මරණාසන්න අත්දැකීම් පිළිබඳ
බෞද්ධ විවරණය
මහාචාර්ය
විලේගොඩ
අරියදේව හිමි
මානව වර්ගයාගේ ආදිතම මිනිසාද මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කළේ
ය. ලොව සෑම ආගමක්ම මරණින් මතු ජීවිතයක් පිළිබඳව විශ්වාස කරයි. එහෙත්
භෞතිකවාදීහු පමණක් මරණින් මතු යළි ජීවිතයක් පිළිබඳව විශ්වාස නොකරති. මේ
අනුව මරණින්මතු ජීවිතයක් පිළිබඳව අන්ත දෙකක් දක්නට ලැබේ. ඒ අන්තදෙක
ශාශ්වත වාදය හා උච්ඡේද වාදයයි. ශාශ්වත වාදය යනු මිනිසා තුළ නිත්‍ය,
සදාකාලික නොවෙනස් වන ආත්මයක් ඇති බව පිළිගනිමින් ඒ මත පදනම් වූ
පුනරුප්පත්තියක් පිළිගැනීමයි. ශාශ්වත වාදයට අනුව, නොනැසී පවතින ආත්මය
මරණයත් සමඟ පැරැණි කය අතහැර අලුත් කයකට ඇතුළුවෙයි. එය කෙනකු පැරැණි
වස්ත්‍රය ඉවතලා අලුත් වස්ත්‍රයක් ඇඳගන්නාක් මෙනි. එසේම කූඩල්ලා එක් තණ
කොළයකින් තවත් තණ අගකට ගමන් කරන්නාක් මෙනි. මෙය නිත්‍ය ආත්මය පදනම්
කරගත් ‘සස්සත වාදය’ නම් වේ.
උච්ඡේද වාදියා මිනිසා හුදු භෞතිකමය සිරුරකින් පමණක් සමන්විත දෙයක් බව
පිළිගනිමින් මරණයත් සමඟ සිරුර විනාශයට පත්වන බවත් ශරීරයේ ධාතු කොටස්
නැවත ඒ ඒ ධාතුන්ට එකතු වන බවත් ඉන් එහාට ගිය කිසිදු පැවැත්මක්
පුනරුප්පත්තියක් හෝ පුනර්භවයක් හෝ නැති බවත් අවධාරණය කරයි.
පායාසි රාජඤ්ඤ නම් රජු මරණින් පසු සත්වයාට සිදු වන්නේ කුමක්ද යන්න
පරීක්ෂා කිරීමට විවිධ පර්යේෂණයන්හි යෙදුණේය. ඔහුට අවශ්‍ය වූයේ
පුනරුප්පත්තියක් තිබේද යන්න පියෙවි ඇසින් සොයා බැලීමටයි. ඔහු මරණයට
තීන්දු වූ මිනිසුන් ඒ සඳහා යොදා ගත්තේ ය. විශාල බඳුන්වල පණ ඇති
මිනිසුන් දමා එම භාජනවල පියන් සුළං පොදක් හෝ ඇතුළුවීමට පිටවීමට නොහැකි
තරමට වසා දමා දින ගණනාවකට පසු එම වැසුම් ඉවත් කරමින් මැරුණු මිනිසාගේ
ප්‍රාණයත් ආත්මයත් බඳුනෙන් ඉවත්වෙදැයි පරීක්ෂා කර බැලුවේය. මිනිස්
සිරුරෙන් මරණින් පසු කිසිවක් ගමන් නොකරන බව ඔහු ඉන්ද්‍රියානූභූතියෙන්
පරීක්ෂා කොට බැලුවේ ය. මෙබඳු පර්යේෂණ ප්‍රාථමික නොදියුණු දේ වුවත් මෙය
මසැසින් පුනරුප්පත්තියක් තිබේද යන්න පරීක්ෂා කළ අවස්ථාවකි. මෙසේ
පර්යේෂණ කළ පායාසිරාජඤ්ඤ පුනරුප්පත්තියක් නැතැයි නිගමනය කළේ ය. එය
උච්ඡේදවාදය ලෙස හැඳින්වේ.
නූතන ලෝකයේ මෑතක සිට මරණාසන්න පුද්ගලයන් විසින් නැතහොත් මරණයට පත්වී
මොහොතකින් යළි ජීවිතය ලැබූවන් විසින් තමා ලැබූ අත්දැකීම් ප්‍රකාශ කරන
ලද අවස්ථා එක්කොට පර්යේෂණ ග්‍රන්ථ ගණනාවක් බිහිවී ඇත. 1977 රේමන් ඒ
මූඩි ‘Life after Life’ යන නමින් එළිදැක්වූ ග්‍රන්ථය එම වසරේ
වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථ අතරට එක්විය. ඉන් පසු
Near Death Experiance (NDE) එනම් මරණාසන්න පුද්ගලයාගේ අත්දැකීම් නම් විෂය
ක්ෂේත්‍රයක් පිළිබඳව ලොව පුරා කථාවෙමින් පවතී.
නූතන විද්‍යාවේ දියුණුවත් සමඟ වෛද්‍ය විද්‍යාවේ හාස්කම් මේ විෂය
මතුවීමට හේතුවක් වී ඇත. කෙනෙක් මිය ගිය මොහොතේම හෘදයේ ස්පන්දනය ඇති කොට
මරණයට පත්වූ පුද්ගලයා නැවත ජීවිතය ලබාගත් විට තමා විඳි අත්දැකීම
ප්‍රකාශ කළ අවස්ථා එක් රැස්කොට මරණාසන්න වූවන්ගේ අත්දැකීම් විෂය කලඑළි
බැස ඇත. මියගිය පුද්ගලයාගේ හෘදය අකර්මණ්‍ය වී විනාඩි සතරක් පමණ ගතවනවිට
මොළයට රුධිරය ගලායෑම නවතී. ඉන් පසු ශරීරය සීතල වීමට පටන් ගනී. මෙම
විනාඩි තුන හතර තුළ වෛද්‍යවරුන් හෘදය ස්පන්දනය ලබාදුන් අවස්ථාවන් හි
ඇතැම් රෝගීන් මරණයට පත්වී නැවත ජීවිතය ලබා ඇත. ඔවුන්ගේ මේ ප්‍රකාශවලින්
අවසානයේ නිගමනය කර ඇත්තේ දෙවියන්ගේ කැමැත්ත අනුව ඔවුන් ජීවිතය ලැබූ
බවකි.
කිසිදු ආගමක් නොපිළිගත් අයත් මේ අත්දැකීම්වලින් අපාය හෝ දෙව්ලොව
පිළිබඳව දැකීමෙන් යළි උපත ලබා තම ආගම්හි දැක්වෙන අපාය, ස්වර්ගය පිළිබඳව
විශ්වාස කිරීමට පටන් ගත් බවත් ඔවුන් ඉතා යහපත් පුද්ගලයන් වූ බවත් මෙකී
වාර්තාවලින් කියැවේ. ලොව සියලු ආගම්වල මරණින් මතු ජීවිතයක් පිළිගන්නා
අතර මේ පුනරුප්පත්තියට පාදක කරගත්තේ නිත්‍ය, නොවෙනස් ආත්මයක් ඇත යන
පිළිගැනීමයි. එය ශාශ්වත වාදය ලෙස අපි මීට ඉහතදී සඳහන් කළෙමු. එහෙත්
බුදු සමය අනුව පුනරුප්පත්තිය යන වචනයට වඩා ‘පුනර්භව‘ යන වචනය මෙහිලා
යොදා ගැනීම වැදගත්වේ. අපාය හා ස්වර්ගය පමණක් නොව මරණින් මතු තිරිසන්,
ප්‍රේත, භූත හා දෙව්ලෝ බඹලෝ ආදි වශයෙන් අනන්ත වූ උප්පත්ති හි මරණින්
මතු සත්වයාගේ පැවැත්මක්, භවගාමීත්වයක් පිළිගන්නා බව අප අවබෝධ කරගත
යුතුය.
මේ මරණාසන්න වූවන්, නැතහොත් මරණයෙන් පසු ක්ෂණිකව ජීවිතය ලැබූ අය කරන
ප්‍රකාශවලට ඔවුන්ගේ ආගමික සංස්කෘතික විඥානයන් ගැබ්වී ඇතිබව අමුතුවෙන්
කිවයුතු නැත. මේ හැම ප්‍රකාශයක්ම එක හෙළා සත්‍ය ප්‍රකාශන ලෙස පිළිගත
යුතු නොවන අතර බැහැර කිරීමද නොකළයුතුය. සමහර ප්‍රකාශන සිහිමුර්ජාවෙන්
සිටි රෝගියා මේ කාලය තුළ දුටු මතිභ්‍රමයක් (Helusination) ද විය හැක.
සමහර ප්‍රකාශන සැබැවින්ම සත්‍ය විය හැකිය. මක්නිසාදයත් කිතු දහමේ වන
ස්වර්ගය, අපාය අසත්‍යයක් නොවන නිසාය. කිතුනුවන් පමණක් නොව ඉස්ලාම්
බැතිමතුන්, හින්දු බැතිමතුන් බොහෝ පින්කම් කරති. ඔවුන්ගේ පින් පව් අනුව
ස්වර්ගයේ හෝ අපායේ උප්පත්තිය ලබති. ඔවුන් කවර තැනක උපන්නත් තමන් පුරුදු
පුහුණු කරගත් ලබ්ධීන් හි දෘෂ්ටීන්හි එල්බගෙන සිටිති. ඒ නිසා ඔවුන් කරන
ප්‍රකාශනවලට ඔවුන්ගේ පිළිගැනීම් පදනම් වන අතර ඒ ප්‍රකාශන අසත්‍යයයි
කිසිවකුට බැහැර කළ නොහැකිය.
මරණාසන්න, නැතහොත් මියගොස් යළි ජීවිතය ලැබූ අයගේ ප්‍රකාශනයන්හි පොදු
ලක්ෂණ මෙසේ ගොනුකොට දක්වා ඇත. මියගොස් ආපසු පියවි සිහිය ලැබූවන් කළ
ප්‍රකාශයන්ට අනුව ඒ, ඒ පුද්ගලයන් විවිධ අත්දැකීම් ලබා ඇත.
අමිහිරි අදෝනාවන් ඇසීම, තමන් මියගොස් ඇති බව දැනීම, ලෝකයෙන් තමන් ඉවත්
වූවාය යන අවබෝධයන් ඇතිවීම, මහා අඳුරු දෝනාවකින් වේගයෙන් ගමන් කරන බව
දැනගැනීම සහ විශාල ආලෝකයක් තුළ නැතහොත් ගිනිජාලාවක ගිලීයන බව දැනීම
ආදිය ඉන් කිහිපයකි. එසේම ආලෝකයක් සහිත නැතහොත් සුදු ඇඳගත් කෙනෙක්,
හිතවතෙක් හමුවීම, තමා මෙතෙක් ගත කළ ජීවිතය පිළිබඳ සමාලෝචනයක යෙදීම සහ
ජීවිතයත් ලෝකයත් පිළිබඳ අලුත් වැටහීමක් ලැබීම ආදියද ඒ අත්දැකීම් අතරට
ඇතුළත්ය.
බුදුදහමට අනුව, මෙබඳු ප්‍රකාශනයන් පිළිබඳව කෙසේ විමසිය හැකිද? මේ
කිසිදු ප්‍රකාශයක් එකහෙළා සත්‍ය හෝ අසත්‍ය දේ ලෙස එකවර එකඟවීමට හෝ
විරුද්ධ වීමට නොහැකිය. සමහර ප්‍රකාශයක් සත්‍ය විය හැකි අතර සමහරෙකුගේ
ප්‍රකාශන සිහි මුර්ජාවකින් නැතහොත් කෘත්‍රිම නින්ද්‍රාවකින් පසු ඇතිවූ
මනෝභාවයක් විය හැකිය. මෙහි එකඟ විය හැකි දේ නම් මරණින් මතු සත්ත්වයාගේ
පැවැත්ම බුදු සමය අවිවාදයෙන් පිළිගන්නා බැවින් චුති සිත හා ප්‍රතිසන්ධි
සිත, කර්මය , කර්ම නිමිති, ගතිනිමිති ආදි ඉගැන්වීම් පරීක්ෂා කර බලනවිට
මරණාසන්න අත්දැකීම් බොහො ඒවා අසත්‍ය ලෙස සැලකිය නොහැකි බවයි.
මරණාසන්න පුද්ගලයා ඊළඟ භවයට පත්වන අතරතුර අන්තරා භවයක සැරිසරන බව කථා
වත්‍ථුප්පකරණයෙහි සඳහන් වේ. සංයුක්ත නිකායේ වච්ඡගොත්ත සූත්‍රයෙහි මරණයට
පත්වන තැනැත්තා තෘෂ්ණාවෙන් දැඩිව අල්ලාගැනීම නිසා හෙවත් උපාදානය නිසා
භවය හෙවත් පුනර්භවයට පත්වන බව විස්තර කෙරෙයි. මේ භවයෙන් චුතව ඊළග
භවයෙහි ප්‍රතිසන්ධිය ලබන මේ අතරතුර තණ්හාව උපාදාන කොට සත්වයා සැරිසරන
බව බුදුන් වහන්සේ වච්ඡගොත්තට පැහැදිලි කළ සේක. මෙම අවස්ථාව සදාකාලික
ආත්මයක් පිළිබඳව පිළිගැනීමක් නොවන බව වටහාගත යුතුය.
අංගුලිමාල දුගතියෙන් මිදීමත්, ආනන්තර්ය පාප කර්මයන්හි නිරත වූ දේවදත්ත
භික්ෂුව සහ අජාසත්ත රජු අවිචිමහා නරකයේ ගිනිදැල්ලට හසුවීමත් පිළිබඳ
සිදුවීම් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. අපායේ ගිනිදැල් පිළිබඳව අපේ
මරණාසන්න පුද්ගලයන් කරන්නාවූ ප්‍රකාශන අප සමාජයේ බොහෝ දෙනකු අසන්නට ඇත.
හෘදය රෝග විශේෂඥ වොට්සන් රොව්ලින් විසින් ලියන ලද ‘අපායට ගොස් ආපසු
පැමිණීම’ නම් කෘතියෙහි දෙව්ලොවට හා අපායට ගොස් ආපසු පැමිණි අයගේ
අත්දැකීම් රැසක් ඇතුළත් කොට ඇත. ඒ අතර රෝනල් රේගන් නම් තැනැත්තා හෙළි
කරන කථාව පරීක්ෂා කර බලමු. රෝනල් රේගන් නම් මිනිසා මත්ද්‍රව්‍යවලට,
මත්පැන්වලට ඇබ්බැහි දරුණු කෙනෙකි. ඔහු නිතර කලකෝළාහලවල පැටලෙන කෙනෙකි.
බිරිඳට දරුවන්ට වධ දෙන කෙනෙකි. ඔහු දිනක් කෙනකුගේ මාරාන්තික ප්‍රහාරයකට
මුහුණ දුන් අතර මරණාසන්න තුවාල ලබා රෝහලට ඇතුළත් කළේ ය. අධික රුධිරවහනය
නිසා ඔහු මරණාසන්න විය. මොහුට දැන් ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණකැයි
වෛද්‍යවරු කීවෝ ය. හදවත නතර විය. එසැනෙන් ඔහු විශාල දෝනාවකින් ගමන් කරන
බවක් හැඟුණි. විලාප හඬ හැම පැත්තෙන්ම ඇසෙන්නට විය. ගිනිජාලාවේ දැවෙන
මිනිසුන් දුටුවේය. “එපා රේගන් මෙහෙ එන්න එපා!” කෙනකු උස් හඬින් කියනු
ඇසුණි. ඔහුට කුඩා කල සිහිපත් විය. ඔහු දරුණු පුද්ගලයකු බවට පත්වූයේ
පියාගේ වරදින්ය. ඔහුගේ පියා සිත්පිත් නැති කෙනෙකි. තමා කුඩා වයසේදී
ආදරයෙන් ඇති දැඩි කළ බැටලු පැටවා පියා විසින් මරනු ලැබූ පසු රේගන්
දරුණු විය. ඔහු කැලෑ පැන්නේ ය. එතැන් පටන් ඔහු දරුණු කෙනෙක් විය.
‘අංගුලිමාල පිළිබඳ උදාහරණය මීට සමාන වන්නේ අංගුලිමාල දරුණු කෙනෙක් වූයේ
සමාජය ඔහුට ඊර්ෂ්‍යා කොට ඔහු විනාශයට ඇද දැමූ නිසාය. රේගන් දරුණු
චරිතයක් වූයේ පියාගේ අකරුණාව නිසාය. ඔහු සියලු දෙනාට රුදුරු වීමට
පුරුදු වූයේ ඉන් අනතුරුවය. මේ නිසා මේ හෘදය සාක්‍ෂිය ඔහුට අපාය ගිනි
දැල්ලෙන් මිදීමට හේතු වන්නට ඇත.
මරණින් පසු උපදින ස්ථාන පිළිබඳ බොහෝ දෙනකුට ගති නිමිති පෙනේ. මරණාසන්න
සමහරෙක් තමන්ට මියගිය නෑදෑයන් කථාකරන බව පවසති. ඒ සමහර විට ‘පරදත්තූප
ජීවී’ සත්වයන් විය හැකිය. එම සත්වයෝ ඉතා අසරණව කල් ගෙවති. එබඳු සත්වයන්
තම ඥාතියකු තමාට එකතු කර ගැනීමට කැමැත්තක් දක්වන බැවින් මරණාසන්න
තැනැත්තාට හෝ තැනැත්තියට තමන් වෙසෙන ස්ථානයට ආරාධනා කරති. මේ අතර සමහර
මරණාසන්න අය ගිනිදැල් දකිති. ඒවා ගති නිමිති වශයෙන් අපාය දැකීමක් විය
හැකිය. මෙබඳු අවස්ථාවලදී ජීවත්ව සිටින දූදරු ඥාතීන් කළ යුතු වන්නේ එම
මරණාසන්න තැනැත්තා හෝ තැනැත්තියගේ සිත යහපත් පැත්තට යොමු කිරීමයි. ඔහු
විසින් කරන ලද කුසල කර්ම ඔහුට හෝ ඇයට සිහිපත් කිරීමෙන් මේ ගති නිමිති
වෙනස් කිරීමට හැකිවේ. තම මව්පියන්ගේ මරණාසන්න මොහොතේ යහපත් ගතිනිමිති
ජනිත කළ හැකිනම් එය මවුපියන් වෙත ජීවිතයේ කළහැකි ඉහළම ප්‍රතිඋපකාරයයි.
බෞද්ධ සාහිත්‍යයෙහි මරණාසන්න මොහොත පිළිබඳව දැක්වෙන සිදුවීම් බොහොමයක්
ඇත. ධම්මික උපාසක තුමාගේ කථාව, නකුලමාතා නකුල පිතාගේ කථාවස්තුව
ධර්මාශෝක රජතුමාට මිහිඳු මාහිමියන් පිහිටවූ අවස්ථාව මේ අතරින් වැදගත්
තැනක් ගනී. දුටුගැමුණු රජතුමා මනුෂ්‍ය ඝාතන පිළිබඳ පසුතැවෙන මොහොතේ
රහතන් වහන්සේ විසින් එතුමාගේ මරණාසන්න මොහොත යහපත් පැත්තට යොමු කරන ලද
අවස්ථාවද ඓතිහාසික අවස්ථාවකි. යුරෝපයට මේ මරණාසන්න මොහොත පිළිබඳ දැක්ම
අලුත් දෙයක් වුවත් බෞද්ධ වූ අපට එය සාමාන්‍ය දෙයකි. එහෙත් බෞද්ධ වූ අපට
ලෝකයාට දිය හැකි පණිවිඩය විශාලය. ඒ සඳහා අප යහපත් උත්සාහයක් දැරිය
යුතුය. |