UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මානව උරුමයක ආගමික සන්හිඳියාව පාහියන්ගල

බස්නාහිර පළාතේ කළුතර දිස් ත්‍රික්කයේ බුලත්සිංහල යටගම්පිටිය ග්‍රාමයෙහි පිහිටි පාහියන්ගල සෙල්කුලකි. එහි සුවිසල් ගල්ලෙනකි. හොරණ මතුගම මාර්ගයේ බුලත්සිංහලින් ගල්කැටිය හන්දියට පැමිණ මේ අසිරිමත් ස්ථානය වෙත ගමන් කළ හැකි ය. පාහියන්ගල නමින් හඳුන්වන පර්වතයේ දැවැන්ත ලෙන්කුටිය තුළ ඇති මහා හිදැස මුළු ලොවක මානව පැවැත්ම සහ ඒ ගමන් මාර්ගය වෙත පිවිසෙන ආලෝක කවුලුවක් සේ ය.

ඒ නිසාම අඩි 150 ක් පමණ උස අඩි 175 ක් පමණ පුළුල් හා සමස්ත දිග අඩි 282 ක් පමණ වන මේ දැවැන්ත පාහියන්ගල ලෙන්කුටිය ලෝක උරුමයක් වශයෙන් විශේෂයෙන් සැලකීමට තරම් සමාජ මානව විද්‍යාත්මක වටිනාකමකින් අනූන ස්ථානයකි.

මුහුදු මට්ටමේ සිට අඩි 400 කින් පමණ උසකින් සමන්විත මෙම පාහියන්ගල කඳු පර්වතය පිහිටා ඇත්තේ සබරගමු කඳු පන්තියේ රබලි කන්දට මායිම්වය. ස්වභාව සෞන්දර්යයෙන් අනූන අක්කර 80 ක පමණ වන ගහනයක් රක්‍ෂිත වනයක් බවට පරිවර්තනය වී තිබේ. පාහියන්ගල සොඳුරු වන ගහනය පාමුල සිට නයි පෙනයක හැඩගත් මෙම දැවැන්ත ලෙන තුළට යාමට ශෛලමය පියගැට හාරසිය අසූ ගණනක් පමණ තරණය කළ යුතු වෙයි. අපගේ ආදි මානව මී මුත්තාගේ තිඹිරිගෙය වන මෙම අසහාය ලෙන ලංකාවේ ඓතිහාසික දැවැන්ත ලෙන් සියල්ල අභිභවා සිටී.මෙය දඹුලු ලෙනට වඩා තුන් ගුණයක් විශාලය.

ලෙනට පිවිසෙන මඟ දෑල වසාගත් තුරු ගොමු, ලතාවෝ පිරි පසන් භූමිය අපගේ මී මුත්තණුවන් පැමිණි ගමන් මගේ බාධා පිරිපත නිවාරණය කරනා සිසිලස ද සුන්දරත්වය ද තිළිණ කරනවා වැන්න. එහෙත් ඉතා වටිනා සොයා ගැනීමක අගය වැඩි කිරිමට දෝ වසර තිස්හත්දහසක් පමණ දුරාතීතයට දිවෙන මාවත දෙපස මද අඳුර ද රජයමින් අපව කැඳවාගෙන යන්නේ දුෂ්කර ගිරි දුර්ගයක් මැදිනි.

1986 – 87 වසරවලදී පාහියන් ලෙනෙහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කරන ලද්දේ මෙවැනි කැණීම් පිළිබඳ විශේෂඥ ඥානයක් ඇත්තා වූ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.විජේපාල හා හිටපු පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය ශිරාන් දැරණියගල යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ය.

මෙම මිනිසා පැමිණි ගමන් මඟ සොයා යන ගමනට සහය පළකිරීම සඳහා ඇමරිකාවේ කෙනර් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය කෙනෙත් කෙනඩි මහතා ද සම්බන්ධ වී ය. මෙම කැණීම්හිදී වසර 37,000 කට පමණ එපිට ජීවත් වූ නූතන ආසියාතික මනුෂ්‍යයාගේ ආදිතම මී මුත්තණුවන්ගේ හිස් කබල සොයා ගැනීම මානව සම්බන්ධතාවය පිළිබඳව ප්‍රබල අවස්ථා නිර්ණයකි.

ඊට මත්තෙන් ලංකාවේ විසූ ආදීතම මානවයා ලෙස සැලකුවේ බලංගොඩ මානවයයි. මෙසොලොනික්, හෙවත් මයික්‍රෝ ලොනික් යුගයට අයත් මේ මී මුත්තා වාසය කර ඇත්තේ මීට වසර විසිඅටදහසකට පෙර ය. ඊට තවත් වසර නව දහසකට පමණ ප්‍රථම ජීවත්වුවකු නිසා එතෙක් ලාංකේය ආදීම මිනිසා යන විරුදාවලිය ලද බලංගොඩ මානව මී මුත්තාගේ කිරුළ පාහියන්ගල ආදී මී මුත්තාගේ හිස මත පැලඳිනි. ශ්‍රී ලාංකේය මානව ශිෂ්ටාචාර ගමන් මඟ ක්‍රමවත් වූයේ මීට වසර 2300 කට පමණ පෙර බෞද්ධාගම පදනම කර ගනිමින් ගොඩනැඟෙන මහින්දා ගමනයත් සමඟය.

එහෙත් වසර 37, 000 ක් තරම් වන දීර්ඝ යුගයක් නියෝජන කළ ද අපේ මී මුත්තා නොදියුණු ම්ලේච්ඡගති ඇත්තෙකු බව පැවසිය නොහැකි ය. ඔහු ගින්දර පාවිච්චි කළ බවට සාධක හමුවෙයි. ගල් ආයුධ මෙන්ම ඇඹරුම්ගල ම්ලේච්ඡත්වය පරදන හැඟීමක් ඇති කරවයි. මෙම අවි, ගල් අවි තාක්‍ෂණයේ ක්‍ෂුද්‍ර මෙවලම් වශයෙන් හඳුනාගෙන තිබේ. ඇඹරුම් ගල ඖෂධ භාවිතයට සකස්කර ගැනීම සඳහා භාවිතා කර තිබුණා විය හැකි ය. එසේ නැතිනම් සිරුර වර්ණ ගැන්වීමේ කලාවක් චාරිත්‍රයක් ඒ යුගයේ තිබුණා විය හැකි ය. එසේ නැතිනම් මෙම කාර්යයන් දෙකම සිදුවූවා යැයි ද අනුමාන කළ හැක. මෙවැනි නිගමනයකට එළඹිය හැකි සැක සහිත සාක්‍ෂි හමු වී තිබේ.

එසේම මේ ආදී මානවයා පාහියන්ගලට සම්බන්ධ වීමත්, එම ප්‍රාග් ඓතිහාසික උරුමය ඓතිහාසික බෞද්ධ උරුමයකට සම්බන්ධවීමත්, එම ඓතිහාසික බෞද්ධ උරුමය නූතන ආගමික සන්සිද්ධීන් හා පෑහීමත් නිසා මානව පැවැත්මෙහි තිඹිරිගෙය තනන ප්‍රාග් ඓතිහාසික පාහියන්ගල අපගේ බෞද්ධ සංස්කෘතික ඉතිහාස ගත උරුමය හා සම්බන්ධතාව පවත්වන නිසා, මෙය බෞද්ධාගම හා බැඳි ආගමික ස්මාරකයක් වශයෙන් ගෙන කතා කළ හැකිව තිබේ.

දේශ සංචාරක මෙන්ම සුප්‍රකට ධර්ම ගවේෂකයකු වූ චීනයේ පාහියන් භික්‍ෂූන් වහන්සේ ගෝබි කාන්තාරය ඔස්සේ ඉන්දියාවට පැමිණ එහි වසර 6ක් ගත කර ඉන් පසුව (රා. වර්ෂ 410 – 432 ) කාලයේ අප මව්බිමට පැමිණ මෙහි වසර දෙකක් පමණ වැඩ වසමින් වන්දනා චාරිකාවේ යෙදෙමින් ත්‍රිපිටක ධර්මය මෙන්ම වෙනත් ඓතිහාසික තොරතුරු ද එක් රැස් කර ගනිමින් නැවත චීනයට වැඩි බව ඉතිහාසයේ සඳහන් වෙයි.

පාහියන් භික්‍ෂූන් වහන්සේගේ සංචාරයේ දී මෙම ලෙනෙහි නවාතැන් ගත් නිසා එම ලෙනට පාහියන් ලෙන වශයෙන් නම් වූ බවද ජනප්‍රවාදයේ පැවසෙයි. උන් වහන්සේ මෙම සංචාරයේ දී සිරිපා වඳින්නට ගිය බව පාහියන් ගමන් විස්තරයේ සඳහන් වෙයි. එසේ නම් පාහියන්ගල කඳු ශිඛරය සමීපයෙන් ගලන කැකුළු ගං තෙර දිගේ ස්වභාව සෞන්දර්යයේ ආශ්වාදය විඳිමින් කුරුලු කූජන සුමිහිරි ආසිරි ගී මැද පාහියංගල නිග්ගහ, ගවරගිරිය, මානාන, අයගම, රත්නපුර, කුරුවිට හරහා උන්වහන්සේ ශ්‍රී පාද පද්මය වන්දනාමාන කිරීම සඳහා වැඩිය බව බොහෝ දෙනකුගේ විශ්වාසයයි. මෙම මාර්ගය ශ්‍රී පාදය වන්දනාමාන කිරීම සඳහා පස්යොදුන් කෝරලයේ සිට ඇති කෙටිම මාර්ගය බව කියැවෙයි.

එසේ නම් පාහියන් භික්‍ෂූන් වහන්සේ සිරිපා කරුණා කිරීමට යන වන්දනා චාරිකාවේ දී එක් විවේකී ස්ථානයක් වශයෙන් මේ අපූරු ගල් ලෙන තෝරාගත්තා විය හැකි ය. පාහියන් ගමන් විස්තරයේ දී උන්වහන්සේ ලංකා ගමනය පිළිබඳව කිසිවක් සඳහන් කර නැතත්, චීන ජාතිකයන් ඉතා ගෞරව බහුමානයෙන් පුදනු ලබන පාහියන් භික්‍ෂූන් වහන්සේ පාහියන්ගල මෙම අසිරිමත් ගල්ලෙනට වැඩි බව චීනයේ බෞද්ධ ජනතාව තුළ පවතින්නේ දැඩි විශ්වාසයකි. 1940 වසරේ දී ලංකාවට පැමිණි චීනයේ තායි ෂූ සංඝරාජතුමා විශේෂයෙන් පාහියන්ගල ගලට පැමිණියේ පාහියන් භික්‍ෂූන් වහන්සේට දැක් වූ ගෞරවයක් වශයෙනි.

මෙම ස්ථානයට පාහියන් භික්‍ෂූන් වහන්සේ වැඩි නිසා පාහියන්ගල වූවා විය හැකි ය. අනෙක් පසින් නැඟෙනහිර පැත්තේ ඇති රත්නපුර දිස්ත්‍රික්කයත් බටහිර පස ඇති කළුතර දිස්ත්‍රික්කයත් එකට බැඳ තබන ගල නැතිනම් එකට පාහන ගල නිසා මෙයට පාහියංගල කියන බව තවත් එක් ජනප්‍රවාද ගත මතයකි.

එහෙත් වඩා ප්‍රබල මතයක් ඇති කරන්නේ පාහියන් භික්‍ෂූන් වහන්සේ සම්බන්ධ වන සන්සිද්ධියයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට 5 වැනි සියවස දක්වා මෙම අසම සම පාහියන්ගල ලෙන ඉතිහාස ගමන් මගේ එක් ප්‍රබල නිවාඩු නිකේතනයක් සේ විඩාව නිවමින් මහා සැමරුම් සටහන් කර තබන අතර ඒ මහා ඓතිහාසික වටිනාකමට පාහියන් භික්‍ෂූන් නිසා ආගමික සුවඳ යන්තමින් මුසු වුවද මෑත ආගමික ප්‍රබෝධයේ මුල් අදියර දියත් කරන්නේ පොරෝගම උන්නාන්සේ නමින් ප්‍රකටව සිටි භික්‍ෂූන් වහන්සේ ය. මාතරදී ජන්මලාභය ලද පොරෝගම ස්වාමීන් වහන්සේ පාහියන්ගල බලා වැඩම කරවනු ලබන්නේ මහනුවර සිටය.

ඉතා දුෂ්කර දුර්ග මාර්ගයේ සිට පාහියන්ගල ලෙන සොයා පැමිණි උන්වහන්සේට දැක ගැනීමට ලැබුණෙ විශාල ගල්ලෙන ගල් කුට්ටි වලින් ආවරණය වී පස්තට්ටුවලින් පිරී ලෙන තුළට අඩියක්වත් තැබීමට නොහැකි පරිසරයක් ගොඩනැඟී ඇති බවයි. අඩි 6 ක් පමණ දිග ගල් ඉන්නක් සාදවාගෙන මහා ගල් පතුරු ගල්වමින්, ගල් කුට්ටි අදිමින් මෙම ස්ථානය පූජනීය ලෙස සැකසූ පොරෝගම ස්වාමීන් වහන්සේ අඩි 6 යි අඟල් 3 ක් පමණ උස උත්තුංග දේහධාරී යෝධ ප්‍රතිරූපයක් මැවූ හිමි නමකි.

අද ලෙන තුළ දක්නට ඇති හතළිස් රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ සෑදීමේදී පොරෝගම උන්නාන්සේ භාවිතා කළ ඒ මහා නාරසනය නිධන් වස්තුවක්සේ මේ ප්‍රතිමා වහන්සේට යට කරන ලද බව කියැවෙයි. එය අප්‍රතිහත ධෛර්ය කායික මෙන්ම මානසික ශක්තිය සංකේතවත් කළ ස්මාරකයකි. එසේම පොරෝගම ස්වාමීන්වහන්සේ මෙතන සිද්ධස්ථානයක් සැකසීමේ දී දැවැන්ත ගල්ලෙනෙහි අභිමානයට අලගු නොතැබෙන ලෙස සෑදූ සුවිසල් උළුවහු දෙක පාහියන්ගල ලෙන තුළ අද ද දැකගන්නට පුළුවන.

එම යෝධ උළුවස්සකින් අද තත්ත්වයේ හැටියට උළුවහු හයක් පමණ සෑදීමට පුළුවන. ඒ කෙසේ වුවද පොරෝගම උන්නාන්සේගේ චිත්ත ශක්තිය මෙන්ම කායික ශක්තියේ යෝධ බලය මෙම දැවැන්ත උළුවහු මතින් මේ අසිරිමත් ලෙන තුළට ඇතුල් වෙයි. මීට ශත වර්ෂ දෙක හමාරකට පමණ පෙර පොරෝගම උන්නාන්සේ කටුකොහොල් හැර පූජනීය ස්ථානයක් වශයෙන් ස්ථාපිත කළ අතර පසුව දකුණු පස කුඩා ලෙන තුළ බුදුමැදුරක් ගොඩනැ‍ෙගමින් නුවර යුගයේ කලා සම්ප්‍රදාය අනුව සිතුවම් පිළිම ආදිය නිර්මාණය වෙයි.

පාහියන්ගල ලෙන තුළ නෙළා ඇති හතළිස් රියන් සැතපෙන පිළිම වහන්සේ මෑත නිර්මාණයකි. එහෙත් බුද්ධ ප්‍රතිමාව විචිත්‍රවත් ආකාරයට ඉදිකර තිබෙයි. ප්‍රාග් ඓතිහාසික මහා මානව උරුමයකට ආගමික මුහුණුවරක් ද ආරෝපණය වී පූජනීයත්වයට පත් වී ඇති පාහියන්ගල ඓතිහාසික ලෙන තුළට ගමන් කළ විට දැනෙන්නේ වසර 37, 000 කට පෙර ඉපැදුණු මී මුත්තණුවන්ව ශිෂ්ට සම්පන්න මානවයෙක් වශයෙන් සමාජ ගත කිරීමට උත්සාහ දැරූ බවක් වැනි හැඟීමකි.

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk