97 වන
ගුණ සමරුව
ශ්‍රීමත්
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා
ගෝවින්න ශ්‍රී සුදර්ශන දහම්
පාසලේ දහම් ගුරු
ගෝවින්නේ යූ.ඩී. බන්දුසේන
19 වන සියවස ක්‍රිස්තියානි මිෂනාරින් සහ අධ්‍යාපනික ආයතනයක් ලක්දිව
ප්‍රභලව නැඟී සිටි අවධියකි. එවන් සමයක ජාතික වශයෙනුත් බෞද්ධාගමික
වශයෙනුත් පුනර්ජීවනයක් ඇති කිරීම සදහා ඇප කැප වූ ගිහි පැවිද උගතුන්
පිරිසක් ජාතියේ පිනට පහළ වුණි. ඔවුනතර කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් යන
නාමය ලක් වැසියන්ට ඉතාමත් හුරු පුරුදු අමතක නොවන නාමයකි.
ඕල්කට් තුමා විදේශිකයෙකි. එතුමා අභාවප්‍රාප්ත වී මේ වන විට 97 වසරක්
ගෙවී ගොස්ය. ඒ 2014 පෙබරවාරි 17 දාට ය.
මෙතුමාගේ මව් රට වශයෙන් සැලකෙන්නේ ඇමරිකාවයි. ඒ ඔහුගේ මව්පියන් වන
හෙන්රි වයි .කෝප්ට් ඕල්කට් සහ එමිලා ස්ටීල් ඇමරිකාවේ නිව්ජර්සි
ප්‍රාන්තයෙහි පදිංචිකරුවන් වූ බැවිනි.
මෙතුමා පාසල් අධ්‍යාපනය ඉතා දක්‍ෂ අන්දමින් නිමකොට නිව්යෝර්ක්
විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ භාග්‍යයද ලද්දේය. එහෙත් ඔහුට තම අධ්‍යාපන
කටයුතු අතරමඟ නතර කරන්ට සිදුවිය. ඒ තම පියාගේ ව්‍යාපාර කටයුතු බිඳ
වැටීමත් සමඟය. අනතුරුව ඔහුට සිදුවූයේ දුක්ඛිත ජීවිතයකට උරුමකම් කීමටය.
මෙතුමා ජීවිත තක්‍ෂලාව වෙතින් ලද අත්දැකීම් හා දැනීම් සම්භාරය තුළින්
ලෝකයටම ශ්‍රේෂ්ඨ චරිතයක් බවට පත්විය.
මොහු කෘෂිරසායන විද්‍යාව මෙන්ම විද්‍යාත්මක ගොවිතැන පිළිබඳ දැනුමක් ලබා
තිබුණේය. පුවත්පත් කලාව වෘත්තිය කර ගත්තේය. ‘නිව්යෝක් ට්‍රිබියුන්’
පත්‍රයේ කෘෂිකර්ම පිටුවේ සහකාර කර්තෘවරයකු විය. මෙතුමා පසු කලකදී
නිව්යෝක් නගරයේ දක්‍ෂ නීතිඥයෙකු ද විය.
උපතින් ක්‍රිස්තු භක්තිකයෙකි. එහෙත් ‘සත්‍යයට වඩා උසස් ආගමක් නැත’ යන
දර්ශනයට අනුව කටයුතු කළ අයෙකි. 1873 වකවානුව වන විට ලක්දිව
ක්‍රිස්තියානි ධර්මය සහ බෞද්ධ ධර්මය අතර මතභේද හා වාද විවාද පැවැති
යුගයක් විය. මෙකල ලක්දිව ඇතිවු ‘පානදුරාවාදය’ පිළිබඳ ලියැකියැවිලි
මෙතුමාට බොම්බායේදී කියවන්ට ලැබී ඇත. ඒ මඟින් ක්‍රිස්තු භක්තිකයන් බුදු
දහම සම්බන්ධයෙන් ගෙන ගිය අසත්‍යය ප්‍රචාර ගැනත් ඒ සම්බන්ධව
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් කළ කථා පිළිබඳවත් යම් අවබෝධයක් ලබා
ගත්තේය. ඒ අනුව 1880 මැයි 17 දින බ්ලැවස්කි මැතිනියත් සමඟ ඕල්කට්තුමා
ලක්දිවට සැපත්විය. මෙහිදී එම යුවළ ගාල්ලේ විජයානන්ද විහාරයේදී පංච
ශීලයෙහි පිහිටීමෙන් බෞද්ධයන් බවට පත්වූහ.
මෙතුමාගේ පැමිණීම මෙරට බෞද්ධ ඉතිහාසයේ පුනර්ජීවනයක් ඇතිවීමට බෙහෙවින්
බලපෑවේය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, හික්කඩුවේ ශ්‍රී සුමංගල නා
හිමියන්, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා වැනි ගිහි
පැවිදි උගතුන් හා එක්ව ඕල්කට්තුමා රටේ ජාතික හා ආගමික ප්‍රබෝධය ඇති
කිරීම සඳහා කටයුතු කළේය.
රටේ නොයෙකුත් ප්‍රදේශවල සැරි සරමින් දේශනා පවත්වමින් ජාතික, ආගමික
සේවාවන් සඳහා ජනතාව පෙළගැස් වුයේය. බුදුදහම සම්බන්ධව නිවැරැදි අවබෝධයක්
ජනතාව තුළ ඇති කරන්ට මහන්සි ගත්තේය. ඒ මගින් බෞද්ධයන් අන්‍ය ආගම් වලට
හරවා ගැනීම වළක්වන්ට කටයුතු කළේය.
කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ කළේය. එමගින් බෞද්ධ අධ්‍යාපනය
නගා සිටුවීමට කටයුතු කළේය. කොළඹ ආනන්ද විද්‍යාලය, ගාල්ලේ මහින්ද
විද්‍යාලය වැනි ප්‍රධාන බෞද්ධ පාඨශාලා මෙන්ම රටේ නොයෙක් ප්‍රදේශවල
බෞද්ධ පාඨශාලා ඇතිවූයේ මෙතුමාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම පාසල්
තුළින් බෞද්ධ දරුවනට ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳවද දැනුමක් ලැබුණි.
බුදුදහමේ උන්නතිය උදෙසා බෞද්ධ කාන්තාවන් පෙළ ගැස්වීමේදී යෙදුණේය.
කාන්තා අධ්‍යාපනය නඟාසිටුවීම කළේය. මේ අනුව මාරි මියුසියස් හිඟින්ස්
මැතිනියගේ සහ බ්ලැවැට්ස්කි මැතිනිය ගේ පුරෝගාමිත්වයෙන් ලක්දිව ප්‍රථම
වරට බෞද්ධ කාන්තා විදුහල් ආරම්භ කළේය.
මේ වකවානුව වන වට බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨ තම දිනය වු වෙසක් දිනය රජයේ
නිවාඩු දිනයක් නොවීය.ඕල්කට්තුමා රජයේ නිලධාරින් සමග කළ සාකච්ඡාවක
ප්‍රතිඵලයක් ලෙස 1885 දී වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් කළේය.
බෞද්ධ කොඩිය නිර්මාණය වූයේද මේ සමයේදීය. ඒ සඳහා මෙතුමාගෙන් ලැබුණු සහාය
ඉතා වැදගත්ය.
“සරසවි සඳ රැස” නමින් පුවත්පතක් ද ආරම්භ කළේය. ඒ මගින් බෞද්ධ
අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා පියවර ගත්තේය. ශ්‍රී සුමංගල නා
හිමියන්ගේද අනුමැතිය ඇතිව “බෞද්ධකතොපකතනය” නමින් ප්‍රශ්න සහ උත්තර සහිත
ධර්ම ග්‍රන්ථයක්ද ලියා පළ කළේය. විදේශ රටවලද ධර්ම ප්‍රචාරයෙහිද
නියැලුණේය.
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විජාතිකයකු වුවත් සිංහල බෞද්ධයන්ට
එතුමා සිදු කළ ඒ අමරණීය සේවාව අමතක කළ නොහැකිය. මෙතුමා 1917 පෙබරවාරි
17 දා මදුරාසියේදී පරලෝ සැපත් විය. එහෙත් සිංහල බෞද්ධයන් අතර එතුමා
තවමත් ජීවමානය. ඒ ලක්දිව බෞද්ධ පුනර්ජීවනය උදෙසා එතුමා කළ උදාර අමිල
සේවාව නිසාය. |