පිරිනිවුණි ඒ
නිකෙලෙස්
රහත් හිමිවරු 19
සේනක
මහ රහතන් වහන්සේ
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ළය මඬලින් උපන් සේණක නම් රහතන් වහන්සේ
ගැන අද අප සිත පහදවා ගනිමු.
මේ මහා භද කල්පයට කල්ප තිස් එකකට පෙර මිනිසුන්ගේ ආයුෂ අවුරුදු හැත්තෑ
දහසක් වූ යුගයක සිඛී නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වී
වදාළා. එකල සේනක ස්වාමින් වහන්සේගේ උපත සිදුවුණේ එක්තරා සිටු ගෙදරක
සිටු කුමාරයෙකු ලෙසයි. ඔහු සිඛී බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් වාසය
කළ අතර, දූවිලි ආදි අපද්‍රව්‍යයන් පිස දැමීම පිණිස දිනක් අගනා මොරණර
පිල් කළඹක් සිඛී බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ සිදුකළ පිනෙන් මරණින්
මතු බොහෝ දිව්‍ය සැප භුක්ති වින්දා.
කල්ප තිස් එකකට පසු මේ මහා භද්‍ර කල්පයේ ගෞතම නම් වූ අපගේ ශාස්තෘන්
වහන්සේ ලොව පහළ වී වදාළා. දෙව් ලොවින් චුත වී මොහු පිළිසිඳ ගත්තේ
උරුවේල කාශ්‍යප මහරහතන් වහන්සේගේ නැගණියගේ් කුස තුළ යි. එය බමුණු
පවුලක්. සේණක නමින් හැඳින්වූ මේ කුමාරයා තරුණ වියට එළඹෙත්ම බමුණන්ගේ
සියලු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරටම ඉගෙන ගත්තා. එකල බමුණන් විසින් සෑම
වසරක් පාසාම මැදින් මාසයේ ‘උත්තර ගයාඵග්ගුන’ නම් නැකතින් උත්සව සිදුකර
තීර්ථාභිෂේකව සිදුකළා.ඒ නිසා ඒ උත්සවය ‘ගයාඵග්ගුනී’ යන නමින්
හැඳීන්වුණා.
මේ උත්සවයට බොහෝ ජනකායක් එකම තැනකට එකතු වන නිසා බොහෝ දෙනාට සෙත සැලසීම
පිණිස භාග්‍යවතුන් වහන්සේ මහත් අනුකම්පාවෙන් යුතුව ගයා ශීර්ෂයට වැඩම
කොට වදාළා. සේනක බමුණාද තීර්ථාභිෂේකය සඳහා එදින ගයා තීර්ථයට පැමිණුනා.
එදා මහත්වූ ජනකායට භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ මිහිරි ශ්‍රී
සද්ධර්මය සේනක බමුණාටත් අහන්නට ලැබුණා. ඔහුගේ සිත අප්‍රමාණ පැහැදීමකට
පත්වුණා. බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිද්දත්, උපසම්පදාවත් ඉල්ලා
සිටියා. පැවිදි උපසම්පදාව ලැබූ සේනක ස්වාමින්වහන්සේ අප්‍රමාදීව ධර්මයේ
හැසිරී නොබෝ කලකින්ම උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වී වදාළා.
අරහත් සැපය විඳිමින් තමන් වහන්සේගේ ජීවිතය විමසූ සේනක මහ රහතන් වහන්සේ
මහත් සොම්නසින් යුතුව මේ උතුම් ගාථාවන් වදාළා.
ස්වාගතං වන මේ ආසි
ගයායං ගයා ඵග්ගුයා
යං අද්දසාසිං සම්බුද්ධං
දේසෙන්තං ධම්මමුත්තමං
මම ගයා තීර්ථයට ආවේ නැකත් කෙලියක් බලන්නටයි. ඇත්තෙන්ම මම ඇවිත්
තියෙන්නේ නියම තැනට. එදා උතුම් වූ සදහම් දෙසමින් වැඩ සිටින සම්බුදු
සමිඳාණන් දැක ගන්නට ලැබුණා.
මහප්පහං ගණාචරියං
අග්ගපත්තං විනායකං
සදේවකස්ස ලෝකස්ස
ජිනං අතුල දස්සනං
උන්වහන්සේ මහා ප්‍රඥා ලෝකයෙන් යුක්තයි. ශ්‍රාවක ජනයාට සැබෑම
ආචාර්යවරයෙක්. තුන් ලොවටම අග්‍රයි. තුන් ලෝකයට නායකයාණන් වහන්සේ තමයි.
දෙවි මිනිසුන්ගේ් මුනිවරයා. ඒ දර්ශනය පවා අසහාය දෙයක්.
මහානාගං මහාවීරං
මහාජතිම්නාසවං
සබ්බාසවපරික්ඛීණං
සත්ථාරමකුතෝභයං
මහා හස්තිරාජයෙක් වගෙයි. මහා වීරියකින් යුක්තයි. මහා තේජසකින් යුක්තයි.
කෙලෙස් රහිතයි. කෙලෙස් ඇත්තේම නැහැ. කිසිම ආකාරයකින් බියක් නැති මාගේ
ශාස්තෘන් වහන්සේ දැක බලා ගන්නට ලැබුණා.
වීරසංකිල්ට්ඨං වන මං
දිට්ඨිසන්දාන සන්දිතං
විමෝවයී යේ භගවා
සබ්බගන්ථේහි සේනකං’ ති
එහෙත් ඉස්සර නොයෙක් මත වාද වෙලා කිලිටි වෙලා දූෂණය වෙලා හිටිය මේ සේනක
ඒ සියලු කෙලෙස් ගැට වලින් නිදහස් කර ගත්තේ භාග්‍යවතුන් වහන්සේ විසින්ම.
ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබුණ නිසා සේනක
බමුණාට ඉපදෙමින් මැරෙමින් සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබුණා. වයසට
යාම, ලෙඩවීම, මරණයට පත්වීම ආදි දුක්වලිනුත් නිදහස් වුණා. සියලු කෙලෙස්
වලිනුත් නිදහස් වීමට වාසනාව ලැබුණා. ඒ සේනක මහරහතන් වහන්සේ ඒ ගැන
කල්පනා කළේ මේ සියලු දුක් වලින් තමාව මුදවා ගන්නේ බුදුරජාණන් වහන්සේ
කියලා.
ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයට පහළ වූ උතුම්ම කල්‍යාණ
මිත්‍රයන් වහන්සේ. යම් කෙනෙකුට උන්වහන්සේගේ ඇසුර ලැබුණොත් ඔහුගේ් සියලු
දුක් දුරුකර ගන්න පුළුවන්.
වරක් කොසොල් මහ රජතුමා සමඟ ගෞතම බුදුරජාණන් වහන්සේ අපූරු දහම් සංවාදයක
යෙදුණා. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර
ජේතවනාරාමයේ. පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ හමුවීමට
පැමිණුනා. එකත්පසක සිටි පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙසේ
කියා සිටියා.
ස්වාමිනි, මම හුදෙකලාවේ තනියම ඉන්නවිට මෙන්න මේ විදිහේ කල්පනාවක් සිතේ
ඇතිවුණා. ‘භාග්‍යවතුªත් වහන්සේත් ඉතා යහපත් ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා
කරලයි තිබෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මය තිබෙන්නේ කල්‍යාණ මිත්‍රයන් ඇති
කෙනාට යි. කල්‍යාණ යහළුවන් ඇති කෙනාට යි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට
වැටුණු කෙනාට යි. පාප මිත්‍රයන් ඇති කෙනාට නොවේ. පාපි යහළුවන් ඇති
කෙනාට නොවේ. පවිටු මිතුරන්ගේ ඇසුරට වැටුණ කෙනාටත් නොවේ’ කියලා
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාගේ ඒ කල්පනාව අනුමත කොට වදාළා.
‘පින්වත් මහාරාජ, එය එහෙම ම තමයි. පින්වත් මහාරාජ, ඒක එහෙමම තමයි.
පින්වත් මහාරාජ, මා විසින් ඉතා යහපත් ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා කරලයි
තිබෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මය තිබෙන්නේ කල්‍යාණ මිත්‍රයන් ඇති කෙනාට යි.
කල්‍යාණ යහළුවන් ඇති කෙනාටයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට වැටුණු කෙනාට යි.
පාප මිත්‍රයන් ඇති කෙනාට නො වෙයි. පාපි යහළුයන් ඇති කෙනාට නො වෙයි.
පවිටු මිතුරන්ගේ ඇසුරට වැටුණු කෙනාට නො වෙයි.
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට ඒ දහම් සංවාදයේ දී ඒ බව මෙසේත්
පෙන්වා දී වදාළා. කල්‍යාණ මිත්‍ර වූ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන
ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් නිදහස් වන බවත්, ජරාවෙන්
නිදහස් වන බවත් ලෙඩවීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ලෙඩවීමෙන් නිදහස් වන
බවත් මරණය ස්වභාව කොට ඇති සත්ත්වයෝ මරණයෙන් නිදහස් වන බවත් ශෝක,
වැළපීම්, දුක් දොම්නස් සුසුම් හෙලීම් ස්වභාව කොට ඇති සත්ත්වයෝ ශෝක,
වැළපීම් දුක් දොම්නස්, සුසුම් හෙලීම් වලින් නිදහස් වන බවත් දේශනා කළා.
මේ අයුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන් සියලු
දුක්වලින් නිදහස්වීමේ වාසනාව සත්ත්වයන්ට උදා වෙනවා. ඒ නිසා බුදුරජාණන්
වහන්සේ නමකගේ උපත මුළුමහත් ලෝකයටම ඒකාන්තයෙන්ම සැපයක්. බුදුරජාණන්
වහන්සේ එය මේ අයුරින් පෙන්වා දී වදාළා. ‘පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි
උපදින එකම පුද්ගලයෙක් ඉන්නවා. බොහෝ ජනයා හට හිතසුව පිණිස බොහෝ ජනයාගේ
සැපය පිණිස, ලෝකයට අනුකම්පාව පිණිස දෙව් මිනිසුන්ගේ යහපත පිණිසම,
හිතසුවන පිණිසම සැපය පිණිසම උපදින්නේ, ඒ එකම පුද්ගලයා වනාහි කවරහ ුද?
තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය.
එබඳු බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අනුගමනය කොට සෝතාපන්න පුද්ගලයින්,
සකදාගාමි පුද්ගලයින්, අනාගාමි පුද්ගලයින් යන ආර්ය පුද්ගලයින් බිහි
වෙනවා. ධර්මය අනුගමනය කිරීම නිසා සියලු දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වූ
රහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ (ඕරසපුත්ත) තමන් වහන්සේගේ
ළය මඬලින් උපන් කෙනා. (මුඛතෝජජානෝ) තමන් වහන්සේගේ සිරි මුවමඬලින් උපන්
කෙනා කියල යි.
මේ ලෝකයේ ඒ රහතන් වහන්සේලා තමා බුදුරජාණන් වහන්සේ මනාකොට හඳුනා ගත්තේ.
ඒ ශ්‍රී සද්ධර්මයේ ගුණ කඳ මනාකොට හඳුනාගත්තේ ආර්ය මහා සංඝ රත්නයේ
පිවිතුරු භාවය මනාකොට හඳුනාගත්තේ. යමෙක් මේ තිසරණ සරණ යාම නිසාමයි
සෝතාපන්න වෙන්නේ. සකෘදාගාමි වන්නේ. අනාගාමි වන්නේ. උතුම් මහරහත් භාවයට
පත්වන්නේ. ඒ නිසාමයි සේනක මහරහතන් වහන්සේ වැනි උතුම් මහරහතන් වහන්සේලා
බුදුරජාණන් වහන්සේගේ ගුණම වර්ණනා කරන්නේ. ධර්මයේත් ආර්ය මහා සංඝ
රත්නයේත් ගුණයම වර්ණනා කරන්නේ.
සටහන: නයනා නිල්මිණි
පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 18 ජම්බුක මහ රහතන් වහන්සේ |