහ ක්‍රියා කිලුටුදැයි විමසිය යුතු බව, කලින් කල බුද්ධ
වචනය කිලිටිව හා පිරිසුදුව පවත්නේදැයි විමසිය යුතු බව, පිරිසුදු වචන සහ ක්‍රියා
බුදුුරජාණන් වහන්සේ වෙත ඇති’දැයි විමසිය යුතු බව යනාදියද මෙම සූත්‍රයෙන් ඉස්මතු කොට
දක්වනු ලබන කාරණාවක් වේ.
එමෙන්ම කෙලෙස් ඇතිවන තරමට බුදුරජාණන් වහන්සේ යසසින් යුක්ත’දැයි විමසිය යුතු බව ආදි
කරුණු බුදුරජාණන් වහන්සේගෙන්ම අසා දැනගත යුතු බව භික්‍ෂූන් වහන්සේ විමසන කල
බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු දෙන ආකාරය විමසීම සිදුකළ යුතුය. ධර්මය ඇසීමට එළඹෙන
ශාස්තෘවරයා සම්මා සම්බුද්ධ යැයි තීරණයට එළඹ පැහැදිය යුතු බව, එසේ පැහැදීමට හේතු
ප්‍රකාශ කිරීම මෙසේ විමර්ශනයෙන් පසු ඇතිවන ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව බව මැනවින්
තේරුම් ගැනීම සහ මේ අයුරින් යන්නන් වාලේ නොගොස් ධර්මානුකූල විමර්ශනයක යෙදී
බුදුරජාණන් වහන්සේ පිළිබඳ පරීක්‍ෂාකර බැලීම ධර්මානුකූල බවින් යුක්ත වන බව යනාදිය
මෙම සූත්‍රධර්මයේ සම්පිණ්ඩික කාරණා වේ.
භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්‍ෂූන් වහන්සේලා අමතා මෙම දේශනාව
දේශනා කොට වදාළ සේක. ‘මහණෙනි, අනුන්ගේ සිත් පිළිබඳ තත්වය හරිහැටි නොදන්නා වු යමක්
පිළිබඳව විමසන්නා වූ පෘථග්ජන භික්‍ෂුව තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බුද්ධවේද,
නොවේදැයි විමසිලිමත් විය යුතුයි “ යනුවෙන් කාරණා වශයෙන් ගෙනහැර දක්වමින්
භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව විමසුම් නුවණින් බැලිය යුතු ආකාරය පෙන්වා
වදාළ සේක.
මෙහිදී පළමු කාරණය වශයෙන් පෙන්වා වදාළේ තථාගතයන් වහන්සේ කායික හා වාචසික ක්‍රියා
පිළිබඳව විමසිලිමත් විය යුතුය යන්නය. ඇසින් රූප බලා ඒ රූප කෙරෙහි කෙලෙස් සහිත
ධර්මයේ තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නැඟුණු කෙලෙස්
ධර්මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද නැද්දැයි නාසයෙන් ගඳ සුවද දැන ඒ කෙරෙහි ඇතිවූ කෙලෙස්
ධර්මයෝ ඇද්ද නැද්දැයි, දිවෙන් රසවිඳ ඒ රසය කෙරෙහි කෙලෙස් ධර්මයෝ ඇද්ද නැද්දයි,
විමසන භික්‍ෂුවට එම ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේට නැත්තේ යැයි මනාව දැන ගන්නේය.
මෙලෙස තථාගතයන් වහන්සේ පිළිබඳ මනාව විමසන භික්‍ෂුව දකිනුයේ තථාගත අවබෝධය තුළ කණ්ණ
වශයෙන් සලකා කළු අකුසල් සහ සුක්ත වශයෙන් ගැහෙන සුදු කුසල ධර්මයන් තථාගතයන් වහන්සේට
නැතැයි මනාව වටහා ගන්නේය. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව තවදුරටත් පරික්‍ෂා කිරීමේදි
ඇසින් දක්නා සියලුදේත්, කනින් අසනු ලබන සියලුදේත් පිළිබඳව මනා අවබෝධයක් ඇතැයි පසුවට
වටහා ගන්නේ යැයි භාග්‍යවතු්න් වහන්සේ තවදුරටත් දේශනාකොට වදාළ සේක.
ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලක සිට සියලු කුසල් දහම් පුරුදු පුහුණු කරන ලදැයි
වැටහෙන්නේය. සම්බුද්ධ නම්වූ උත්තරීතර භූමියට පත්වූ උත්තමයන් වහන්සේලා සතුව පවත්නා
වු ඒ උතුම් ගුණයන් පිළිබඳව මනාව පිළිඹිබු වේ.
විමංසනයෙහි නියුක්ත භික්‍ෂුව විසින් විමසිය යුතු සම්බුදු ගුණ නැවතත් මෙනෙහි කරනු
ලබයි. බොහෝ කලක පටන් ප්‍රසිද්ධියට පැමිණ සිටින තථාගතයන් වහන්සේ බොහෝ පරවාර සම්පත්
ලැබූහයි එයින් මානයට හෝ අතිමානයට පත්වී නැතැයි අවබෝධ වේ. එමෙන්ම කාම සම්පත් වලින්
වැළකී රාගය ක්ෂය කළ සිත් ඇති වීතරාගී බවින් නිමග්න හෙයින් කාම සම්පත් සේවනය නොකරන
බැවින් කිසිදු බියකට පත්ව නොවසන්නේය.
මහණෙනි, තථාගත තෙම අතිශයින් නිර්භය වේ. කිසිදු බියක නොඇලෙයි. එනම් භාග්‍යවතුන්
වහන්සේ ක්ලේශය වතතිභය, දුර්ගතිභය, උපවාදභය, යන සතර භයෙන් මිදුණේය. ඒ කෙරෙහි නොඇලි
වාසය කරන්නේය.මෙලෙස සතර බියෙන් මිදුණු භාග්‍යවතුන් වහන්සේ අභයුපරත නම් වේ.
මෙලොව මිහිපිට වසන්නාවූ සෑම පුහුදුන් පුද්ගලයෙකුම මේ සතර බියෙන් යුක්ත වන්නේය.
ඉක්බිති ගෙනහැර දක්වනුයේ තථාගත තෙම ඇතැම් කලෙක සංඝ සමූහයා මැද වෙසේ. ඇතැම් අවස්ථාවක
සංඝ සමූහයාගෙන් වෙන්වී පාරිලෙය්‍ය වනයෙහි මෙන් හුදකලාවද වෙසේ. මේ ආකාරයට ඇතැම්
භික්‍ෂූන්ද වාසය කරති.ඇතැම් භික්‍ෂුවක් වැරැදි මාර්ගයෙහි ගොස් අත්හල කමටහන් ඇතිව,
සංඝ සමූහයා මැද වාසයකොට ආමිෂයෙහි ගිජුවී සිව්පස සංඛ්‍යාත ආමිෂය සොයමින් එහි ඇලී
ගැලී වාසය කරති. ශාසනික ප්‍රතිපදාවෙන් මිදී එයින් අරුතක් නොගෙන මෙවැනි පිරිස් බහුලව
වාසය කරති.
ඇතැම් අයෙකු මේ සම්බුද්ධ ශාසනය තුළ ආමිෂයෙහි නොඇලී වැසිවළාකුලින් නික්මුනු සඳමෙන්
බැබළී වීතරාගීව වීතදෝසීව, වීතමෝහීව වාසය කරති. භාග්‍යවත් සම්බුදුපියාණන් වහන්සේ
ආමිෂයෙහි ඇලී වාසය කරන පුද්ගලයා කෙරෙහිත් වීතරාගීව නිකලෙස් සිතින් වාසය කරන
උත්තමයන් කෙරෙහිත් පිළිපදිනුයේ එක හා සමාන සිතකිනි. තමන් වහන්සේට සසර පුරාවට නොයෙක්
ලෙසින් හිංසා කළ දෙව්දත් තෙර කෙරෙහිත්, අංගුලිමාල සොරු කෙරෙහිත්, නාලාගිරි ඇත්රජු
කෙරෙහිත්, තම පුත් රහල් කුමරු කෙරෙහිත්, භාග්‍යවතුන් වහන්සේ සම මෙත පතුරුවාලූයේ
යම්සේද එසේම සියලු ලෝක සත්වයා කෙරෙහි සම මෙත් සිත පතුරුවා වදාළ සේක.
මෙම සූත්‍ර දේශනාවේදී වැදගත්කොට දක්වන කාරණය නම් හේතු සාධක සහිතව විමසන්නා සහ
ශාස්තෘවරයාගෙන්ම අසා විමසන්නා යන දෙදෙනා අතුරෙන්, ශාස්තෘවරයාගෙන්ම විමසා දැනගන්නා
විසින් මත්තෙහිත්, තථාගතයන් වහන්සේගෙන්ම විමසා දැනගතයුතු බවයි. තථාගතයන් වහන්සේ
පිරිසුදු වු සීලයක පිරිසුදු වු නිසා එහි ඇලීමක් නොමැති හෙයින් තෘෂ්ණා රහිතව වාසය
කරන බව පෙන්වා වදාළ සේක.
ශ්‍රාවකයෙකු මෙසේ ප්‍රකාශ කරන ශාස්තෘන් වහන්සේ කරා එළඹෙන්නට සුදුසු වේ. එසේ පැමිණෙන
කල තථාගතයන් වහන්සේ කුසල් අකුසල් දෙක්හි හොඳ නරක විපාක පැහැදිලි කර දෙති. හෙතෙම එම
දේශනා කළ ධර්ම මනාසේ අවබෝධ කොට දේශනාවෙහි කෙළවරක් දැක සතුටු භාවයට පත්වේ.
භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යැයි උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පහදී
ස්වක්ඛාත වූ ශ්‍රී සද්ධර්මය කෙරෙහි පහදිති. උජුපටිපන්නාදී ගුණයෙන් යුක්ත වු සංඝයා
වහන්සේ කෙරෙහි පහදී.
මහණෙනි, යම්කිසිවකුට ශාස්තෘන් වහන්සේ පිළිබඳ විමසන මේ කරුණුවලින්,මේ අකුරුවලින් මේ
පදවලින් උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියේද, සෝවාන් මාර්ගය ශ්‍රද්ධාවෙහි මූලය
නිසා. සෝවාන් මාර්ගයෙන් හටගත් මුල් ඇත්තේද, කරුණු විමසා දැනගත හෙයින් දර්ශන
මූලිකය. මේ ලොව කිසියම් පව් සංසිඳ වූ මහණකු විසින් හා පව් බැහැර කළ බමුණකු විසින් හෝ
වසවත් මරු හෝ ලොව අන් කිසිවකු විසින් සෝවාන් පුද්ගලයාගේ ශ්‍රද්ධාව නැසිය නොහැක.
මෙලෙස පිළිවෙළින් තථාගතයන් වහන්සේ ස්වභාව වශයෙන් සෙවීමයි. ඇත්ත ඇති සැටියෙන් විමසීම
කරන ලද්දේය. එසේ සිදුකරනු ලැබු ප්‍රඥාගෝචර විමර්ශනයෙහි පැහැදුනු පෘථග්ජන භික්‍ෂුව
තථාගත ගෞරවය ශ්‍රද්ධාව ඇති කොටගෙන සම්බුදු සසුනින් ඵල නෙළීමට එළඹෙන්නේය. භයානක සසර
දුකින් අතමිදීම නම් වු චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනින් සැනසීමම සොයා නිවැරදි
මාර්ගයටම අනුගමනය කරන්නේය.
භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ බුද්ධ සිංහනාදය නම් වු මෙම විමංසක සූත්‍ර දේශනාව
ලක්ජනයාට අනුකම්පාවෙන් මිහිඳු මහරහතන් වහන්සේද දේශනා කොට වදාළ සේක. නිවැරැදි
විමර්ශනය නිවැරැදි මාර්ගයේ තෝතැන්න වනවා සේම එවන් වු විමංසක නුවණින් ලැබී ඝෝරතර සසර
දුකින් මිදීමට මේ උත්තරීතර දේශනය මාර්ගයක්ම වේවා! |