අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය - ත්‍රිවිධ චෛත්‍යයන් අතුරෙන් පාරිභෝගික චෛත්‍යය වශයෙන්
සැලකෙන්නේ බුදුන්වහන්සේ පරිභෝග කළ පාත්‍ර, චීවර, පටි ධාතූන් හා පිටදුන්
බෝධීන් වහන්සේ ආදියයි. දඹදිව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ
ශාඛාව ලංකාවට වැඩම වීමෙන් පළමු වන පාරිභෝගික චෛත්‍යය ශ්‍රී ලංකාවෙහි
පිහිටුවන ලදී. ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් සලකන එම ජය ශ්‍රී මහ
බෝධීන් වහන්සේට පුද පූජා සහ හරසර දැක්වීම බෞද්ධයන්ගේ පිළිවෙතයි. හරසර
දැක්වීමේ චාරිත්‍ර සමූහයක් ප්‍රචලිතව පවතී. පොසොන් මාසය තුළ එම
චාරිත්‍ර විධි බෙහෙවින් දක්නට ලැබුණි. ඉන් කිහිපයක් හඳුන්වා දෙන්න.
පිළිතුර - ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ රැගෙන සඟමිත් අරහත් මෙහෙණින්
වහන්සේ අටළොස් කුලයක ජනයාද සමඟ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළ බව සඳහන්
වේ. සුමිත්ත, බෝධි ගුප්ත කුමාරවරුන් අතුරින් සුමිත්තට එකී පිරිවර පැවරූ
අතර බෝධී ගුප්තට බෝධිය ආරක්‍ෂා කිරීමේ සියලු වගකීම් පවරනු ලැබීය.
බෝධියට රජකු ලබන සියලු උපහාර ලැබීමට සැලැස්වූ අයුරු පාලි හා සිංහල බෝධි
වංශයේ විස්තර වශයෙන් දක්වා තිබේ.
බෝධි ශාඛාව සමඟ ශ්‍රී ලංකාවට සැපැත් වූ සුමිත්ත, බෝධිගුත්ත,
චන්ද්‍රගුත්ත, දේව ගුත්ත, ධර්ම ගුත්ත, සූරිය ගුත්ත, ගෝතම ජුතින්ධර යන
කුමාවරු අට දෙනාට බෝධීන් වහන්සේ සම්බන්ධ විවිධ ආවතේව පැවැරූ අතර, ඔවුනට
ඒ සඳහා තාන්න මාන්න ද වරප්‍රසාද ප්‍රදානය කරන ලදී. බෝධි ආරක්‍ෂාවෙහි
නියුතු කුමාරවරුන්ට දෙවනපෑතිස් රජු සැලකිලි හා සම්මාන ප්‍රදානය කළේ,
ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන උපහාරයක් වශයෙනි. බෝධීන් වහන්සේ නිසා
මෙකී රාජකීය පිරිස පසු කාලයෙහි දී ද ලංකා රාජ්‍යයේ උරුමකරුවන් වශයෙන් ද
පිළිගනු ලැබූහ. ශ්‍රී මහා බෝධීන් වහන්සේට දිනපතා ද වාර්ෂිකව ද විශේෂ
අවස්ථාවන්හි ද කරනු ලබන තේවා පුද පූජා හා පෙරහර අඛණ්ඩව පැවැත්වීම සඳහා
වෙන් වශයෙන් එක් එක් කුලවල ජනයාට පැවැරූ ආකාරය බෝධි වංශයෙහි දක්වා
තිබේ.
පුද පූජාවලට අවශ්‍ය දෑ සම්පාදනයට විධි විධාන යෙදී මෙහිදී ඉතා සුළු
දෙයෙහි පටන් වටිනා දේ දක්වා සියල්ල සැපයීමට අවශ්‍ය විධිවිධාන යොදා
තිබුණි.
ප්‍රශ්නය - මග්ගානට්ඨාංගිකො සෙට්ඨෝ සච්චානං චතුරෝ පදා විරාගො සෙට්ඨො
ධම්මානං දීප දානං ච චක්චුමා.
උතුම්ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. උතුම්ම සත්‍යය චතුරාර්ය
සත්‍යය යි. උසස්ම තත්ත්වය විරාගය යි. දෙපා ඇත්තවුන් අතර තථාගතයන්
වහන්සේ උතුම් ය. ඇසළ මහේ පුණු පොහෝ දා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම
ධර්මදේශනය සිදුවිය. දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව ඒ දේශනය යි. බුදු
සිරිත හා දහම් මඟ එක්තැන් කළ ඒ අසිරිමත් දේශනය ඇසුරෙන් ඉහත සඳහන්
ප්‍රස්තුත විවරණය කරන්න.
පිළිතුර - දීග නිකාය බ්‍රහ්ම ජාල සූත්‍රයට අනුව පැරැණි දඹදිව ජීවිතය සහ
ජීවිත පරමාර්ථය විෂයෙහි විවිධ පරස්පර මත දැරූ විශිෂ්ට දාර්ශනිකයන්
පිළිබඳව ප්‍රසිද්ධියක් ඉසිලීය. එබඳු මතවාද හැට දෙකක් ගැන ඉහත සඳහන්
මූලාශ්‍රවල සඳහන්ව ඇත.
සමකාලීන සියලු ආගමික මතවාදීන්ට එරෙහිව ගිය අන්තවාදී ඉගැන්වීමක් ලෙස මේ
යුගයේ ජීවත් වූ ‘චාර්වාක’ නම් මතධාරියා ඉදිරිපත් කළ ලෝකායන නමින්
හැඳින් වූ පැරැණි භෞතිකවාදී අදහස් ද මෙකල ප්‍රචලිත විය. ඔහුගේ අදහස
වූයේ මරණය සියල්ලේ අවසානය බවයි. ඔවුන්ගේ පරමාර්ථය වූයේ මරණය තමා වෙත
පැමිණෙන තෙක් හොඳින් කා බී විනෝද වීමයි. සදාචාරය යනු මෝඩකමක් බවත්
විමුක්තිය යනු උග්‍ර තවුස් දම් පිරීමෙන් පමණක් ලද හැක්කක්ය යන්න තවත්
අන්තවාදයකි. මේ වූ කලී උසස් පෙළේ ශ්‍රමණ පිරිස් අතර තරයේ පිළිගත් ආගමික
සංකල්පයකි. දුෂ්කර ක්‍රියා සමයෙහි බෝසතාණන් වහන්සේට උපස්ථාන කළ පස්වග
මහණහු මේ විශ්වාසයෙහි තරයේ මුලින් එල්බගෙන සිටියහ.
බුද්ධත්වයට පෙර බුදුරජාණන් වහන්සේ ද මෙම අදහසට අනුව විවිධ දුෂ්කර
ප්‍රතිපදාවන්හි නිරත වූහ. පුරා වසර හයක් අතිශය දුෂ්කර වූ පිළිවෙත්
අනුගමනයෙන් පසු ඒ දුෂ්කර මාර්ගය අතහැර දමා උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව
අනුගමනය කළහ. බුද්ධත්වයෙන් හරියටම දෙමසක් ගිය තැන ඇසළ මස (ජූලි) පුන්
පොහෝදා බුදුරජාණන් වහන්සේ තමන්ට උපස්ථාන කළ පස්වග මහණුන් හට සිය පළමු
දහම් දේශනය පැවැත්වූහ. උන්වහන්සේගේ ඒ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්ක යන
නමිනි. අටුවා මතය අනුව මෙහි ධර්මාර්ය නම් ඥානය හෝ ප්‍රඥාව වන අතර චක්‍ර
යන්නෙන් සමාරම්භය සංස්ථාපනය යන අර්ථය ලැබෙන බවයි.
එසේ වූ විට ‘ධම්ම’චක්කප්ප වත්තන යන්නෙන් ප්‍රඥාව උදා කරන විවරණය වැනි,
අරුතක් ලබා ගත හැකි ය.’ධම්ම’ යන්නෙන්, සත්‍යය යන අරුත ද ‘චක්ක’ යන්නට
රෝදය යන අරුත ද ගතහොත් ධම්ම චක්කප්පවත්තන යන්නෙන් සත්‍යය නම් රෝදය යන
අදහස සිහි ගැන්විය හැකියි. බුදුරජාණන් වහන්සේ මෙම වැදගත් දේශනය මඟින්
තමන් විසින් සොයා ගනු ලැබු තම නව දහමෙහි හර වූ මධ්‍යම ප්‍රතිපදාව හෙවත්
අංග අටකින් යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය විවරණය කළ සේක.
උන්වහන්සේ දේශනය ආරම්භ කරන්නේ කාමසුඛල්ලිකානු යෝගය සහ අත්තකිලමථානුයෝගය
යන අන්ත දෙකම ශාන්තියට විමුක්තියට සත්වයන් නොපමුණු වන හෙයින් අතහැර
දැමිය යුතු බව පස්වග මහණුන්ට පැහැදිලි කරමිනි. මුල් අන්තය අපේ
ආධ්‍යාත්මික දියුණුව දුබල කරවන අතර දෙවැන්න බුද්ධිය හීන කරයි.
මෙසේ බුදුන් වහන්සේ මුලින්ම කර ඇත්තේ තම ශ්‍රාවකයන්ගේ සිත් සතන්
තුළින්ම වැරැදි අදහස් ඉවත් කර පසුබිම නිරවුල් කිරීමකි. ඔවුන් සිත්
මෘදුවට සංවේදී බවට පත් වූ පසු මේ අන්ත දෙකට අදාළ වූ තම පෞද්ගලික
අත්දැකීම් හෙළි විය.
තමන් මේ අන්ත දෙකෙහිම සාවද්‍ය බව තේරුම් ගෙන මැදුම් පිළිවෙත අනුගමනය කළ
බව ප්‍රකාශ කළහ ඒ නව මඟ සොයා ගන්නා ලද්දේ උන්වහන්සේ විසින්ම ය. ඉහත
සඳහන් කළ පරිදි ඒ නව මඟ හඳුන්වන ලද්දේ (මැදුම් පිළිවෙත) ‘මජ්ඣිම
පටිපදා’ ලෙසිනි.
එකිනෙකට පරස්පර අන්තවාද දෙක මෙන් නොව මධ්‍යම ප්‍රතිපදාව ඇත්ත ඇති
සැටියෙන්ම දකින්නට අවශ්‍ය අභිඥාව හා ප්‍රඥාව ජනිත කරයි. තවද රාග වර්ධනය
කරන ප්‍රථම අන්තය මෙන් නොව මධ්‍යම ප්‍රතිපදාව රාග නැති කරයි. එමනිසා
ශාන්තිය උදාවේ.
ඒ සියල්ලටම වඩා සතර ම සතර ඵල ලබා දෙයි. චතුරාර්ය සත්‍යාවබෝධය ද සිදු
කරයි. අවසාන අරමුණ වූ නිර්වාණ ප්‍රතිලාභයට ද හේතු වෙයි. |