නිවන් අරමුණ සහ
භාෂා භාවිතය
ආචාර්ය
ධර්මසේන හෙට්ටිආරච්චි
‘මම සුවපත් වෙම්වා’ යි කීම වැරැදි නේදැ’යි ධර්ම දේශනයකට සවන් දුන් අයකු
ප්‍රශ්න කළේ ය. එසේ ඇසීමට හේතුව වශයෙන් ඔහු දැක්වූයේ ‘මම’ කියා කිසිවකු
නැති බවත්, එසේ කීමෙන් නැත්තා වූ ආත්මයක් තහවුරු වීමෙන් මුළාවක වැටෙන
බවත් ය. තවත් අයකුගේ අදහස වූයේ ‘මම’ කියා යමකු නැත්නම් මේ ලෝකයේ ජීවත්
විය නොහැකි බවයි. මේ අදහස් දෙක ගැන සලකා බලන විට පැහැදිලි වන්නේ නිවන්
අරමුණ හා භාෂා භාවිතය සම්බන්ධව පැහැදිලි වැටහීමක් නොමැතිකම නිසා
බෞද්ධයන් බුදුදහම වැරැදි ලෙස තේරුම් ගැනීමට පෙළැඹී සිටින බවයි. මෙය
සාමාන්‍ය බෞද්ධ ජනතාවට පමණක් නොව දහම උගත් අයට පවා ගැටලුවක් වී තිබෙන
අයුරු ඔවුනගේ දේශන අසන, ලිපි ලේඛන කියවන අවස්ථාවලදී දක්නට ලැබෙන්නකි.
භාෂාව, පෘථග්ජන මිනිසුන්ගේ නිර්මාණයකි. පෘථග්ජනයන්ගේ නිර්මාණවල වැරැදි,
අඩුපාඩු කොතෙකුත් තිබේ. එයට හේතුව ඔවුන් ලෝකය නිවැරැදිව වටහාගෙන
නොමැතිකමය. බුදුදහම දේශනා කොට ඇත්තේ පොදු ජනතාව අතර භාවිතයේ තිබුණු
භාෂාවෙනි. එනිසා එය ප්‍රවේසමෙන් වටහා නොගතහොත් වැරැදි නිගමනවලට බැස
ගැනීමට ඇති අවස්ථා කොතෙකුත් තිබේ.
නිතර ඉදිරිපත් කෙරෙන නිදසුන් දෙකකින් මේ බව තේරුම් ගනිමු.
1. උදේට ඉර නැඟ එයි. සවසට ඉර බැසයයි.
මෙය අපේ ඇසට පෙනෙන සත්‍යවූ සිදුවීමකි. එහෙත් ඉර නැඟ එන්නේ වත්, බැස
යන්නේවත් නැති බව අපි දනිමු. සිදුවන්නේ පොළොව තමන් වටා කැරකෙමින් ඉර
වටා ගමන් කිරීමයි. පොළොව කැරකෙන බවක් අපට නොපෙනේ. පෙනෙන්නේ, ඉර අහසේ
එක් පැත්තකින් මතුවී, දහවල් කාලයේ දී අහස මැදින් ගමන් කර සවසට අනෙක්
පැත්තෙන් බැස යන බවය.
එහෙත් අපේ භාෂාව සකස් වී තිබෙන්නේ නොසිදුවන දෙයක් කීමට ය. අපේ
ඉන්ද්‍රිය ගෝචර ආකාරයට පිළිගැනීමට හා ඒ බව ප්‍රකාශ කිරීමට අපි භාෂාව
තනාගෙන සිටිමු. එය වැරැදි බව දැන් හොඳින් දනිමු. අපි වැරැදි නිවැරැදි
කරගෙන භාෂාව සකස් කර ගැනීමට නොගොස් වැරැදි භාෂාව ම භාවිත කරමු. එහෙත්
අහස්යානාවක් හෝ අභ්‍යවකාශ යානාවක් තැනීමේ දී හෝ එහි ගමන් කිරීමේ දී
පොළොව කැරකෙන බව පිළිගෙන එයට අනුව ක්‍රියා කරමු.
2. ‘වැස්ස වසියි’ යනුවෙන් අපි ව්‍යවහාර කරමු. එහිදී සිදුවන්නේ කුමක්ද?
යම්කිසි කාලයක් ඇතුළත අඛණ්ඩව අහසින් ජලධාරා පොළොවට පතිත වීමය. එයට
‘වසියි’ කීම ප්‍රමාණවත් ය. එහෙත් අපි භාෂා ව්‍යවහාරය අනුව ‘වැස්ස’
යනුවෙන් තවත් නාම පදයක් ඈඳා ගනිමු. එනිසා, වර්ෂණ ක්‍රියාවට පරිබාහිර වූ
වැස්ස යනුවෙන් යමක් ඇතැයි අපට සිතේ. එතැන, නැති දෙයක් ඇතැයි සිතීමට අපි
පෙළැඹී සිටිමු. මෙහි වරද පෙනුණත් අපි පුරුදු පරිදි භාෂාව භාවිත කරමු.
මේ දෙතැනදීම ප්‍රකාශ වන දෙය අසත්‍ය වුවත්, එය ව්‍යවහාරය සඳහා ඇත්තක්
ලෙස සම්මත කර ගෙන සිටින නිසා එය ම භාවිතයේ තබා ගනිමු.
මේ නිදසුන් දෙකෙන් අපට මැනැවින් තේරුම් ගත හැක්කේ නොසිදුවන දේ සිදුවන
ලෙසත්, නොමැති දේ ඇති ලෙසත් භාෂා ව්‍යවහාරය අප රවටන බව ය. අප විසින්
සකස් කරගනු ලැබ භාවිතයට ගෙන ඇති භාෂාවටම, අපගේ නිර්මාණයකට ම අපි රැවටී
සිටිමු. මේ කරුණ තේරුම් ගත් පසු, සම්මත භාෂාව ව්‍යවහාර කිරීමටත්, එයින්
ගත යුතු ප්‍රයෝජනය ගනිමින් ම එයින් නොරැවටී ක්‍රියා කිරීමටත් අවස්ථාව
උදාවේ.
භාෂාව සම්බන්ධ මේ ස්වභාව තේරුම් නොගෙන බුදුදහම තේරුම් ගැනීමට නුපුළුවන.
බුදුරජාණන් වහන්සේ මිනිසුන් අතර සම්මත භාෂාවෙන් දහම් දෙසූ අතර එය
භාවිතයේ දී කිහිප ආකාරයකින් ප්‍රයෝජන ගත් සේක.
1. සම්මත අයුරින් ම යොදා ගැනීම.
2. සම්මත වචන වෙනත් ශාසනික අරුතක් දීම සඳහා භාවිත කිරීම.
මෙහි දී සමහරවිට,
(අ) ඒ බව බුදුදහමෙහි මෙසේ යෙදෙතැයි (අරියස්ස විනයේ) විශේෂයෙන් අවධාරණය
කෙරේ.
(ආ) ඇතැම් විට එසේ විශේෂයෙන් සඳහන් නොකරම ව්‍යවහාර කර ඇත.
3. ඉතා ම සුවිශේෂ තැනක පමණක් අලුතින් වචනයක් සකසා භාවිත කිරීම
එයට උදාහරණයකි, ඉදප්පච්චයතා, පටිච්චසමුප්පාද යන යෙදුම.
පොට්ඨපාද නම් වූ පරිව්‍රාජකයාට මේ කාරණය බුදුරජාණන් වහන්සේ පහදා දුන්
සේක. ලෝකයාගේ සංඥාවන්, නිරුක්තීන්, ව්‍යවහාරයන් ප්‍රඥප්තීන් තථාගතයන්
වහන්සේ ව්‍යවහාර කරන බවත් එහෙත් ඒවා පරාමර්ශනය නොකරන බවත් ය. (තථාගතො
වොහරති, අපරාමසන්ති -දීඝ නිකාය 1, 436, පොට්ඨපාද සූත්‍රය)
තථාගතයන් වහන්සේ ද, රහතන් වහන්සේ ද, එනම් විමුක්තිය ලද උතුමෝ ද
ලෝකව්‍යවහාරය පිළිගෙන, සාමාන්‍ය ජනතාවගේ භාෂාව භාවිත කරති. එහෙත් ඒ
වචනවල, ඒ ව්‍යවහාරයන්හි තදින් ඇලී නොසිටිති. ඒවා අල්වාගෙන නොසිටිති. ඒ
වචනවලින් ප්‍රකාශ වන අදහස් ඒ අයුරින්ම සත්‍යයැයි නොපිළිගනිති.
ශ්‍රාවකයන්ටත් බුදුරජාණන් වහන්සේ වදාළේ සම්මත භාෂාව එලෙස පිළිගෙන
ව්‍යවහාර කරන ලෙසිනි. එහෙත් අවධාරණය කළේ එහි ඇලී, දැඩි ලෙස එයම
සත්‍යයැයි ග්‍රහණය කර නොගෙන සත්‍යය නුවණින් දැක ගැනීමටයි.
මේ අනුශාසනය අනුව, බුදුදහමෙන් ඉදිරිපත් වන පණිවුඩය තේරුම් ගැනීමට නම්
භාෂා ව්‍යවහාරය ගැන අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. දහම අවබෝධ කර
ගැනීම සඳහා තේරුම් ගත යුතු වචන දෙකකි, ‘ලෝකය’ සහ ‘දුක’. බුදුරජාණන්
වහන්සේ වදාළේ බුදුදහම දුක ගැනත් දුක්ඛ නිරෝධය ගැනත් පමණක් අවධානය යොමු
කර දේශනා කර ඇති බව ය. ‘දුක්ඛඤ්චේව පඤ්ඤාපෙමි දුක්ඛස්ස ච නිරොධං’
යනුවෙන් ඒ බව කියැවේ. ඒ නිසා, දුක්ඛෙ ලොකො පතිට්ඨිතො- ලොව දුකෙහි
පිහිටියේය යන්න මූලික ඉගැන්වීමක් වෙයි. මේ වචන දෙක දහමෙහි යෙදී ඇති
අරුත තේරුම් නොගෙන බුදුදහම වටහා ගැනීමට යෑම නොකළ හැකි කරුණක් සඳහා දරන
උත්සාහයකි.
බුදුදහම සම්බන්ධ බොහෝ වැරැදි වැටහීම්වලට හේතු වී ඇත්තේ මේ වචන දෙක
වරදවා තේරුම් ගැනීමය. ‘ලෝකය නරකය. එනිසා ලෝකයෙන් පලා යා යුතුයැ’ යි
බුදුදහම කියතැ’යි එක්තරා ආගමකට අයත් සුප්‍රසිද්ධ පූජක උතුමකු පවා වරක්
ප්‍රකාශ කර තිබිණ. ලෝකය දුක යැයි කීමෙන් සර්වඅශුභවාදයක් දේශනා කරතැයි
ඇතැම් විද්වත්හු ද බුදුදහමට චෝදනා ස්වරූපයෙන් කථා කරති. සාමාන්‍ය බෞද්ධ
ජනතාවට මෙය මහා ගැටලුවක් වී තිබේ. ස්වකීය චර්යා රටාව දහමට අනුව සකසා
ගැනීමට නොහැකිවීමට ද මෙය බොහෝ සෙයින් හේතු වී තිබේ. මේ ලිපියෙහි මුලින්
ම සඳහන් කළ ගැටලු උද්ගත වී තිබීමෙන් ද ඒ බව ප්‍රකට වෙයි.
‘ලෝකය’ යන්න සාමාන්‍ය මිනිසා තේරුම් ගන්නේ ගස්වැල්, මිනිසුන්, සතුන්,
පර්වත, ඇළ, දොළ, ගංගා, මුහුදු ආදියෙන් ඉර, හඳ, තාරකාවලින් සමන්විත
භෞතික ලෝකය යනුවෙනි. එහෙත් විමුක්තිය හෙවත් නිවන සම්බන්ධයෙන් දහමෙහි
කතා කෙරෙන්නේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයයි.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය දක්වා ඇත්තේ බාහිර ලෝකයෙහි
ස්වභාව දැක්වීමට නොව, ස්කන්ධ ලෝකයෙහි ස්වභාව දැක්වීමට ය. බාහිර භෞතික
වූ ලෝකයත් අනිත්‍ය බව සැබැවි. එහෙත් දුක්ඛ ලක්‍ෂණය අර්ථවත් වන්නේ
ස්කන්ධ ලෝකය සැලකිල්ලට ගතහොත් ය. දුක ජනනය වන්නේ මිනිසාගේ සිතෙහි ය.
අනිත්‍ය වූ නිසාම යමක් දුක් සහගත නොවේ. අනිත්‍ය වූ දෙයට, අනිත්‍ය බව
නොදැන හෝ නොසලකා, ඇල්මක් ඇති කරගෙන එය ග්‍රහණය කර ගැනීමට තැත් කරනවිට
එය අසු නොවී ගිළිහී යෑම නිසා සිතේ ඇතිවන අසහනකාරී තත්ත්වය දුක නම් වේ.
‘යදනිච්චං තං දුක්ඛං’ යි කියැවෙනුයේ මේ අසහනකාරී තත්ත්වයයි. මෙය බාහිර
භෞතික ලෝකයේ සිදු වන්නක් නොව, කාල්පනික ස්කන්ධ ලෝකයෙහි සිදුවන්නකි. ඒ
බව නොදැන හෝ නොදැක, බාහිර භෞතික ලෝකය දුකක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න
කිරීමෙන් දුක්ඛාර්ය සත්‍යය වටහා ගැනීමට පුළුවන්කමක් නැත. විමුක්තිය
සඳහා දැන ගත යුත්තේ නිරන්තරයෙන් වෙනස් වන ස්කන්ධයන් කෙරෙහි තණ්හාව
උද්ගත නොවන ආකාරයෙන් ක්‍රියා කරන සැටිය .
මෙහි ‘දුක’ යනු ද කායික වේදනාවන් පමණක් බව සිතීම සාමාන්‍ය මිනිසාගේ
සිරිතයි. දුක්ඛදායක වේදනා ම දුක ලෙස සැලකේ. එහෙත් හිස රිදීම, පිට රිදීම
වැනි වේදනා බුදුරජාණන් වහන්සේ ට ද දැනුණ බව මේ අයට අමතක ය. ඒ වේදනා
දැනුණ නිසා, බුදුරජාණන් වහන්සේ දුක නැති නොකළ සේකැයි කියන්නට පෙළැඹිය
යුතු ද?
මේ නිසා, විමුක්තිය සම්බන්ධයෙන් හෙවත් නිවන් දැකීම සම්බන්ධයෙන් ‘ලෝකය’,
‘දුක’ ආදී වචන දහමෙහි යෙදී ඇති ආකාරය වටහා නොගන්නාතාක් දහම් මඟට
නිවැරැදිව පිවිසීමට නොහැකි බව අවධාරණය කළ යුතුය. එය, එසේ තේරුම් ගත්
පසු ලෝකය හොඳ ද නරකද යනුවෙන් ඇසීමට ප්‍රශ්නයක් මතු නොවේ. ලෝකයේ සැප
නැති ද, ඇත්තේ දුක පමණදැයි ප්‍රශ්න කිරීමට අවශ්‍යතාවක් පැන නොනඟී.
බුදුදහම සර්වඅශුභවාදයක් වත්, සර්ව ශුභවාදයක්වත් නොවන බව ද එනිසා ම
වැටහෙනු ඇත.
‘මම සුවපත් වෙම්වා’යි කීමට කවුරුත් බිය විය යුතු නැත. අපේ සම්මත භාෂාවේ
‘මම’ යන්න භාවිත වේ. රහතන් වහන්සේ ද ‘මම’, ‘මට’ වැනි වචන භාවිත කරති.
එහෙත් ‘මම’ යනුවෙන් හැඳින්වෙන ජීවියා, නිරන්තරයෙන් වෙනස් වන භෞතික හා
මානසික ක්‍රියාකාරීත්වයන් ගණනාවක් බව වටහා ගත යුතු ය.
මා ජීවත් වන ගෙදර මගේ නොවේ යැයි කීවොත් කවුරුන් හෝ පැමිණ මා එළවා දමා
එහි පදිංචි වනු ඇත. එවිට නීතියෙන් හෝ පිහිටක් පැතිය නොහැකියි. එනිසා ඒ
ගෙදර ‘මගේ’ බව මා කිව යුතු ය. ගැටලු උද්ගත නොවන්නේ එවිට ය. එහෙත් ඒ
ගෙදර ද අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත නිසා එය විනාශ වී යන්නක් බව පිළිගත
යුතු ය. මා මිය යන විට එය රැගෙන යා නොහෙන බව දැන්ම දැන සිටිය යුතු ය.
නැතහොත් එයට ඇති දැඩි තණ්හාව නිසා එහිම ප්‍රේතයකුව ඉපදීමට ඉඩ තිබේ. ඒ
අයුරින් පුනර්භවය තනා ගන්නා තාක් විමුක්ති මඟට එළැඹීමට නුපුළුවන.
බෞද්ධයා නිවන් අරමුණ ඇතිව භාෂාව භාවිත කළ යුතු ය. එවිට තමන්ට තමන්වත්
නැති නැත පුතුන් කොයින්ද, ධනය කොයින්දැයි අසා ගෘහ ජීවිතය අවුලක් බවට
පත් කර ගන්නේවත්, පුතුන් හා ධනය දමා යන්නට බැරිව පුනර්භවය තහවුරු කර
ගනිමින් නිවන් මඟින් බැහැර වන්නේවත් නැත. |