UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

මඩිතියවෙල ශ්‍රී මේධංකර නාහිමි

අඹේපුස්ස පිරිස්යාල සේනානායක මුදලින්දාරාම මහ පිරිවෙන් විහාරාධිපති ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මඩිතියවෙල ශ්‍රී මේධංකර නාහිමිපාණන් වහන්සේගේ ජනාවරි 18 දිනට යෙදුණු 65 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද පූජා පින්කම් මාලාවක් සිදු කෙරිණි. ජනවාරි 18 වෙනි දින අලුයම් කිරි අම්මාවරු සිය දෙනෙක් උදෙසා කිරි දාන පූජා කොට 19 වෙන දින දහවල් මහා සංඝගත දක්‍ෂිණාවක් හා සවස පත්තලගෙදර බෝධිමංගලාරාමවාසී ගෞරව ශාස්ත්‍රවේදී කණුවන පියසිරි හිමියන් ආශිර්වාද බෝධිපූජාවක් ද පැවැත්විණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හිස්සැල්ල (එස්සැල්ල) ග්‍රාමයේ දොන් හෙන්ද්‍රික් කරුණානායක මැතිතුමාට සහ බමුණු ආරච්චිලාගේ ජේන් නෝනා මැතිනියට දාව 1950 ජනවාරි 18 වැනි දින මෙලොව ජන්මලාභය ලත් කරුණානායක පතිරන්නැහැලාගේ ජයන්ත බන්දුල කරුණානායක කුමරුවන් රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදයාභිධාන මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායෙන් හා බාඳුරාගොඩ ශ්‍රී මුනින්දානන්ද, දෙල්වල ශ්‍රී මුනින්දෝභාෂ යන මහා ස්වාමීන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 1962 මැයි මස 08 වැනි දින ප්‍රවෘජත්වයට පත්ව 1969 කැලණිගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී අධී සීල සංඛ්‍යාත උපසම්පදා භූමියට සපැමිණි උන්වහන්සේ 1993 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවියෙන් පිදුම් ලැබූහ.

1967,07,07 දින සේනානායක මහා පිරිවෙන ආරම්භ කෙරිණි. එය 1969 ජනවාරි 01 වැනි දින රජය පිළිගත් ආයතනයක් බවට පත්විය. මඩිතියවල මේධංකර අනුනාහිමියෝ 1969 ජනවාරි 01 වැනි දින සිට 2010,10,18 තෙක් හතළිස් වර්ෂයක්ම සේනානායක මහා පිරිවෙනෙහි පරිවේනාධිපති පදවිය උසුලමින් ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසක් බිහි කරන ලදහ.

1993 බාඳුරාගොඩ හඟවත්ත ශ්‍රී‍්‍ර රාජගිරි විහාරස්ථානයෙහි ස්වකීය ආචාර්යන් වහන්සේ සිහිගන්වා විජය ශ්‍රී මුනින්දොභාස පිරිවෙන ආරම්භ කළ අනුනාහිමියෝ 2000 අනුරාධපුර ශ්‍රී මහා මහින්ද පිරිවෙන ආරම්භ කළහ.විජයෝත්පාය නමින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. එතෙකුදු නොව අනුනාහිමියෝ සිය ආධිපත්‍ය දරන සිද්ධස්ථානයන්හි ධර්ම ශාලා , දානශාලා, සංඝාවාස, රාශියක් ඉදිකරවීමෙහිලා මූලිකත්වයන් දැරූ අතර පිරිස්යාල සේනානායක පිරිවෙන, බාඳුරාගොඩ ආනන්ද මහා විහාරය, හඟවත්ත ශ්‍රී රාජගිරි විහාරය, මඩිතියවෙල ධර්මවර්ධනාරාමය, බටුවන ශ්‍රී‍්‍ර බෝධිරුක්ඛාරාමය, නිවටුව ශ්‍රී සුමේධාරාමය, මාවිහේන අශෝකාරාමය, කිණදෙනිය සිරිවර්ධනාරාමය, යන ස්ථානයන්හි චෛත්‍යයන් 07 ක් ඉදිකළ අතර මීගමුව විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේද අභිනවයෙන් චෛත්‍යය ඉදි කරමින් පවතී. එසේම යාපනය දෙමළ බෞද්ධ සංගමය මෙහෙය වීමෙන් යාපනයේ චුන්නාකම්වල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායික විහාරස්ථානයක් ආරම්භ කිරීමට නා හිමියෝ කටයුතු කරමින් පවතී. එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ පරිවේණාධිපති කෘත්‍යාධිකාරි සංගමයෙහි ගරු සභාපතීන් වහන්සේ ලෙස වසර 20 කට ආසන්න කාලයක් කටයුතු කළ නා හිමියෝ මේ වන විටත් එකී පදවියෙන් පිදුම් ලබා වැඩ සිටිති.

2011 දී තම පිරිවෙන් මහා විහාරයේ වසර තුනක් තුළ ඉදිකොට නිමවූ ලක්දිව විශාලතම සැතපෙන පිළිම වහන්සේ නේත්‍රා පූජෝපහාර මහෝත්සවයේදී ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිමිපාණන් හඳුන්වා දෙනු ලැබුයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මඩිතියවෙල ශ්‍රී මේධංකර ස්ථවිරපාදයන් වහන්සේ පුදුමාකාර දස්කම්වලින් හෙබියා වූ සංඝ පීතෘවරයාන කෙනෙකු බවය.අනුනායක ශ්‍රී භාරතීන්ද්‍ර, මුනිÁදානන්ද, මුනිෙÁදාභාස, වංශාවතංස ප්‍රවචන කීර්ති ශ්‍රී සංඝශෝභන, සද්ධර්ම, ජොත්‍යාසභ, කවි ධජ, ශාස්ත්‍රවේදී මඩිතියවෙල ශ්‍රී‍්‍ර මේධංකරාභිධාන ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට චිරජීවනය පතමු.


වැයිහේනේ කස්සප නා හිමි

1939 පෙබරවාරි මස 04 වන දින වැයිහේනේ කිඹුලාවල ජන්ම ලාභය ලැබූ කුමරුවා 1951 මැයි 17 වනදා වැයිහේනේ කස්සප නමින් හප්පාවන ශ්‍රී වර්ධනාරාමය, මීගොඩ පූර්වාරාමයෙහි අධිපති වූ කතලුවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, මීගොඩ විමලජෝති ස්වාමීන් වහන්සේ, පණ්ඩිත කොක්මාදුව ගුණසිරි ස්වාමීන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්විය.හීනටිගල විද්‍යාකාන්ති පිරිවෙණේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල විද්‍යාලෝක පිරිවෙණට ඇතුළත්ව අනතුරුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ.උන්වහන්සේ 1966 සිට 1996 දක්වා ඉඳුරුව මහා විද්‍යාලය, ලනුමෝදර විජය මහා විද්‍යාලය, පිලාන තක්‍ෂිලා විද්‍යාලය යන ස්ථාන වල සේවය කර ඇත. 2005 මැයි මස ගුරුදේව පණ්ඩිත කොක්මාදුව ගුණසිරි හිමියන් අපවත් වීමෙන් පසු විහාරාධිපති ධුරයට පත්විය. මීගොඩ පූර්වාරාමය, හප්පාවන ශ්‍රී වර්ධනාරාමය, මැලෑගොඩ බෝධි ආරාමය අංග සම්පූර්ණ විහාරස්ථාන බවට පත් කිරීම සදහා දායක කාරකාදීන්ගේ හා තමන් වහන්සේට ලැබුණ දේපළ වියදම් කර ඇත..ශාසනික වශයෙන් අක්මීමන ශාසනාරක්‍ෂක මණ්ඩලයේ සභාපති වශයෙන්ද දහම් ගුරු සංසදයේ සභාපති වශයෙන්ද අක්මීමන සමථ මණ්ඩලයේ අවු. 20 ක් සේවය කර ඇත.

විහාරස්ථානයන්හි දහම් පාසල් වල ප්‍රධානාචාර්ය වශයෙන්ද ඉමහත් සේවයක් සිදු කරයි. පළාතේ ස්වේච්ඡා සංවිධාන හා සම්බන්ධව ක්‍රියා කරන උන්වහන්සේ ගම්පළාතේ දියුණුවට කටයුතු කරන උසස් ගණයේ යතිවරයාණන් වහන්සේ නමක් හැටියට සඳහන් කළ හැක. උන්වහන්සේගේ 75 වන ජන්ම දිනය මුල් කර ගෙන සෙත් පැතීම සඳහා පෙබරවාරි 03 වන දින පිරිත්දේශනාවක් හා පසු දින සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමට ශිෂ්‍ය පිරිස සංවිධානය කෙරිණි.තවත් බොහෝ කලක් ශාසනික සේවය කිරීම සඳහා වැයිහේනේ කස්සප නායක ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ පතමි.


මිරිස්සේ ධම්මික හිමි

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් 1964 පෙබරවාරි මස 5 වනදා මිරිස්සේ හේන්වල ග්‍රාමයේ උපත ලැබූහ. උන්වහන්සේ සසුන්ගත වූයේ 1973 ජනවාරි මස 11 වනදාය. ගමේ හේන්වල පාසැලේ අකුරු කිරීම ඇරඹූ උන්වහන්සේ නවවන වියේදී සසුන් ගත වූහ. ගමේ පන්සලේ පොල්හේනේ සුගුණ නායක හිමියන්ගේ උපදෙස් අනුව මිරිස්සේ උඩුපිල සුධර්මාරාමයේ එකළ නායක හිමියන්ගේ් වූ මඟ පෙන්වීම මත මිරිස්සේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සසුන් ගත වූහ.

පිරිවෙන් අධ්‍යාපනය හා සමගාමීව උන්වහන්සේ අ.පො.ස. (සා.පෙළ) හා ප්‍රාචීන ප්‍රාරම්භය සමත්වී වයස 16 දී අ.පො.ස. (උසස් පෙළ) සමත්වී උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වී උපාධිය හිමිකරගෙන ඇත.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමකළ උන්වහන්සේ මහරගම ධර්මායතනයේ අපවත් වී වදාළඅග්ග මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහමහා නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1982 දී උපසම්පදාව ලබා ඇත.විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව කුරුණෑගල දඹදෙනිය,, කවුඩුමුන්න සීලක්ඛන්ධ පිරිවෙනේ පරිවේනාධිපති වශයෙන් වසරක් සේවය කළ ධම්මික හිමියෝ ඇහැළියගොඩ ඇරෑපොල මහින්ද මහ විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල්වල ධර්මාචාර්ය ලෙස උන්වහන්සේ සේවය කළහ.

ඩී.එස්.සේනානායක විදුහලේ ධර්මාචාර්ය ලෙස උන්වහන්සේ ප්‍රාථමික, ද්විතීය, හා උසස් පෙළ අංශවලින් එක් පංතියක් ගෙන සිසුන් දිනපතා උදෑසන සම්බුද්ධ පූජාවක් සහ ධර්ම සාකච්ඡාවක් පවත්වා ධර්ම ඤාණය වර්ධනය කිරීමට පාසලට නව මුහුණවරක් දුන්හ.

1986 කොළොන්නාවසාලමුල්ල ආනන්දාරාමයේ අධිපතිව සිටි මිරිස්සේ පියදස්සි හිමියන්ගේ අපවත්වීමෙන් ධම්මික හිමියන් එහි අධිපතිත්වයට පත්වූහ. ඒ වන විට බත්තරමුල්ලේ ශ්‍රී සුදස්සනාරාමය අක්‍රිය තත්ත්වයක පැවතීම නිසා මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන්ගේ ආරාධනයෙන් ධම්මික හිමියෝ එම විහාරස්ථානයට පැමිණ ඇත.

කැනඩාවේ වැන්කුවර්හි ශ්‍රී ලාංකික පවුල් 20 පමණ පිරිසකගේ ආයාචනයක් පරිදි එහි වැඩම කළ ධම්මික හිමියෝ දරුවන් 10 දෙනෙකුගෙන් දහම් පාසලක් ඇරඹීය.

ධම්මික හිමියන් සුදු ජාතිකයින් පැවිදි කිරීම නිසා කිසිදු භේදයක් නැතිව සේවය කිරීම නිසා බෞද්ධයින් බවට පත්වූ විශාල පිරිසක් වෛද්‍යවරු, ඉංජිනේරුවන් බිහිවූහ. ඉංගී‍්‍රසි බසින් පොත පත ප්‍රචාරය කිරීම සහ භාවනා පන්ති හා ධර්ම දේශනා මගින් බෞද්ධයින්ගේ සංඛ්‍යාව වැඩිවී ඇත.

2004 දී උන්වහන්සේගේ ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවයට විදේශිකයින් විශාල පිරිසක් පැමිණ සිටි අතර එහිදී උන්වහන්සේ ගේ උපාධි නිබන්ධන දෙකක් දොරට පිවිස ඇත.

උන් වහන්සේ ශ්‍රී ලාංකික ජනතාවට අධ්‍යාපන සේවයක් ලබාදීමේ අදහසින් ශ්‍රී ලංකා කැනඩා ශිෂ්‍යත්ව පදනම් බිහි කළහ. මෙමගින් ශිෂ්‍යයන්ට ලබාදුන් ශිෂ්‍යත්ව මගින් දුප්පත් දරුවන් දහස් ගණනකට සෙත සැලසී ඇත.

බත්තරමුල්ලේ ශ්‍රී සුදස්සනාරාම ආරාමය තුළ සිදු කෙරෙන ආගමික වැඩසටහන් අතර ආරාමය තුළ දිනපතා හා මාසිකව පැවැත්වෙන සීල,භාවනා, පින්කම්වලට අමතරව සිංහල පාසල සෑම ඉරිදාවකම පැවැත්වේ.දරුවන් 1500 කට අධික පිරිසකට මෙමගින් ධර්මඥානය ලබාදේ. 1998 සිට පැවැත්වෙන පාරමී සංවිධානය භාවනා වැඩමුළු ,මාසික දහම් හමුව, රට පුරා නිහඬ සේවයක් සිදුකරයි. ආරාමයේ හිමිවරු දිවයිනේ ඉතා දුර බැහැර ප්‍රදේශවල චාරිකා කරමින් ධර්මඤාණය බෙදාදීමට කටයුතු කරමින් සිටී.

සෑම පොහෝ දිනකම ධම්මික හිමියන් සංස්කරණය කරනු ලබන පොත්පත් නිකුත් කෙරේ. උන්වහන්සේ ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය හරහාද දහම් දැනුම ලබාදීමද විශේෂිතය.ආරාමය තුළ ක්‍රියාත්මක ධර්මායතනය පිළිබඳ වෙසෙසින් සඳහන් කළ යුත්තේය.

‘පැවිදි ජීවිතයක තිබිය යුතු ශික්ෂණය හා ආකල්ප වැඩ පිළිවෙළක් මගේ හිතේ තියෙනවා. මා යන ගමන නිවැරදිව යෑමට නම් යහපත් ආකල්ප වලින් පෝෂිත සම්මා සතියෙන් පරිපූර්ණව සිතන පිරිසක් අවශ්‍යයි. මෙය තවත් ආයතනයක් නොවේ. පැය 24 පුරාම භික්‍ෂු ආකල්ප අනුව ස්වාමින් වහන්සේ නිරතුරුව හැඩ ගස්වන තිඹිරි ගෙයකි.

දිවියට 50 විය සපුරන පැවිදි දිවියට 41 වසරක් සපුරන ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන්ට ලෝසත හිත සුව පිණිස සේවා කිරීමට චිරං ජයතු


වරකාපිටියේ සද්ධානන්ද නා හිමි

ඉමදූව දිවෙලේගොඩ පුරාණ මහා විහාරය කුඩාගොඩ ශ්‍රී සංඝාරාමය හා වාහල කනංකේ පි‍්‍රය වික්‍රමාරාමය යන විහාරයන්හි අධිපති වරකාපිටියේ සද්ධානන්ද නාහිමියන් පෙබරවාරි මස 04 වැනි දින තම දිවියේ 61 වන වියට පා තැබූහ.

වැලිගම් කෝරලයේ වරකාපිටිය ගම් පියසේදී 1953 පෙබරවාරි 04 වැනි දින ලියනපල්ලියගේ ජනෝරිස් අප්පුහාමි හා කනංකෙ ගමගේ සාදිනාහාමි යන පින්වත් මව්පිය දෙපළට දාව මෙලොව එළිය දුටු කුමරුවන් නව හැවිරිදි වියේදී ඉමදූව දිවෙලේගොඩ පුරාණ විහාරාධිපතිව වැඩ විසූ කෝදාගොඩ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ හා තල්පෙ පත්තුවේ ප්‍රධාන සංඝනායක කෝදාගොඩ සංඝානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වූයේ 1962 ජුනි මස 07 වැනි දිනය.අහංගම විද්‍යාචන්ද්‍ර හා කනංකේ රාජමහා විහාර පරිවේණස්ථාන ඇසුරින් කෝදාගොඩ ඥානාලෝක හා කනංකේ ඤාණාලෝක යන යතිවරයන් වහන්සේලා මගින් මූලික අධ්‍යාපනය ලැබූූ සද්ධානන්ද හිමියන් විසි වන වියට පා තැබීමෙන් පසු මනාව බණ දහම් හදාරා 1972 ජුනි මස 22 වැනි දින මහනුවර මල්වතු විහාර උපෝසථාගාරයේදී උපසම්පදාවට පත් වූහ.

තම ගුරු දේවයාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි ජාතික ආගමික විශාල සේවාවක් සිදු කරමින් හැමදෙනා අතර මහත් ගෞරවයට හා ජනපි‍්‍රයත්වයට පත් වූ උන්වහන්සේ කලක් කුඩාගොඩ ශ්‍රී සංඝාරාමයෙහි වැඩ වෙසෙමින් එහිදී වැල්ලානේ ගුණරතන වෙද හාමුදුරුවන් වහන්සේ මගින් ඇස් වෙදකම මනාව හදාරා හැම දෙනාට සුවිශාල වූ සේවාවක් ඉටු කරති. තම ගුරු දේවයන් වහන්සේ වන කෝදාගොඩ සංඝානන්ද නාහිමියන් 1988 දී අපවත්වීමෙන් පසු විහාර ගණයෙහි අධිපතිත්වයට පත් වරකාපිටියේ සද්ධානන්ද මාහිමියන් මේ වන විට මහත් ජාතික ආගමික පුනරුදයක් වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටු කරති. දිවෙලේගොඩ පුරාණ විහාරස්ථානය ඉතා අලංකාර ලෙස ගොඩ නංවා අගනා පුණ්‍ය භූ®මියක් බවට පත් කිරීම හා විශේෂයෙන්ම ජාතික ආගමික සේවාව නොපිරිහෙලා ඉටු කිරීමට හැකි විශාල උගත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සකස් කිරීමේ ගෞරවය හිමි වන්නේද සද්ධානන්ද මාහිමියන්ට ය.

මේ නිසාම වරකාපිටියේ සද්ධානන්ද මාහිමියන්ගේ උදාර සාසනික මෙහෙවර අගය කළ මහනුවර ස්‍යාමෝපාලි වංශික මල්වතු මහා විහාර සංඝ සභාව විසින් “සාසන කීර්ති ශ්‍රී‍්‍ර සංඝානන්ද යන ගෞරව නාමය සහිත තල්පෙ පත්තුව ඇතුළු මාතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය වරකාපිටියේ සද්ධානන්ද නාහිමියන්ට පිරිනමන ලදී.අප ගුරු දේවයාණන් වහන්සේ 61 වැනි වියට පා තැබීම නිමිත්තෙන් පෙබරවාරි මස 04 වැනිදා උන්වහන්සේට දිගාසිරි පැතීම පිණිස පින්කම් මාලාවක් සංවිධානය කොට තිබිණ.

 

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 06 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.35 ට ලබයි.07 වැනි දා සිකුරාදා අපරභාග 01.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]