පරලොව සුගතිගාමි වන
ධර්මයන්
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක කොසොල් ජනපදයේ චාරිකාවේ වඩින අතරතුර
‘වේළුද්වාර’ කියන බ්‍රාහ්මණ ගමට වැඩම කළා. මේ බ්‍රාහ්මණ ගමේ ඉන්න
පිරිසට බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගම්මානයට වැඩම කළ බව ආරංචි වුණා.
‘ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කොසොල්
දනව්වෙහි චාරිකාවේ වඩින අතර අපේ ගමටත් වැඩම කර සිටිනවා. උන්වහන්සේ
අරහං, සම්මා සම්බුද්ධාදී උතුම් ගුණයන්ගෙන් යුක්තයි ලු. උන්වහන්සේ
දෙවියන්, බඹුන්, මරුන් සහිත මේ ලෝකයේ තමන් වහන්සේ විසින් සාක්ෂාත් කරපු
ධර්මයක් අන් අයට කියා දෙනවා’ කියා බමුණු පිරිසේ රාවයක් පැතුරුණා.
බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ කලාතුරකින් නිසා උන්වහන්සේ බලන්න
මේ බ්‍රාහ්මණ ගමේ පිරිස තීරණය කළා. එසේ ගොස් බැහැ දැක වන්දනා කර කියා
සිටියා ‘ගෞතමයන් වහන්ස, අප රන්, රිදී, මිල මුදල් ආදී දේ පරිහරණය කරන
උදවිය. මේ ජීවිතය තුළදීම, මේ ජීවිතය ගතකරන ගමන් පරලොව සුගතිගාමි
වියහැකි ආකාරයේ ධර්මයක් අප වෙත දේශනා කරන සේක්වා’ ඉල්ලා සිිටියා.
සතුන්, මිනිසුන් අතරේ මේ ලෝකයේ ඉන්න වටිනාතම ප්‍රාණියා මනුෂ්‍යයා යි.
උපසම්පදා භික්ෂුවක් නම් දරුවෙකු පිළිසිඳ ගත් කලල අවස්ථාවේ සිට වයසට
ගොස් මරණ මඤ්චකය දක්වාම කාලය තුළ, මනුෂ්‍ය ඝාතනයකට චේතනාත්මකව සම්බන්ධ
වුණොත් ඔහුගේ භික්ෂු භාවය නැනිවෙන බව විනයේ සඳහන් වෙනවා. මනුෂ්‍ය
ඝාතනයකට සම්බන්ධවීම ඉතා බැරෑරුම් විපාක ගෙන දෙන්නක් බව පැහැදිලි වෙනවා.
සමහර විට ඒ මනුෂ්‍යයා මිනිස් ලොවට එන්නේ කල්ප ගාණක් නිරයේ, තිරිසන්
ලෝකයේ, පේ‍්‍රත ලෝකයේ සිට වෙන්න පුළුවන්. එවිට ඔහුට මනුෂ්‍යයෙක් ලෙස
ඉපදෙන්න අවස්ථාව ලබා දුන්නොත් සමහර විට ඒ ජීවිතයේදී ඔහු සෝතාපන්න
කෙනෙක් වෙන්න ඉඩ තිබෙනවා. සමහර විට සකෘදාගාමී, අනාගාමි, අරහත් තත්ත්වයට
පත්වෙන්නත් පුළුවන්කම තිබෙනවා. එවිට මනුෂ්‍ය කලලයේ සිට ඕනෑම අවස්ථාවක
මනුෂ්‍යයෙක් ඝාතනය කළොත් ඒ අවස්ථාවේම ඒ සියල්ල නැති කර දානවා. ඒ නිසයි
මිනිස් ඝාතනය ඒ තරම් බලවත් වෙන්නේ.
තථාගතයන් වහන්සේ වදාළා ‘ගෘහපතිවරුනි, තමන් උපමා කරගෙන හික්මිය යුතු
ධර්මයක් මම ඔබට කියා දෙන්නම්’ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට නුවණින් සිහි
කරනවා. ‘මම ජීවිත් වෙන්න කැමැති කෙනෙක්. මැරෙන්න අකැමැති කෙනෙක්. සැප
කැමැති කෙනෙක්. දුක පිළිකුල් කරන කෙනෙක්. එබඳු වූ මගේ ජීවිතය කවුරුහරි
විනාශ කරනවට මම කැමැති නැහැ. මම වගේම අනෙක් අයත් ජීවිතයට කැමැතියි.
මරණයට අකැමැතියි. සැපයට කැමැතියි දුක පිළිකුල් කරනවා. එබඳු කෙනෙකුගේ
ජීවිතයක් මම විනාශ කළොත් ඒ අයත් එයට කැමැති නැහැ’ සිතා ඔහු
ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. අනුන්වත් ප්‍රාණඝාතයෙන් වෙන්වීම පිණිස
සමාදන් කරවනවා. ඒ වෙන්වීම වර්ණනා කරනවා. මේ විදිහට ඔහුගේ කායික
ක්‍රියාව තුන් අයුරකින් පිරිසුදු වෙනවා. එයට තමා ත්‍රිකෝටි පාරිශුද්ධිය
කියා කියන්නේ.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මෙහෙමත් කල්පනා කරනවා. ‘මම නො දුන්න
දෙයක් මගෙන් කවුරුහරි ගතහොත් එයට කැමැති නැහැ. ඒ වගේ මමත් අන්සතු දෙයක්
සොරෙන් ගතහොත් ඒ අයත් එයට කැමැති වන්නේ නැහැ’ සිතා තමනුත් සොරකමින්
වළකිනවා. අනෙක් අයත් සොරකමින් වැළකීමට සමාදන් කරවනවා. සොරමින් වැළකීම
ගැන ප්‍රශංසා කරනවා. මේ ආකාරයට කරුණු තුනකින් කායික වශයෙන් පිරිසුදු
වෙනවා.
ආර්ය ශ්‍රාවකයා ඊළඟට හිතනවා ‘මගේ බිරිඳත් එක්ක වෙන කෙනෙන් සම්බන්ධකම්
පවත්වනට මම කැමැති නැහැ. මමත් වෙනත් කෙනෙකුගේ බිරිඳක් සමඟ සම්බන්ධකමක්
පැවැත්වුවොත් අනෙක් අයත් ඒකට කැමැති නැහැ’ මෙහෙම හිතලා එයා වැරැදි
කාමසේවනයෙන් වළකිනවා. අන් අයවත් වැරැදි කාම සේවනයෙන් වැළකීමෙහි සමාදන්
කරනවා.ඒ ගැන ප්‍රශංසා කරනවා.
ආර්ය ශ්‍රාවකයා මෙහෙම කල්පනා කරනවා ‘ගමේ කෙනෙක් මාව බොරු කියල රවටනවට
මම කැමැති නැහැ. ඒ වගේම තමා මම තවත් කෙනෙක් බොරුවෙන් රවට්ටනවට ඒ අය
කැමැති නැහැ’ මෙහෙම කල්පනා කරල තමන් බොරුකීමෙන් වළකිනවා. අනුන් බොරු
කීමෙන් වැළකීමෙහි සමාදන් කරවනවා. ඒ ගැන ප්‍රශංසා කරනවා. මේ විදිහට
ඔහුගේ වාචසික ක්‍රියාවන් තුන් ආකාරයකට පිරිසුදු වෙනවා.
ඒ වගේම ආර්ය ශ්‍රාවකයා නුවණින් විමසනවා ‘යම් කෙනෙක් කේළාම් කියා මාව
මිතුරන් හා බිඳවනව නම් එයට මම කැමැති නැහැ. මමත් වෙන කෙනෙකුව කේළාම්
කියා බිඳෙව්වොත් අසමගි කළොත් ඒ අයත් ඒකට කැමැති නැහැ’ ඒ ආර්ය ශ්‍රාවකයා
තමනුත් කේළාම් කීමෙන් වළකිනවා. අනුන්ව කේළාම් කීමෙන් වළක්වනවා. ඒ
වැළකීම ගැන ප්‍රශංසා කරනවා.
ආර්ය ශ්‍රාවකයා මෙහෙමත් කල්පනා කරනවා. ‘යම්කිසි කෙනෙක් මට නරක වචන
කියනවා නම් ඵරුෂ වචන කියනවා නම් නින්දා අපහාස කරනවා නම් මම ඒකට
අකැමැතියි. මමත් අනිත් අයගේ සිත රිදෙන දරුණු සැර වචන කතා කළොත් ඒ අයත්
එයට අකැමැති යි. මෙහෙම කල්පනා කර ඔහු පරුෂවචන කතා කිරීම අත්හරිනවා.
පරුෂ වචන කතා කිරීමෙන් අන් අයවත් වළක්වනවා. පරුෂ වචන කතා කිරීමෙන්
වැළකීමේ ගුණ කියනවා.
ආර්ය ශ්‍රාවකයා හිතනවා ‘අර්ථයක් නැති දේවල් කවුරුහරි මාත් එක්ක කතා කර
කර ඉන්නවට මම කැමැති නැහැ වගේම මමත් අර්ථයක් නැති දේවල් අනෙක් අයත් සමඟ
කතා කර කර ඉන්නව නම් ඒ අය කැමැති වෙන්නෙත් නැහැ. එහෙම හිතලා ඔහු
හිස්වචන කතා කිරීමෙන් වළකිනවා. අන් අයටත් හිස් වචන කතා කිරීමෙන්
වැළකීමෙහි සමාදන් කරවනවා. හිස් වචන කතා කිරීමෙන් වැළකීම වර්ණනා කරනවා.
මෙහිදී කරුණු හතරකින් තුන් ආකාරයට පිරිසුදුභාවයක් ඇතිකර ගන්නවා.
ති‍්‍රකෝටි පාරිශුද්ධිය කියා කියන්නේ තුන් ආකාරයෙන්ම පිරිසුදුව සිටීම
යි. එහෙමනම් ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාමයෙහි වරදවා
හැසිරීමෙන්, බොරුකීමෙන්, කේළාම්කීමෙන්, පරුෂ වචනයෙන් හිස් වචනයෙන් කියන
මේ අකුසල් වලින් තමනුත් වළකිනවා. අන් අයත් මේ අකුසල් වලින් වැළකීමෙහි
සමාදන් කරවනවා. මේ අකුසල් වලින් වැළකී සිටීම ගැන වර්ණනා කරවනවා.
ඊට පස්සේ ඒ ආර්ය ශ්‍රාවකයා තවත් කරුණු සතරක් තමන්ගේ ජීවිතය තුළ ඇතිකර
ගතයුතු බව බුදුුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. (1) බුදුරජාණන් වහන්සේ
පිළිබඳ නො සෙල්වෙන ප්‍රසාදය (2) ශ්‍රී සද්ධර්මය කෙරෙහි නො සෙල්වෙන
ප්‍රසාදය (3) බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි
නො සෙල්වෙන ප්‍රසාදය. (4) ආර්ය කාන්ත සීලය. බුදුරජාණන් වහන්සේ මෙහිදී
මුලින්ම පෙන්වා දී තිබෙන්නේ ඒ ශීලය ගැන යි. මේ අංග හතර හඳුන්වන්නේ
සෝතාපත්ති අංග කියල යි. ඒ සෝවාන් වූ කෙනෙක් තුළ පිහිටන අංග. එහෙමනම්
කවුරු හරි මෙලොව ජීවිතය යහපත පිණිසත් පරලොව ජීවිතය අයහපත පිණිසත්
කළයුතු දෙයක් ඉල්ලුවොත් අප එයට දෙන්න ඕනෙ සෝතාපත්ති අංග හතර යි. ඒ අංග
හතර ලබා දුන්නොත් ඔහු මරණින් මත්තේ සුගතියේ යනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා ඔබ යම් කෙනෙකුට ආදරෙයිනම්, කරුණාවන්ත නම්,
ස්නේහවන්ත නම් ඒ අය මේ සෝතාපත්ති අංග හතරෙහි සමාදන් කරවන්න. මේ
සෝතාපත්ති අංගවලින් යුතු කෙනාට කැමැතිනම් තමන් ගැන තමන්ටම මෙහෙම
ප්‍රකාශ කරන්න පුළුවන්. මම නිරයෙන් මිදුණා, තිරිසන් ලෝකයෙන් මිඳුණා,
පේ‍්‍රත ලෝකයෙන් මිදුණා, මම සෝවාන් කෙනෙක්. නියත වශයෙන්ම නිවන් අවබෝධ
කරන කෙනෙක් ය කියා.
එදා මේ දේශනාවට සවන්දීපු ඒ වේළුද්වාර ගමේ බ්‍රාහ්මණයෝ තෙරුවන් සරණ
ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ‘ස්වාමිනි අද පටන් අප දිවි
ඇතිතෙක් තෙරුවන් සරණ ගිය උපාසක පිරිසක් ලෙස පිළිගන්නා සේක්වා’ කියා.
ලෝකයේ මනාකොට දේශනා කළ ධර්මයක් ලෙස තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ
චතුරාර්ය සත්‍යය ධර්මය යි. උන්වහන්සේගේ ධර්මයත් සමඟ සමානව ගලපන්න
පුළුවන් වෙනත් ධර්මයක් ලෝකයේ නැහැ. උන් වහන්සේගේ ධර්මය තුළයි පටිච්ච
සමුප්පාදය, චතුරාර්ය සත්‍යය ගැන උගන්වන්නේ. ඒ ධර්මය තුළයි මේ ලෝකයේ
ඇත්ත තත්ත්වය උගන්වන්නේ. ඒ ධර්මයේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මිනිස්
ලෝකය, තිරිසන් ලෝකය , නිරය ගැන සම්පූර්ණ විස්තර කියා දෙන්නේ. ඒ
ධර්මයෙන් තමා සතර අපායේ වැටෙන අනතුරින් සදහටම අත්මිදිලා සුගති රැකවරණය
සලසා ගැනීම ගැන කියා දෙන්නේ.
එනිසා ඔබටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය නුවණින් විමසා තම ජීවිතය
තුළ පුරුදු කරනවානම් ඔහුට සුගතිගාමි ජීවිතයක් ඇතිකර ගැනීමට හැකියාව
ලැබෙනවා. ඒ වාසනාව ඔබටද ලැබේවා!
නයනා නිල්මිණි |