වප් අව අටවක 2013 ඔක්තෝබර් 26 වන දා
පින්බර සමය
වප් මස පින්බර මාසයකි. චීවර මාසය නමින් ද වප් මස හඳුන්වනු
ලබන්නේ ඇසළ පුර පසළොස්වක සිට උදාවූ වස්සාන සමය නිසා ය. ඇසළ පුර
පසළොස්වක දා පොහොය විනය කර්මය සිදුකළ උපසම්පන්න ස්වාමීන්
වහන්සේ ඇසළ අව පෑළවිය දා වස් විසීම සඳහා වස් ඉටා ගත්හ.
පුරා තෙමසක් මුළුල්ලෙහි වස් ශික්‍ෂා පදය ආරක්‍ෂා කළ, පෙර වස්
වසන ලද ස්වාමීන් වහන්සේ නිසාම කඨින චීවර පූජා මහ පින්කමක් සිදු
කළ හැකි වේ.
පෙර සූදානමකින් තොරව කඨින පින්කමක් කළ නොහැකි බව පැහැදිලි වේ.
ආර්ථික වශයෙන් කෙතරම් ශක්තියක් තිබුණ ද කඨින පින්කමක් කළ හැකි
නොවේ.
බොහෝ විය පැහැදම් කර සසුනෙහි ඉතා අර්ථවත් පින්දහම්වල නිරත විය
හැකිය. එහෙත් කඨින පින්කම සඳහා තෙමසක් පුරා උපසම්පන්න ස්වාමීන්
වහන්සේ වස් ශික්‍ෂා පදය ආරක්‍ෂා කිරීමෙන් කඨින පින්කමක් සිදුකර
ගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවේ.
අතීතයේ මුතුන් මිත්තන් දවස අභිනව නිවසක් තැනූ විට එම නිවසෙහි
භික්‍ෂූන් වහන්සේ වස් වසා වඩා හිඳුවා ඇප උපස්ථාන කර අවසන කඨින
චීවර පූජාව සිදු කිරීමේ සිරිතක් ද පැවැතිණි.
එහෙත් එම සද්චාරිත්‍රය ක්‍රම ක්‍රමයෙන් සමාජයෙන් බැහැර වී ගියද
ඇතැම්විට ග්‍රාමීය පරිසරය තුළ අද පවා කලාතුරකින් හෝ එබඳු
අවස්ථා දක්නට ලැබෙනු ඇත.
මුදල් පමණක් නොව කවර හැකියාවන් පැවැතුනද ඒ කිසිවක් මුල් කර
ගනිමින් කඨින පින්කමක් සිදුකළ හැකි නොවේ.
කඨින පින්කමක් සිදු කළ හැක්කේ එක් විහාරස්ථානයකදී හෝ එක්
ස්ථානයකදී වසරකට එක් වරක් පමණි. පෙර වස් විසූ භික්‍ෂූන්
වහන්සේගේ කාරුණික අනුග්‍රහය නිසාම එසේ කඨින පින්කමක් සිදුකර
ගැනීමේ දුර්ලභ අවස්ථාව දායක පක්‍ෂය වෙත හිමි වේ.
ග්‍රාමීය හෝ නාගරික වේවා කවර ප්‍රදේශයකදී කඨින පින්කමක් සිදු
කළ ද ඒ සඳහා හැකිතාක් සැදැහැවත් පිරිසෙහි සහාය ලබා ගත යුතු ය.
දැනුදු එහි අඩුවක් නොමැත.
අනෙකුත් බොහෝ පින්කම්වලට වඩා කඨින පින්කම සඳහා අහන, දකින, බලන
ලොකු කුඩා සියලු දෙනා ඊට දක්වනුයේ මහත් සහායකි.
කඨින පින්කමෙහි අනුසස් බොහෝ දෙනා දැන සිටින හෙයින් ම කඨින
චීවරය සඳහා ඉතා සුළු ආධාරයක් හෝ කිරීමටත් විහාරස්ථානයට සහ
ස්වාමීන් වහන්සේට අවශ්‍ය පූජා ද්‍රව්‍යයන් එදින අනෙකුත් දිනවලට
වඩා පූජා කිරීමට පවා බෞද්ධ ජනතාව පෙළඹී සිටින්නේ කඨිනයෙහි ඇති
වටිනාකම ගැන මෙනෙහි කිරීම නිසා ය.
කඨින පින්කම මූලික කර ගනිමින් බොහෝ විහාරස්ථානවලදී වස් කාලය
පුරා දිනපතා, හතර පෝදා ආදී වශයෙන් පහසු පරිදි පින්කම් සංවිධානය
කර ඊට පින්කම් මාලාවක් සිදු කරනු ලැබේ.
ඇතැම් විට කඨින පින්කම් මූලික කර ගනිමින් වස් තෙමස පුරා විශේෂ
ධර්ම දේශනා ආදිය ද පවත්වනු ලැබේ.
එවන් පින්කම් මාලාවක් සංවිධානය කිරීමෙන් ඇතැම්විට වෙනදා
විහාරස්ථානයට නොපැමිණෙන සැදැහැවතුන් පවා විහාරස්ථානයට පැමිණීමට
පෙළඹෙනු ඇත.
මේ අනුව සලකා බලන විට භික්‍ෂූන් වහන්සේ පෙර වස් විසීමත්, මහා
පවාරණයෙන් පවාරණය කිරීමත්, ඒ නිසාම ලැබෙන කඨින චීවර පූජාවේ
වැදගත්කම සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිසත් ගිහි පැවිදි
දෙපක්‍ෂයේ අන්‍යොන්‍ය සුහදතාවය වර්ධනය සඳහාත් කෙතරම් උපයෝගී වන
උදාර පින්කමක් දැයි වටහා ගත හැකි වේ.
ගිහි පැවිදි සුහදතාවය තව තවත් වර්ධනය කිරීම සඳහා චීවර මාසය
යොදා ගැනීමට ගිහි පැවිදි දෙපාර්ශවයම තව තවත් පුණ්‍ය කර්මයන්හි
නිරත වීමට බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වේ.
පන්සලේ සතර පේරුවේ දායක පිරිස පන්සල වෙත ළඟාවී ගෞරවයෙන් හා
ශ්‍රද්ධාවෙන් තෙරුවන් පිදීමට අවස්ථාව සැලසීම සඳහා ගෞරවණීය මහා
සඟරුවන හැම විට මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු වේ.
එවිට බෞද්ධයාගේ අනාගතය බෞද්ධ සිතුම් පැතුම්තුළම ගොඩනැඟෙනු ඇත.
එවන් යහපත් පිරිසක් කවදත් පන්සලට, ස්වාමීන් වහන්සේට, ගෞරව පෙර
දැරිව සැදැහැ සිතින් ක්‍රියා කරනු ඇත. |