අරන්කැලේ වන සෙනසුන දැක පැහැද වැඳ නැමැද සැනසිය හැකි අපූරු කෙම්
බිමකි. ක්‍රි. පූ. යුගයේ සිට පැවැතෙන්නේ යැයි අනුමාන කිරීමට අවශ්‍ය
ලකුණු ඇති මෙම ආරණ්‍ය සේනාසනය ජෙට්ථතිස්ස රජතුමා (ක්‍රි. ව. 331 – 340)
විසින් සාදවා සඟ සතු කොට පූජා කළ බව සඳහන්ව තිබේ.
ඇත්තෙන්ම අරන්කැලේ ආරණ්‍ය සේනාසනය ගම්මැදි ඓතිහාසික විහාරස්ථානයක් නොවන
බවත් එය ස්ථිර වශයෙන්ම යෝගාවචර භික්‍ෂූන් වෙනුවෙන් පරිසර පද්ධතියට
අනුකූලව ගොඩනංවන ලද වන සෙනසුනක් බව සාක්‍ෂි දත්ත, නටබුන් ආදිය පරීක්‍ෂා
කිරීමේ දී පැහැදිලි නිගමනයකට එළඹිය හැකිව තිබේ.
මෙය පිහිටා ඇත්තේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. කුරුණෑගල
දඹුල්ල මාර්ගයේ කි. මී. 20 ක් පමණ ගිය තැන දී හමුවන ‘ඉබ්බාගමුව‘
මංසන්දියෙන් ‘මඩගල්ල’ පාරේ පැමිණ ‘අරන්කැලේ’ ග්‍රාමයට ළඟා වීමෙන් අරණට
පිවිසිය හැකි ය. වටව ඇති කඳු පන්ති මධ්‍යයේ, විශේෂයෙන් ඓතිහාසික වශයෙන්
වටිනා දොළුකන්ද කඳු මෙවුලට ආසන්නව දුම්කන්ද සමීපයේ මෙම වන අරණ පිහිටා
තිබෙයි.
වියළි කලාපයට අයත් වසරේ වැඩි මාස ගණනක් වියලි කටුක පරිසර ලක්‍ෂණ මතු
කරන පසුබිමක වැඩිමනක් දකින්නට ලැබෙන්නේ හරිත පැහැ පත් නොමැති වියළි ගහ
කොළ ය. එහෙත් සසුන් මඟ සන්සුන් ගමන් ඇති පහන් සිතිවිල්ලෙන් පොහොසත්
සිත් ඇති අවුල් වියැවුලින් තොර නිවුණු මනසකට අවැසි සුව ඇති භූමියක මෙම
වන සෙනසුන ඉදිවී තිබීමෙන් පෙනී යන්නේ අවශ්‍යතාවයට ඉතා උචිත සුදුසු
පරිසරයක් අරණ්‍ය සඳහා තෝරා ගෙන ඇති බවකි.
ගිරි සිඛර ඉහැත්තෑවේ සිට වැසි සමයට ඇද හැළෙන ජල ධාරාවෝ අපතේ නොහරිමින්
සුරක්‍ෂිත කරමින් සෑදූ ජල පොකුණු තටාංගනාදියෙන් අරන්කැලේ පොහොසත් කර
තිබෙ යි.
නිරන්තරයෙන් සිහිල් පරිසරයක ස්වාභාවය රඳවමින් මේ බිමේ වැඩෙනා ගහ කොළ
පවා කටුක චිත්‍ර නො මවමින් සොඳුරු පරිසරයක චමත්කාරය සිතට ප්‍රදානය කර
යි. රූස්ස හැඩ ඇති රුක් පෙළ මෙන්ම නෙක අතට විහිදුණු සොබා සොඳුරු බව
වඩවන ලතාවෝ පරිසරයක විචිත්‍රවත් බව සුරැකීමට රටා මෝස්තර මව යි.
ජනප්‍රවාදයේ පැවැසෙන්නේ දුරාතීතයේදී මෙය දොළොස් දහසක් මහ රහතන් වහන්සේ
වෙනුවෙන් කැපවූ පින් බිමක් බව ය.
එය අතිශෝක්තියක් වුව ද, නැති වුව ද මෙය යෝගාවචර භික්‍ෂූන් වහන්සේ විශාල
සංඛ්‍යාවක් වැඩසිටි විහාර සංකීර්ණයක්ව පැවැති බව පුරාවිද්‍යාඥයන්
විසින් තහවුරු කරගෙන තිබේ. අරන්කැලේ වන සෙනසුන් බිමේ ඇති සුවිශේෂීම
ලක්‍ෂණය නම් කිලෝ මීටරයකට ආසන්න දිගක් සහිත පෙත් මග ය. එය සෙනසුන
රමණීය කළ අප සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ අපූරු ඉදිකිරීමක්ම ය.
මෙවන් දිගු පෙත් මගක් වෙනත් වන අරණකදී දැක ගැනීම උගහට ය.
වන සෙනසුන මැදින් දිවෙන පෙත් මගෙහි, සම බිමේ ගමන් කර තැනකදී පිය ගැට
කීපයක් නැග නැවත සම බිමට පා තැබිය හැකි ය. එසේ දිගු සක්මනකින් පසු
වක්‍රාකාර වූ වටරවුමකට පිවිසිය හැකි වෙයි. ගමන වෙහෙස නම් වෘත්ත කණ්ඩියේ
හිඳගෙන විඩා නිවා ගැනීමට පුළුවන. වන අරණේ ආවාස කුටි වෙතට පිවිසෙන
මංසන්දියක් වශයෙන් ද පෙරදී මෙතැන සැකසුනා විය හැකි ය. පෙත් මග දෑළ මහා
රුක් පෙළ මේ යන සන්සුන් ගමනේ දී ඔබට සිසිලස ද සෙවණ ද සළසනු ඇත. අද අප
දකින මාර්ගයක වටරවුම් තාක්‍ෂණය දුරාතීතයේදීත් භාවිතයට ගැනුණු හැටි
මෙතැන දී අපට දැක ගැනීමට ලැබීම ද විශේෂයකි.
පෙත්මග යනු පා යුග්මයෙන් යනෙන මග ය. එදා මේ වන සෙනසුන විහාර සංකීර්ණයේ
ඔබ මොබ වැඩියේ විමුක්ති මාර්ගයට පිළිපන් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ ය.
එවන් භික්ෂූන් වහන්සේ නිබඳව ගමන් කරන්නේ, සයන ගත වන්නේ, යහන් ගත වන්නේ,
සිටගන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ය.
අද හෝ හෙට හෝ මතු දිනක අරන්කැලේ වන සෙනසුන වෙත පැමිණ මේ අසිරිමත් පෙත්
මඟ දිගේ ඔබ ද ගමන් කරනු ඇත. දුවන්නන් වාලේ දුවන්නට සිත් නොදෙන සන්සුන්
ගමනකට ආරාධනා කරනා අරන්කැලේ පෙත් මඟ මත දී ඔබගේ විසිරුණු සිත එක්
අරමුණක රැඳෙන බව නම් නො අනුමාන ය. එයම භාවනාවකි. නිබඳ දිවෙන, කැළඹෙන
සැලෙන අප මනසට ද මෙවැනි සන්සුන් ගමන් යන්නට පා යුගලට ආරාධනා කරන මේ
පෙත් මග මත දී ඔබේ සිත ඔබට විදානයක් දෙනු ඇත.
‘නොදුවන්න සකි සඳ
යන්න සන්සුන් ගමනින්ම’
ඒ අසිරිය විඳින්නට අරන්කැලේ පෙත් මඟ දිගේ දිනෙක ඔබත් ඇවිද යන්න.
යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන්ම සුසැඳි උණු පැන් හල, පධාන ඝර,
සම්මුඛ ශාලා, පියසක් සහිත සක්මන් කුටි, චක්‍ර මණ්ඩප, සෝපාන පන්ති,
භාවනා කුටි, දිය පොකුණු, සීමා මාලකාදියෙන් පොහොසත් අරන්කැලේ වන සෙනසුන
පෙත් මග අග ඇති කටාරම් ලකුණු ඇති ස්වාභාවික ගල් ලෙන මතින් කියැවෙන්නේ
මෙය ක්‍රි. පූ. 2 – 1 වැනි සියවස දක්වා දුරාතීතයකට නෑකම් කියන බවකි.
ලක් බිමේ අවසන් මහ රහතන් වහන්සේ වූ මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේ
මේ කුටියේ බව ජනප්‍රවාදයේ පැවැසෙයි. එය අරන් කැලේ අරණ සේනාසනයට තවත්
ගෞරවයකි.
මා දැන් ඔබ සමඟම අරන්කැලේ අරණ වෙත පිවිසුනේ මේ අසිරිමත් පෙත් මඟ දිගේ
ය. තව දුර යන්නට බොහෝ තැන් ඇතත් විමැසීමට බොහෝ දේ ඉතිරි වී ඇතත්
පිටුවේ සීමා ඉමට පැමිණ ඇති බැවින් විරාමය තබන්නට අදට අවසර පතමි.
අපි ඉතින් ආපසු හැරී එමු. එහෙත් මේ පෙත් මග ස්පර්ශ කළ ඔබ පා යුග්මය ද
පින්වන්ත බව සිතන්න.
සබඳ, ඇත්තෙන්ම මේ අප දැන් පසු ගමන් යන්නේ, සංසාර විමුක්තිය සොයා යන මඟ
ඇලීම්, බැඳීම්, ගැටීම්, කිසිත් නොමැති නිවන් පින් බිම වෙතට පිවිස මරු
පැරැදූ මහ රහතන් වහන්සේ වැඩි පෙත් මඟ ඔස්සේම නොවේදැයි මොහොතක් නැවැතී
සිතන්න.
විශේෂ ස්තුතිය
ඒ. ඒ. විජිත – පුරාවිද්‍යා නිලධාරී
උපුල් සමන්කුල (ආදේශක රැකවල්කරු) |