යහපත් පරිසරයට අනුගත දරුවා
ගුණ දහමට යොමු වෙයි
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශ්‍රී රාහුල හිමි
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාව තුළින් බලාපොරොත්තු වූයේ
ක්‍රියාශීලී සක්‍රීය ප්‍රායෝගික වන චරිත නිර්මාණය කිරීමටයි. එහිදි
උන්වහන්සේ ‘ආරෝග්‍ය පරමා ලාභා ..’ යනුවෙන් දේශනා කළ වදාළේ නිරෝගීකම
උතුම්ම ලාභය ලෙසයි.
නිරෝගී වන්නට නම් සමාජයේ පුද්ගලයාගේ මූලිකම අවස්ථාව වන දරුවා නිවැරැදිව
යහපත් මාර්ගයේ යොමු කළ යුතු බව උන්වහන්සේගේ දේශනාව වුණා.
බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී පෙරදිග දිශාව ලෙස මව්පිය දූ
දරු සබඳතාව හඳුන්වා දුන්නේ මේ තත්ත්වයේ ඇති වැදගත්කම නිසයි. මව්පිය දූ
දරු සබඳතා නිසි පරිදි පැවැතුණහොත් පමණයි නැණ ගුණයෙන් පිරිපුන් දරු
පරපුරක් බිහිවන්නේ.
දරුවන් විෂය මූලික මෙන්ම මනෝ මූලික දැනුමෙන් පෝෂණය විය යුතු වනවා.
සමාජයේ දරුවන්ට වැඩි වශයෙන් විෂය මූලික දැනුම ලබාදිමටයි කටයුතු කරන්නේ.
මනෝ මූලික දැනුම ලබා දීමේදී එක් පසකට පමණක් බර වන සේයාවක් දැක්වෙනවා.
විෂය මූලික ලෙස අප හඳුන්වන්නේ පොත පතේ දැනුම ලබා දීමයි. එමෙන්
වැඩිහිටියන්ගෙන් හා පරිසරයෙන් ලබා ගන්නා දැනුම ද අයත් වන්නේ විෂය මූලික
දැනුමටයි.
මනෝ මූලික දැනුම ලෙස හඳුන්වන්නේ ආධ්‍යාත්මික දැනුමයි. පන්සලෙන් ලැබෙන
ගුණදහම් මඟින් ලැබෙන්නෙ දැනුම පමණක්ම නොවෙයි.
විශේෂයෙන්ම දරුවා තුළ ක්‍රීඩාශීලීත්වය ගොඩනැගීම තුළින් පරිසරයෙන් බොහෝ
වේලාවට දරුවන් තුළ ඇතිවන උත්තේජන තුළින් කරුණාව මෛත්‍රිය, උපේක්‍ෂාව
වැනි ගුණාංග වැඩීම මෙන්ම ආධ්‍යාත්මික ගුණ දහම් වර්ධනය වනවා.
විශේෂයෙන්ම ක්‍රීඩාව තුළින් දරුවන්ගේ ගුණ නැණ දෙකම වර්ධනය වන බව අද
වෛද්‍ය විද්‍යාවෙන් පෙන්වා දී තිබෙනවා. බටහිර රටවල අගෝස්තු මාසයේදී
පවත්නා ගිම්හාන තත්ත්වය ( දැඩි රස්නය) නිසා නිවාඩු ලබාදී තිබෙනවා.
එමෙන්ම දෙසැම්බර් මාසයේදී අධික සීතල නිසා නිවාඩු ලබා දුන්නා.
අපේ රටෙත් පාසල් නිවාඩුව මේ ආකාරයට ක්‍රියාත්මක වනවා. බටහිර රටවලට පොහෝ
දින නිවාඩු වැඩක් නැහැ. එහෙත් බුදු දහමට මුල් තැනදී කටයුතු කරන ශ්‍රී
ලංකාව වැනි රටකට බුදු දහමින් ලැබෙන්නේ මහත් පිටිවහලක්. ඒ අනුව දරුවන්
නිවාඩු කාලයේදී ගුණ දහමින් පිරි දිවි පෙවතකට යොමු කළ යුතුයි. දරුවා
උදෑසන සිට බණ භාවනා සඳහා යොමු කළයුතු යැයි එයින් අදහස් වන්නේ නැහැ.
දරුවාට සුදුසු දේ සහ නුසුදුසු දේ කුමක්ද ? යන්න ගැන මවුපියන්ට මනා
අවබෝධයක් තිබිය යුතු වනවා.
අද ඇතැම් මාධ්‍ය නාළිකා අතර තරගයක් තියෙන්නෙ. පාසල් නිවාඩු කාලයේදී
උදෑසන සිට රාත්‍රිය වනතුරුම ළමා චිත්‍රපට එහෙම නැත්නම් කාටුන් වැඩසටහන්
ප්‍රචාරය කරනවා. එසේ ප්‍රචාරය කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ තම
නාළිකාව වැඩි දරු පිරිසක් නරඹන බව පෙන්වා දීමටයි.
තම දරුවා ගැන අවබෝධයක් ඇති ආදරයක් ඇති මව්පියන් නම් කරන්නේ, කළයුත්තේ
දරුවා එම වැඩසටහන්වලින් යම් පමණකට ඈත් කිරීමයි. එම වැඩසටහන් නැරැඹීමට
අවස්ථාව ලබා දෙන අතරම ඒ සඳහා වැය කළ යුතු කාලය ගැන දෙමව්පියන් මනා
අවබෝධයක් ලබා තිබිය යුතු වනවා.
දරුවා වැඩි වශයෙන් යොමු කළයුත්තේ ඇඟ සෙලවෙන, ඔළුව සෙලවෙන මනසේ
ක්‍රියාකාරිත්වය උද්දීපනය වන කාරියන්ට යි. දරුවාට උපතින්ම හිමිවන
දැඟලිල්ලට නිවාඩු සමයේ අවස්ථාවක් ලබාදීම බුදු දහමින් අනුමත කර තිබෙනවා.
තමන් එදිනෙදා නියැළෙන කාර්යයන්ගෙන් යම් කලකට මිදී සිටින්නේ ද එම කාලය
ක්‍රීඩා විනෝද කටයුතු සඳහා යෙදීම බුදු දහම අනුමත කරනවා. දරුවාගේ එම
කාලයත් ටියුෂන් පන්තියට හෝ වෙනත් වැඩ සඳහා යෙදවීම සුදුසු නැහැ.
එම කාලයේදී ඔහුගේ ගත සිත ප්‍රබෝධමත්වීම සඳහා යොදවා ගැනීමට වැඩි
අවධානයක් යොමුකළ යුතු වෙනවා.
විශේෂයෙන්ම නිවසේ ඇති දැඩි කරන සුරතලුන් තම පැටවුන්ට අවශ්‍ය පරිදි
ක්‍රීඩා කිරීමට පරිසරය සකසන අයුරු බලන්න. මේ ආකාරයට කුඩා දරු දැරියන්ට
ද තමන්ට උචිත ක්‍රීඩා ඇතුළු ළමයින්ට උචිත කාර්යයන් සඳහා ඔවුන් යෙදවීමට
වග බලා ගතයුතු වනවා.
එසේම ඇතැම් මවුපියන් සිතන්නේ විදේශ සංචාරයක නිරතවීම එසේත් නැත්නම් උසස්
ආපන ශාලාවල විනෝදවීම් තුළින් දරුවන්ට උපරිම තෘප්තියක් ලබාදීමටය.
එපරිදි පරිසරය ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට දරුවන්ට හැකිවන්නේ නැහැ.
සැමවිටම දරුවාට උචිත පරිසරයක් කරා දරුවා මෙහෙයවීමයි මෙහිදී වැදගත්
වන්නේ, එමෙන්ම තමන්ගේ ඥාතීන් සම්බන්ධව දරුවා දැනුම්වත් කිරීමට ද නිවාඩු
සමය යොදා ගැනීම මෙහිදී වැදගත් වනවා. ආච්චි, සීයා සම්බන්ධව ඔහු නිසි
අවබෝධයක් ලබා ගන්නේ එවිටයි. තම මවුපියන් උපන් ගම්බිම් නිසි පරිදි
හඳුනා ගෙන එම ප්‍රදේශයන්ගේ සංස්කෘතිය දරුවන් හඳුනා ගන්නේ එවිටයි. තමා
උපන් ගම් පෙදෙසට ගියවිට හමුවන සියලුම පුද්ගලයන් හමුවී කතාබහ කිරීම සුහද
සිනහව දකිනවිට දූ දරුවන් තුළ නිතැතින්ම කරුණාව, දයාව, මෛත්‍රිය
උපදිනවා. විදේශ රටකට ගොස් නිවාඩු කාලයම ගත කළත් දරුවාට ඒ දර්ශනයත් සමඟ
ඇතිවන හැඟීම් ලබා ගන්නට බැහැ.
පරිසරය සතුන් හා මිනිසුන් අතර ඇති සබඳියාව දරුවන්ට වටහා ගන්න පුළුවන්.
ගවයා හා මිනිසුන් අතර ඇති සබඳතාව ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්.
පරිසරයෙන් අත් නොදකින අත්දැකීම දරුවන් වෙනත් අයුරින් ලබා ගැනීමට පසු
කලෙක උත්සාහ දරන්නේ එම නිසයි.
ජපානය වගේ දියුණු රටවල් දරුවන් මාස ගණන් ගවලෙන්වල කාලය ගත කිරීමට යොමු
කරනවා. දරුවන්ට පරිසරය ගැන අවබෝධය ලබා ගැනීමටයි ඔවුන් එසේ කටයුතු
කරන්නේ.
හිම වැටෙන සමයේදී ජපානය දරුවන්ට මේස් සපත්තු පවා නොමැතිව ඇවිදින්නට
සලස්වනවා. පරිසරයෙන් ලැබෙන මේ දැනුම අද අපේ රටේ දරුවන්ට දකින්න
අපහසුයි.
දරුවාට සමාජයේ අත්දැකීම් ලබමින් ධාර්මික සතුටක් ලබමින් නිවාඩු කාලය ගත
කිරීමට අවස්ථාව සලසා දීමට අපට හැකියාව තිබිය යුතුවනවා. පරිසරයට හුරුවූ
දරුවන් කිසිවිටක පරිසරයට හානි කරන්නේ නැහැ. ඔහුගේ සිත තුළ පරිසරය
ආරක්ෂා කළයුතුයි යන හැඟීම මතුවෙනවා.
බුදුරජාණන් වහන්සේ ‘ආරාම රෝපා වන රෝපා’ යනුවෙන් අපට දහමින් වදාළේ
පරිසරයේ අගය අපට දැනුම් දීමටයි.
පාසල් නිවාඩු සමය අප වඩාත් උපයෝගී කර ගතයුත්තේ දරුවාගේ නැණැස වැඩීමට
වඩා ගුණදහම් සහ ශාරීරික වර්ධනයට බව අප මෙයින් තේරුම් ගත යුතුවනවා. ගුණ
නැණ බෙලෙන් පිරි දරු පරපුරක් මෙන්ම නොකළ යුතු වෙළඳාම්වලින් යුක්ත, ගුණ
දහමින් පිරි මවට පියාට සලකන දරු පරපුරක් බිහි කළහැක්කේ එවිටය.
සටහන: තාරක වික්‍රමසේකර |