UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අමාවක 2014 මාර්තු 30 වන දා

මෙහෙවර අගයමු

බෞද්ධ ජන සමාජය භික්‍ෂූන් වහන්සේ වෙත දක්වනුයේ ඉමහත් ගෞරවයකි. සමාජයට යහමඟ කාරුණිකව පෙන්වාදෙනු ලබන්නේ භික්‍ෂූන් වහන්සේ විසිනි. බෞද්ධ සමාජයට අර්ථයෙන් ධර්මයෙන් උන්වහන්සේ අවවාද අනුශාසනා කරන නිසාම බෞද්ධ සමාජයේ යහගුණ වගා කරන මාර්ගෝපදේශකයන් වහන්සේ වනුයේ ද භික්‍ෂූන් වහන්සේ ය.

භික්‍ෂූන් වහන්සේ නිරතුරුවම ස්වකීය ආධ්‍යාත්මික සුවය සොයා යන අතර තමන් වහන්සේ වෙත චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිව් පසය මඟින් ඇප උපස්ථාන කරන ගිහි සමාජය වෙත කාරුණිකව පිහිට වී ගිහි සමාජයේ යහපත උදෙසා සුවිශාල සේවයක් නිහඬව සලසති.

භික්‍ෂූන් වහන්සේ ආරණ්‍යවාසී සහ ග්‍රාමවාසී වශයෙන් දෙයාකාරයකින් හැඳින්වූවද උන්වහන්සේගේ ශාසනික හා සාමාජික සේවාව අගය කළ යුතු වේ.

භික්‍ෂූන් වහන්සේ ගමට ආගමික නායකත්වය සපයමින් පරාර්ථ සේවය සඳහා ස්වකීය ජීවිතය කැප කරනු ලැබේ. ඒ නිසාම ගමට ආගමික නායකත්වය සැපයීමට උන්වහන්සේ දැනුමෙන්, ගුණ දහමෙන් පෝෂණය වී සමාජයට ආදර්ශයක් ද සැපයූහ. දැනුදු එසේ සිදු කරනු ලැබේ.

රට, දැය, සමය වෙනුවෙන් ස්වකීය ජීවිතය කැප කරමින් පරාර්ථ සේවය සැලසූ ආදර්ශමත් මහ සඟරුවන අපේ රට පුරා කලින් කල පතළ වී වැඩ සිටියහ. එවන් සම්භාවනීය පූජනීය මහ සඟරුවන අද පවා අප සමාජයේ වැඩ වසමින් උදාර මෙහෙවරක නිරත වේ.

සිල්වත්, ගුණවත් යතිවරුන් වෙත ගිහි සමාජයෙන් කවදත් ගෞරව උපහාර පිරිනැමීමෙහිද අඩුවක් නොවීය. සිල්වත්, ගුණවත් යතිවරුන් උදෙසා සමාජයේ පවතින ගරුත්වය එදා මෙන් වත්මනෙහි ද නොවෙනස්ව පවතී.

සම්බුදු දහමෙන් පෝෂණය වී බෞද්ධ සමාජය වෙත අර්ථවත් මෙහෙවරක් සිදු කරන සඟරුවන සමාජයෙන් සමුගැනීම සමාජයට මහත් අඩුපාඩුවක් ගෙන දෙන්නකි. පාඩුව පිරිමැසිය නොහැකි ය.

අපේ බෞද්ධ ජන සමාජය තුළ මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටි විචිත්‍ර ධර්ම කථික, හාරිස්පත්තුවේ අරියවංශාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගියදා අපවත් වී වදාළහ.

උන්වහන්සේ පැවිදිවීමට පෙර දිගු කලක් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ අතර ගිහි කල පවා ස්වකීය කාලය ආගමික කටයුතු කෙරෙහි නැඹුරුව ක්‍රියා කළහ. බ්‍රහ්මචාරී “ධර්මසේන ආරියතිලක” මෙරට බොහෝ බෞද්ධ ජනතාවගේ සිත් සදහම් සුවයෙන් සැනසීමට මුල් වී ක්‍රියා කළහ.

පැවිදි බිමට පත්වීමෙන් පසුව ගමෙහි නගරයෙහි යැයි කිසිදු භේදයකින් තොරව ධර්ම චාරිකාවෙහි යෙදෙමින් මෙරට සුවහසක් ජනතාවගේ සිත් දහමෙන් සුවපත් කරන්නට පෙළඹුණහ. ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට භාවනා වැඩ සටහනට සහභාගිවන ශ්‍රාවක සිත් සතන් තම සහෘදයන් සේ සලකා අමතමින් බොදු පොදු ජනතාව අතර ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටියහ.

උපන් හැම ජීවිතයක්ම ළමාවිය, තුරුණුවිය ගෙවා මහලුවියට පත්වීම ස්වභාවය වේ. එමෙන්ම රෝගාබාධයන්ට ගොදුරුවීමද නොවැළක්විය හැක්කකි.

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හාමුදුරුවෝ පැවිදිව කෙටි කාලයක් තුළ අමරණීය, මෙහෙවරක් ඉටු කළ ගෞරවනීය ධර්ම දේශකයන් වහන්සේ නමක් වූහ.

උන්වහන්සේගේ අවසන් ඉල්ලීමට අනුව උන්වහන්සේ වැඩ සිටි කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී අවසන් ආගමික වතාවත් සිදු කෙරිණි. උන්වහන්සේගේ ඉල්ලීමට අනුව ශ්‍රී දේහය යක්කල ආයුර්වේද වෙද විදුහලට පිරිනැමිණි. අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් වැඩ සිටි හාරිස්පත්තුවේ අරියවංශාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් මෙහෙවරක නිරතවූහ.

 
මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.33 ට ලබයි.
31 වැනිදා සඳුදා පූර්වභාග 00.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු මස 30 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 07 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]