UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරි දළදා පහස ලද  දෙල්ගමු රජ මහ වෙහෙර

සිරි දළදා පහස ලද  දෙල්ගමු රජ මහ වෙහෙර

ඓතිහාසික ශ්‍රී දෙල්ගමුව රජ මහා විහාරය සබරගමුවේ ඇති සුවිශේෂී බෞද්ධ සිද්ධස්ථානයකි. මෙහි ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එහාට දිව යයි. එයට හේතුව කෝට්ටේ යුගය වන විටත් මෙම විහාරස්ථානය ඉතා දියුණු තත්ත්වයක පැවතීමයි.

මෙම විහාරය පිළිබඳ ලිඛිත සාධක දක්නට ඇත්තේ සීතාවක යුගයේ සිටය. එයට හේතුව වන්නේ දළදාවහන්සේ එම යුගයෙහි මෙම විහාරස්ථානයට ආරක්‍ෂාව සඳහා රැගෙන ගොස් සඟවා තැබීමයි. මෙම යුගයේ ලියැවිනැයි සැලකෙන රාජාවලියේත් සුළු රාජාවලියේත් දෙල්ගමු විහාරය ‘සබරගමු විහාරය’ යන නමින් හඳුන්වා ඇත. මහා වංශයේ ලබුජනාම විහාරය යන නමින් හඳුන්වා ඇත.

දැනට මෙම දෙල්ගමුව විහාරය තුළ වූ පුරාතන නටබුන් ලෙස දක්නට ඇත්තේ ඒ පුරාණ විහාර භූමියත් වාහල්කඩ හා පුරාණ පියගැටපේළි දෙකක් හා ගල්මල් අසුනකුත් ශ්‍රීමත් දන්ත ධාතූන් වහන්සේට රැකවරණය සැලැසූ පූජනීය ඓතිහාසික කුරහන්ගලත් මේ සියලු දේ නිහඬව දකිමින් එදා සිට පැවැත එන බෝධිරාජයාණන් වහන්සේ හා නාග වෘක්‍ෂයක් පමණි. පැරැණි දළදා මාලිගයේ හා ප්‍රාකාරයේ පදනම් මළුවතුළ දක්නට ඇත.

1505 නොවැම්බර් මස 15 වන දින පෘතුගීසීහු ලක්දිවට ගොඩ බටහ. පෘතුගීසි නාවික කපිතාන් තැන වෙළෙඳාම් කිරීමට අවසර ගැනීම සඳහා කෝට්ටේ රජ ගිවිස්සා ගත්තේ ය. 7 වන බුවනෙක බාහුට පුතුන් නොසිටියෙන් ඔහුගේ මුනුබුරු වීදිය බණ්ඩාරගේ පුත් ධර්මපාල කුමරු පෘතුගීසීන්ගේ උපක්‍රම අනුව ඔවුන්ගේ ආරක්‍ෂාව යටතේ සිහසුනට පත්විය. ඉතා දුර්වල පාලකයෙකු වූ ධර්මපාල රජු එතෙක් සිංහල රාජාවලියේ කිසිවෙකුත් අනුගමන නොකළ ප්‍රතිබන්ධක අනුගමනය කරමින් පෘතුගීසීන්ගේ උපක්‍රමයට හසු වී රූකඩයක් බවට පත්විය. ඔහු දොන් ජුවන් යන පෘතුගීසි නාමයද ගෙන අන්‍ය ආගමක් වැළඳ ගත්තේ ය. කන්ද උඩරටින්, සීතාවකින් හා දකුණු ඉන්දියාවේ ඇතැම් වෙළෙන්ඳන්ගෙන්ද ඔහුට තර්ජනය එල්ල වී තිබිණ.

මේ පසුබිම යටතේ ධර්මපාල රජු 1557 අන්‍ය ආගමක් වැළඳ ගත් නිසා ඔහුගේ කුළුපග මිත්‍රයන් වෙන්වූ අතර රටවැසියා තුළ කෝට්ටේ රාජධානිය කෙරෙහි කළ කිරීමක් ඇති විය. රජයත්, බුදු දහමත් අතර තිබූ සබඳතාවලට පෘතුගීසීන් නිසා ලත් පහර එසේ මෙසේ නොවිය. එවකට රාජ්‍ය උරුමයේ සංකේතය වූ දළදා වහන්සේගේ දියවඩන නිලමේ කාර්යය පිළිබඳ තනතුරු දැරුවේ දන්ත කුමාර පෙළපතින් පැවැත ආ කීරවැල්ල හිරිපිටියේ දියවඩන නිලමේ තුමා ය. රටත් බුදුසසුනත්, ශ්‍රී දළදා වහන්සේත් වෙත උදාවෙමින් පැවැති මේ අභාග්‍ය සම්පන්න දුර්වල අවස්ථාව එළඹෙත්ම දිනක් රාත්‍රියේ සිහිනයෙන් පැමිණ එක් මහලු පුද්ගලයෙක් නිලමේ තුමාට මෙසේ පැවසීය.

“කෝට්ටේ කළාලේ කිසිල්ලෙ - දත මැදගන්න රාළෙ”

මෙහි අදහස වූයේ කෝට්ටේ රාජ්‍යයට කළ ආලයෙන් නිසි පළක් නැත. දළදා වහන්සේ මැද රටට ගන්න යන්නයි. මෙය අවබෝධ කරගත් දියවඩන නිලමේ තුමා තමා මීට පෙර මෙවැනි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇත් දලින් සාදා තිබූ කෘත්‍රිම දළදාව කරඬුවේ තැන්පත් කොට නියම ධාතූන් වහන්සේ සඟවාගෙන දියවන්නා ඔයෙන් එතෙරව සීතාවක රාජධානියට පැමිණ එවකට සීතාවක රාජ්‍ය කරවූ මායාදුන්නේ රජුට දළදා වහන්සේ භාර දුන්නේ ය.

මෙසේ ලංකා රාජ්‍යයේ සංකේතය තමා අතට නිරායාසයෙන් පත්වීමෙන් සතුටු වුව ද එය සුරක්‍ෂිත කරගැනීමේ භාරදුර වගකීම පිළිබඳ මහත්සේ සිතුන ලංකා රාජ්‍ය පිළිබඳ අවිනිශ්චිත අවස්ථාවක් නිසාත් කෝට්ටේ, කන්ද උඩරට, රයිගම මෙන්ම සීතාවක පාලකයෝත් ඔහුන්ගේ පසුපස පෘතුගිසි, දකුණු ඉන්දීය බලවේගක් එක්වී එකිනෙකාට මරා ගනිමින් කුමන්ත්‍රණ කරමින් සිටි යුගයක්.

ඒ අතරේදි මායාදුන්න රජුට දෙල්ගමුව රජමහා විහාරය සිහියට නැගුණේ ය. එහි එවකට වැඩ සිටි ෂඩ් භාෂා පරමේෂ්වර මනිහින්දාලංකාර නම් මහ තෙර නමකි. උන්වහන්සේ එතුමාගේ අතිශය හිතෛෂි හිමි නමකි. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ මේ විහාරයේ ය. ලක්දිව රාජ්‍යයට ආසන්නයේ එකව සුරක්‍ෂිත ප්‍රදේශය බවට සබරගමුව එකම හැඳින්විය හැකිය.

මේ කරුණු සියල්ල නිසා දළදා වහන්සේ සුරක්‍ෂිත කරගැනීම සඳහා වැඩම කළ යුතු එකම ස්ථානය දෙල්ගමු විහාරය බවත් එහි භාරකාරත්වය පැවරිය යුතු එකම හිතවතා මනිහින්දාලංකාර මා හිමිපාණන් වහන්සේ බවත් මායාදුන්නේ රජුගේ තීරණය විය. මේ අතර හිතවත් මායාදුන්නේ රජු මහින්දාලංකාර හිමියන්ට භාරදුන් දළදා වහන්සේ සතුරන්ගෙන් සුරක්‍ෂිතව ආරක්‍ෂා කරගැනීම වූ භාරදූර කටයුත්ත නිසා උපක්‍රමයක් ලෙස යෝධ කුරහන් ගලක් සාදවා එය බුද්ධ ප්‍රතිමා වහන්සේගේ පිටුපස ආසනය මත තබා එහි කුහරය තුළ දළදා වහන්සේ සහිත කරඬුව තැන්පත් කිරීමය. කුරහන්ගල එකල ගෙවල්වලත් විහාරස්ථානවලත් සුලභව දැකිය හැකි දර්ශනයකි.

කුරහන් ගලක් තුළ දළදා වහන්සේ ඇතැයි කිසිවකු සැක නොසිතන නිසා දළදා වහන්සේ ආරක්‍ෂිතව මෙහි වැඩ සිටියහ. දෙල්ගමුව රජමහ විහාරය අදත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ එම කුරහන්ගල තුළ ශ්‍රී දළදා වහන්සේ සඟවා තැබූ විහාරය ලෙසයි. තවත් අවස්ථාවල දළදා වහන්සේ රැගෙන පලාබද්දල වැනි තවත් කඳුකරයකට පැන යාමට උන්වහන්සේට සිදුවිය. දෙල්ගමුවේ සිට පලාබද්දල කරා වනගත කෙටිමඟක් අදත් දක්නට ඇත.

මේ අතර කාලයේ මායාදුන්න රජුගේ පුත් ටිකිරි කුමරු මායාදුන්න රජ මරා පළවන සීතාවක රාජසිංහ නමින් රජ වූයේ ය. පීතෘ ඝාතනය කළ රාජසිංහ රජ භික්‍ෂූන් වහන්සේලාගේ දැඩි පිළිකුලට හේතුවූ අතර පියා මැරීම ආනන්තරිය පාප කර්මයක් බව පැවසූ නිසා භික්‍ෂූන් වහන්සේලා කෙරෙහිත් බුදු දහම කෙරෙහිත් වෛර බැඳගත්තේ ය.

මෙවැනි අවස්ථාවක්හි බුදු සසුනේ විනාශය සඳහා පාලකයන්ට උඩගෙඩි දුන් දේශීය විදේශීය සතුරෝ කල දුටු කළ වළ ඉහ ගැනුමේ නිරතවී බුදු දහම ලක්දිවින් අතුගා දැමීමට අනුරපුර යුගයේ සිටම මාන බැලූ දකුණු ඉන්දීය බලවේග මේ අවස්ථාවේ දී හිස එසවිය. අරිට්ට කී වෙන්ඩු මුහුණුවරින් ඉදිරිපත් විය.

රාජා හෝ මාහෝ ගංගා හෝ යන චිර ප්‍රසිද්ධ ජනප්‍රවාදය මතුරමින් ඔහු රාජසිංහයන් වෙත පැමිණ මේ අකුසලයෙන් මිදීම සඳහා අවශ්‍ය උපදෙස් තමා දන්නා බව ප්‍රකාශ කළේ සීතාවක ගඟ මැද කෝවිලක් තනවා මහා යාගයක් පවත්වා එම යාග පූජාව ගඟේ පාකොට ඒ සියලු පව් මකර කටට යැවිය යුතු බවයි. සීතාවක භෛරන්ඩි නම් වූ කෝවිල තනා නිමවෙන්නට පෙර රජ මිය ගියේ ය. මේ සියලුදේවල් මෙසේ සිදුවෙද්දි දෙල්ගමු විහාරයේ දළදා වහන්සේ රැකවරණය ලබමින් සිටියහ. බෞද්ධ විරෝධි ප්‍රතිපත්ති ඇතත් සීතාවක රාජසිංහ රජ දළදා වහන්සේ කෙරෙහි දක්වන ලද්දේ එයට හාත්පසින්ම වෙනත් ආකල්පයකි.

එයට හාත්පසින්ම වෙනත් ආකල්පයකි. දෙල්ගමු විහාරයේ මහින්දාලංකාර නාහිමියන් අනුග්‍රහයෙන් දළදා වහන්සේ සුරක්‍ෂිතව වැඩ වසන බව අසා එය සබරගමුව මහ සමන් දේවාලය වෙත වඩමවා පෙරහර වාර්ෂිකව පැවැත්වීමට නියම කොට දෙල්ගමුව, කුට්ටාපිටිය, පැල්මඩුල්ල, ගනේගොඩ, හඳගිරිය, මස් ඉඹුල යන ගම් පහක් සමඟ තවත් බොහෝ ගම්බිම් පිදු බව සමන් වෙහෙර පැරැණි ලේකම් මිටියෙහිත් සඳහන් වේ. මෙසේ රාජසිංහ රජ තම එකොළොස්වස තුළ දළදා පෙරහර එකොළහක් පැවැත්විය. එදා සිට අද දක්වා රත්නපුර සමන් දේවාලයේ පළමුවෙන්ම පටන් ගන්නේ දළදා පෙරහරයි.

මේ අතර පළවන විමලධර්මසූරිය රජ (1593) ශ්‍රී දළදා වහන්සේ තම රාජධානියට වැඩමවා ගැනීමට පියවර ගත්තේ ය. සමහර විට දෙල්ගමු විහාරාධිපති මහින්දාලංකාර හිමියන් ද මෙය බලාපොරොත්තු වූවක් විය හැක. ඒ දළදා හාමුදුරුවන්ගෙ මතු ආරක්‍ෂාව නිසාවෙනි. විමලධර්ම සූරිය රජු කන්ද උඩරට සිහසුනට පත්වීම උන්වහන්සේගේ සතුටට හේතුවිය.

වසර 43 දළදා වහන්සේ වැඩ සිටි දෙල්ගමුව විහාරයෙන් දළදා වහන්සේ පුද පෙරහරින් කන්ද උඩරටට වැඩමවන අවස්ථාවේ එක් රාත්‍රියක කෑගල්ල සමීපයේ චිත්තගුප්ත නම් ලෙනක වැඩ විසූ බවත් එදා සිටම එම ගල්ලෙන කරඬුලෙන නම් වූ බවත් එම ප්‍රදේශයේ පැවැත එන ජන කවියක  සඳහන් වේ.

දළදා වහන්සේ සුරක්‍ෂිතව දෙල්ගමු විහාරයෙහි ඇති බව අසා ඉමහත් සතුටට පත් විමලධර්මසූරිය රජු එය සෙංකඩගල නුවරට වැඩමවා දිනපතා වැඳ පුදා ගැනීමටත් වතාවත් කිරීමටත් රජ මැදුර අසලම දෙමහල් මැදුරක් තනවා පෙර පරිදි පූජා ව්‍යවස්ථා පණවා අපමණ රන් රුවත් වස්ත්‍රාභරණ, ගම් දැසිදස් ගව මහේෂාදි වස්තු පූජා කළ බව සඳහන් වේ. දෙවනගල රත්නාලංකාර ආදි සීතාවක රාජ සිංහගෙන් බේරි පලාගිය ශාසන භාරධාරි වූ මහ තෙරවරුන් සංවිධානය පළමුවන විමලධර්මසූරිය රජුට රාජ්‍ය උරුමය තහවුරු කරදීම සඳහා ශ්‍රී දළදා වහන්සේ මහනුවර රාජධානියට වැඩමවීමට අවශ්‍ය විධි විධාන පිළිබඳ රජු හා සාකච්ඡාකොට රහසේම ඒ සඳහා අවශ්‍ය කටයුතු පිළිවෙළ කළහ.

උතුම් දළදා වහන්සේ වැඩසිටි දෙල්ගමුව රාජ මහා විහාරයේ දී බිනරපොහෝ දින (සැප්. 19) පවත්වන මහා පින්කම මූලික කරගෙන මෙම දෙල්ගමු විහාරය පිළිබඳ සංක්‍ෂිප්ත සටහන තැබුවෙමි. මෙහි පැවැත්වෙන පෝදා වැඩසටහන දවස පුරා පැවැත්වෙන අතර එයට මාධ්‍ය දායකත්වය ස්වාධීන රූපවාහිනි සේවය විසින් සපයනු ලැබේ.

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]