UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළ සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය

අද පොසොන් පුරපසළොස්වක පොහොය දවසයි. සිංහල සංස්කෘතිය තුළ බෞද්ධ ආගමානුකූල වතාවත්වල හා සිරිත්වල යෙදෙන කෙනෙකුට අද පුරපසළොස්වක පොහොය දවස අතිශයින්ම වැදගත්ය. අද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ උතුම් දවස. අද දවසට අපේ බෞද්ධ සමාජය තුළ කියන්නේ, මිහිඳු මහ රහතන් වහන්සේ අමතන්නේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලෙසයි. මිහිඳු මහ රහතන් වහන්සේට ‘අනුබුදු’ කියල ප්‍රකාශ කරනවා. අපේ සිංහල සංස්කෘතිය තුළ ජීවත් වන කෙනකුට බුදුවරු තුන් දෙනෙක් සිටිති. ඒ බුදුවරු තුන්දෙනාගෙන් පළමුවන බුදුවරයා අපේ ගෞතම බුදුපියාණන් වහන්සේයි.

මේ සිංහල රටට සිංහල සමාජයට ඊළඟට සිටින්නේ මිහිඳු මහරහතන් වහන්සේයි. එනිසා අපි උන්වහන්සේ අමතන්නේ ‘අනුබුදු’ මිහිඳු යන දෙවන බුදුරජාණන් වහන්සේ යන නමිනි. ඊළඟට බෞද්ධයන්ට සිටින තුන්වන බුදුහාමුදුරුවන් වහන්සේ වන්නේ ගෙදර බුදුන් වන අම්මායි. මෙම බුදුවරු තුන් නම සිංහල බෞද්ධයන්ට බුදුවරු ලෙස සළකන්නට හැකියාව තිබේ. එයිනුත් මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදුවරයකු හැටියට සළකන්නේ සිංහල රටේ ජීවත්වන අප පමණයි. ලෝකයේ සියලුම බෞද්ධ ජනතාවට ඒ අදහස යන්නේ නැහැ. මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩම කර ලංකාවේ ඇවතුම් පැවතුම් ගති සිරිත් සිතන පතන ක්‍රමය සියල්ල වෙනස් කර අපට පහදල දුන්නා.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්නට පෙර එදා, මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පසුව කාල වකවානුව තුළ අපේ සිංහල සංස්කෘතිය තුළ ඇතිවුණ වෙනස්කම් මොනවාද? කියල අප දැනගත යුතුයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නට පෙර ශ්‍රී ලංකාව තුළ ආගමික මතවාද ආගමික විශ්වාස පැවතුණා. ශ්‍රී ලංකාව තුළ විවිධ ආගමික අදහස් ක්‍රියාත්මක වුණා. විවිධ ආගමික අදහස් ක්‍රියාත්මක වුණාට ඒවා ප්‍රබල ලෙස සන්නිවේදනාත්මකව නොතිබෙන්නට පුළුවන්. ඉන්දියාවේ තිබුණ හැම සංස්කෘතික ආගමික ඇදහිල්ලක්ම ශ්‍රී ලංකාව තුළ තිබුණි. ඉන්දියාවේ තිබුණෙ හින්දු ආගම වර්තමානය තුළත් ඉන්දියාවේ පවතින්නේ හින්දු ආගම. නමුත් එදත් අදත් වැඩි වශයෙන් ඉන්දියාවේ බලපෑම ලංකාවට තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ ඉන්දියාවේ තිබුණ හින්දු ආගම රැගෙන නොවෙයි. ඉන්දියාව තුළ අලුතෙන් බිහිවුණා නව ආගමික ප්‍රවණතාවයේ උතුම් අදහස් රැගෙන මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම කළහ. ඒ ඉන්දියාව තුළ පැවතුණ නව ආගමික ප්‍රවණතාවය ලෝකයේ බොහෝ පැතිවලට ප්‍රචාරය විණි. ඒ ප්‍රචාරය වුණ ප්‍රදේශවලිනුත් විශේෂ ප්‍රදේශයක් තමයි ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ වඩින කොට ලංකාව තුළ විවිධ ආගම්, ඇදහිළි, විශ්වාස තිබුණා. ආගම් ඇදහිලි විශ්වාස මූලික වශයෙන් කොටස් දෙකකට වෙන්කිරීමට හැකියාව තිබෙනවා. එහි පළමුවන කොටසට ආගම් ඇතුළත් වන අතර දෙවන කොටස ලෙස ඇදහිලි විශ්වාස ඇතුළත් වෙයි. මෙම කොටස් දෙක එක කොටසක් ලෙස ගෙන ඇතැම් අය කතා කරති. එහෙම කතා කරන එක යුක්තිසහගත නොවේ. මෙය කොටස් දෙකකි.ආගම් කියන්නේ කිසියම් ආගමික නායකයකු දේශනා කළ අදහස් සමාජගත වීමයි. ආගමකට නායකයකු බොහෝ විට සිටියත් ඇදහිළි විශ්වාස වලට එලෙස නායකයකු නොමැත. දේශනා කළ ශාස්තෘවරයකු නැත. එය සංස්කෘතිය තුළ කාලයෙන් කාලයට පරපුරෙන් පරපුරට වෙනස් වෙමින් අලුත්වෙමින් නැවතත් වෙනස් වෙමින් ගලාගෙන යන ක්‍රමයකි. එය හඳුන්වන්නේ ඇදහිළි විශ්වාසය ලෙසයි. කිසියම් ආගමක් තුළ වුවත් ඇදහිළි විශ්වාස තිබිය හැකිය. නමුත් ඇදහිළි විශ්වාස තිබුණ පමණින් එය ආගමක් නොවේ යැයි තර්ක කළ නොහැකිය. සම්පූර්ණ ආගමකත් ඇදහිළි විශ්වාස තිබේ. ආගමකින් පරිබාහිරවත් ඇදහිළි විශ්වාස තිබෙනවා. අද අප පොසොන් පොහොය දවසේ කතාකරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්නට පෙර ශ්‍රී ලංකාව තුළ තිබුණ ආගමික පසුබිම සහ ඇදහිළි විශ්වාස තත්ත්වයයි. ඉන්දියාවේ තිබුණ හැම ආගමක්ම වාගේ ශ්‍රී ලංකාව තුළ තිබුණු බව අප මුලින්ම සඳහන් කරන ලදී. එයට පුරාවිද්‍යාත්මක සාධක ඔප්පු කිරීමට හැකි වුවත් ඓතිහාසික සාධක ඕනෑතරම් තිබේ. පුරා විද්‍යාත්මක සාධක නැති බොහෝ දේ අප තහවුරු කරන්නේ ඓතිහාසික සාධක තුළිණි. ශ්‍රී ලංකාව තුළ තිබුණ ආගම් අතර මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට ප්‍රථම කාලය තුළ, මූලික වශයෙන්ම බ්‍රාහ්මණ ආගමට විශේෂත්වයක් හිමි වේ. බ්‍රාහ්මණ ආගම ශ්‍රී ලංකාව තුළ තිබුණු බව සඳහන් කරන්නේ මහා වංශයයි. මිහිඳු මහ රහතන් වහන්සේ වැඩීමට පෙර බ්‍රාහ්මණ ආගම ලංකාව තුළ පැවතුණාය කියන කාරණය ඉතාම පැහැදිලිව මහා වංශයේ පරිච්ඡේදවල සඳහන් වේ. බ්‍රාහ්මණ ආගම මුලින්ම තිබුණේ ඉන්දියාවේ ය. මහා බ්‍රහ්මයා විසින් මේ ලෝකය මවන ලද්දේ ය. මේ ලෝකය හදන ලද්දේ ය. මේ ලෝකයට මඟ පෙන්වන ලද්දේය කියා මූලික ඉගැන්වීම් මත බමුණු ආගම පැවතුණි. එය සංවිධානාත්මක ආගමක් වුණි. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ජෛන ආගමක් තිබුණි. ජෛන ආගම තිබුණේ ඉන්දියාවේය. බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයෙහි ජෛන මහාවීර නිගණ්ඨනාථපුත්ත එම ආගමෙහි ශාස්තෘවරයා වී සිටියේ ය. නිගණ්ඨනාථපුත්ත එම ජෛන ආගමේ පළමුවන ශාස්තෘවරයා නොවන අතර නිගණ්ඨනාථ පුත්තට පෙර ජෛන ආගම තුළ ශාස්තෘවරු ගණනාවක් සිටියේ ය. ඉන්දියාවෙ තිබුණ මේ ජෛන ආගම වෙළෙන්දන් මාර්ගයෙන් වෙනත් ගමන් බිමන් මාර්ගයෙන් ශ්‍රී ලංකාවටත් පැමිණ තිබුණි.

ඒ වගේම ඉන්දියාව තුළ තිබූ වෙනත් විවිධ ආගම්, විශ්වාස ශ්‍රී ලංකාව තුළ පැවතී තිබෙනවායැයි කාරණාව ඓතිහාසික මූලාශ්‍ර තුළින් තහවුරු කරගත හැකිය. ඉන්දියාව කිසියම් දෙයක් තිබුණද ඒ දෙය ලංකාව තුළ තිබුණේ නැහැයි කීමට හැකියාවක් නොමැතිතරම්ය.

ශ්‍රී ලංකාව තුළ තිබූ ආගමික විශ්වාස පිළිබඳව කතා කිරීම අපට වැදගත් වේ. අප පෙර සඳහන් කළ පරිදි කිසියම් විශ්වාසයක් ගොඩනැඟෙන්නේ ආගමික සංකල්ප වලිනි. පරිබාහිරවය. මෙම තත්ත්වය පරපුරෙන් පරපුරට ගලාගෙන යයි. පරම්පරාවෙන් පරම්පරාවට අලුත් වෙමින් වෙනස් වෙමින් ආගමික විශ්වාස ගමන් කරන බව ආගමික විශ්වාස පිළිබඳව සමීක්‍ෂණ කරන සමාජ විද්‍යාඥයන් ප්‍රකාශ කරනු ලබයි. මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාව තුළ පෙර පැවතුණ ආගමික විශ්වාස මොනවාද? යන්න විමසා බලමින් ඒවා මහින්දාගමනයට පසු වෙනස් මුහුණුවරකට හැඩගැසී සිංහල සංස්කෘතිය තුළ ඔපවත්වූ ආකාරය අප පැහැදිලි කරගත යුතුයි.

ඉතිරි කොටස 19 වැනිදා පත්‍රයේ පළවේ...

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]