UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුගුණ මහිමෙන් සැනසෙන මහියංගණ පුදබිම

බුදුගුණ මහිමෙන් සැනසෙන මහියංගණ පුදබිම

මහානාග වනුය්‍යානෙ
යක්ඛ සංගාම භූමියා
ලංකා දීපට්ඨ යක්ඛානං
මහා යක්ඛ සමාගමො

මහියංගණ ථූපස්ස
ඨානෙ වෙහාසයං ඨිතො
වුට්ඨිවාතන්ධකාරෙහි
තෙසං සංවේජනං අකා

සකල ජන වෙත පතල මහා කරුණා ඇති අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් නව වැනි දුරුතු මස පුර පසළොස්වක් පෝදින ලංකාදීපයෙහි මිනිපේ ජනපදයට අයත් බිම් තැන්නේ මහා නාගවන උයනට වැඩිසේක.

ප්‍රථමයෙන් අප සර්වඥයන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අති පරිශුද්ධ වූ භාරතයෙන් පිටදේශයක භූමියක් වූයේ නම් ඒ මේ මහියංගණ පරම පූජනීය ශුද්ධ භූමියය. මේ නිසා මහියංගණ ප්‍රදේශයම ලංකා බෞද්ධ ශිෂ්ඨාචාරයේ අසහාය කේන්ද්‍රස්ථානය බවට පත්විය. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩීමත් මහියංගණය ඇතුළු සොළොස්මස්ථානයකට වැඩීමෙන් පරම පූජනීයත්වයට පත්වීමත් , මහාවංශ, දීපවංශ, පූජාවලිය ථූපවංශාදී ග්‍රන්ථවල පුන පුනා විස්තර වන්නේය. බුද්ධශාසනයේ ඉතිහාසයත් සිංහල ජනවර්ගයේ ව්‍යාප්තියත් පර්යේෂණ කිරීමේදී මහියංගන සිද්ධස්ථානය ප්‍රමුඛතම වන්නේය.

ලොව්තුරා බුදු බව ලබා නව වැනි මස උරුවෙල් ජනපදයෙහි වැඩ ඉඳ එතුමාගේ ශාසනය නිර්මලව කොහි පිහිටන්නේ දැයි දිවැසින් බලාවදාරා මේ ලංකාදීපය බව දැනගෙන දුරුතු මස පෝ දින උතුරු කුරුදිවයින පිඬුසිගා අනෝතත්ත විල් තෙරදී දන් වළඳා සවස් භාගයේ ලක්දිව මහවැලි ගඟබඩ බින්තැන්නේ මහානාග වන උයන යක්‍ෂ සමාගමට ඉහළ අහසේ වැඩ සිටි සේක.

සවණක් ගණ බුදු රැස් මාලා විහිඳුවමින් අහසේ වැඩ සිටින බුදුරදුන් දුටු යක්‍ෂයෝ තැතිගෙන අපට අභයදානය දුනමැනවැයි ඉතා බැගෑපත්ව ආයාචනා කළහ. එවිට බුදුරදුන් ඔවුන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් තොපට අභයදානය දෙමි. දුකද බැහැර කරමි. මට හිඳිනා තැනක් දෙවයි වදාළ සේක. ඒකෙනෙහි යක්‍ෂයෝ ‘නිදුකාණෙනි”මේ සියලු ලක්දෙරණම ලබන සේක්වා අපට අභයදානය දුන මැනවැයි යළිත් ආයාචනා කළහ. අප බුදුරජාණන් වහන්සේද පහතට වැඩ හිඳ යක්‍ෂයන් ගිරි දිවයිනට පමුණුවා එම අවස්ථාවේ රැස්වූ දේව සමූහයාට උතුම් දහම් දෙසූ සේක. ‘සමනොළගිර සමන් දෙවියන් ප්‍රධාන දිව්‍ය සමූහයා දහම් අසා සෝවාන්ඵලයට පත්වූ අතර සමන්දෙවිඳුන් බුදුන් වැඳ ස්වාමීනි, බුද්ධෝත්පාද කාලයෙහි මෙසේ යක්‍ෂාවාසයක් නොවන පරිදි අපට වැඳ පුදා ගැනීමට පූජ්‍ය වස්තුවක් දෙවා වදාළ මැනවැයි ආයාචනා කළෙන් බුදුහු සිරස පිරිමැද කේශධාතු මිටක් දෙවා වදාළ සේක.

සම්බුදු සසුන ආරක්‍ෂාවන්නේ බෞද්ධ සංකේත මාර්ගයෙන් ආධ්‍යාත්මය තුළට ඇතුල්වන අදහස් අනුවය.දාර්ශනික චින්තාව තමාට මෙන්ම මෙරමාටද පොදු සමෝධානයකින් විමුක්තිය දක්වා සන්තානගත කිරීමට සංකේත හේතු සාධක වන්නේය.අප තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ උපතේ පටන් පරිනිර්වාණය දක්වා පරිහරණය කළ ධාතු බෝධි පාත්‍රා සිවුරු සියල්ල පූජ්‍ය වස්තු වශයෙන් සලකා බුදුන් දහම් සඟුන්, පිළිබඳව ඉමහත් ශ්‍රද්ධාවෙන් පුද පූජා කළ වග ශාසනවංශ කතාවේ විස්තර වන්නේය.

මහා සුමන දෙවිඳු බුදුරදුන්ගෙන් ලබාගත් කේශධාතු රන් කරඬුවක තැන්පත්කොට බුදුන් වැඩ සිටි ස්ථානයේ නිදන් කොට සත්රියන් ඉඳුනිල්මිණි චෛත්‍යයක් කරවා පුද පූජා සිදු කළහ. අප බුදුරජාණන් වහන්සේ වෙනුවට මිහිමත කළ ප්‍රථම චෛත්‍ය ලෙස මහියංගණ චෛත්‍ය පඨමක චේතිය නමින් ප්‍රකටව වාර්තා වන්නේය.

අප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කළ එම ශ්‍රී ශරීරය ආදාහන කළ චිතකයෙන් ගී‍්‍රවා ධාතුන් වහන්සේ ගෙන අවුත් සරභූ මහරහතන් වහන්සේ මෙම මහියංගණ සිද්ධස්ථානයේ සදහන්කොට දොළොස්රියන් උස මේදවර්ණ පාෂාණ චෛත්‍යයක් කරවා විවිධ පුද පූජා පැවැත්වූහ.

මහියංගණ ප්‍රදේශය හෙළ රජදරුවන්ගේ ජයබිමක් ලෙසද ඓතිහාසික වාර්තාවල සඳහන් වන්නේය. දේවානම්පියතිස්ස රජතුමාගේ සොයුරු උද්ධ චූළාභය රජතුමා මෙම අසිරිමත් චෛත්‍ය දැක ඉතා ශ්‍රද්ධාවෙන් තිස් රියන් උස චෛත්‍යයක් කරවා ශක්ති ප්‍රමාණයෙන් පුද පූජා කළහ. එමෙන්ම දුටුගැමුණු රජතුමා ලංකාව එක්සේසත් කිරීමට දමිළ සේනාව සමඟ සටන් වදින්නේ සේනා සහිතව පිළිවෙළින් අවුත් මහියංගණ ප්‍රදේශය අත්පත් කරගෙන සිටි ඡත්ත නම් දමිළ සේනාපති ප්‍රධාන සේනාව යටත්කොට විජිතපුර ජයගෙන සිරිලක් බිම එක්සේසත් පාලනය සියයට ගෙන මහියංගණ චෛත්‍ය අසුරියන් උසට බඳවා ඉමහත් පුද පූජා පැවැත්වූහ.

ආගමික හා ජාතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද සිරිලක බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වසර දෙදහස් පන්සිය ගණනක ඓතිහාසික පිය සටහන් කලින් කල වාර්තා වන්නේ තිරසර සාධක සහිතවය. මහාවංශය,ථූපවංශය, එළු හත්ථවනගල්ල විහාරවංශය ආදී ග්‍රන්ථවල තොරතුරුවලින් මහියංගණ සිද්ධස්ථානයේ උදාරත්වය හා රජදරුවන්ගේ සම්බන්ධය මෙන්ම ජනතාවගේ පුද පුජා පෙරහර පිළිබඳ විස්තර වන්නේය.

සිරිසඟබෝ රජතුමා වැනි බෝසත් ගුණ ඇති රජදරුවන් හැදී වැඩී රට,ජාතිය,ආගම ආරක්ෂා පෝෂණය කරන්නට තරම් පරිසරය සකස් වූ මෙම වන්දනීය, පූජනීය සිද්ධස්ථානය වරින් වර ජරාවාස වූ අයුරුද යළි යළිත් පුනරුත්ථාපනය කළ අයුරුද දක්නට පුළුවන.

දුටුගැමුණු රජතුමා, මහියංගණ ප්‍රදේශයම ආගමික ජාතික වශයෙන් දියුණු තියුණු කළහ. සොරබොර මහාවාපිය කරවා වාරිකර්මාන්තය මගින් කෘෂිකර්මයට අවශ්‍ය ජලය ලබාදී ජනතාවගේ ජීවන ක්‍රමය උසස් ලෙස තහවුරු කළහ. ආගමික ශ්‍රද්ධාව ජාතිකාභිමානය, ආර්ථික සම්පත්තිය එක්වන්ව සුරක්‍ෂිත කිරීමට හෙළ නරවිරුවන් කළ මෙහෙය මහියංගණ ශුද්ධ භූ®මිය සිසාරා විහිදී ඇති වැව් හා දහස් ගණන් සරුසාර කෙත්වතු වලින් ප්‍රකට වන්නේය.

මහියංගණ සිද්ධස්ථානය සම්බන්ධ මෑත ඉතිහාසයේ සඳහන් වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවර ඩී.ඇස්.සේනානායක ශ්‍රීමතාණන් හා ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍ය තුමන්ලාගේ ප්‍රමුඛත්වය සදානුස්මරණීය වන්නේය. විශේෂයෙන් මහියංගණ චෛත්‍යවර්ධන සමිතිය මෙම මහා කාර්යභාරයේ පෙරමුණ ගෙන රාජ්‍ය අනුග්‍රහය හා පොදු ජනතාවගේ ආධාර උපකාර ලබාගෙන චෛත්‍ය පාදමේ පටන් ක්‍රමයෙන් අවසානය දක්වා වාස්තු විද්‍යානුකූ®ලව කලාත්මකව වැඩ නිම කළේ ඉතා අසිරිමත් ලෙසය.

බුද්ධ ශාසන ඉතිහාසයේ ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීමේ මහා පුණ්‍ය මහෝත්සවයට සමගාමීව ලංකා රජයත් මහජනතාවත් එකාවන්ව ක්‍රියාත්මක වෙද්දි මහියංගණ හා මුතියංගණ යන චෛත්‍යරාජයාණන් වහන්සේලාගේ ප්‍රතිසංස්කරණ කාර්යන් නිමාවේදි වර්ෂ 1956 (බුද්ධ වර්ෂ 2500) සම්බුද්ධ ජයන්තිය උදාවූ වෙසක් පුර පසළොස්වක් පෝදින උදෑසන මුතියංගණ මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ මස්තකයෙහි අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාලාභිධාන නාහිමියන් වහන්සේ දසලක්ෂ සංඛ්‍යාත, ජනතාවගේ සාධුනාද මධ්‍යයේ පංචතූර්ය නාද දසත විහිදෙද්දී අනඟි මාණික්‍ය සහිත රන්කොත් වහන්සේ පිහිටුවා වදාළ සේක.

මහියංගණ පූජනීය සිද්ධස්ථානයේ නායක පදවිය හෙබවූ මුල්ලේගම ශ්‍රී ගුණරතනාභිධාන මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහානායක මාහිමියන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා රජයේ අනුග්‍රහයෙන් පිහිට වූ මහියංගණ චෛත්‍යවර්ධන සමිතිය මෙම චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කාර්යන් කරවා අවසන්කොට සමස්ත ලෝකවාසී ජනතා හදවත් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පිනායන ආකාරයට කේතුපිලන්දන මහා පුණ්‍යෝත්සවය සිදුකරන ලදී.

ධර්මශාලා, සංඝාරාම, විශ්‍රාමශාලා, ආදි සියලු අංගෝපාංගයන්ගෙන් සමලංකෘතව ගිහි පැවිදි ජනතාවගේ අත්‍යවශ්‍යතා සම්පාදනය කිරීමෙහි සතත නිරතවන වර්තමාන මහියංගණ නායක පදවිය උසුලන ගලගම ශ්‍රී අත්ථදස්ස්‍යාභිධාන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු අනුනායක මාහිමියන් වහන්සේගේ විශේෂ පුරෝගාමිත්වය අසිරිමත්ය.

ශ්‍රද්ධා භක්තිය පෝෂණය කරන චෛත්‍යරාජයාණන් වහන්සේ මෙන්ම ජනීජනයාගේ නෙත්සිත් සනසන අෂ්ටඵලරුහ බෝධිරාජයාණන් වහන්සේගේ ශාන්ත සුන්දර දර්ශනයද විහාර මන්දිරයෙහි වැඩ සිටින ප්‍රභාමත් බුද්ධ ප්‍රතිමා වහන්සේද හිතැතින්ම දනවන භාවනාවෙන් ධ්‍යාන ගතකොට නිර්වාණගාමී ප්‍රතිපදාවට මග සළකුණු දක්වන්නාක් මෙනි.

මෙම වන්දනීය පූජනීය රාජකීය සිද්ධස්ථානයේ භාරකාර අස්ගිරි මහා සංඝ සභාවේ කාරක සභික උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ මනා පාලනය මෙන්ම ආගමික ජාතික කාර්යන් නිසාම දින දින දියුණුවීම අප සැම අමන්දානන්දයට හේතු වන්නේය.

දෙලොව යහපත සැලසේවා
ඔබ සැමට තෙරුවන් සරණයි

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 06 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.35 ට ලබයි.07 වැනි දා සිකුරාදා අපරභාග 01.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk