UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසරකට එක් වරක් පමණක් කළ හැකි මහගු පින්කම

මෙම කඨින පින්කම් අවස්ථාවේ දී අටපිරිකර සහ සෙසු පිරිකර පූජා කිරීමට දායකයින් මහත් ලැදිකමක් දක්වනව. අඩු තරම බෙහෙත් පැකට් එකක් හෝ පූජා කරනවා. වසරකට එක්වරක් ලැබෙන මෙම පින්කමින් මහත්ඵල මහා ආනිශංස එම දායකයින්ට ලැබෙනවා. මෙම සියලු පූජාවන්ට කඨින ආනිශංස ලැබෙනව. නොසැලී පවතින විශාල පර්වතයක්මෙන් මෙම කුසලානිශංස නිවන් දක්නා ජාති දක්වා තමන් පසුපස පැමිණෙනවා.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කඨිනංචපරික්ඛාරං වාසදානංච උත්තමං
බුද්ධප්පමුඛ සංඝස්ස දානංධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස පටිමාකරණම්පිච
කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤාති වුච්චරේ

පින්වත්නි,

උපසපන් භික්‍ෂූන් වහන්සේලාගේ වස් විසීමේ තෙමස් කාලය වප් මස පුරපසළොස්වක පොහොය දිනයෙන් පවාරණය සිදු කෙරිණි. අනතුරුව ඉල් පසළොස්වක පොහොය දිනය දක්වා ඇත්තේ චීවර මාසයයි. පෙරවස්වසා පවාරණය කළ භික්‍ෂූන් වහන්සේට වසරකට එක්වරක් පමණක් පූජාකළ හැකි ආමිෂ පූජාව කඨින චීවර පූජාවයි. වසරකට එක්වරක් පමණක් ලැබෙන මෙම කඨින චීවර පුණ්‍යකර්මයේ ඵලනෙලා ගැනීමට බෞද්ධ පින්වතුන්ට චීවර මාසය තුළ හැකිවෙනවා. කඨින චීවර පූජාව අටමහා කුසල් වල පළමුවන පින්කමයි. එම අට මහ කුසල් මාතෘකා කළ ගාථාවේ සඳහන් වෙනවා.

1. කඨින සිවුරක් පූජා කිරීම.
2. අටපිරිකර පූජා කිරීම.
3. ආවාසගෙයක් තනවා සඟසතු කර පූජා කිරීම.
4. බුදුපාමොක් මහසඟනට සඟසතුකර දන්දීම.
5. බුදු දහම ලේඛන ගත කර තැබීම.
6. කෙත්වතු සඟසතු කර පූජා කිරීම.
7. බුදු පිළිම, චෛත්‍ය, මලසුන්, බෝධිරෝපණ ආදිය කිරීම.
8. වැසිකිළි තනා සඟසතු කිරීම යන කරුණු අට අටමහා කුසල් වශයෙන් සඳහන් වෙනවා.

කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව සඟ සතුකර දන්දීම යන පුණ්‍යකර්ම තුනම කඨින පින්කම කරන දායකයින් තුළින් සිදුවනවා.

කඨින චීවරය ලැබීම නිසා පස්මසක් ගතවනතුරු භික්‍ෂූන් වහන්සේට විනය ප්‍රඥප්ති පහක් පිළිබඳ විශේෂ පහසුකම් ලැබෙනවා. භික්‍ෂුවකට වෙනත් චීවර දහසක් ලැබුණත් මෙම පහසුකම් ලැබෙන්නේ නැහැ. එක් කඨින චීවරයක් තුළින් භික්‍ෂූන් වහන්සේට එම වරප්‍රසාද පහම ලැබෙනව. එනිසා එම චීවර පූජා කරන දායක පින්වතුන්ට ද විශාල කුසලයක් ලැබෙන වැදගත්ම පින්කමක් වෙනවා. එම භික්‍ෂූන් වහන්සේට ලැබෙන වරප්‍රසාද පහ මෙසේ ය.

1. අනමත්තචාරෝ

මෙය ප්‍රාතිමෝක්‍ෂයේ අචේලක වග්ගයේ සවන ශික්‍ෂා පදයයි. විහාරයේ වසන භික්‍ෂුවකගෙන් නොවිචාරා ගෙවල්වලට යාමෙන් වන ඇවත කඨිනය, අතුළ භික්‍ෂූන් වහන්සේට නොවේ. කඨිනය ඇතිරීමෙන් පසුව නොවිචාරා කුලවල හැසිරීමට නිදහස ලැබේ.

2. අසමාදාන චාරෝ

මෙය ප්‍රාතිමොක්‍ෂයේ නිසඟි පචිතිවල දෙවනසික පදයයි. මෙම සිකපදය අනුව අධිෂ්ඨාන කරගෙන සිටින තුන්සිවුරින් වෙන්ව රාත්‍රිය ඉක්මවීමෙන් වන ඇවත කඨින අතුළ භික්‍ෂූන් වහන්සේට නොවේ.

3. ගණ භෝජනං

මෙය ප්‍රාතිමොක්‍ෂයේ භෝජන වග්ගයේ දෙවනසික පදයයි. මෙම සිකපදය අනුව ගණ භෝජනය වැළඳීමෙන් වන ඇවත කඨිනය අතුළ භික්‍ෂූන් වහන්සේට නොවේ.

4. යාව දත්ථ චීවරං

මෙය ප්‍රාතිමොක්‍ෂයේ නිසගි පචිති පළමුවන සිකපදයයි. දසදිනකට වඩා අතිරේක සිවුරු තබාගැනීමෙන් වන ඇවත කඨිනය අතුළ භික්‍ෂූන් වහන්සේට නොවේ.

5. යෝච තත්ථ චීවරුප්පාදෝ සෝ නේසං භවිස්සති

කඨිනය අතුළ සීමාව තුළ මතක වස්ත්‍රයෙන් හෝ දායකයින් විසින් සඟ සතුකර පූජාකරන දෙය කඨිනානිශංස කාලය තුළ දී ඒ සියල්ල කඨිනය අතුළ භික්‍ෂූන් වහන්සේට හිමිවේ. මෙම ආනිශංස පහ කඨිනය අතුළ භික්‍ෂූන් වහන්සේට ලැබෙන වරප්‍රසාදයන්ය. මෙම වරප්‍රසාද පහ භික්‍ෂූන් වහන්සේට ලැබෙන්නේ දායකයින් කඨිනය පූජා කරන නිසා ය. එනිසා දායකයින්ට එයින් ලැබෙන ආනිශංස අපමණය. එමෙන්ම කඨිනය පූජා කරන දායකයින්ට උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබීම, අගතියට නොයාම, උසස් කුලයන්හි ඉපදීම, ධනවත්වීම, සියල්ලන්ටම පි‍්‍රය මනාපවීම, සක්විති සම්පත් ලැබීම, තේජස, කීර්තිය පැතිරීම, යන යහපත් ආනිශංස ලැබෙනවා.

නාගිත තෙරුන්වහන්සේ කඨින පූජා කළ ආනිශංසයෙන් මහා කල්ප දහඅටක් දෙව් ලොව මිනිස් ලොව සැපවිඳ, සක්‍ර සම්පත් විඳ එම කුසලයෙන්ම ගෞතම බුද්ධ ශාසනයේ සව් කෙලෙස් නසා අර්හත් ඵලය ලබා ගත්තා.

මෙම කඨින පින්කම් අවස්ථාවේ දී අටපිරිකර සහ සෙසු පිරිකර පූජා කිරීමට දායකයන් මහත් ලැදිකමක් දක්වනව. අඩු තරම බෙහෙත් පැකට් එකක් හෝ පූජා කරනවා. වසරකට එක්වරක් ලැබෙන මෙම පින්කමින් මහත්ඵල මහා ආනිශංස එම දායකයින්ට ලැබෙනවා. මෙම සියලු පූජාවන්ට කඨින ආනිශංස ලැබෙනව. නොසැලී පවතින විශාල පර්වතයක්මෙන් මෙම කුසලානිශංස නිවන් දක්නා ජාති දක්වා තමන් පසුපස පැමිණෙනවා.

අට පිරිකර තුළ භික්‍ෂූන් වහන්සේට පරිහරණයට අවශ්‍ය භාණ්ඩ අටක් තිබෙනවා. 1. දෙපට සිවුර, 2. තනිපට සිවුර, 3. අඳන සිවුර, 4. පාත්‍රය, 5. දැලි පිහිය, 6. ඉදිකටුව හා නූල් බෝලය, 7. සිවුරුපටිය, 8. පෙරහන් කඩය යන අට අටපිරිකරට අයත්වනවා. අට පිරිකර යනු ශ්‍රමණ භාවයේ සංකේතයයි. මෙම අට පිරිකර පරිහරණය කරන්නේ ශීත උෂ්ණයන්ගෙන් වැළකීම, අව්, වැසි, සුළං ආදියෙන් වැළකීම, පත්තෑ ගෝනුස් ආදී සතුන්ගෙන් වන උවදුරුවලින් වැළකීම, වැසිය යුතු ස්ථාන වසා ගැනීම ආදිය චීවර පරිහරණයෙන් ද, දන්, පැන් වැළඳීම, පැන් පහසුව ආදියට පාත්‍රය පරිහරණය කෙරේ. ඉරුන සිවුරු මසා ගැනීමට ඉදිකටු නූල් පරිහරණය කෙරේ. කෙස්, රැවුල් බෑමට දැලි පිහිය අවශ්‍යය. ගිහියන් මෙන් ශරීර අලංකාරයට භික්‍ෂූන් වහන්සේ අටපිරිකර පරිහරණය නොකෙරේ. එය ශ්‍රමණ දහම් පුරණ භික්‍ෂූන් වහන්සේට අයත් ඇඳුම් කට්ටලයක් පමණි.

මෙම අට පිරිකර පූජාවේ ආනිශංස තුළින් විෂඝෝර සර්පයින්ගෙන් උවදුරු නොපැමිණේ. හොරි, දද, කුෂ්ඨ, කඩුවේගන්, පිළිකා වැනි රෝග නොවැළඳේ. මැසි, මදුරු උවදුරු නොපැමිණේ. පණ්ඩක, භාවයන්ට නොපැමිණේ. ඒහි භික්‍ෂු පැවිද්ද හා උපසම්පදාව ලැබේ. බන්දුල මල්ලිකා, විශාඛා, සුජාතා, වැනි අයට මෙන් මහඟු ආභරණ හා මහලිය පළඳනාව වැනි ආභරණ ලැබෙන බවද සඳහන් වේ. ස්ත්‍රී ආත්ම භාවයෙන් අත්විඳී පුරුෂ ආත්මයක් ලබාගැනීමට තරම් අටපිරිකර පූජාවේ කුසලානිශංස බලවත්ය.

සාංඝික දානයද කඨින චීවර පූජාවේ දී අනිවාර්යය අංගයක්. සසර වසනාතුරු ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබේ. සොරු, අව්, වැසි, සුළං ආදියෙන් භෝග සම්පත් විනාශ නොවේ. ධනවත් පවුල්වලට උප්පත්තිය ලැබේ. කුසගින්නෙන් සිටීමට කිසිවිටකත් සිදුනොවේ. සෑම විටම ගෞරවයට පාත්‍රවේ. චීවර මාසය උදාවත් සමඟ ඔබට මෙම සියලු සම්පත් ලබා ශාන්ත සුන්දර නිවනේ දොර විවර කරගැනීමේ වාසනාව උදාවේවා. ඔබ සැමට තෙරුවන් සරණයි.

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]