ජනක වෙත්තසිංහ ‘තන්තිරිමලේ’ නම ඇසූ පමණින් අප දන්නේ එය බෞද්ධ උරුමයේ ඓතිහාසික මහා
ස්මාරකයක් බව ය. එහෙත් තන්තිරිමලේ යන නාමය දමිල නාමයකි. එසේ නම් නාමයේ
ඌරුව සමඟ ස්ථානය භාවිතයේ පරස්පරතාවය පිළිබඳ ගැටලුව ප්‍රථමයෙන් ලිහා ගත
යුතු වෙමු. අනුරාධපුර මහ විලච්චිය පාරේ සැතපුම් 23 ක් පමණ දුරකින්
පිහිටි තන්තිරිමලේ යනු තන්ගෙයිනෙරුමලෙයි යන්න කලක් භාවිතය පැමිණ
තන්තිරිමලේ වශයෙන් අද ව්‍යවහාරයට පත්ව ඇති නමකි. එහි අරුත පූජනීය
ඇත්තන් ලැගුම්ගත් ස්ථානය යන්නය. එසේනම් මෙහි කියවෙන පූජනීය ඇත්තන්
කවුරුන්ද යැයි ප්‍රශ්නයක් පැණ නගියි. එනම් මීට බු. වර්ෂ 2321 කට පමණ
පෙර දඹදිවෙහි සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ශ්‍රී ලංකා
දීපයේ දඹකොළ පටුනේ නැව් තොටින් අනුරාධපුරයට වැඩමවීමේ දී ඒ පැමිණි
මාර්ගය වැටී තිබුණේ අද අප හඳුනාගන්නා තන්තිරිමලේ හරහා බව කියැවේ.
කළුගල්තලාවේ ධවල පැහැයෙන් ඔදවත් වූ ස්තූපය, ඓතිහාසික ලකුණක
සන්ධිස්ථානයක් වූ බෝ වෘක්‍ෂය පිළිම කලාවේ අසිරිය සමඟ බැඳෙන ප්‍රාග්
ඓතිහාසික සන්සිද්ධීන්ගෙන් අනූන ජාතික, ආගමික මහා උරුමයක සැමැරුම් සහිත
මේ පුළුල් ගල් තලාව අපගේ ශිෂ්ටාචාරයේ සංස්කෘතියේ ගමන් මඟ ප්‍රදර්ශනය
කිරීම වෙනුවෙන් තැනූ නොසැලෙන මහා වේදිකාවකි.
තන්තිරිමලේ පුද බිම වසා ඇත්තේ මහා වපසරියක් පුරා පැතිරුණු ගල් තලාවකි.
මෙය විඩාහැරීම සඳහා තෝරාගැනීමට සුදුසු වූ කදිම ස්ථානයක් බව අද අප දකින
දර්ශනය අනුවද සිතා ගැනීමට පුළුවන. ශ්‍රී මහා බෝධීන් වහන්සේ
උත්සවශ්‍රීයෙන් ගමන් ගත් පෙරහර එක් රාත්‍රියක් විඩා හැරියේ මෙම ගල්
තලාව මත බව ජනප්‍රවාදය පවසයි. පූජනීයත්වයෙන් වන්දනාමාන කරන ශ්‍රී මහා
බෝධීන් වහන්සේ මේ ගල් තලාවේ උස් තැනක ගෞරව බහුමානයෙන් වඩා හිඳ වූ බවක්
ද සඳහන් වේ.
එසේ විවේකය සැලසූ ස්ථනයට කෘත ගුණ සැලකීමක් වශයෙන් දෙවනපෑතිස් නිරිඳාණන්
ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් මුල්ම අංකුර 8 න් එකක් තන්තිරිමලේට
පූජා කළ බව සමහර පුරාවෘත්තයන් හි සඳහන්ව තිබේ.
එතැන් සිට තන්තිරිමලේ ඓතිහාසික බෞද්ධ උරුමයේ පුදසුනක් බවට පත්වෙයි.
තන්තිරිමලේ එසේ නම සඳහන්වෙද්දී පූජනීය ඇත්තන් යනු භික්‍ෂූන් වහන්සේ
වශයෙන් ද අර්ථකථනය කළ හැක. මෙය එදා භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි
ස්ථානයක් බව හඳුනා ගැනීමට අවශ්‍ය පුරාවිද්‍යාත්මක සාක්‍ෂිද අදත් දැක
ගැනීමට ලැබෙයි. එසේ පැවිද්දන් ලැගුම් ගත් ස්ථානය නිසා ‘තන්තිරිමලේ’
වූවාද විය හැකි ය.
එසේම තවත් ජනප්‍රවාද පුවතකින් කියැවෙන්නේ දුටුගැමුණු රජතුමාගේ පුතා
සාලිය, රොඩී කුලයේ අශෝකමාලා සමඟ හාද වීම නිසා ඔවුන්ව රජගෙදරින් නෙරපා
හැරිය බවකි. ඒ නිසා ඔවුන් කලක් වාසය කර ඇත්තේ මෙම ස්ථානයේ ය. කල් ගත
වීමේ දී රජතුමා තම පුතාට හා ලේලියට සමාව දුන් බවත් එහිදී රජතුමා
‘තන්තිරි’ යන නාමයෙන් හඳුන්වන සමනල විශේෂයක හැඩයෙන් තැනූ වටිනා රන්
මාලයක් අශෝකමාලාට තෑගි දුන් බවත් කියැවෙයි. අශෝකමාලා විසින් එම මාලය
ජීවත් වූ තැනට ගෞරවයක් වශයෙන් එහි නිදන් කළ නිසා නිදන් කළ ඒ
තන්තිරිමාලය ඇති තැන තන්තිරිමලේ වූ බවක් ද සඳහන්ව තිබේ.
බෝධි වංශය, මහා වංශයම මෙන්ම තවත් වංශ කතා අනුව අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේ
බෙදා හැරෙන්නේ ලංකාවේ සතර දිග් භාගයේ විශේෂ ස්ථානයන්ට ගෞරවයක් වශයෙනි.
ඒවායේ සඳහන් වන තිවංකනම් බමුණුගම අද අප හඳුන්වන තන්තිරිමලේ විය යුතු
යැයි ඇතැම් වියතුන් මත පළ කරති. එසේ නම් අෂ්ඨඵලරුහ බෝධිය රෝපිත මෙතැන
සුවිශේෂී පුදබිමකි. එහෙත් දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ බෙදාහැර වඩා හිඳ
වූ ස්ථාන නාම අතර තන්තිරිමලේ යන නම සඳහන්ව තිබේ. ඒ අනුව මෙතැන ඇත්තේ
දෙතිස්ඵල රුහ බෝධියකි.
ඒ නිසා තිවංකනම් බමුණුගම ‘තන්තිරිමලේ’ ම දැයි ගැටලුවක් මතුවෙයි.
ඉතිහාසයේ කටුකොහොල් හැර ස්ථිර නිගමනයකට එළඹීමට තවමත් නොහැකි වී තිබේ.
එය කෙසේ වෙතත් ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන ආගමික වශයෙන් කැපී
පෙනෙන පිවිතුරු පින් බිමක් බව නම් කිසිදා සැකයකින් තොරව පැවතීමට අවශ්‍ය
සාධක තුළින් නිවැරැදි සාක්‍ෂ්‍යමත නිගමනයට එළඹිය හැකි ය. මෙහි ඇති දෙවන
සියවසට පමණ අයත් පිහිටිගල මත නෙළන ලද හිඳි බුද්ධ ප්‍රතිමාව සහ සැතපෙන
පිළිමයද ගල්තලාව තැනින් තැන එහි බෞද්ධ ආගමික ඉපැරණි ගොඩනැඟිලි 12 ක පමණ
නටබුන් ද මුදුනේ ඇති ඉපැරණි පොත්ගුලක නටබුන් ද පධානඝරයේ ශේෂයන් ද නිසා
ඉහත අදහස සනාථ වෙයි.
අක්කර 200 කට වැඩි සුවිසල් බිමක් පුරා විසිරී පැතිරී ඇති ගල් තලාව සහිත
පසුබිම අති රමණී දර්ශනයකින් නෙත අලංකෘත කරවයි. අනුරාධපුර
දිස්ත්‍රික්කයේ ගිනිකොන දිසා මායිමේ අසිරිමත් වූ රිටිගල කඳු මෙවුලින්
ජනිතව ගලා හැලෙන මල්වතු ඔය නගරය මැදින් ඇදී කනදරා ඔය හා සබැඳ වී එක්ව
උතුරු දිසාවට පැමිණ ක්‍රමයෙන් වයඹ දෙසට හැරීම නිසා නිර්මාණය වන්නේ
අතිශයින්ම සුන්දර වූ තැනිතලා නිම්නයකි. සිත් අලවන මේ සොඳුරු තෝතැන්නේ
සිත් සනහන තන්තිරිමලේ විසුල රමණීය ගල්තලා භූමිය පිහිටා තිබෙයි.
සිහිල් දිය දහර හොබවන මල්වතු ඔයටත් නිල්ලෙන්, පිරි විල්පත්තු අභය
භූමියටත් මායිම්ව වනයක සිරිය මැද දිදුලන පින්බිමක් තැනෙන ගල් තලාව
මධ්‍යයේ ඇති දිය පොකුණ ද මෙහි සිරියාව තව තවත් වඩවාලන සෙයකි. මනාසේ
පිහිට වූ අංග ලක්‍ෂණ නොමැති වුවද අනුරාධපුර යුගයට නෑකම් පාන මෙහි ඇති
අඩි 8 ක් පමණ උස වූ සමාධි පිළිමය සහ පසුබිම ගල් බිත්තිය මත ඇති මකර
තොරණ මෙන්ම ඉදිරිපස ගල් උළුවහු සහිත ඒ අපූරු නිර්මාණාත්මක සැකැස්ම අපගේ
ඓතිහාසික පිළිම කලාවේ වෙනස් මුහුණුවරක් ගත් අපූරු නිර්මාණයක් ලෙස හඳුනා
ගැනීමට පුළුවන. මෙම සමස්ත ආකෘතිය ගෙන විමසීමේ දී ඒ තුළින් මතුව එන
සෞන්දර්යය හඳුනා ගැනීමට පුළුවන. එසේම අඩි 45 ක් පමණ දිග ශෛලමය සැතපෙන
පිළිමයද මෙය සුවිශේෂී සිද්ධස්තානයක් බව හඟවන ප්‍රබල ලකුණකි. එසේම
තන්තිරිමලේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර තිබෙන විරල ස්ථාන කීපයකින් එකකි.
ගුහාවල ඇති එම චිත්‍ර ඇඳ ඇත්තේ අපර පාෂාණ යුගයේ ගල්ගුහාවල විසූ
දඩයක්කාරයන් විය හැකි බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ පවසයි. එය
එඬේර යුගයක මුල් අවස්ථාවයි. එතැනින් ඇරඹෙන ඓතිහාසික යුගයේ
දඩයක්කාරයන්ගෙන් පැවත එන වැදි ජනතාව මෙම චිත්‍ර සම්ප්‍රදාය තවදුරටත්
ඉදිරියට ගෙන ගිය බව සිතිය හැකි බව මහාචාර්යතුමා තව දුරටත් පවසයි.
එසේනම් මේවා වසර 4000 ක් පමණ පැරණි විය හැකි ය.
මීට වසර 2556 කට පමණ පෙර විජය කුමරු ලක්බිමට ගොඩ බැසීමෙන් පසුව ඉදිවන
මුල්ම ජනාවාසය වූ උපතිස්ස පුරය ගොඩනැඟෙන්නේ විල්පත්තු ප්‍රදේශයේ පටන් ඒ
හා ආසන්න වූ තන්තිරිමලය ඒ ජනාවාසයටම සමීප වූ හෝ ඒ ජනාවාසයේම කොටසක් විය
හැකි බවත් ඇතැම් වියතුන්ගේ මතයයි.
කෙසේ හෝ අනුරාධපුර යුගයෙන් පසු වල්බිහිවන තන්තිරිමලය නැවත
ප්‍රතිසංවිධානය වන්නේ 60 දශකයේ මුල් භාගයේ කුඩාකෝන්ගස්කඩ විමලඤාණ නා
හිමියන්ගේ නොසැලෙන දිරියක සවි බලයෙනි. එදා මෙම ගල් තලාව අලි ඇතුන්,
දිවි ගෝනුන් දුව පැන හැසිරුණු කෙළි බිමකි. දිය බීමට ද සත්තු පොකුණට ද
පැමිණෙති.
තන්තිරිමලේ අවට ගම්මාන තැනී දරු පවුල් පදංචි වී මිනිස් පහසින් මේ බිම
කල එළි වෙද්දී සතා සිවුපාවාගේ කෙළිබිම උන්ට අහිමි වෙයි. එය අසාධාරණයක්
යැයි සිතුන ද ඒ ආසන්නයේ වූ විල්පත්තුව වැනි අභය භූමියක නිදහසේ
සැරිසරන්නට වන සතුන්ට කදිම වාසස්ථානයක් ඉදි වී තිබීමෙන් උන්ට
අසාධාරණයක් සිදු නොවෙයි.
රූස්ස වනයේ ගහකොළ මල්, පල වනේ වනසතාට අයිතිය. මේ ඓතිහාසික පුද බිම්
උරුමය බෞද්ධ ජනතාවට අයිතිය. මෙසේ සතා සිවුපාවුන්ගේ මෙන්ම සැදැහැති බොදු
ජනතාවගේ අයිතිය සාමකාමීව හුවමාරු වුවද වසර 30 ක් පමණ පැවැති කුරිරු
ත්‍රස්තවාදී උවදුරු නිසා තන්තිරිමලේ හුදකලා වෙයි. එහෙත් අද එය නිදහස්
භූමියකි. ඒ නිසා බිය සැකයකින් තොරව තන්තිරිමලේ වන්දනාගමනට ඔබට ද එක්
විය හැකි යි. |