දරුවන්ට
කියවීම හුරුකරවමු
ජපානයේ නරිතසන් පෝසෝජි විහාරාධිපති,
දහම් සෙවනේ සිඟිත්තෝ නිර්මාතෘ,
සුදුහුම්පොළ විමලසාර හිමි
පවුලක හෝ වේවා, සමාජයක හෝ වේවා සාමය සතුට උදාවන්නේ, පැවැත්ම තීරණය
වන්නේ එහි ජීවත්වන පුද්ගලයින්ගේ ස්වභාවය අනුවයි. කුඩා දේකට පවා තරහ
ගන්නා පුද්ගලයා තමනට මෙන්ම සමාජයටත් අනර්ථකාරියි. අපේ බුදුහාමුදුරුවෝ
ඉවසීමේ ගුණය පුද්ගලයා කෙරෙහි වර්ධනය කරගත යුතු උතුම් ගුණාංගයක් බව
දේශනා කොට වදාළේ ඒ නිසයි.
ඛන්ති පරමං තපො තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
ඉවසීම උතුම් තපස් ගුණයක්. බුදුවරු නිවන උසස් කොට කියත්. ධම්ම පදයේ
ඉවසීම අර්ථ දක්වන්නේ මේ ලෙසයි.
විනය, ශික්ෂණය අප කෙරෙන් ගිලිහී ගියොත් ක්‍රෝධය වෛරය නමැති පරම සතුරා
අපගේ ජීවිතයෙන් ඉවසීමේ ගුණය උදුරා ගන්නවා. කුඩා කල සිටම අපේ දරුවන්
කෙරෙහි ඉවසීමේ ගුණය වර්ධනය කළයුතු වන්නේ ඒ නිසයි. අපේ ළමා පරපුර
අත්දකින දේ, අත්විඳින දේ තුළ ඇතැම්විට තිබෙන්නේ ඉවසීම ගිලිහී යන සිද්ධි
දාමයන්. ඇතැම් රූපවාහිනි නාළිකා අන්තර්ජාලය ආදී විද්‍යුත් මාධ්‍ය අපේ
දරුවන්ගේ මනස විකෘති කරනවා. ඉවසීම විතරක් නෙවෙයි දරුවන්ගේ හොඳ පුරුදු,
යහපත් ආකල්ප සියල්ල මේ ඔස්සේ ගිලිහී යාමට ඉඩ තිබෙනවා.
“ කියවීම මිනිසා සම්පූර්ණ කරයි” යන කියමන ජනවහරට ආවේ විශාල තේරුමක්
ඇතිව. කල්‍යාණ මිතුරන් වැනි පොත පත අපට දැනුම වගේම ජීවිතය ගැනද බොහෝ දේ
කියා දෙනවා. පොතක් පතක් කියවනවා වෙනුවට රූපවාහිනිය හෝ පරිගණකය ළඟ ඉඳගෙන
කාලය කා දමන එක ඇතැම් දරුවන්ගෙ සිරිතක් වෙලා. තාක්‍ෂණයේ දියුණුවත් සමඟ
අන්තර්ජාලය පරිශීලනය කරන්න පුරුදුවෙලා. සමහර මවුවරුන්, දරුවන්ගේ
තාක්‍ෂණික දැනුම ගැන හිතලා ආඩම්බර වෙනවා. ඒත් දියුණුවක් ලෙස එකවරටම
පෙනුනත් මේ ඇතැම් මාධ්‍ය දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය අඩාල කරන
බව අවබෝධ කරගත යුතුයි. මෙවැනි මාධ්‍ය පරිහරණය නිසා දරුවන් පිරිහීමට පත්
වන්නේ ඇයි ?
අන්තර්ජාලයෙන් ලැබෙන්නේ තොරතුරු. එතැනදී පෝෂණය වන්නේ දැනුම පමණයි. හොඳ
ආකල්ප ගොඩනැෙගන්නේ නැහැ. නිර්මාණාත්මක කුසලතා වැඩෙන්නේත් නැහැ. එය
දරුවන්ගේ පූර්ණ පෞරුෂය ගොඩනැඟීමට විශාල බාධාවක්. එහෙත් හොඳ පොත්පත්
කියවීමෙන් යහපත් ආකල්ප දරුවාගේ මනසට ඇතුළු වෙනවා. ඒ නිසාම හොඳ
ක්‍රියාකාරකම්වලට පෙළඹෙනවා. ඊට හේතුව දරුවන් වෙනුවෙන් ලියැවෙන බොහෝ පොත
පත ගුණධර්ම අගයන, වීරත්වය වඩවන, සෞන්දර්යය, රස වින්දනය හුරු කරවන,
යහපතට පොළඹවන ඒවා. අන්තර්ජාලයෙන් අපට එවැනි දේ බලාපොරොත්තු විය
නොහැකියි.
විශේෂයෙන් අන්තර්ජාලයේ ඇතුළත්ව ඇති වෙබ් අඩවි අප්‍රමාණයි. දරුවන්ට
වැඩිහිටියන්ට ලෙස ඒවායේ වෙන් කිරීමක් නැහැ. ඒ නිසා දරුවන්ට ඕනෑම වෙබ්
අඩවියකට පිවිසෙන්න පුළුවන්. ඒ කියන්නේ වැරැදි වැටහීම් ඇති කරන,
කාමුකත්වය අවුස්සන, අයහපත් චර්යාවලට පොළඹවන දේ පරිශීලනය කරන්න පුළුවන්.
අම්මට, තාත්තට හැම මොහොතකම දරුවන්ගේ පස්සෙන්ම සිටිය නොහැකියි. ඒ නිසා
ඔවුන් කවර මොහොතක හෝ මේ නරකට ඇබ්බැහි විය හැකියි. ඒත් පොත පතින් එවැනි
අවදානමක් නැහැ. තෝරලා, බේරලා, ළමයින්ට දෙන්න පුළුවන්.
දරුවකු ගේ පෞරුෂය වර්ධනයට සෞන්දර්යාත්මක රසවින්දනයට ඉතා වැදගත්. ඒ
රසවින්දනය අන්තර්ජාලයෙන් ලැබිය නොහැකියි. රස වින්දනය නැති තැන ඉවසීමක්
නෑ. වර්ධනය වෙන්නේ කෲරත්වය. මානව දයාව, කරුණාව, මෛත්‍රිය හට ගන්නේ රස
වින්දනය ලැබෙන හිතක. සංගීතය, නර්තනය, චිත්‍ර, කතාන්දර, උසස් නාට්‍ය,
උසස් චිත්‍රපටවලින් දරුවාගේ මනස වින්දනයට පත්වෙනවා. පොත්පත් පරිශීලනය
විශාල මඟ පෙන්වීමක් කරනවා.
අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නට, කියවන දේ මතකයේ පිහිටීමට, උගන්වන දේ
ග්‍රහණය කර ගැනීමට තැන්පත් මනසක් තිබීම අත්‍යවශ්‍යයි. අන්තර්ජාලයේ
සැරිසරන දරුවකුගෙන් එවැනි තැන්පත් බවක් කිසිවිටෙකත් බලාපොරොත්තු විය
නොහැකියි. එහි දර්ශනය වන නා නා විධ විප්‍රකාර දකින දරුවා කෙරෙහි
කුතුහලයත්, නොසන්සුන්තාවත් ඇතිවිය හැකියි. ඒ ඔස්සේ වැරදි පැතිවලට
යොමුවීමට පුළුවන්. අන්තර්ජාලය අනතුරුදායක වන්නේ එතැනයි. එහෙත් බොහෝ
දෙනා ගේ අදහස නම් දැනුම් පිපාසයෙන් පෙළෙන කෙනෙකුට අන්තර්ජාලය දිය දෝතක්
වන බවයි. එය යම් විදියක සත්‍යයක් වුණත් අන්තර්ජාලයට හා මුහුණුපොතට (
face book ඇබ්බැහිවෙලා මානසිකව දුර්වල වුණු, ඇතැම් දරුවන් ගැන අද අපිට
අසන්නට දකින්නට ලැබෙනවා. තවත් දරුවන්ට ඉවසීම නැහැ. අම්මා තාත්තා පවා
නුරුස්සන ස්වභාවයක් දකින්නට ලැබෙනවා. දැනට අවුරුද්දකට විතර කලින්
සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නමයක් ගත්ත පිරිමි දරුවෙකුට තාත්තා
තෑග්ගක් විදිහට පරිගණකයක් අරන් දුන්නා. ඒ තරම් හොඳ ආර්ථික තත්ත්වයක්
නොතිබුණත් ඒ තාත්තා එහෙම කළේ දරුවගේ හිත සතුටු කරන්න. තව තවත් ඉගෙනුමට
උනන්දු කරවන්න. ඒ වෙනකොට බොහොම අහිංසක විදිහට, චාම් ජීවිතයක් ගත කරපු
දරුවා ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා. පරිගණකය ඔස්සේ අන්තර්ජාලයේ
සැරිසරපු දරුවාගේ පොතපතට උනන්දුව අඩුවුණා. උසස් පෙළ විභාගයෙන් ලැබුණෙ
එෆ් තුනක්. තමන්ගෙ පුතා ගැන මහා බලාපොරොත්තු පොදි බැඳගෙන හිටිය ඒ තාත්ත
හුඟක් අසරණ වුණා. ඒ විතරක් නෙවෙයි, පරිගණකය අරන් දුන්නු තාත්තත්
හතුරෙක් ලෙසයි ඒ දරුවා දැක්කේ. පරිගණකයක් වෙනුවට හොඳ පොත් පත් ටිකක්
අරන් දුන්නා නම් මේ දරුවා කිසිසේත්ම එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ
දෙන්නේ නෑ.
ෆ‍්‍රැන්සිස් බේකන් කිව්ව විදිහට ‘Reading makes
the man full’ -
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන වැකියේ ‘සම්පූර්ණ කරයි’ යන වචනවල
ලොකු අදහසක් අන්තර්ගත වෙනවා. හැම පැත්තෙන්ම යහපතක්, දියුණුවක්,
හැකියාවක් ඇති කරනවා යන අරුත් දෙනවා. දරුවන් ඵලදායි ලෙස හදා ගන්නට නම්
අපේ මවුපියන් ඉවසීමෙන් සිතා බැලිය යුතු කාලයක් උදාවී තිබෙනවා.
හිතමිතුරුන්, අසල්වැසියන් අනුකරණය කරමින් ඔවුන්ගේ දරුවන්ට ඉවක් බවක්
නැතිව ළඟාකර දෙන පරිගණකය තමන්ගේ දරුවන්ටත් මිලදී ගෙන දෙනවාද ? යන්න ගැන
නැවත නැවතත් සිතාබැලිය යුතු වෙනවා. දරුවන්ට පොතක් පතක් කියවා ගන්න තරම්
වෙලාවක් නැති බවට අද බොහෝ මවුපියන් මැසිවිලි නඟනවා. ඒත් එකම වයසෙ දරුවො
සිය දෙනෙක්ගෙන් අසවල් කාටුනය බලා තියෙනවාදැයි ඇසුවොත් අනූනම දෙනෙක්ම
ඔව් කියනවා. ඒ විතරක් නෙවෙයි. මුල ඉඳන් අගට අපූරු විස්තරයක් කරන්නට
තරම් ඒ ගැන හොඳ මතකයකුත් තිබෙනවා. මේ කාටුන්වල ඉන්න පුහු වීර චරිත
දරුවන්ගේ මනසෙ සැරි සරනවා. ඉතින් මේ දරුවො හොඳ පෞරුෂයක් ඇතිව
ගොඩනැඟෙන්නේ කොහොමද? දරුවො රූපවාහිනියට ඇබ්බැහි කරවීමේ වරද බාරගත යුතු
වන්නේත් මවුපියන්මයි. විශේෂයෙන් ටෙලිනාට්‍යවලට ඇබ්බැහි වුණ අම්මලා
මොනතරම් කාර්ය බහුල වුණත් සමහර අම්මලා තමන් කැමැති ටෙලිනාට්‍ය බලන්න
අමතක කරන්නේ නැහැ. ඉතින් දරුවොත් අහළ පහළ ඉඳගෙන ඒවා නරඹනවා. කිසිම
හරයක් නැති, හොඳ පණිවුඩයක් දෙන්නේ නැති, ඇතැම් බොළඳ ටෙලි නාට්‍ය
දරුවන්ගේ මනස විනාශ කරනවා. දරුවෝ සුළු දේටත් කෝප වන්නේ, මේ විසූක
දර්ශන බැලීම නිසයි.
අනෙක් අතට ටෙලිනාට්‍ය හෝ වේවා කාටුන් වැඩසටහන් හෝ වේවා මේ හැම
වැඩසටහනක් අතරම ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් ගැන අපට කිසිසේත්ම සෑහීමකට
පත්විය නොහැකියි. මේ සමහර දැන්වීම් දරුවාගේ මනසට ඉතා අහිතකර බලපෑම් ඇති
කරනවා. මානව හිතවාදී ලෙස, සාමුහිකත්වය, ආදරය, කරුණාව ඇතිවන ලෙස
ප්‍රචාරක දැන්වීම් නිර්මාණය විය යුතු වුණත් ඇතැම් වෙළඳ දැන්වීම්වලින්
එවැනි පණිවුඩයක් කිසිසේත් ම බලාපොරොත්තුව විය නොහැකියි. ප්‍රචාරණ
දැන්වීමකින් අපේක්‍ෂා කරන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තරයට පණිවුඩයක් දීමයි.
ඒ පණිවුඩය අශිලාචාර වුණොත් බිහිවන්නේ අශිලාචාර මනුෂ්‍යයෙක්. මේ නිසා
දරුවන් රූපවාහිනියට යොමු කළ යුතු වන්නේ දැඩි විමසුමකින්. තමන්ට
නුසුදුසු දේ ග්‍රහණය කර ගන්නා දරුවන්ගෙන් එවැනි නිසුදුසු දේ ම මිසක්
යහපත් දේ බලාපොරොත්තු විය නොහැකි බව මවුපියන් හොඳින් වටහාගත යුතුයි.
දරුවන්ගේ කාලය හොඳ පොතකට හුරු කරවීම අම්මා කෙනෙකුට අසිරු නොවෙයි.
මොනතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් මාසයකට වරක් එක් අලුත් පොතක් දරුවෙකුට
තිළිණ කරන්න පුළුවන් නම් අපත් නොදැනිම දරුවාගේ ජීවිතය ගොඩනැඟෙනවා.
කුමාරතුංග මුනිදාස මහතා ගේ හත්පණ, මඟුල්කෑම, හීන්සැරය, මාර්ටින්
වික්‍රමසිංහ මහතාගේ විද්‍යා විනෝද කතා, අපේ ගම, මඩොල් දූව වැනි පොත්
දරුවන් අපූරු ලෝකයකට ගෙන යනවා. දරුවන්ගේ මනසේ චමත්කාරජනක සිතිවිලි
නිර්මාණය කරනවා.
ඒ වගේම හොඳ චරිත කතා පොත් ඕනෑතරම් වෙළඳ පොළේ තිබෙනව. බුද්ධ චරිතය,
බෝසත් චරිතය, රාහුල චරිතය කියවීමෙන් දරුවා කෙරෙහි කරුණාව, මෛත්‍රිය,
ඉවසීමේ ගුණ වර්ධනය වෙනවා. ඒ වගේම ජීවිතය යහපත් දිශාවකට යොමු කරනවා.
ජාතක කතා ඇසුරින් ලියැවුණු අගනා කතාන්දර පොත් දරුවන්ට උපායශීලීව හොඳ
නරක කියා දෙනවා. මෙවැනි පොත පතින් කවදාවත් දරුවන් ඉන්ද්‍රජාලික ලෝකවල
අතරමං කරන්නේ නැහැ.
විශේෂයෙන් ව්‍යාකරණානුකූලව ලියැවුණු හොඳ පොතකින් ඒ බස පිළිබඳව ද හොඳ
දැනීමක් ලැබෙනවා. අධ්‍යාපනයට ද එය රුකුලක් වෙනවා.
අතීතයේ මෙන් නොව අද ඕනෑම පාසලක, ඕනෑම කුඩා නගරයක පවා පුස්තකාලයක්
තිබෙනවා. ගමේ පන්සලේ පොත් ගුලේ කියවීමට වටිනා පොත්පත් ඕනෑතරම් තිබෙනවා.
අවශ්‍ය වන්නේ දරුවන් කියවීමට හුරු කරවීමයි. හොඳ පොතක් මිතුරු මිතුරියන්
අතර හුවමාරු කර ගැනීමට උනන්දු කරවීමෙන් ද තව තවත් පොත් කියවීමට අවස්ථාව
උදාකරගත හැකියි. මෙවැනි යහපත් මාවතක් දරුවන්ට හඳුන්වා දුන්නේ නම්
අනාගතයේ ඉවසිලිවන්ත, මානව දයාවෙන් යුතු යහපත් මනුෂ්‍යයෙක් නිර්මාණය වීම
නොඅනුමානයි.
සටහන : තාරක වික්‍රමසේකර |