බෞද්ධ ජීවිතය සකසා
ගත යුත්තේ කෙසේ ද?
මීරිගම මිණිඔලුව, විද්‍යාවාස පරිවෙණාධ්යක්ෂ
ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අධිකරණ නායක
ශාස්ත්‍රපති
මකුලෑවේ විමල නා හිමි
මනුෂ්‍යයෙකුට ආගමක් අවශ්‍ය වන්නේ තම තමාගේ විමුක්තිය සඳහා පින් රැස්කර
ගැනීමට යි. පින් අවශ්‍ය වන්නේ ඒ මිනිස් ජීවිතය සඵල කර ගැනීමටත්, සසර
දුකින් නිදහස් වීමටත් ය. මේ නිදහස් වීමේ මාර්ගය දේශනා කළ තිලෝගුරු
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයෙහි ‘පුඤ්ඤාභිසන්ද
සූත්‍රයෙහි’ පින් රැස්කර ගන්නා ආකාරය පැහැදිලි කළහ. ස්වර්ග, මෝක්‍ෂ සියලු
සැප සම්පත් ගෙන දෙන්නා වූ කුසලෝත්පත්ති තුනක් ප්‍රධාන වශයෙන් එහි
දැක්වෙයි. බුදුන් සරණ යාම, ධර්මය සරණයාම, සංඝයා සරණයාම යන තෙරුවන්
සරණයාම බුදු සසුනෙහි උසස්ම කුශල මාර්ගයන් ලෙසයි එහි ප්‍රකාශ කොට ඇත්තේ.
එම තෙරුවන් ගුණ දැන හැඳින සසරින් මිදීම සඳහා ඒ තෙරුවන සරණ කරගත්, පිහිට
කරගත් තැනැත්තා බෞද්ධයා’ යි අපි සලකමු. තෙරුවන් සරණ ගිය පමණින්
ජීවිතයක් සකස් නොවේ. එසේම සසරින් මිදීමට ද හැකියාවක් නැත. බුද්ධ ධර්මය
ජීවිතයට සම්බන්ධ කර ගත යුතුය. බුදුරජාණන් වහන්සේට වුවද සැප ලබන
ක්‍රමයත් සසරින් මිදීමේ ක්‍රමයත් පෙන්වනවා මිස, එය ලබා දීමට හැකියාවක්
නොමැති බව,
තුම්මෙහි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා
යන දේශනාවෙන් තමාගේ් දියුණුව තමා විසින්ම සලසා ගත යුතු බව පෙන්වා
දුන්හ. බුදුරජාණන් වහන්සේලාට කළ හැක්කේ නිවැරැදි මාර්ගය පෙන්වා දීම
පමණයි. බුදුවරු මැවුම්කරුවෝ හෝ ගැලවුම් කරුවෝ නොවෙති. මාර්ගෝපදේශකයන්
පමණි.
අත්තාහි අත්තනො නාථො
තමතමන්ගේ ජීවිතවලට වගකිව යුතු එකම තැනැත්තා තම තමා මය.
සුද්ධී අසුද්ධි පච්චත්තං
නාඤ්ඤ මඤ්ඤො විසොධයෙ
තමා හොඳ කෙනෙකු කරන්නේත්, නරක කෙනෙකු කරන්නේත් තමා විසින්මය. අර
එක්කෙනා මේ එක්කෙනා නිසා මට මේ ඉරණම සිදුවුණා යයි වැරැදුන තැන අනුන්
පිට පැටවීමට බොහෝ අය කල්පනා කරති. එහෙත් එය සාධාරණ ප්‍රකාශයක් නො වෙයි.
බෞද්ධකම හෙවත් බුද්ධ ශ්‍රාවක බව ලබා ගැනීමද පරම දුර්ලභ කාරණයකි. ඒ සඳහා
මිනිසත් බවත් සම්බුදු සසුනත් විශේෂයෙන් අවශ්‍ය වේ. එබැවින් කරන ලද බොහෝ
කුසල් ඇති කෙනෙකුට විනා අනිකෙකුට නියම බෞද්ධයකු විය නොහැකිය. සතර මහා
දිවයිනට අධිපති සක්විති රජ පදවියක් ලබනවාට වඩා “ මම හොඳ බෞද්ධයෙක්මි”
යි යමෙකුට අවංකව ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් ඇතොත් මනුලොව ශ්‍රේෂ්ඨතම
පුද්ගලයා ඔහු ලෙස සැලකිය හැකිය. ඒ නිසා තම බෞද්ධකමේ අගය හොඳින් වටහාගෙන
මොන හේතුවක් නිසාවත් එය කෙලෙසා නොගෙන “ධර්මානුකූලව තම ජීවිතය සකස්කර
ගැනීමට අප මහන්සි ගත යුතු ය.
බෞද්ධ ජීවිතයක් සකස්කර ගත යුත්තේ කෙසේද යන්න
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝදපනං
එතං බුද්ධාන සාසනං
යන මේ බුද්ධානුශාසනාවෙන් ම අපට වටහා ගත හැකි ය. මේ ගාථා ධර්මයෙන්
කියැවෙන පරිදි සියලු පවු වලින් වැළකී දස කුශල රැස් කරමින් සිත පිරිසුදු
කරගත්තේ නම් එය බුදු කෙනෙකු ගේ පරම අනුශාසනය බව ප්‍රකාශ වෙයි. යමෙක්
නියම බෞද්ධයෙක් නම් ඔහු මෙහි උගන්වන ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි
ශික්‍ෂා පූරණය තුළින් තම ජීවිතය සකස්කර ගැනීමට වෑයම් කළ යුතු වෙයි. ඒ
සඳහා තම ජීවිතය සිල්වත් කර ගත යුතුය. මෙහිදී අඩුම වශයෙන් පන්සිල්වත්
ආරක්‍ෂා කර ගත යුතුය. කයින් වචනයෙන් සිදුවන වැරැදි වලින් වැළකී සංවර වන
විට භාවනා මගින් සිත පිරිසුදු කරගෙන සිතේ දියුණුවක් ලබා ගත හැකිවෙයි.
සිත හදාගත් බෞද්ධයාට තමාගේ පරමාර්ථය වූ නිවන කරා යොමු විය හැකිය.
බෞද්ධ ජීවිතයක් සකස්කර ගත යුත්තේ මේ ආකාරයෙන් වුව ද මෙකල බෞද්ධයන් යැයි
කියාගන්නා සියයට අනූවක් පමණ අය බෞද්ධ ජිවිතයේ හරය නැතහොත් පරමාර්ථය
කුමක්දැ යි තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ. ඇත්තෙන්ම අප බෞද්ධයන් හැටියට
බුදුරජාණන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගෙන ඒ තුළින් කෙසේ ජීවිතය සකස්
කරගත යුතුද යන්න නුවණින් අවබෝධ කර ගත යුතුය.
අත්ථදත්තං පරත්ථෙන
බහුනාපි න හාපයෙ
අත්තදත්ථ මභිඤ්ඤාය
සදත්ථ පසුතො සියා
යන ගාථාවෙන් පෙන්වන පරිදි පළමුකොට තමාගේ ආත්මාර්ථය සිදුකොට ගෙන දෙවනුව
පරාර්ථය සඳහා යොමුවීම වැදගත් බව පෙන්වා දෙයි. නියත විවරණ ලැබු
බෝධිසත්වයන් වහන්සේගේ පැතුම මෙහිදී අපේ සිහියට නැගෙයි.
බුද්ධොහං බොධයිස්සාමි
මුත්තෝ හං මොවයෙ පරෙ
තිණේණාහං තාරයිස්සාමි
සංසාරොගා මහබ්භයා
මම පළමුකොට සසර සයුරෙන් එතෙර වෙමි. දෙවනුව සසර දුක් විදින ජනතාව එතෙර
කරන්නෙමි. මේ බෞද්ධ සිද්ධාන්තය සෑම බෞද්ධයෙකුටම පරමාදර්ශයකි. අපේ
සමාජයෙහි බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ අනුන්ට උපදෙස් දීමට මිස තමන්
හැදෙන්නට නොවෙයි. ඇතැමුන්ට පන්සිල් පද පහ ආරක්‍ෂා කරගත නොහැකිව විවිධ
දුසිරිත්වල යෙදී බැඳී ක්‍රියාකරමින්, භික්‍ෂූන් වහන්සේලාත් බුද්ධ
ශාසනයත් උපහාසයටත් අපහාසයටත් ලක් කරයි.
නපරේසං විලොමානි
න පරේසං කතාකතං
අත්තනොච අවෙක්ඛෙය්‍ය
කතානි අකතානිච
යන දේශනා අනුව බලනවිට බෞද්ධකම නම් අනුන් කරන හොඳ නරක විවේචනය කරමින්
සිටින එක නොවෙයි. තමන්ගේ ළඟ ඇති අඩුපාඩු මොනවාදැයි නුවණින් සොයා බලා
ජීවිතය සකස්කර ගැනීම යි. එසේම බුද්ධ චරිතයේ හා බෝසත් චරිතවල ඉතා හොඳින්
පෙන්වාදි තිබෙන කරුණාව, දයාව, ඉවසීම, අල්පේච්ඡතාව ආදි ගුණ ධර්ම තුළින්
තම ජීවිතය සකස්කර ගැනීම යි.
එහෙත් අද බොහෝ බෞද්ධයන් බෞද්ධකම අමතක කර දමා ධර්මයෙන් හෝ අධර්මයෙන්
යමක් හරි, හම්බ කරගෙන කා බී පී‍්‍රතියෙන් ජීවත්වීම වටිනා ජීවිතයක්
ලෙසින් සිතා සිටින්නේ. ඇතැමෙකු සිතා සිටින්නේ ආලවකයන්, අංගුලිමාල, මෙන්
සිය අඹු දරුවන්ටත් අසල්වැසියන්ටත්, බිය ගෙනදෙන ජීවිත ගත කිරීම වීරකමක්
ලෙසට ය. මේ අතර ඉතාම ස්වල්ප දෙනෙක් පමණක් තම ජීවිතයෙන් තමන්ටත්
අනුන්ටත් යහපතක් වන ලෙස ජීවිතය සකස් කරගෙන බෞද්ධකම තේරුම් ගෙන ක්‍රියා
කරති.
බොහෝ දෙනෙක් තමන් පරම්පරාවෙන් බෞද්ධයන් වූවා මිස බුදුදහමේ උගන්වන කරුණු
තේරුම් ගෙන බෞද්ධ ජීවිතය සකස්කර ගත් බවක් පෙනෙන්නට නැත.
සාරධර්ම සියල්ල විනාශ වී ගියත් මොන ක්‍රමයකින් හෝ ධනය ලැබේ නම් ඒ සඳහා
යොමු වීමට අපේ ජනතාව පුරුදු වී තිබේ.අද බොහෝ බෞද්ධයන් සිතා සිටින්නේ
ආර්ථික දියුණුවට බුදුදහම බාධාවක් ලෙසිනි. එහෙත් හරිහැටි බුදුදහම
තේරුම්ගත් කෙනෙකුට ධාර්මිකව ධනය උපයා දියුණුවීමට හැකි ක්‍රම පමණක් නොව
ධනය ඉතුරු කරගන්නා ක්‍රම පවා බුදුදහම තුළින් පෙන්වා ඇති බව වටහා ගත
හැකිය. සිඟාලෝවාද, ව්‍යග්ඝ පජ්ජ, පරාභව වැනි සූත්‍ර දේශනා තුළින්
ආර්ථිකය දියුණුවන අයුරු හා පිරිහෙන අයුරු මොනවට පැහැදිලි කර දී ඇත.
පින්වත, ඔබ මේ කරුණු ගැන මනාව අවධානය යොමු කොට තම ජීවිතය බෞද්ධ සාරධර්ම
අනුව ගොඩනඟා ගැනීමට කල්පනා කරන්න. කරණීය මෙත්ත සූත්‍රයේ උගන්වන පරිදි
අවංක , නිහතමානී, සංසුන් ඉඳුරන් ඇති පුද්ගලයන් වීමට සිතට ගන්න.
හික්මීමෙන් සදාචාරයේ පිරිහී ගොස් උගත්කමින්, ධනවත්කමින් දියුණු වූ
පමණින් යහපත් සමාජයක් ගොඩනොනැගෙන බව නුවණින් කල්පනා කරන්න. එසේ කල්පනා
කොට නා නා අදහස්, නා නා සටහන් , නා නා ක්‍රියා ඇති විශාල සමාජයක ජීවත්
වන අප හැම විටකම සෑම දෙයකදීම මුලා නොවී ධර්මයත්, සත්‍යයත් දකින නුවණැස
දියුණු කරමින් රත්රන් වලට අයිති නොවන කුණු රොඩු පුළුස්සා හැර පිරිසුදු
රත්තරන්ම පිළියෙළ කර ගන්නාක් මෙන් ජීවිතයකට අයිති නොවන අගුණ ක්‍රමයෙන්
දුරැලා යහපත් ගුණ වඩමින් ඔබේ බෞද්ධ ජීවිතය අති පාරිශුද්ධතාවයට පත්
කරගෙන දුක් අඳුර දුරැලා ලබන විමුක්ති සැපත ලබා ගැනීමට උත්සාහ ගන්න. |