UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විශ්මය දනවන කළුතර මහා සෑය

කළුගග මුහුදට වැටෙනා ඒ මෝය කට ආසන්නයේ, කිසිදා දැක එපා නොවන සොඳුරු මහා සයුර තීර්ථයේ, පුළුල් ජල තලාවකින් සැදි කළු ගඟ ඉහැත්තෑවේ, කළුතර පුදබිම නම් ඒ අසිරිමත් කෙම්බිම පිහිටා තිබේ.

කොළඹ සිට ගාල්ල මාතර හරහා කතරගම දක්වා යනෙන වන්දනාකරුවන් මෙන්ම එදිනෙදා ගමන් බිමන් යන මගී ජනතාව කළුතර බෝ සමිඳුන් ඉදිරියේදී වාහනයෙන් බැස පඬුරක් දමා යෑමට අමතක නොකරති.

මෙම පුදබිම අතරින් ගමන් ගන්නේ ගාලු පාරය .එම පාරට කිසිදු විවේකයක් නොමැත. තොරතෝංචියක් නොමැතිව දිවෙන වාහන පෙළ ය.

ගාල්ල පැත්තේ සිට එන වාහනත් කොළඹ සිට යනෙන නොයෙකුත් වාහනත් බෝ සමිඳුන් සමීපයේදී මොහොතකට නවතියි. සියලු මගී ජනතාවගෙන් පින් කැටයට වැටෙන පඬුරු මුදල් පැසක් බවට පත්වෙයි. ඒ බෝ සමිඳුන් වෙත පානා ගෞරවය, භක්තිය, විශ්වාසය, කෘතවේදීත්වය , ප්‍රාර්ථනාවන් වැනි පුළුල් අරුතෙන් විග්‍රහ කළ හැකි සන්සිද්ධියක ප්‍රතිඵලය වශයෙන් බෝ සමිඳුන් වෙත පිදෙන මුදල් ය. ශ්‍රී පාද අඩවියේ සිට සැතැපුම් සිය ගණනක් මහා දිගු ගමන් මඟක් ගෙවා එකතු කර රැගෙන එන මහ ජල කඳ කළබලයෙන් තොර සුහද උණුසුම් හැඟුමෙන් මහ සයුර පිළිගන්නේ මේ මෝය කටේදී ය. බිඳුවෙන් බිඳුව ගලනා ජල ගඟ සයුරක් වෙන්නා සේ, කාසියෙන් කාසිය එකතු වී පිදෙන මේ බෝ සමිඳු අභියස පින් කැටයට වැටෙනා මුදල තරවී කඳු නොගැසෙන සෙයකි.ශ්‍රීමත් සිරිල් ද සොයිසා වැනි පරහිත කාමී දැහැමි මිනිසෙකු නිසා ගොඩනැගෙන කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙම බෝ සමිඳුන් වෙනුවෙන් පිදෙන මුදල් මේ බිමේ විවිධ වූ දැහැමි කාර්යයන් වෙනුවෙන් පරිත්‍යාග කරති. අප මාතෘ භූමිය පෝෂණය කිරීමට ඒ එක් වන මුදල් විසුරුවා හරිති. පඬුරක් දමා කරන ප්‍රාර්ථනය සපල වී ගං දිය තරමට පින් පැස වර්ධනය වී සයුරක් තරමට දසත විහිදුනු උත්තම පූජාවන් රැසකට දායක වූ ඔබ සැමට නමක් නොමැති සැදැවතෙකු වශයෙන් නිබඳ කෘතවේදීත්වය පිදෙනු බව නියත ය. මෙවන් අසිරිමත් සන්සිද්ධියක් සහ සබැඳෙන තවත් ඉතා විශ්මිත වූ යමක් ගැන කියන්නට නිබඳ සිත පෙළඹෙන්නේ කළුතර චෛත්‍ය හා බැඳෙන පුවත නිසාම ය.

මෙය කළුතර මහා වටදාගේ චෛත්‍ය රාජයාණන් වශයෙන් හඳුන්වති. චෛත්‍ය සෑදීමට මුල්ගල තැබෙන්නේ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන් අතින් 1964 වසරේදී ය. චෛත්‍යය කොත පැළඳෙන්නේ 1974 වසරේදීය. වර්ග අඩි 7151 ක් වූද වට ප්‍රමාණය අඩි 300 ක් වූ ද විශ්කම්භය අඩි 974 ක් සහ උස අඩි 185 ක් ද වූ මෙම කළුතර ස්තූපය චෛත්‍ය වංශ කතාවේ විප්ලවීය වෙනසක් ඇති කළ මහා සැමරුමක් වශයෙන් ඉතිහාස ගත වනු නියතය.

එදා පැරණි රජ දරුවන් අහස උසට මහා ස්තූප ගොඩනඟා මෙවන් විශ්ම කර්ම කාර්යයන් කළේ කෙසේ දැයි කියන තරමට අප ඔබ මවිතයට පත් කළහ.

මෑත යුගයේ ඒ චෛත්‍ය ආකෘතිය විශ්මයකට පත් කරවන්නේ කළුතර මහා සෑ රඳුන් යැයි පැවසුවහොත් ඔබ මා සමඟ එකඟ වෙනවාද නොවනවාදැයි මම නොදනිමි.

පස්කඳුගොඩ ගසා නිසි හැඩය ගෙන ගඩොලින් ආවරණය කර චෛත්‍ය ආකෘතිය සාදා මහාසෑයක් ගොඩ නැගීම සම්ප්‍රදායික ලක්‍ෂණයකි. එදා සිමෙන්ති නොමැති වූ නිසා ගඩොල් බැන්දේ විශේෂයෙන් තනාගත් වෙනත් සවිමත් බදාමයකිනි.

බැමි සවිමත් කිරීමේ අටියෙන් නූතන ලෝකය සිමෙන්ති සොයා ගෙන ඇත. කොන්ක්‍රීට් තාක්‍ෂණය ද පැමිණෙන්නේ එහි වැඩි දියුණුවත් සමඟය.

එදා සම්ප්‍රදායික විශ්මය අද තාක්‍ෂණයේ විප්ලවීය වෙනසක් සමඟ පුදුමයට පත් කරවන කළුතර චෛත්‍ය පස් කන්දෙන් ගොඩනොනැගුණු හිස් අවකාශය මතින් ජනිත වන විශ්මිත බව චෛත්‍යයේ ඇතුළු ගර්භයේ දෝංකාරය සේම හද කුටීරයේ ඇතුල් ගර්භයද දෝංකාර දනවනු සුළු ය.

විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයකගේ පුතෙක් බඳු කොන්ක්‍රීට් තාක්‍ෂණයේ පෙරළිකාර නයමුවකු වූ දේශබන්ධූ විද්‍යාජෝති ආචාර්ය ඒ.එන්. එස්. කුළසිංහ සිවිල් ඉංජිනේරුවරයාණන්ගේ තේජෝ බල පරාක්‍රමය විදාහළ මේ කළුතර මහා සෑ රඳුන් පෙරදා පස්ගොඩකින් වැසී පැවැති ධාතු ගර්භයේ ආකෘතියට නව අරුතක් එක්කර තිබේ. මෙම ධාතු ගර්භයේ අවකාශයේ නිදහස ඔබව ස්තූප නිර්මාණයේ වෙනත් ඉසව්වක් වෙත කැඳවාගෙන යයි. කළුතර බෝ සමිඳු වෙත අප බොහෝ දෙනා පැමිණෙන්නේ ශීඝ්‍ර ගමනෙනි. පඬුරක් පුදා දොහොත් මුදුන් තබා බෝ සමිඳුන්ට වැඳ ආපසු යන්නේද ශීඝ්‍ර ගමනෙනි.

මේ ශීඝ්‍ර ගාමීත්වයෙන් මොහොතකට මිදී මලක් රැගෙන ඔබ සෙමෙන් සෙමෙන් මේ චෛත්‍ය වන්දනාමාන කිරීමට උඩමළුව වෙතට පිවිසෙන්න, .

එහෙත් ඔබ අවසානයේ නවතින්නේ චෛත්‍ය ගර්භය තුළය. ඔබ විශ්මයෙන් වටපිට බලනු නියතය. චෛත්‍ය බඳේ ඇස් කවුළු තුළින් පෙනෙන අනන්ත වූ මහ සයුරේ රළ රැළි නැඟෙන රිද්මය සේම නිබඳ ඔබගේ සිතුවිලි උස් පහත් කරමින් චලනය කරනු නියතය.

මේ මහා, හිස් අවකාශය සහිත ගර්භය වට කර ඇති කොන්ක්‍රීට් වෘත්තාකාර චෛත්‍ය බඳෙහි බර නවතා ගන්නේ කොතනින්ද? කෙළෙසඳ? එහි වන මහා බරක පීඩනය පොළව තෙරපන විට එය නවතාගන්නේ කෙළෙසද? මෙම නූතන ඉදිකිරීම් තාක්‍ෂණයේ අභියෝගයන් ජය ගන්නේ කෙලෙසක ද ඒ ගැන ඔබ සිතුවේද?

බිත්තරයක් යන්තමින් යමක වැදුණහොත් පුපුරණ බව ප්‍රායෝගික සත්‍යයකි. එහෙත් මේ දුර්වල වැස්ම සහිත බිත්තරයේ මුදුන් දෙක ඇඟිලි දෙකකින් කොතරම් තෙරපුව ද පුපුරා නොයන ස්වභාව ධර්මයේ සරල විශ්මිත න්‍යාය මේ පුදුම ගොඩනැඟීමට න්‍යායාත්මකව යොදාගත් බව මා අසා තිබේ.මා වැරදි දැයි මම නොදනිමි. ඒත් මෙය පුදුමයක්ම නොවන්නේ දැයි හැඟෙයි. ඒ මහා හිස් ගර්භය තුළ තවත් ස්තූපයක් ගොඩනගා තිබේ. ඒ වටා රමණීය පෙනුමැති පිළිම වහන්සේ හතර නමක් සමාධි සුවයෙන් වැඩ සිටියි. ඔබ චෛත්‍ය බඳ තුළට ඇතුල් වීමේදී එය හිස් අවකාශයෙන් පමණක් පිරී පැවතියේ නම් ඔබගේ කැළඹෙන සිත අන්ද මන්ද වනු නියතය. එහෙමත් දැන් ඔබට කැළඹෙන්නට වුවමනා නැත. මෙවන් තැනකදී ඔබගේ බැතිය සදැහැති බව තව තවත් වර්ධනය වනු ස්ථිරය.

මලක් පුදා සිතින් නොව මුවෙන් සෙමෙන් ගාථාවක් මුමුණන්න. දෝංකාරයට මුසුවී රාව ප්‍රතිරාව දෙන හඬ ඔබට ඇසෙනු ඇත.

එවිට පුංචි මිනිසකුගේ කෙසඟ සිරුරේ මොල කුහරය තුළ ගොඩනැඟුණු පුළුල් ඤාණය තාක්‍ෂණික විප්ලවයක් වෙනුවෙන් පෙළ ගැසුණු හැටි ඔබට සිහිවේවි ද?

පුංචි මිනිසාගේ යෝධ ප්‍රතිරූපය බර අඩි තබා යන හඬ මේ චෛත්‍ය ගර්භය තුළ දෝංකාර දෙමින් පවසන්නේ ස්වභාව ධර්මයේ සත්‍යයට නතු වූ නිසා මිය ගිය මිනිසකුගේ නොමියන නාමය සදාතනික ව පිදුම් ලබන බව ය.

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 06 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.35 ට ලබයි.07 වැනි දා සිකුරාදා අපරභාග 01.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk