ජනක වෙත්තසිංහ
දුරාතීතයේදී ඝන අටකතර මැදින් මිනිසුන්ට යෑම ඒම සඳහා මංපෙත්
සෑදී තිබුණි. කලෙක මේ මහ වනයේ ලැව් ගින්නක් ඇතිවී මං පෙත් ඔස්සේ ද
ගින්න පැතිරී ආ ගිය මඟ ද වැසී ගියේ ය. වනයේ වූ මං පෙත් දැවී ගිය නිසා
වනමංදෑව වනමන්දාව නමින් ගමක නමක් සෑදී තිබෙයි.
වනමන්දාව වනවාසී රජ මහා විහාරස්ථානයේ විහාරධිපතිත්වය ඉසිලූ අපවත්වී
වදාළ ඇටඹේ ශ්‍රී සීලරතනාභිධාන නායක හිමියන් වනමන්දාව අර්ථ නිරූපණය කර
ඇත්තේ ඔන්න ඔය ආකාරයට ය. එය එසේම වුවත් කෙසේ හෝ අද අප පැමිණ සිටින මෙම
ඓතිහාසික පුදබිම හඳුන්වන්නේ වනමන්දාව වනවාසී රාජමහා විහාරය නමිනි.
ඓතිහාසික වශයෙන් සැලැකිය හැකි ලකුණු දැකිය හැකි විහාර භූමියේ නව
නිර්මාණාත්මක නිමැවුම් ඔස්සේ අපට අපූරු ඉසව්වක් වෙතට කැඳවාගෙන යයි.
වයඹ පළාතේ කුරුණෑගල දිසාවේ කටුගම්පල හත්පත්තුවේ මැදපත්තු නැගෙනහිර
කෝරළයේ ගිරිඋල්ල නගරයට කි. මී. 8 ක් පමණ නුදුරින් මෙම සිද්ධස්ථානය
පිහිටා තිබේ. මෙය ලෙන් විහාරයකි. කටාරම් ලකුණු ඇති ගල්ලෙනක් ආශ්‍රයෙන්
විහාර මන්දිරය ඉදි කර තිබෙයි.
ඉතිහාසය වෙත පිවිසෙන විට කියැවෙන්නේ වලගම්බා රජතුමා කරවූ විශාල
සංඛ්‍යාවක් වූ විහාරස්ථාන අතර මෙය ද තවත් එක් විහාරස්ථානයක් බව ය.
ජනවහරේ එසේ පවසනවිට ‘දඹදෙණි වෙහෙර ඇරඹූ පරසිදු විජයබා පඬි සක්විතිව ලෝ
වැඩ කළ පැරකුම්බා වනමන්දාවෙ සිරි වැඩි කළ වලගම්බා සිහිකොට බලව් සිහලුනි
ඉතිහස මහබා’ ... ආදී වශයෙන් ‘දඹදෙණි රාජධානී සමය’ (යූ. ඒ. තෙන්නකෝන් )
ග්‍රන්ථයේ සඳහන්ව තිබේ. ‘ අයිත්තා ලියැද්දේ රාළ’ නැමැති තැනැත්තා
විසින් නුවර යුගයේදී රචිත ‘සංඝරාජ සාධු චරිතයේ’ වනමන්දාව රාජ මහා
විහාරය පිළිබඳව සටහනක් තබයි.
“නුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමය වනවිට පරිහානියට පත්ව තිබූ
ලක්දිව සඟ සසුන නැවත ස්ථාපිත කොට උපසම්පදා කර්මය නැවත මේ රටේ ඇති
කිරීමෙහිලා පුරෝගාමී වූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ
ශාසනික කටයුතුවලදී වනමන්දාව රාජ මහා විහාරය ද කේන්ද්‍රස්ථානයක් කොටගත්
බැව්” එහි සඳහන්ව තිබෙයි. දඹදෙණි රාජධානී සමයේ ( රාජ්‍ය වර්ෂ 1236 –
1283 ) දිඹුලාගල වනවාසී පරම්පරාවෙන් පැවත එන කෝඳුරුවා වනයේ මේධංකර
හිමියන් වැඩ වාසය කරන්නට ඇත්තේ මෙම ස්ථානයේ විය හැකි බව මහාචාර්ය පී.
ඊ. ඊ. ප්‍රනාන්දු මහතා අදහස් කර යි.
දැනට ලංකාවේ ඇති පැරණිම පුස්කොළ පොත වශයෙන් හඳුන්වන දඹදෙණි යුගයේ දී
රචිත ‘චුල්ල වංශ පාලියේ’ කොඳුරුවා වනයේ මේධංකර හිමියන් පිළිබඳව සඳහන්
වෙයි.
මෙම සිද්ධස්ථාන භූමිය වසා පවතින්නේ කුළු සහ ගල් තලාය. පර්වත මුදුනේ
පුරාණ බ්‍රාහ්මී අක්‍ෂර කෙටූ තැනක් දැකගත හැකි ය. එහෙත් සටහන කුමක්දැයි
තේරුම් කර ගැනීමට නො හැකි ය.
ඓතිහාසික වශයෙන් ජනප්‍රිය නොවු හුදෙකලා වූ මෙවන් තැන් පිළිබඳව
පුරාවිද්‍යා ගවේෂණයන් පුළුල් ආකාරයෙන් නො කෙරෙන නිසා බොහෝ අප නොදත්
ඓතිහාසික තොරතුරු තවමත් වැළලී තිබෙන්නට ඉඩ ඇත.
ඒ කෙසේ වෙතත් ලැබෙන අනුමාන සාක්‍ෂි මත, ජනප්‍රවාදයන් ඔස්සේ, භූමි
ලක්‍ෂණයන් තුළින්, මෙය විශේෂිත වූ ආගමික පසුබිමක් බව හඳුනාගත හැකිව
තිබේ. ලෙන් විහාරයේ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වයක් නෙලා ඇත. ඒ සැතපෙන –
හිටි – හිඳි පිළිම වහන්සේලා නුවර යුගයේ පිළිම කලාව නියෝජනය කර යි.
ඇතුළු ගර්භයේ සිතුවම් අතර වන ඇතැම් සිතුවම් ප්‍රතිභා ශක්තියෙන් අනූන ය.
මෙහි සිතුවම් ද නුවර සිතුවම් සම්ප්‍රදායේ ලක්‍ෂණ මතුකර පෙන්වන අතර තීරු
බිත්තියක ඇඳි සිතුවම් අතර දුර්ලභ ලක්‍ෂණයන්ගෙන් හෙබි රූ පෙළක් දැකගත
හැකිය. වික්ටෝරියා රැජිනගේ ස්වරූපය මෙනෙහි වන යුරෝපීය ආභාෂය මතු කරලීමට
ගත් උත්සාහයක් එම රූප පෙළින් දර්ශනය වෙයි. හැඩතල මෝස්තර වර්ණ ආදිය ද
යොදා උත්සාහ කර ඇත්තේ උචිත ආකෘතියක් වෙත අවතීර්ණ වීමටය. මෙහි ගුණාත්මක
පක්‍ෂය කෙසේ වෙතත් එවන් පෙළඹීමක් ඇතිවීමට හේතු වූ සාධකයන් සොයා යන්නකුට
විහාරයේ ගමන් මඟ හා ඒ හා සබැෙඳන ඉතිහාසයේ ගමන් මගේ වෙනස්වීම් බලපෑම්
යුග පෙරලි පිළිබඳ යමක් සොයාගත හැකිව තිබේ.
ඒ නිසාම සංධිස්ථානයන්හිදි හමුවෙන මෙවන් දුර්ලභ සිතුවම් ප්‍රවේශමෙන්
සංරක්‍ෂණය කළයුතු වෙතැයි සිතෙයි.
පිළිම ගේ ඉදිරියේ ඇති වෙහෙර ද අංශයකින් ඇති පැරැණි බෝ වෘක්‍ෂය ද ඒ හා
බැදෙන සෙල් තලා, නැගෙන ගල් කුළු ආදියෙන් පොහොසත් වෙහෙර බිම හිත සුව
පිණිසම දසුන් මව යි.
භූමියේ ගල්තලාවක් අසල නුග රුකක රැහැන් ඇදී ඝන වනයක සිරිය රැගෙන එමින්
දෑස මත රාමුගත වන රමණීය පරිසරය වඩාත් තීවෘ කරලන සුජාතා සිටුදුවගේ
කිරිපිඬු දානය පිළිබිඹු කිරීමට නෙලා ඇති බුදුන්වහන්සේ සුජාතා සිටු
දියණිය සහ පරිවාර ස්ත්‍රිය සහිත පිලිම ත්‍රිත්වය සොඳුරු ඇසක් ඇති
වර්තමාන නිර්මාණ ශිල්පියෙකුගේ අපූරු ව්‍යායාමයකි.
මන්දාලෝකය අතරේ ඇදෙන රැහන් මැදින් පෙනෙන පිළිමයන්හී දර්ශනය දීප්තිමත්
කරනා වර්ණ සංකලනයන් නෙතඳුනකි. නැගී සිටිනා ගල්කුළු වට මංපෙතේ නෙලා ඇති
අසූ මහා ශ්‍රාවක රූ පෙළ ද ඉතා අලංකාරය. ආකර්ෂණීය ලෙස නෙළා ඇති ඒ රහතන්
වහන්සේලොගේ පිළිම පෙළ - අපව රැගෙන යන්නේ දුරාතීතයේ ඒ රහතන් වහන්සේලා
වැඩ සිටි පිවිතුර අඩවියකට ය.
සජීවී මහ රහතන් වහන්සේලා සමීපයේ සිසිලස හිතට දැනෙනා තරමට හැඟීමක් ඇති
කළ ශිල්පියා ගේ නිර්මාණශීලී ගුණය පැසසිය යුතු වෙයි.
ඉතිහාසයේ රහතන් වහන්සේලාගේ පහසින් පිවිතුරු වූවා යැයි ජනප්‍රවාදයේ හා
ඇතැම් සටහන් මගින් කියැවෙන වනමන්දාව රජ මහ වෙහෙර ඔස්සේ අදත් නව නිර්මාණ
මතින් අපව අසිරිමත් අඩවියකට කැඳවාගෙන යන සෙයකි. |