UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුමරකු වෙනුවෙන් සෑදු යටාල සෑ රදුන් අප වෙනුවෙන් පිදූ සැදැහැති තිළිණයකි

දකුණේ මාගම යනු ඓතිහාසික අනුරාධපුර රාජධානිය තරමටම පැරැණි වැදගත් පුරවරයකි. ‘මිහිදු මා හිමියන් විසින් බුදු සමය ගෙන ඒමෙන් පසු මහා විහාරය අවට ශුද්ධ භූමිය තුළ ආගමික නිර්මාණ ඉදි කිරීමට මුල් යුගයේ සිට රජවරුන් අනුරාධපුර පෙදෙසේ දැක්වූ කැපවීමට සමාන ලෙස දකුණේ මාගම නරපතින්ද ඊට තරමක් අඩු ප්‍රමාණයෙන් වුවද බුදුන් වහන්සේ ගේ ආගමට ඔවුන් තුළ පැවති බැති නතු බව දැක්වීමට කැප වී තිසා වැව සහ එහි අවට වැදගත් ස්මාරක තනවා ඇත.බොහෝ භික්‍ෂූන් වැඩ සිටි මහා විහාරය යම් සේ අනුරාධපුරයට වැදගත් වීද තිස්ස විහාරයද එසේම මාගමට වැදගත් විය.

උතුරු දෙස අගනුවර දක්නා පරිදි තිස්ස වැව අසල විශ්මය දනවන නෂ්ඨාව ශේෂයන් වන්නේ එහි ඇති දාගැබ්ය.’

ඉහත ප්‍රකාශය ගෙනහැර පෑවේ ‘තිස්සමහාරාම පුරා විද්‍යාව‘ නමින් 1884 වැනි වසරේදී ලියා ඵල කළ හෙන්රි පාකර්ගේ වාර්තාවෙනි.

මෙම ප්‍රකාශය උපුටා ගන්නට තීරණය කළේ දකුණේ මාගමට හිමි විය යුතු ඓතිහාසික මෙන්ම ආගමික වටිනාකම පිළිබඳ සිතන්නට පෙළඹවීම සඳහාය.

එම පසුබිමෙහි සිට අද අප කතා කරන්නේ රුහුණු ප්‍රදේශයේ යටාල චෛත්‍ය පිළිබඳවය

හම්බන්තොට කතරගම මාර්ගයේ දෙබරවැව හන්දියත් අකුරුගොඩ හන්දියත් අතර මාර්ගය සමීපයේදී මෙම ස්තූපයේ දර්ශනය නෙත ගැටෙයි. පසු කලක මහා මාර්ගය සෑදීමේදී මෙම පුරා විද්‍යා වටිනාකම් සහිත පුදබිම දෙකඩ වී තිබෙයි.

යටාල චෛත්‍ය, තිස්සමහාරාම ස්තූපය, සඳගිරිය, ස්තූපය සේම වැදගත් වන අතර මෙය එම දාගැබ් දෙකට වඩා මදක් කුඩාය. එය එසේ වුවද රුහුණේ මුල්ම චෛත්‍ය මෙය බව කියැවෙයි. දුටුගැමුණු නම් ශ්‍රේෂ්ඨ නරේන්ද්‍රයාණන් උපන් රෝහණ රාජාවලියේ ආදි පුරුෂයාණන් වූ මහානාග යුවරජු විසින් ලක් දීපයේ බෞද්ධ භික්‍ෂු වංශයේ ආදී පුරුෂෝත්ම වූ ද ප්‍රථම ලාංකේය මහ රහතන් වහන්සේ වූද ත්‍රිපිටකාරිට්ඨ මහා තෙරපාණන් වහන්සේට අතපැන් වත්කර මෙම යටාල වෙහෙර ශාසනයට පූජා කළ බව ලළාට ධාතු වංශයේ සඳහන් වෙයි. ඉතිහාසය පහදන්නේ යටාල චෛත්‍ය කරවන ලද්දේ ක්‍රි.පූර්ව දෙවැනි සියවසෙහිදී බව ය.

සෙල්ලිපි සාධකයන්ට අනුව මෙම ස්තුපය හඳුන්වා ඇත්තේ දළදා දා ගැබ වශයෙනි.

මහානාග යුව රජතුමාගේ ආදරණීය ගර්භනී බිසව මෙම ස්ථානයේදි පුත් කුමරකු මෙලොවට බිහිකළ බවත් ඒ සිඟිති පුත් කුමරුට ‘යටාලතිස්ස’ ලෙස නම් තබමින් කුමරු උපන් ස්ථානය සහ කුමරු සිහිවීම සඳහා එතැන චෛත්‍යයක් කරවූ බවත් ඉතිහාසගත කතන්දරයෙන් සනාථ කෙරෙයි. ‘යටාල’ යනු ඒ ග්‍රාම නාමය වේ. ‘තිස්ස’ යනු කුමරුට තැබූ නමයි. ඒ අනුව ‘යටාල තිස්ස ‘ නම් විය. කුමරකු වෙනුවෙන් විසල් ස්තූපයට නමක් තැබීමට පෙළඹුණේ රාජ පෙළපතක ප්‍රභූ පැලැන්තිය සතු වරප්‍රසාදයන්හි බලය නිසා වීමටද පුළුවන. එහෙත් එම බලය අබිබවන පූජනීය බෞද්ධ උරුමයක ස්මාරකයක් වශයෙන් මෙම ස්තූපය ගෞරවයට පත්වීම වඩාත් අගය කළ යුතු වෙයි.

පරසතුරු ආක්‍රමණයන් නිසා දන්ත ධාතුන් වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටීමට මේ යටාල චෛත්‍යයට හැකියාව ලද බව කියැවේ.

එදා රජරට සතුරු උවදුරට මුහුණදුන් අවස්ථාවේ දන්ත ධාතුන් වහන්සේ රජරට සිට රුහුණට වැඩමාගෙන විත් මෙම දාගැබෙහි ආරක්‍ෂාව වෙනුවෙන් නිධන් කර තිබූ නිසා යටාල ස්තූපය එදා දළදා දාගැබ වශයෙන්ද හැඳින්වූ නිසා පුරාවිද්‍යා කැණීම් වලදී හමුවී ඇති සෙල්ලිපි වලින් තහවුරු වී ඇති බවක්ද සඳහන් ව තිබෙයි.

හෙන්රි පාකර්ගේ Archaeological Discoveries at Tissamaharama නම් පොතේ පරිවර්තනයක් වන තිස්සමහාරාම පුරා විද්‍යා ග්‍රන්ථයට අනුව යටාලතිස්ස දාගැබ කුමරා නමින් හැඳින්වුවද ඔහු උපන් තැන අනුව දාගැබට නම් තැබූ බවට සාක්‍ෂි නොමැති බව සදහන්ව තිබෙයි.

මෙවැනි මත ගැටුම් අනුමාන ඔස්සේ වඩාත් විමසිලිමත් ගවේෂණයන් තුළින් නිවැරැදි නිගමනයකට පැමිණිය යුතු වෙයි. අද පවතින යටාලතිස්ස ස්තූපය පෙරදා නටබුන්ව තිබූ සෑයක ප්‍රතිසංස්කරණයකි.

ඒ කෙසේ වෙතත් මේ ආශ්‍රයේ විහාර සංකීර්ණයක් පැවැති බවට දත්ත සපයන පෞරාණික ශේෂයන් අදද දකින්නට ලැබෙයි.

පුරාවිද්‍යාඥයන් විසින් කළ කැණීම් වලදී අද පිහිටි පොළවට අඩි 3 ක් පමණ යටින් ඇත් පවුරක පැරණි අත්තිවාරමක් මතු කර ගැනීමට හැකියාව ලැබී ඇත.

සතර දිසාවට විවර වූ වාහල්කඩ හතරක්ද ගල්කණු ගල් පුවරු පැරැණි ගඩොල් තැන තැන විසිරී පවතී.

යුග ගණනාවක ප්‍රතිසංස්කරණ මෙන්ම වෙනස් කිරීම් වලදි ඇතැම් ඓතිහාසික සාධක විනාශ වී ගොස් තිබේ. මහා මාර්ගයෙන් දකුණුපස අද පෙනෙන නව සංඝාවාසය අසල විශාල ආසන ඝර ගොඩනැගිල්ලක නටබුන් ද දක්නට ලැබෙන අතර එහි දිග අඩි 68 ක් පමණ ද පළල අඩි 60 ක් පමණද වෙයි.

මෙය ස්ථිර ලෙසම ආසන ඝරයක් ලෙස පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ. මළුවේ සිව්කොන බෝසත් ප්‍රතිමා හතරකි. මළුව මත මහපිළිම අටක නටබුන්ද දකින්නට පුළුවන. නාගරී අක්‍ෂරවලින් ලියැවුණු මහායාන ධරණි පාඨ දකින්නට ලැබෙන හෙයින් මෙහි තිබෙන්නට ඇත්තේ මහායාන බෞද්ධ මධ්‍යස්ථානයක් විය හැකි බවට මතයක්ද ඵලවී තිබේ.

12 වන සියවසෙන් පසුව රුහුණෙ ඇතිවූ දේශපාලන අර්බුද නිසා රුහුණු රට විහාරාරාම විශාල පරිහානිකට පත් විය.ඒ නිසාම ඉතිහාස කතාවේ වටිනා පරිච්ඡේදයක්ද හඳුනා ගැනීමට නොහැකි වනසේ ඇකී මැකී යාමද සිදුවන්නට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි වෙයි.

කෙසේ වෙතත් දා ගැබේ ප්‍රධාන යුග 3 ක් පිළිබඳ පුරාවිද්‍යා ගවේෂණයන් සනාථ කර තිබේ. කි‍්‍ර.පූ. යුගයට පැරණිම කොටස අයත් වන අතර දෙවන කොටස අයත් වන්නේ ක්‍රි.ව. 4වන සියවසේ ඉදිකළ තනි පේසාව කොටසටය. ඉන් පසුව ක්‍රි.ව. 1884 දි කළ ඉදිකිරීම් අයත්වෙයි.

අප මෙතැනදී යටාල තිස්ස ප්‍රමුඛතාවයට ගෙන කතා කළද මෙය පුළුල් විහාර සංකීර්ණයක සුවිශේෂී සලකුණු ස්මාරක සහිත පුදබිමක් ව පැවැති බව නම් සත්‍යයකි. එවැනි විහාර සංකීර්ණයක් ක්‍රි.පූර්ව යුග යේ සිට ගොඩ නැගෙන්නේ නම් එතැන විශේෂයක්ද පැවැති බව සිතා ගැනීමට පුළුවන. ලාංකේය බිමේ මුල්ම මහරහතන් වහන්සේ නමකට අතපැන් වත්කර මේ සුවිශේෂි ආරාමය පිදුවේ නම් මෙවැනි විහාර සංකීර්ණයක් තුළ මහරහත් වහනසේලාගේ පහසින් පොහොසත් වූවා යැයි ද සිතීම ද අසාධාරණ නොවෙයි. වටිනා දේ කිඳා බැස ,කැණ හාරා මතු කර ගැනීම තුළින් සාධාරණ වූ විනිශ්චයකට එළඹීමේ හැකියාව මත ඉතිහාසය සඟවා තබා ඇති සත්‍ය පසක් කර ගැනීමට හැකියාව ඇත.

එහෙත් රාජ කුමාරයකු සිහිපත් කරලීම පිණිස රාජ මාලිගා මහා මන්දිර තැනුවේ නම් ඉතිහාසය විසින් අපට උරුම කර දෙන්නේ යුගයේ වෙනස්වීම් අබිමානය රාජ්‍යත්වය මෙන්ම සමාජ විපර්යාසයන්ගේ වෙනස වැනි දේ පිළිබඳව කතා කිරීමටය.

එහෙත් කුමරකු වෙනුවෙන් වුවත් සෑදුවේ මිනිසාගේ වැඳුම් පිදුම් වලට උචිත සැදැහැති බව දනවන විහාර සංකීර්ණයක් නම් ඒ ආගමික උරුමය මිනිස් සිත් සතන් පහන් හැඟුමෙන් එදා මෙන්ම අදත් හෙටත් පුබුදුවනු නියතය.

මෙසේ මේ බිමේ දේවානම්පියතිස්ස නම් විශිෂ්ටතම නරේන්ද්‍රයාණන්ට ලේ නෑකම පෑ මහානාග සොයුරු පෙම හා බැඳෙන ඓතිහාසක රුහුණු පුරවරයේ මූලාරම්භය හා සබැෙඳන එක් කෙලවරක ඇති ඓතිහාසික මහැඟි උරුමයක් වු අනුරාධපුර නුවර හා මෙහා කෙළවරේ රුහුණූ මාගම හා යා කරනා ආගමික උරුමයේ ප්‍රබල සාධක වන මෙවන් ස්තූපයන් පහන් සිත් වෙනුවෙන් සහන් එළි විහිදුවන තරු පන්තීන් හා සමානය.

 

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 28 වැනි දා සිකුරාදා අපරභාග 04.53 ට ලබයි.
මාර්තු 01 සෙනසුරාදා අපරභාග 01.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 28 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
මාර්තු 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 28

First Quarterපුර අටවක

මාර්තු 08

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk