UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්සලේ සිරිත් විරිත් හඳුනා ගනිමු

පන්සලේ සිරිත් විරිත් හඳුනා ගනිමු

බෞද්ධයන් ලෙස අප නිරතුරුවම විහාරස්ථානය හා සම්බන්ධකම් පැවැත්විය යුතුයි. විහාරස්ථානය සමඟ සබඳකම් පැවැත්වීමට නම් අප නිරතුරුවම විහාරස්ථානයට යා යුතු වෙනවා. අතීතයේ ‘වැවයි දාගැබයි – ගමයි පන්සලයි, සංකල්පය බිහි වුණේ ගම් වැසියන් නිරතුරුවම විහාරස්ථානය නැත්නම් පන්සල හා සමඟ තම සියලු කටයුතු සිදුකළ නිසයි. එහෙත් අද අප ඇත්තටම පන්සල් යන්නේ ඇයි දැයි හරියටම දන්නේ නැති බවක් ඇතැම්විට පෙනෙන්නට තිබෙනවා. පන්සලේ දී කළ යුතු වත් පිළිවෙත් පවා ඇතැම් විට හරියාකාරව දන්නේ නැහැ. සැබෑ බෞද්ධයකු නම් ‘පන්සල් යනවා’ කියන අදහස මනසට කා වදින කොටම ඒ පුද්ගලයා තුළ පන්සලේ තිබෙන පිරිසුදුකම තමන්ගේ සිතට කා වදිනවා.

ඒ පිරිසුදු මනසක් සහ පිරිසුදු ශරීරයක් පන්සල් යන මොහොතටවත් තමන් සතු විය යුතුයි යන්න තේරුම් ගත යුතුයි. ඒ නිසා පන්සල් යන විට තමන්ගේ ශරීරය පිරිසුදු කර ගත යුතුයි. දෝවනය කළ යුතුයි. එමෙන්ම අඳින පලඳින දේ චාම් සරල විය යුතු යි. අප පන්සල කියන අර්ථය ගන්න තැන්හිදී ‘පණ්ණසාලා’ යන්න ගැන මෙහිදී සිහි කළ යුතු වෙනවා. පිදුරු ආදී දේ සෙවිලි කර ගනිමින් ඉතා ඈත අතීතයේ දී භික්‍ෂූන්ගේ වාසස්ථානය තමයි පන්සල බවට පත් වී තිබෙන්නේ.

මේ පන්සලක නම සම්බන්ධව නවීන විග්‍රයකුත් තියෙනවා. ඒ සම්බන්ධවත් අප සලකා බැලිය යුතු වෙනවා.

‘පන්සල’ යනුවෙන් ඔවුන් හඳුන්වන්නේ අපේ ඉන්ද්‍රියයන් 5කින් ගනු ලබන මනසත් සමඟ ක්‍රියා කරනු ලබන දේ අත්හරින තැන ඔවුන් ‘පන්සල’ නමින් හඳුන්වනවා. සිතට සම්බන්ධ වූ ඇස, කනට සම්බන්ධ වූ සිත, නාසයට සම්බන්ධ වූ සිත, දිවට සම්බන්ධ වූ සිත, ශරීරයට සම්බන්ධ වූ සිත ආදී මේ සිතත් එක්ක සම්බන්ධ මේ පංචේන්ද්‍රියයන්ගෙන් ගෝචර කර ගන්නා දේ අත් හරින නැත්නම් හලන තැන ‘සල’ නමින් හඳුන්වනවා.

පංචේන්ද්‍රියන් නිසා ‘පන්’ සහ අත් හරිනු ලබන නිසා ‘සල’ එකතු වී එයට ‘පන්සල’ යන අරුත දෙනවා. එම නිසා ඒ ස්ථානයට යන විට ඇස පිනවන දේ, නාසය පිනවන දේ, දිව පිනවන දේ, ශරීරය පිනවන දේ, සිත පිනවන දේ ඇසුරු කිරීමෙන් අප වළකිනවා. මේ නිසා අපගේ ඇඳුම ද එම ස්ථානයට සුදුසු පරිදි යොදා ගත යුතුයි. අප ඇඳුම පැලඳුම භාවිතා කළ යුත්තේ එය සිත්හි තබාගෙනයි.

යම් කෙනෙකුගේ සිතට පිරිසුදුකම පිරිය ඇති කරන සහ චාම් පාට වන්නේ සුදු පැහැයයි. සුදු පැහැය පිරිසුදුකමත් සංවර බවත් ඇති කරනවා. ඒ නිසා ලෝකයේ බොහෝ ආගමිකයන් බොහෝ දුරට සුදු ඇඳීම ඉහළින් සලකනවා. බොහෝ දෙනා මේ චාම් බව අගයනවා. මේ නිසා එම ඇගැයීම උදෙසා ඊට උචිත ඇඳුමකින් ඔබ සැරසිය යුතුයි. මේ නිසා සුදු වත ම ඒ සඳහා අවශ්‍යයි.

විශේෂයෙන් විවාහක කාන්තාව ඔසරිය අඳිනවානම් එය වඩාත් අගේ කළ හැකියි. මුළු රටේම කාන්තාවගේ ඇඳුම විය යුත්තේ ඔසරියයි. එය චාම් මෙන්ම හැඩකාරයි. පන්සලට පැමිණෙන කාන්තාවන් සියලු දෙනාම සුදුපැහැති ඔසරියකින් සැරසෙනවා නම් කොයිතරම් ලස්සනද? අද වෙලා තියෙන්නේ ඇතැම්විට මොනවා හරි සාය කෑල්ලක් හැට්ට කෑල්ලක් ඇඳගෙන යන එකයි.

මෙය අප රූපලාවන්‍ය අංශයෙන් ද සොයා බැලිය යුතු වෙනවා. අත්තෙන්ම සාරිය ඔසරිය අඳින කාන්තාවන්ගේ උදර ප්‍රදේශය ඉදිරියට නෙරා ඒම අඩුයි. සායක් හෝ මොනවා හෝ ඇඳගෙන යන අයගේ උදරය ඉදිරියට නෙරා ඒම වැඩියි. අප ගුරු පුහුණු ආයතනයකට ධර්ම දේශනා පිණිස ගිය විට බොහෝ දුරට දකින්න ලැබෙන්නෙ සුදු ඔසරියකින් සැරසී ඉන්න කාන්තාවන් පිරිසක්. චාම් බව වගේම දැකුම්කලු බවක් එතැන තියෙනවා. ඒ වගේම අප යනවා හෙදියන් සිටින ස්ථානයක ධර්ම දේශනාවකට. එතැන ඇත්තටම කලින් තැනට වඩා අප වෙනසක් දකිනවා. ඔසරිය වලව්වේ හාමිනේගෙ ළමා තැනීගේ නැත්නම් උඩරට කාන්තාවගේ ඇඳුමක් පමණක් නෙමෙයි, එය හැම කාන්තාවක්ම ඔසරියෙන් සැරසී එනවානම් එය අපේ අනන්‍යතාව පෙන්වීමක් වනවා. පිරිමියා ද චාම් ඇඳුමකින් සැරසිය යුතු වනවා. අප හැම දෙනාටම හැකියාව තියෙන්න ඕන ජාතික ඇඳුමක් ඇඳගෙන යන්න. බුදු දහමේ පිළිවෙළ ඉතා අගය කරන දෙයක්. අපට හැකියාව තිබෙනවා එය කරන්න. නමුත් අපට වුවමනාවක් නැහැ. සමහර විට කඩේ යන ගමන්ම තමයි පන්සලේ පින්කමටත් එන්නෙ. ව්‍යාපාරයට යන ගමන්ම තමයි එතෙන්ට එන්නේ.

ආගමික කටයුත්තකට සහභාගි වෙනකොට ඒ සඳහා උචිත ඇඳුම අනිවාර්යය වෙනවා. එමෙන්ම පන්සලට ඇතුළු වෙනකොට අප පාවහන් ගැලවීම ඉතා වැදගත් වනවා. මෙය ගෞරවයටත් වඩා අප සිත්හි තබා ගත යුතු වැදගත් කරුණක්. ‘විහාරස්ථානයට එනකොට ගිහි ගෙදරින් දූවිල්ලවත් ගෙන එන්නේ නැහැ’ යන සිතිවිල්ලයි මෙහි දී මුල් වන්නේ. ඒවා අපිරිසුදුයි කියලා. ඒ නිසා එතෙක් දාගෙන ආ පාවහන් හිස් වැසුම් ගලවා දමා ආගමික ආයතනයට ඇතුළු වෙනවා.

එමෙන්ම ආගමික ආයතනයෙන් එළියට යන විට අප හොඳට කකුල් දෙක ගසලා තමයි යන්නේ. පන්සලේ තියෙන දූවිල්ලවත් ගිහි ගෙදරට ගෙන යන්නේ නැහැ. පන්සලේ තියෙන දේ ගෙදර රැගෙන නොයන චේතනාවයි එතෙන්ට මුල් වන්නේ. පන්සලට පමණක් නොවෙයි කුමන ස්ථානයට ගියත් පළමුව එහි අයිතිකරුවන්, හිමිකරුවන්, බාරකරුවන් හමුවීම අපේ සිරිතක්. එම නිසා පළමුව විහාරස්ථානයේ නායක හාමුදුරුවන් නැත්නම් පොඩි හාමුදුරුවන් හෝ හමු වී කතා කළ යුතු වෙනවා. නමුත් අද බොහෝ දෙනා පළමුව මල් ටික අරගෙන තෙල් අරගෙන සෘජුවම ගමන් කරන්නෙ චෛත්‍යය ළඟට. පන්සලේ ඉන්නේ කවුද කියලවත් හොයා බලන්නේ නැහැ. හරියට තමන්ගෙ අයිතියක් වගේ යන්නේ. බෝධි පූජාවක් තියන්න ඕන වුණහම තමයි ගිහින් පොඩි හාමුදුරුවන්ට කතා කරන්නෙ. පිරිකරක් පූජා භාණ්ඩයක් නැත්නම් අඩුම වශයෙන් වැඳ නමස්කාර කරන්නවත් ඕනෑ.

එතෙන්ට ගිහිල්ල පහන් වැටිවලට තෙල් දාලා එනවට වැඩිය හොඳයි තමන්ම පහන් ,පොල්තෙල්, පහන් තිර අරගෙන යනවනම්. අද හුඟක් දුරට වෙන්නෙ තෙල් ටික අරගෙන යනවා. අරගෙන ගිහින් නිවිච්ච පහනකින් තිර අරගෙන හාමුදුරුවන්ගෙන් ගිනිපෙට්ටියක් ඉල්ලගෙන තමයි පහන් පත්තු කරන්නේ. තවත් කෙනෙක් හංගපු තෙල් ටිකක් තියෙනවනම් ඒක අරගෙන වඳින එක නෙමෙයි අප කළ යුත්තෙ. මුළු පහන් දැල්වීමේම ඔබ කොටස් කරුවෙක් විය යුතුයි.

එක පසළොස්වක පොහෝ දිනක ඒ විදිහට පහන් සීයක් දල්වනවානම් පහන් අසූ හාරදාහක් පහන් පත්තු කරන පින්කමේ උත්සාහය දක්වා යන්න අපට යම් හැකියාවක් ඇති වෙයි. එක පසළොස්වකට පහන් සීයක් ඒ විදිහට දැල්වුවහොත් වසරකට පහන් 1200 ක් දල්වන්න පුළුවන්. අවුරුදු 10 කට අපට දල්වන්න පුළුවන් පහන් 12000 පමණයි. මේ නිසා අඩුම වශයෙන් පහන් 84000 ක් දල්වන්න බැරිවුණත් යම් අධිෂ්ඨානයක් ඇති කරගන්න ඒ අභියෝගය කරා යන්න.

තමන් යන වාහනේ පොල්තෙල් ටිකක්, පහන් තිර ටිකක් තියා ගන්න. අඩුම වශයෙන් ගමනක් යන ගමන් හෝ එතැන්ට ගොඩවෙලා එතැන පහන් පත්තු කර යන්න පුළුවන්. එවිට අඩුම වශයෙන් පහන් 50000 කට කිට්ටු සංඛ්‍යාවක් කරා යන්න පුළුවන්.

අප කොහොමද මල් වට්ටියක් සකසා ගන්නේ. මල් පිළිවෙළින් සකසලා පැන් ඉස එය මනා ගෞරවයෙන් සකසා ගත යුතු වනවා. හඳුන්කූරු දල්වන්නේ සුවඳ වහනය කරන්නයි. එය ගිනිමැලයක් වගේ පොකුරට පත්තු කරන්න එපා. හඳුන්කූරු විහිදෙන පරිදි කිහිපයක් පමණක් දල්වන්න. එවිට ගිනි ගැනීමකට ලක් වෙන්නේ නැහැ. විහාරස්ථානයේ ඊට වෙන් කර ඇති ස්ථානවල පමණක් හඳුන්කූරු දැල්විය යුතුයි.

ගිලන්පස සකස් කර ගන්නේ කෙසේද? ගිලන්පස සැකසීමේ දී අනිවාර්යෙන්ම පිරිසුදු සිසිල් පැන් වීදුරුවක් තැබීම අනිවාර්යය වනවා. එමෙන්ම ඔබ විසින්ම නිසි පරිදි තම්බා සකසා ගත් බෙලිමල්, රණවරා, පොල්පලා, තේ වැනි පාන වර්ගයක් යොදා ගත යුතුයි. පලතුරු යුෂ වර්ගයක් ද ඊට ඇතුළත් කරන්නට පුළුවන් නම් ගෞරවය ඉහළ නංවන්නට හේතු වනවා. මේ සියල්ල බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළ යුතු වෙනවා. හවසක නම්, චතු මධුර විළඳ ආදිය පූජා කරන්න පුළුවන්. දෙවියන්ට විතරක් පලතුරු වට්ටි පූජා කරන සංස්කෘතියක් අපේ ඇතැම් අය තුළ දක්නට තියෙනවා. අෂ්ඨ විධ පාන වර්ග හදන සියලු පලතුරු වර්ග දෙවියන්ට පමණක් නොවෙයි බුදුහිමියන්ට මහා සංඝරත්නයට කැපයි. මේවා සූදානම් කරගෙන බෝධිය නාවන පැන් කලය, මල්මාලා, කොඩිවැල් සූදානම් කරගෙනයි පන්සලට යා යුත්තේ. අද බොහෝ අය පන්සලට ගිහින් හතර වටේ යනවා බෝධිය නාවන පැන් කළ හොයන්න. විහාරස්ථානයට තමන් විසින් ම සූදානම් කරගෙන රැගෙන යන පූජා ද්‍රව්‍ය පූජා කරන්නේ කොහොමද? පිළිවෙළ කුමක්ද? ඒ සම්බන්ධව ඉතිරි කලාපයක දී කතා කරමු.

 

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 06 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.35 ට ලබයි.07 වැනි දා සිකුරාදා අපරභාග 01.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම පෙබරවාරි 06 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14

Second Quarterඅව අටවක

පෙබරවාරි 22

New Moonඅමාවක

පෙබරවාරි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]