ලොවට පින්කෙතක් වූ
ඒ සම්බුදු ශ්‍රාවකයන්
පිළියන්දල සද්ධර්මාලෝක ධර්ම නිකේතනයේ
අනුශාසක
පිටිගල ගුණරතන හිමි
කල්ප ගණනාවකට පසුව ලොව පහළ වන තථාගත බුදුරජාණන් වහන්සේලාගෙන් ලොවට
දායාද වන සසරගත සත්ත්වයාගේ සංසාර දුක් ගිනි නිවාලන තථාගත ශ්‍රී
සද්ධර්මය අතුරුදන් වන්නට නොදී බොහෝ කලක් අඛණ්ඩව අවිච්ඡින්නව යුගයෙන්
යුගයට පරපුරෙන් පරපුරට රැගෙන එන්නේ ආර්ය උත්තම මහා සඟ රුවන යි.
දුක දුරලන තථාගත ධර්මය නිවැරැදිවම ලෝකයාට කියාදෙන ඒ තථාගත ශ්‍රාවක මහා
සංඝරත්නයේ ඇසුර ලැබීම නො ලැබීම මතම අපේ සසර ගමනේ පැවැත්ම හෝ නැවැත්ම
තීරණය වනු ඇත. සසර ගමනේ නැවැත්ම පිණිස තීරණාත්මක සාධකය වූ සද්පුරුෂ
කල්‍යාණ මිත්‍ර ශ්‍රාවක සමූහයේ ඇසුර මේ වර්තමාන ලෝකයෙහි ඔබ කොහොම
සිතුවත් සුලභ නොවන බව සැබෑවක්ම ය. මේ ගැන බුදුරජාණන් වහන්සේ වරෙක මෙසේ
වදාළ සේක.
රත්තරන් පමණක් ලොව ඇති තාක් කිසිවෙකු රත්රන් පිළිබඳව නො ගැටෙන බවත්,
මතුකළ රත්රන් මෙන් දිළිසෙන රන් නො වන දේ ලොව නිර්මාණය වීමෙන් අනතුරුව
ලෝකයා රත්තරන් යැයි රත්තරන් නො වන දිළිසෙන දේ වලට මුළා වන බව’ දේශනා
කරමින් සද්ධර්මය ලොව ඇති තාක්කල් දෙවියන් සහිත ලෝකයා මුලාවට පත් නොවන
බවද, මතු අනාගතයෙහි සූත්‍ර පාඨ, දේශනා පාඨ යොදා ගනිමින් සද්ධර්මය වැනි
දේ ලොව නිර්මාණය වන බවත්, එදිනට නිවැරැදි ධර්මය හඳුනා ගත නො හැකිව
දෙවියන් සහිත ලෝකයා මුලාවට පත්වන බව ද වදාළා. නිවැරැදි ශ්‍රාවක සමූහයාට
නිවැරැදි සද්ධර්මය තෝරා බේරා ගැනීම පහසු නො වන බව අපගේ අවබෝධය යි.
එබැවින් ඔබට සද්පුරුෂ කල්‍යාණ මිත්‍ර ශ්‍රාවක ඇසුරක් ලබා ගැනීම පහසුවනු
පිණිස ආර්ය ශ්‍රාවකයා යනු කවුරුන්ද, යන කාරණය අවම තැනකින් පැහැදිලි
කරමින් ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රතිපදාව කුමක් ද? ඒ ආර්ය ශ්‍රාවකභාවයට
ඔබටත්, මටත් පැමිණීමට කළ යුතු පිළිවෙත දැනගත යුතු, ඉගෙනගත යුතු ධර්මය
කුමක්දැයි අපගේ ශක්ති පරිද්දෙන් පැහැදිලි කරදීමට උත්සාහ කරන්නෙමු.
ශ්‍රාවක සඟ ගුණ ප්‍රතිපදාවන් හඳුන්වා දෙන තැනදී බුදුරජාණන් වහන්සේ පළමු
ගුණ ප්‍රතිපදාව ලෙස දේශනා කොට වදාළේ සුපටිපන්නො භගවතො සාවක සංඝො -
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සමූහයා සුපටිපන්නය යනු යි. එහිදී
‘සුපටිපන්න’ යන වචනයෙන් අර්ථවත් කරන්නේ මනා කොට පිළිපදින නිවැරදි වූ
පිළිපැදීමෙන් යුක්ත වූ පහළට නො වැටෙන ඉදිරියටම ගමන් කරන ස්ථාවර භාවයට,
නියත භාවයට පැමිණි බව යි. එය තවදුරටත් පැහැදිලි කළහොත් ‘අවිනිපාත
ධම්මො- නියතො සම්බොධි පරායනා’ ඒකාන්තයෙන් නැවත අපායට නො වැටෙන නියත
වශයෙන්ම සම්බෝධිය අවබෝධය කරා යන බව ඉන් පැහැදිලි වෙයි. ලෝකෝත්තර සම්මා
දිට්ඨියට පැමිණ ඒ උපන් සම්මා දිට්ඨිය භාවිතා කරමින් අරහත් ඵල සමවත කරා
ඒකාන්ත කොට ඉදිරියට යන බව මින් පැහැදිලි කරයි. එම අවස්ථාව පුද්ගලභාවයට
සැලකුවහොත් අවම වශයෙන් සෝතාපන්න මාර්ගස්ථයා පිළිබඳව මින් කියවේ.
රූපාදි ස්කන්ධයෙන්ගේ කලකිරීම, නො ඇලීම, නැවැත්ම පිණිස යමෙක් පිලිපදියි
ද, ඔහු සුපටිපන්න ය. මෙසේ සුපටිපන්නද ඔහු මේ ධර්ම විනයෙහි පිහිටා ස්ථිර
භාවයට පත්වූ බව අප කලින් සඳහන් කළ අදහස බුදුරජාණන් වහන්සේ මෙසේ අවධාරණය
කළහ. මේ අනුව ආර්ය ශ්‍රාවකයා කෙබඳු පිළිවෙතකින් යුක්තද යන්න අපට විමසා
බැලිය හැක. රූපයේ කලකිරීම නො ඇලීම නැවැත්ම පිණිසද, පිලිපදින්නා
‘සුපටිපන්න’ නම් බව එකවර හැෙඟනු ඇති. එසේනම් යමෙකු මේ රූපාදී
ස්කන්ධයන්හි දෙතිස් කුණප වශයෙන් ,අසුභ වශයෙන්, නවසීවථික වශයෙන්
බැලීමෙන් සතර මහ ධාතුවෙන් සමන්නාගත බව සියල්ල අනිත්‍ය බවට දුක් බවට
අනාත්ම බවට යමෙකු මේ ස්කන්ධයන් විමසන්නේ නම් ඒ සුපටිපන්න ප්‍රතිපදාව
නො වේද? එහෙත් මෙය අදහසක්ම පමණි. සැබෑවක් නොවේ. කෙසේ හෝ කලකිරීම පිණිස
අසුභ වශයෙන් බැලීමෙන් හෝ මේ කය නවසීවථිකයක් දක්වා මහපොළාව මත දිරාපත්
වන ආකාරය බැලීමෙන් හෝ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආදී ආධ්‍යාත්මික
බාහිර ආයතන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බැලීම පමණකින් එය
සුපටිපන්න ප්‍රතිපදාව යයි හඳුනා ගැනීම ප්‍රඥා ගෝචර නොවේ.
මෙසේ රූපය, රූප සමුදය, රූප නිරෝධය, රූප නිරෝධ කරන පිළිවෙත, රූපයේ
ආස්වාදය, රූපයේ ආදීනව, රූපයේ නිස්සරණය එක් ස්කන්ධයකට එක් කරුණ බැගින්
ස්කන්ධ පහේ ධර්මතා දෙස බැලීමට දක්ෂවීමෙන්, කුසල වීමෙන් අනතුරුව යමෙකු
දෙතිස් කුණප වශයෙන් හෝ ඒ රූපාදී ස්කන්ධයන්හි කලකිරීම පිණිස බලන්නේනම් ඒ
සුපටිපන්න ප්‍රතිපදාවක්විය හැකිය.
යමකුගේ මඟ පෙන්වීමෙන් ඒකායන මඟ වූ සතිපට්ඨාන සූත්‍රයෙහි දක්වා ඇත්තේද
කය දෙස මෙසේ මෙසේ බලන්නේ ඔබට කියා දුන් පැවරුමකට අනුව ඔබ නිවන් මඟ යැයි
සිතා යම් භාවිතයක් කරන්නේනම්, මොහොතකට එය නවත්වා මා මෙය වඩන්නේ කාගේ හෝ
පැවරුමකට අනුව ‘එව - කරව‘ න්‍යාය ඔස්සේ ද, එසේ නැතහොත් රූපය මෙසේය, රූප
සමුදය මෙසේය, රූප නිරෝධය, රූප නිරෝධ කරන පිළිවෙත මෙසේය. රූපයේ ආස්වාදය,
ආදීනවය නිස්සරණය මෙසේ යැයි දැන හඳුනාගෙන එහි කුසල වී දැයි විමසා බැලිය
හැක.
මේ අනුව සද්පුරුෂ ආර්ය ශ්‍රාවකයා එක් එක් ස්කන්ධයක සත් කරුණෙහි කුසල
වීමෙන් අනතුරුවම රූපාදී ස්කන්ධයන්හි කලකිරීම නො ඇලීම නැවැත්ම පිණිස
පිළිපදින්නේනම් ඔහු සුපටිපන්නය, යෙමෙකු සුපටිපන්නද මෙය ආර්ය සාසනයෙහි
ස්ථාවරය ‘සාවක සංඝො’ එනම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ අට පිරිසට
අයත්ව ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, ආදී ගුණ සුදුසුකම් ලබමින් පුඤ්ඤ-ඛෙත්තං
අනුත්තරං - ලෝකයට පින්කෙතක් වන්නේ ය.
මෙසේ ලෝකයට පින් කෙතක් වූ සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත වූ එබඳු උතුමෝ
ලොව නො මඟට නො යදෙනු ඇත. රූපය මෙසේ ය රූපයට හේතුව මෙසේය, රූප නිරෝධය
මෙසේ ය. රූප නිරෝධ කරන පිළිවෙත මෙසේය, රූපයේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය
මෙසේ ය. ඔබ දැනුවත් කරමින් ඒ ප්‍රතිපදාව තුළ කලකිරීම පිණිස පමණක් නොව
රූපය නිරෝධ කරන්නේ කෙසේදැයි ඔබට ඒ නිවැරදි වැඩ පිළිවෙල පෙන්නා දෙනු ඇත.
එවන් සද්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ඔබේ ඇසුරට ලදහොත් ඒ උතුමන් සතරමහ
ධාතුව පිළිබඳවත් සතර මහා ධාතුව නිසා උපදින රූපය පිළිබඳවත්, චක්ඛු
ප්‍රසාද, පංච ප්‍රසාද ආදී පිළිබඳවත්, ඒ ආයතනයන්ට විෂය වන දේ පිළිබඳවත්,
ස්ත්‍රී බව, පුරුෂ බව හඟවන භාව රූප පිළිබඳවත්, කය සොලවන කට සොලවන කාය
විඤ්ඤත්ති, වචී විඤ්ඤත්ති, රූප පිළිබඳවත් ඔබට කියා දී ඇත.
අප ආහාර ගන්නේ රූපය පවත්වා ගැනීමට යි. ආහාර නැති කිරීමෙන් රූපය
නැතිවුවත්, එය රූපයෙන් සපුරා මිදීමට මඟ නොවේ. රූපය පිළිබඳව යම්
සංයෝජනයක් වේ නම් ඇසට රූපය, කනට ගැටෙන ශබ්දය, නාසයට ගැටෙන ගන්ධය දිවට
ගැටෙන රස, කයට ගැටෙන පහස හමුවෙහි පමණක් නොව වැඩි වාර ගණනක් අප කාම රාග
සංයෝජනයෙන් පටිඝ සංයෝජනයෙන් සසරට බැඳ තබන තැන අපට හමුවන රූපය භෞතික නො
වන බව ඔබට පැහැදිලි කර දිය යුතුයි. ඔබ දැක පුරුදු රූප, ඇසුණු ශබ්ද
දැනුන ගන්ධ, රස, පහස පිළිබඳව වැඩි වාර ගණනක් රස විඳින්නේ හෝ රූපයේ
ගැටෙන්නේ මනෝමය රූපයත් ළඟ බව ඔබට පැහැදිලි කර ගත හැකි වනු ඇත. මනස
ඉදිරියේ මැවෙන රූපය භෞතික රූපයක් හැටියටම අප නිගමනය කළත් සැබවින්ම එහි
රූපයක ලක්ෂණ ඇත්දැයි විමසා බලන්නට පෙර රූපය පිළිබඳව කළ අධ්‍යයනය මෙහිදී
උපකාර වනු ඇත. රූපයෙහි කාමරාගය ව්‍යාපාදය දුරුකිරීම සඳහා ධාතු
මනසිකාරයෙන් නවසීවථික වශයෙන් දෙතිස් කුණුප වශයෙන් බැලීම යහපති. එහෙත්
මෝහය දුරු කිරීමට එ පමණකින් නො හැකිය.
එවන් තැනක කාමරාග ව්‍යාපාද දුරු කිරීම සඳහා අසුභව වැඩීම වැරදි නැත.
එහෙත් මෝහය දුරු කරන්නට නම් මේ පෙනෙන රූපය පඨවි, ආපෝ ,තේජෝ, වායෝ යන
ධාතුන්ගෙන් ශුන්‍ය බව, වර්ණ, ගන්ධ, රස, ඕජා ආදී උපාදාය රූපයන්ගෙන් ද
ශුන්‍ය බව, චක්ඛු ප්‍රසාද, පංච ප්‍රසාදයන්ගෙන් ද ශුන්‍ය බව, කෙස්, ලොම්
නිය, දත්, සම්, මස් ආදී රූපයක ලක්ෂණයන්ගෙන්ද ශුන්‍ය බව ආහාරයෙන් හට
ගන්නා රූපයක ලක්ෂණ ඒ මනෝමය රූපයෙහි කිසිවක් නො යෙදෙන බව එහෙත් රූපයක්
සේ උපකල්පනය කරමින් රූපයක් ඇති තැන මෙන් කාමරාග සංයෝජනයෙන් පටිඝ
සංයෝජනයෙන් තමාගේ සිත සසරට බැඳෙන ආකාරය හඳුනා ගත හැකිය. සංයුක්ත නිකායේ
එන සීල සූත්‍රයට අනුව ඒ සිතට මැවෙන හැම නිමිත්තක්ම, හැම අරමුණක්ම
අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් ගඩුවක් ආදී වශයෙන් ආදීනව විමසා
බලමින් රූපයෙහි ඡන්ද රාගය ප්‍රහාණය සඳහා පිවිසෙන වැඩපිළිවෙල ඔබට
හඳුන්වා දෙමින් රූපයේ කලකිරීම පිණිස, නො ඇලීම පිණිස පමණක් නොව රූපයෙන්
මිදෙන්නේ කෙසේද යන්න හඳුන්වා දෙමින් ඔබට දකින්නට සලස්වමින් කළ යුතු
පිළිවෙත හඳුනා ගන්නට ඒ දුර්ලභ ඇසුරෙන් නිවැරැදි වූ මඟ පිළිවෙත ඔබට කියා
දෙන ඒ සද්පුරුෂ ආශ්‍රය ආර්ය මහා සංඝරත්නය යි.
නයනා නිල්මිණි |