මහා
පරිනිර්වාණය
කොළඔ 07
නාරද බෞද්ධ ධර්මායතනාධිකාරී
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
(පසුගිය පත්‍රය හා සම්බන්ධයි)
අප සෑම බෞද්ධකු විසින්ම තමන්ගේ ජීවිත කාලයේදී එක් වතාවක් හෝ පැමිණ දැක
බලාගෙන පහන් සංවේගය ඇතිකරගත යුතු වූ සුවිශේෂ පුණ්‍ය භූමි හතරක් අප
ශාන්ති නායක තිලෝගුරු සම්මා සම්බුදුරාජාණන් වහන්සේ දේශනා කොට වදාළා.
උන්වහන්සේගේ මහ පරිනිර්වාණය පිළිබඳව මෙසේ ඔබ දැනුවත් කරමු.
බුදුපියාණන් වහන්සේ විසින් මේ කරුණු ස්වාමින් වහන්සේලා වෙත පවසා ආනන්ද
හාමුදුරුවන් කොහිදැයි විමසිද්දී උන්වහන්සේ එතැන රැඳී සිටියේ නැහැ.
උන්වහන්සේ ඒ අසළ තිබුණු විහාර ගෙයක පිටුපසට ගොස් එහි උළුවස්සේ එල්ලි
ගෙන හඬා වැළපෙන්නට වුණා. ඒ මොහොතේ අනේ මෙතෙක්කල් මට අනුකම්පා කළ මගේ
බුදුපියාණන් වහන්සේ තව සුළු මොහොතකින් පිරිනිවන් පානවා. මෙතෙක් කල්
බොහෝම ආදරයෙන් රැක බලා ගත් මාගේ ස්වාමි වූ බුදුපියාණන් වහන්සේ මාව
අතහැර යනවා. දැන් මා වෙන කා සමඟින් නම් ධර්ම සාකච්ඡා කරන්නද, ප්‍රශ්න
විමසන්න ද? කාට නම් උවටැන් කරන්න ද? මට ශක්තියක් වුණු මගේ බුදුරජාණන්
වහන්සේ මට අද සිට සජීවිව නම් දකින්නට ලැබෙන්නේ නැහැ. මෙතුවක් කල් දීර්ඝ
සංසාරයේ සහෝදරයෙකු ලෙසින්, පියෙකු ලෙසින්, විවිධ ස්වරූපයන්ගෙන් බැඳී ආ
සංසාරගත බැම්ම අද සිට පවතින්නේ නැහැ. මට අදින් පසු ජීවමාන බුදුපියාණන්
වහන්සේ දකින්නට ලැබෙන්නේ නැහැ මින්පසු මම උදෑසනින් පිබිදී උවටැන්
කරන්නේ කා හටද? රාත්‍රිය උදාවන තුරු ළඟින් සිටිමින් සොයා බලන්නේ කා
ගැන ද? බුදුපියාණන් වහන්සේ නැති ලෝකය තුළ මා අසරණ වෙනවා නේද? මේ මහා
කාරුණික බුදුපියාණන් වහන්සේ නැති ශෝකය, පාඩුව මා කෙසේ නම් විඳ දරා ගන්න
ද? වැනි ශෝකාකූල සිතිවිලි සමූහකින් අනඳ මා හිමියන්ගේ සිත වැසී යට වී
යන්නට ඇත.
ආනන්ද හාමුදුරුවෝ මදක් ඈතට ගොස් හඬා වැටෙන බව දැන ගත් බුදුරජාණන්
වහන්සේ උන්වහන්සේ ළඟට ගෙන්වා දුක තුනී කර ගන්නට අවවාද දුන්නා. ආනන්ද,
ඔබ ඔබෙන් ඉටුවිය යුතු වගකීම නිසි ලෙසින් ඉටු කළා. මට ඉතා හොඳින්
උපස්ථාන කළා. ඒත් ආනන්ද කෙදිනක හෝ සියලු පි‍්‍රය මනාප දෙයින් ඈත් වන්නට
සිදුවෙනවා. ඒ මොහෙතට අප සෑම දෙනාම මුහුණ දිය යුතුයි. ආනන්ද, අඬන්න එපා.
දුක් වෙන්න එපා. ඔබ මහා පින් ඇති අයෙක්. කුසල් දියුණු කළ අයෙක්. ඒ නිසා
වීර්යය වඩන්න. අප්‍රමාදී ව මා දෙසූ ධර්මය සිහි නුවණින් මෙනෙහි කොට මේ
ආර්ය සත්‍යය දැක දුකින් මිදෙන්නට වෙහෙසෙන්න. ඔබට රහත්වීමේ හැකියාව
තිබෙනවා’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ අනඳ මා හිමිපාණන්ට පවසා සිත
සැනැසුවා.
අනතුරුව ආනන්ද හාමුදුරුවෝ බුදුපියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ
කුසිනාරාව වැනි කුඩා නගරයක දී පිරිනිවන් පාන්නේ නැතිව චම්පා නුවර,
රජගහනුවර, බරණැස් නුවර වැනි විශාල නගරයකදී පිරිනිවන් පානා ලෙසයි. එහිදී
බුදුපියාණන් වහන්සේ සිහිපත් කළේ කුසිනාරා නුවර කුඩා නගරයක් නොව උන්
වහන්සේ බෝසත් ආත්මභවයක මහා සුදස්සන නම් සක්විති රජුව රජකම් කළ නගරය
බවයි. මේ කුසිනාරාවට එතරම් දීර්ඝ වූත්, පූජනීයවූත් ඉතිහාසයක් තිබෙනවා.
තව සුළු මොහොතකින් තථාගයන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වෙනවා යන
ආරංචිය ලැබී එතැන රැස් ව සිටි මහ පිරිස පීරාගෙන බුදුපියාණන් වහන්සේ
ඉදිරියට එන්නට උත්සාහ කළ ‘සුභද්‍ර’ නම් පරිබ්‍රාජකයා කෙරෙහි මහා
කරුණාවෙන් බලා ඔහුට සමීපයට එන්නට යැයි කියා දහම් දෙසා ඔහුට ආර්ය
ශ්‍රාවකභාවය ලබාදීමට තරම් බුදුපියාණන් වහන්සේ කාරුණික වුණා. සුභද්‍ර
ජීවමාන බුදුපියාණන් වහන්සේගෙන් පිළිසරණ ගත් අවසාන ආර්ය ශ්‍රාවකයා බවට
පත් වුණා.
අනතුරුව තමන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය හා විනය දෙක ගුරු තැන්හි ලා සලකා
කටයුතු කළයුතු බව පවසා තමන් දේශනා කළ ධර්මය පිළිබඳ කිසියම් සැක සහිත
තැන් තිබෙනවා නම් විමසන්නැයි අවසාන මොහොතේ පවා ඉල්ලා සිටියේ අපේ ශාන්ති
නායක බුදුපියාණන් වහන්සේ අප දුකින් මුදවාලීමට තිබුණු පරාර්ථකාමීත්වය
ප්‍රකට කරමිනුයි. එතැන රැස් ව සිටි සියලු ම ස්වාමින් වහන්සේලාගේ සිත්
සිය සිතින් පිරිසිඳ දැනගත් බුදුපියාණන් වහන්සේ සියලු දෙනා වහන්සේ සම්මා
දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයන් බව වටහා ගෙන සියලු ශ්‍රාවකයන් වෙනුවෙන් තම
අවසන් අවවාදය ප්‍රකාශ කළා.
හන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ, වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ
මහණෙනි, අවසන් වතාවට ඔබ අමතා කියමි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන
සුළුයි. අප්‍රමාදී ව කුසලයෙහි යෙදෙන්න යන බුද්ධාවවාදය සිදු කළා.
ඉන්පසු සිංහ සෙය්‍යාවෙන් සයනය මත වැඩ සිටි බුදුපියාණන් වහන්සේ සිය දෑස්
වසා ගත්තා. සිහිනුවණින් ප්‍රථම ධ්‍යානයට සම වැදුණා. එයින් නැගිට
ද්විතිය ධ්‍යානයට සම වැදුණා. එයිනුත් නැගිට තෘතිය ධ්‍යානයට සම වැදුණා.
තෘතිය ධ්‍යානයෙන් නැගිට ගත් බුදුපියාණන් වහන්සේ චතුර්ථ ධ්‍යානයට සම
වැදුණා. එයින් නැගි ගත් බුදුපියාණන් වහන්සේ ආකාසානඤ්චායතන නම් වූ අරූප
ධ්‍යානයට සම වැදුණා. අනතුරුව විඤ්ඤාණඤ්චායතනයට ද, ආකිඤ්චඤ්ඤායතනයට ද,
අනතුරු ව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට ද අනුපිළිවෙලින් සම වැදුණා. එයින් නැගිට
සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සම වැදුණා.
මහා කාරුණික බුදුපියාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවාත් සමඟින්ම
උන්වහන්සේගේ ශරීරයෙහි තිබුණු කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර තුනී වී
නිරුද්ධ වී ගියා. එවිට ඒ අසළ වැඩ සිටි ආනන්ද හාමුදුරුවන් අනේ මහා
කරුණික මගේ බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවා යනුවෙන් කියා හඬන්නට
වුණා. එවිට එහි වැඩ සිටි අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනන්ද හිමියන්ට
පැවැසුයේ බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවා නොව නිරෝධ සමාපත්තියට සම
වැදුණු බවයි.
නිරෝධ සමාපත්තිය තුළ බොහෝ වේලාවක් වැඩ සිටි බුදුපියාණෝ එයින් නැගී සිට
නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සම වැදුණා. එයින් නැගී සිට ආකිඤ්චඤායතනයටත්,
එයින් නැගී සිට විඤ්ඤාණඤ්චායතනයටත්, එයින් නැඟී සිට
ආකාසානඤ්චාඤ්ඤායතනයටත් එයින් නැගී සිට විඤ්ඤාණඤ්චායතනයටත්, එයින් නැඟී
සිට ආකාසණඤ්චායතනයටත්, සම වැදුණා. ඉන් අනතුරු ව හතර වෙනි ධ්‍යානයටත්
එයින් තුන්වෙනි ධ්‍යානයටත්, දෙවැනි ධ්‍යානයටත් සම වැදුණා. දෙවැනි
ධ්‍යානයෙන් නැගී සිටි බුදුපියාණන් වහන්සේ ප්‍රථම ධ්‍යානයට සම වැදුණා.
නැවතත් අනුපිළිවෙලින් ප්‍රථම ධ්‍යානයේ සිට ද්විතීය, තෘතීය ධ්‍යානවලට සම
වැදුණා. තෘතීය ධ්‍යානයෙන් නැගී සිටි මහා කාරුණික බුදුපියාණන් වහන්සේ
හතර වෙනි ධ්‍යානයට සම වැදී එයින් නැඟී සිටිනවාත් සමඟින් දස දහසක් ලෝක
ධාතුව ම කම්පා කරවමින්, කෝටි ගණන් දේව බ්‍රහ්ම සමූහයා සෝ සුසුම් සයුරේ
ගිල්වමින් මේ පුණ්‍යවන්ත ශුද්ධ භූමියේදී අවසන් සුසුම් පොද වා තලයට මුසු
කොට මහා පරිනිර්වාණයට පත් වුණා.
මේ මිහිමත සිදුවිය හැකි අතිශයින් ම සංවේගජනක වූත් ආශ්චර්යමත් වූත් මහා
පරිනිර්වාණය සියැසින් දැකබලා ගැනීමට පැමිණි සක් දෙව් රජ මේ ගාථාව
ප්‍රකාශ කළා
අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූපසමෝ සුඛෝ
සියලු සංස්කාර ධර්මයන් හේතුන් නිසා හට ගෙන හේතු නැතිවී යාම තුළ නිරුද්ධ
වන්නේය. ඉපදී නැසී යන ඒ සංස්කාරයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ඒවා
සන්සිඳවීම සැප ගෙන දෙන්නේ ය.
එනිසා අපත් මේ ජීවිතයේ අනිත්‍යතාව මෙනෙහි කිරීමට මෙය අවස්ථාවක් කර
ගනිමු. අපහැම දෙනාටම විමුක්ති මාර්ගය පෙන්වා වදාළ අමා මෑණි බුදුපියාණන්
වහන්සේ තමන් වහන්සේගේ හතළිස් පස් වසරක බුද්ධ කෘත්‍යය නිමවා ජීවිතයේ
සැබෑ තතු අප වෙත කියා පාමින් මහා පරිනිර්වාණයට පත් මේ කුසිනාරා නුවර
උපවර්තන සල් උයනේ සිට සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවත්, ජීවිතයේ
ඇති අස්ථිරතාවයත්, මරණයෙහි ඇති ස්ථිරතාවයත් මෙනෙහි කරමු.
අප තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේ මෙන්ම මහා සම්පත් ඇති ව සිටි මහා
පිනැති මහා මන්ධාතු ආදී නර ශ්‍රේෂ්ඨයෝ ද මරණයට පත් වූවාහු ය. එසේ ම මම
ද ඒකාන්තයෙන්ම මරණයට පත් වෙමි. මා කරාද නොවරදවා ම මරණය පැමිණේ.
විදුලියක්, දිය බුබුළක්, අහසින් වැටෙන වැසි පොදක් මෙන් ජීවිතය විනාශයට
පත්වේ. සතුරෙකු සේ මරණය අප පසු පස හඹා එන්නේය.
මහා පිනැති මහා සෘද්ධිමත්තු මහ නුවණැත්තෝත් මේ මරණයට පත් වූවාහු ය. එසේ
නම් මා වැන්නවුන් ගැන කවර කථාවක් ද?
උත්පත්තියත් සමඟ ම මරණය ද පැමිණේ. මරණය තම අවස්ථාව සළසා ගැනීම සඳහා
වධකයෙකු ලෙස හැමදාම අප පසු පස පැමිණෙන්නේ ය.
අපේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ මේ බිමෙහි දී යම් සේ මහා
පරිනිර්වාණයට පත් වූවාහු ද, අපටද කෙදිනදී හෝ කොතැනක දී හෝ කවරාකාරයකින්
හෝ මරණයට පත් වන්නට සිදුවේ. මේ ලොව සිටින සියලු දෙනා ම ඒකාන්තයෙන් ම යන
ගමන මරණය යි.
ජීවිතං අනියතං - ජීවිතය අනියතයි
මරණය නියතං - මරණය නියතය
විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් මේ දීර්ඝ වූ සංසාරයේ බුද්ධත්වය වෙනුවෙන්
අපමණ වූ දුක් වේදනාවන් විඳ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන, දුකින්
පෙළෙන අප සියලු දෙනා දුකෙන් එතෙර කරවීමේ මහාකාරුණික අදහසින් හතළිස් පස්
වසරක කාලයක් තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය ලොවට සිදුකොට මීට වසර දෙදහස්
පන්සිය පනස් හතකට පෙර කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ මනරම් සල් රුක්
දෙකක් අතර සිංහ සෙය්‍යාවෙන් සැතපී සිටියදී දහ දහසක් ලෝක ධාතුව ම කම්පා
කරමින්, මහා පරිනිර්වාණයට පැමිණ වැඩ වදාළ අප ශාන්ති නායක අමාමෑණි
මහාකාරුණික භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන් වහන්සේට මාගේ ගෞරවාදර
නමස්කාරය වේවා!
සටහන: නයනා නිල්මිණි |