මරණයෙන් කෙළවර වන අනියත ජීවිතය
වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි
මරණානුස්සති භාවනාව වඩන ආකාර දෙකක් පිළිබඳ අපි පසුගිය සතියේ දී සාකච්ඡා
කළෙමු.
වධක පච්චුඨානතො (වධකයකු හිස ගසන්නට එළැඹී සිටියා සේ මරණය ද වහා
පැමිණේයැ’යි සිහිකිරීම) හා
සම්පත්ති විපත්තිතො (කවර
සම්පත්තියක් වුවත් විපත්තියෙන් කෙළවර වන්නේ ය. ජීවිතය ද
මරණයත් සමඟ විනාශ
වන්නේයැ’යි සිහිකිරීම) යනු එම
ආකාර දෙකයි. මෙවර අපි මරණසතිය වඩන තවත් ආකාර හයක් පිළිබඳ
වටහා ගනිමු.
මෙලොව උපත කරා එන සත්වයා තනිවම පැමිණෙන්නේ ය. ගෙන එන ධනයක් නැත. පරලොවද
තනිවම යන්නේ ය. වස්තු භෝග ද අතැර දමා කර්මානුරූපව සසරට වැටී නැවත නැවත
දුක් විඳිමින් මරණය කරාම පැමිණෙයි. උපන් සත්වයාගේ ස්වභාව වන්නේ කා බී
සතුටින්, වස්තුව, ධනය රැස්කරමින් සැප සේ සැම දා ජීවත්වීමේ කැමැත්තයි.
එහෙත් කැමැත්ත පරිදි කිසිවක් ලොව ස්ථිරව නොපැවැත්ම පරම සත්‍යය වේ. එනම්
අනිත්‍යතාව ලොවෙහි යථාර්ථයයි. ඒ බව වටහා නොගැනීම අනුවණකමකි.
පුත්තාමත්ථි ධනම්මත්ථි
ඉති බාලො විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං
(ධම්මපදය - බාල වග්ගය)
මාගේ දරුවන් බොහෝ ඇත. මා හට ධනයද ඇත. එසේ සිතා තව තවත් ධනය රැස් කිරීමට
දිවා රාත්‍රී වෙහෙසෙයි. (දරුවන් සහ ධනය කෙරෙහි මහත් වූ ආශාවෙන් ගිජුව
කල් ගෙවයි.) තමාට තමාවත් නැතිකොට දරුවන් කොයින්ද? ධනය කොයින්ද? සියල්ල
තාවකාලික වන්නේ ය. ස්ථිර නොවන්නේ ය.
හෙළන සුසුමක් පාසා සත්වයාගේ ආයු ගෙවී යන්නේ ය. මෙසේ වරුවෙන්, දිනයෙන්,
සතියෙන්, වසරෙන් පරමායුෂ ගෙවී යන්නේ ය. ජරා ව්‍යාධියෙන් අනතුරුව බොහෝ
දුක් විඳින්නේ ය. උපත සමඟ මරණය දක්වා යන සත්වයාට ස්ථිර වූ සැපයක්
නැත්තේමය. සියලු ලෝකයාම මෙම විපරිණාමයට මුහුණ දිය යුතු වන්නේ ය. ලොව
යථා ස්වභාව පහත සඳහන් කරුණුවලින් මනාව තේරුම් කර ගත හැකි ය.
* “හා යොබ්බනා ජරා අන්තා”
(අහෝ ! හැම තරුණකමක්ම ජරාව කෙළවර කොට ඇත.)
*“හා විනාසන්තා මහද්ධනා”
(අහෝ ! හැම ධන සම්පතක්ම විනාශය කෙළවර කොට ඇත)
* “හා සංයෝගා වියොගන්තා”
(අහෝ ! හැම එක්වීමක්ම වෙන්වීම කෙළවර කොට ඇත.)
* “හා මතන්තා සජීවකා”
(අහෝ ! හැම ජීවිතයක්ම මරණය කෙළවර කොට ඇත.)
* “හා ආලයා සොකන්තා”
(අහෝ ! හැම ප්‍රේමයක්ම ශෝකය කෙළවර කොට ඇත.)
* “හා ථොමනා විනිනදන්තා”
(අහෝ ! හැම ස්තුතියක්ම නින්දාව කෙළවර කොට ඇත.)
* “හා සුඛා සබ්බ සො දුක්ඛා”
(අහෝ ! හැම සැපතක්ම හැම අතින් ම දුක් කෙළවර කොට ඇත.)
මෙම විපරිණාම ධර්ම මෙනෙහි කරමින් මරණ සතිය වඩන අනෙක් ක්‍රම වටහා ගනිමු.
එවිට ජීවිත මදයෙන් මත්වෙන අකුසල් දහම්වලින් වැළැකී ජීවිතයේ අස්ථිර භාවය
හොඳින් තේරුම් ගෙන නිවන පරම කොට වැඩීමේ කුසල ඡන්දය මතු කර ගැනීමට
ශක්තිය වීර්යය තමා තුළින් ප්‍රකට කර ගැනීමට හැකියාව සැලසේ.
1. උපසංහරණතො
මහත් යස පරිවාරයෙන් යුතු පුණ්‍ය මහිමයෙන් යුතු අය ද මරණයට පත් වූහ. එසේ
මරණය මා හට ද ක්ෂණ මාත්‍රයෙන් පැමිණේ යැයි සිහිකිරීම උපසංහරණය නම් වේ.
* යස පරිවාරයෙන් යුතු රජ, මැති, සිටුවරුන් ආදී කොටැති මහා බලවතුන්ද
මරණයට පත් විය. අල්ප යසස් ඇති මාගේ ජීවිතය ඒකාන්තයෙන් මරණයට යන්නේ ය.
ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිතර සිහිපත් කළ යුතු ය.
* මහත් වූ පුණ්‍ය ශක්තියෙන් යුතු අනාථ පිණ්ඩික සිටුතුමා, විශාඛා මහා
උපාසිකාව ඇතුළු පුණ්‍යවන්තයෝ ද මරණයට පත්වූහ. අල්ප පුණ්‍ය ශක්තියක් ඇති
මාගේ ජීවිතය ද ඒකාන්ත කොට මරණයට පත්වන්නේ ය. ජීවිතය අනියතයි, මරණය
නියතයි යනුවෙන් නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ය.
* කාය ශක්තියෙන් හෙබි දස මහා යෝධයෝ ද, කාය ශක්තියෙන් පිරිහි මරණයට පත්
වූහ. කාය බලය හීන වූ මාගේ ජීවිතය ද ඒකාන්ත කොට මරණයට පැමිණෙන්නේ ය.
ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරතුරු සිහිපත් කළ යුතු ය.
* බුදු, පසේ බුදු මහරහතන් වහන්සේගේ ජීවිතය ද මරණයට පත් විය. මා හට ද
මරණය ඒකාන්ත කොට ඇත. ජීවිතය අනියතයි. මරණය නියතයි යනුවෙන් සිහි කටයුතු
යි.
* සෘද්ධිමත් වූ දීර්ඝායුෂ වූ දෙවි බඹුන්ගේ ජීවිතය ද මරණයට පත්විය. අල්ප
ආයුෂ ඇති මාගේ ජීවිතය ද ඒකාන්ත කොට මරණයට පත්වන්නේ ය. ජීවිතය අනියතයි,
මරණය නියතයි යැයි නිරතුරු සිහිපත් කළ යුතු ය.
2. කාය බහු සාධාරණතො
ස්වකීය ශරීර කූඩුව බොහෝ සත්වයන්ට සාධාරණ බව (අසූ කුලයක් පණුවන් ආදී
විවිධ සතුන්ගේ ගොදුරක් බව) සලකා මරණසතිය වැඩීම කාය බහුසාධාරණය වන්නේ
වේ.
* මෙම කයෙහි සිවිය, සම, මස්, නහර, ඇට සහ ඇට මිදුළු ඇසුරු කරමින් අසූ
කුලයක පණුවන් සාරය උරාබොමින් වාසය කරන්නේ ය. ප්‍රාණීන්ට සාධාරණ වන්නේය.
ඔවුන්ගේ කිපීමෙන් මරණය ඒකාන්ත කොට පැමිණෙන්නේ ය. ජීවිතය අනිත්‍යයි,
මරණය නියතයි යනුවෙන් නිතර සිහි කළ යුතු ය.
* දෙතිස් කුණප කොට්ඨාසයෙන් පිරුණා වූ ශරීරය තුළ කුමන හෝ ස්ථානයක සුව කළ
නොහැකි රෝගයක් හටගෙන මරණයට පත්වන්නට සිදුවේ. එම නිසා මෙම ශරීරය විවිධ
වූ රෝගයන්ට සාධාරණ බව සලකා මරණ සතිය වැඩිය යුතු ය. ජීවිතය අනිත්‍යයි,
මරණය නියතයි යනුවෙන් සිහිපත් කළ යුතු ය.
* මේ කය මැසි, මදුරුවන්, උකුණන් හට ද පත්තෑ, කුණකටු, නයි පොළොං ආදී
ඝෝරවිෂ ඇති සර්ප කුලයන්ටද සුනඛ, සිංහ, වලස්, කොටි, ව්‍යාඝ්‍ර, අලි, ගව
ආදී සතුන්ටද මනුෂ්‍ය, අමනුෂ්‍ය ආදී අනේකවිධ සත්වයන්ට ද සාධාරණ වන්නේ ය.
ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිරන්තරයෙන් මෙනෙහි කටයුතු ය.
* වැසි, සුළං, නාය යෑම්, සුනාමි, ගංවතුර, වස, විෂ, ගිනි, බෝම්බ, විදුලි
සැර වැදීම්, කඩු, කිනිසි, පොලු පහර, අකුණුසැර වැදීම් ආදී බාහිර
උපද්‍රවයන්ට ද මේ කය සාධාරණ බැවින් මරණය ඕනෑම මොහොතක සිදුවිය හැකි
වන්නේ ය. ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි යනුවෙන් සිහිපත් කළ යුතු ය.
* මුහුද, ගංගා, ඇළ දොළ, ඇසුරු කරගෙන ජීවත්වෙන කිඹුලන්, තල් මසුන්,
මෝරුන්, ආදී සතුන්ටද සාධාරණ වුණු මරණය ඒකාන්ත කොට ඇත්තේ ය. ජීවිතය
අනිත්‍යය, මරණය නියතයි යනුවෙන් සිහිපත් කළ යුතු ය.
3. ආයු දුබ්බලතො
ආයුෂ නොඑසේ නම් පණ නම් ඉතා දුබල බව සිතා මරණ සතිය වැඩීම ආයු දුබ්බලතාව
නම් වේ. ආහාර පාන, සෘතු, උෂ්ණය, ආශ්වාස ප්‍රාශ්වාස ආධාරයෙන් ජීවිතය
පවතින්නේ ය. මේවායේ කිපීමෙන් මරණය වන්නේ යැයි නිරතුරු සිහිපත් කළ යුතු
ය.
අභ්‍යන්තර වායෝ ධාතුව (කුස තුළ, බඩවැල් ඇතුළත, ශරීරය පුරා දිවයන වායුව,
උඩ අතට දිවයන වායුව, පහළට දිවයන වායුව, ආශ්වාස ප්‍රාශ්වාස වාතය)
සමතුලිත නොවීමෙන්, කිපීමෙන්, මරණය ක්ෂණයකින් පැමිණෙන්නේ ය.
* සීත උෂ්ණ දෙක කිපීම උත්සන්නවීමෙන් මරණය වන්නේ ය.
* සතර මහා භූතයන්ගේ (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) විෂමභාවයට පත්වීමෙන් මරණය
සිදුවන්නේ ය.
* යන, එන, සිටින, හිඳින, නැමෙන, දිගහැරෙන, වකුටුවෙන, නිදන ඉරියව්වක
වෙනස් වීමෙන්, වැටීමෙන්, ලිස්සායෑමෙන්, පෙරැළීමෙන්, අත් පා සිඳීම්
ආදියෙන් මරණය පැමිණෙන්නේ ය. මේ ආකාරයෙන් මෙනෙහි කරමින් මරණ සතිය
භාවිතයෙන් බහුලකොට වැඩිය යුතු ය.
4. අනිමිත්තතො
සත්වයාගේ ජීවිතය කොපමණ කලක් පවතීද, කුමන රෝගයකින් මරණය වන්නේ ද, කාලය
කෙසේ වන්නේද, මෘත දේහය කවර ස්ථානයක යට කරයි ද, මරණින් මතු උපදින තැන
සුගති දුගති වශයෙන් කෙසේවේදැයි ස්ථිර වශයෙන් නියමක් නැති බැවින්
‘අනිමිත්ත’ යැයි සලකා මරණය ඒකාන්ත කොට පැමිණෙන්නේ යැයි මරණසතිය වැඩිය
යුතු ය.
5. අද්ධාන පරිච්ඡෙදතො
මිනිසුන්ගේ ජීවිතය මෙතෙක් කල් පැවැතිය යුතු යැයි නිශ්චිත කාලසීමාවක්
පැණවිය නොහැකිය. මරණය කවර වයස් පරතරයක් ඇතුළත පැමිණිය හැකි දැයි ස්ථිර
කළ නොහැකිය. එසේ සලකා ජීවිතය අනියතයි, මරණය නියතයි, ඒකාන්ත කොට මරණය
පැමිණේයැයි සිහි කළයුතු ය.
* හිඳගෙන සිටින විට මරණය පැමිණෙයි.
* සිටගෙන සිටින විට මරණය පැමිණෙයි.
* යන එන විට මරණය පැමිණෙයි.
*නින්දේදි ම මරණය කරා පැමිණෙයි.
* ආහාර පානාදිය ගන්නා විට මරණය පැමිණෙයි.
* අඳින පළඳින හැඩවෙන මොහොතකදි මරණය පැමිණෙන්නේ ය.
* හඬන, වැළැපෙන, සිනාසෙන සතුටුවෙන අවස්ථාවකදී මරණය පැමිණේ.
මේ ආකාරයෙන් සලකා මරණ සතිය නිරන්තරයෙන් වැඩිය යුතු ය.
6. ඛණ පරිත්තතො
පරමාර්ථ වශයෙන් සත්වයන්ගේ ජීවිත කාලය ක්ෂණයකි. ඉතා ස්වල්ප වන්නේ ය.ඒ බව
නිතර සිහිපත් කළ යුතු ය.
* අතීතයට ගිය චිත්තක්ෂණයෙහි පැවැතියා වූ ජීවිතය වර්තමාන චිත්තක්ෂණයට
නොපැමිණ මරණය සිදුවන්නේ ය.
* වර්තමාන චිත්තක්‍ෂණයෙහි පවත්නාවූ ජීවිතය අනාගත චිත්තක්ෂණයට නොපැමිණ
මරණය සිදුවන්නේ ය.
* අනාගත චිත්තක්‍ෂණයෙහි පවත්නා වූ ජීවිතය නැවත අනාගත චිත්තක්ෂණයට
නොපැමිණ මරණය වන්නේ ය.
ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන් නිතර සිහිපත් කළ යුතු ය.
මෙසේ මරණය සිහිපත් කිරීම අප්‍රමාදයට හේතු වන්නේ ය. සිතේ හටගන්නා අකුසල්
ප්‍රහාණය කිරීමට වීර්යය ඇතිවන්නේ ය. රැස්කිරීම් බලාපොරොත්තු අඩු කළ
හැකි වන්නේ ය. ජීවිතමදය නැතිවන්නේ ය. සිතෙහි පීඩා කරදර වියැකී යන්නේ
ය.මරණ බිය නැති වන්නේ ය. ජීවිතයේ අර්ථය සැලැසෙන්නේ ය. |