ඉගෙනුමට බාධා කරන
නීවරණ ධර්මවලින්
මිදෙමු
මහනුවර අස්ගිරි මහා විහාරීය
කාරක සංඝ සභික
මැදගම ධම්මානන්ද හිමි
බුදුන් දවස වැඩ සිටි චුල්ල පන්ථක පොඩි හාමුදුරුවන්ට ගාථාවක් කට පාඩම්
කරගන්නට නියම කෙරුණි.කොපමණ වෙහෙසුණත් එය මතකයේ රඳවා ගන්නට උන්වහන්සේට
නොහැකි වුණි. සෙසු කුඩා හිමිවරු, ඉගෙනීමට බැරි මෝඩයෙක් කියමින්
උන්වහන්සේට විහිළු කළහ. ඒ නිසා උන්වහන්සේ සිටියේ සිත් වේදනාවෙනි.
ගාථාවක් වත් මතක තියා ගන්නට බැරි කෙනෙක් කොහොමද ධර්මය තේරුම් ගන්නේ ? ඒ
නිසා මලණුවන් සිවුරු අරවා ගෙදර යැවීම හොඳයැ’යි පැවිදිව සිටි
උන්වහන්සේගේ සොහොයුරු මහාපන්ථක තෙරණූවෝද සිතූ®හ.
ඉගෙනීමට නොහැකි නිසා සිවුරු හැර යන ලෙස සොහොයුරු හිමියන් කළ යෝජනාව
නිසා සිත් තැවුලට පත් චුල්ල පන්ථක පොඩි හාමුදුරුවෝ විහාර මළුවේ හඬමින්
සිටියහ. ඒ බව දැන පොඩි හාමුදුරුවන් ළඟට වැඩිය බුදුහාමුදුරුවෝ ඉතා
කරුණාවෙන් හිස පිරිමැද අතින් අල්ලා ගෙන විහාරය තුළට කැඳවා ගෙන ගියහ.
‘චුල්ල පන්ථක, පාඩම් කළාට මතක හිටින්නේ නෑ කියා ජීවිතය ගැන කලකිරෙන්නට
එපා. මේ රෙදි කඩ අතින් පිරිමදිමින් ඉන්න’ යනුවෙන් උපදෙස් දුන්හ. පොඩි
හාමුදුරුවන් එසේ කරන විට මඳ වේලාවකින් රෙදි කඩ කිලිටි විය. හොඳින් තිබූ
දෙය වෙනස් වූ හැටි වැටහුණි. ලෝකයේ පවතින සියලු දේවල් වෙනස් වීම
ස්වභාවයයි. කිසිවක් එකම අයුරින් පවතින්නේ නැතැ’යි බුදුහාමුදුරුවන්
පැහැදිලි කරදුන් අනිත්‍ය තත්ත්වය නුවණින් තේරුම් ගන්නට පොඩි
හාමුදුරුවන්ට හැකි විය. උන්වහන්සේ රහත් බවට පත්වූහ.
චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ගේ කථාවෙන් පැහැදිලි වන්නේ යමක් අවබෝධ
කරගන්නා ක්‍රමය හා ශක්තිය පුද්ගලයන් අනුව වෙනස් වන බව ය.එසේම දරුවන්ගේ
මානසික තත්ත්වය තේරුම් නොගෙන බලයෙන් යමක් ඔවුන්ගේ මනැසට ඇතුළු කරන්නට
සූදානම වීමත්, යමක් අවබෝධ කරගැනීමට නොහැකි වු විට දරුවන්ට දඬුවම්
කිරීමත් වැරැදිය.
බොරු කීම නරක සිරිතක් බව රාහුල පොඩි හාමුදුරුවන්ට පැහැදිලි කරදෙන්නට
බුදුහාමුදුරුවන් යොදා ගත්තේ පැන් බඳුනකි. බඳුනෙහි පැන් ඉවත් කර, බොරු
කියන පුද්ගලයෙකුගේ ජීවිතයත් එම භාජනය මෙන් හිස් බව උන්වහන්සේ සිය
පුතණුවන්ට කියා දුන්හ. උපමාවලින් හා නොයෙකුත් රූප ආධාරයෙන් දරුවන්ට
යමක් අවබෝධ කරදීම ඉතා පහසුය. එසේම මවුපියන් ද ආදර්ශවත්ව යහපත පෙන්වා
දිය යුතුය.
අද අපේ රටේ තිබෙන්නේ ඉගෙනීමේ තරගයකි. ඒ නිසා පාසලෙන් බාහිරව ද දැනුම
ලබාගැනීම සඳහා උපකාරක පන්තිවලට යෑමට දරුවන්ට සිදු වී ඇත. දරුවන්ගේ
මානසික මට්ටම , විවේකය, විනෝදය, සමාජ පරිසරය වැනි දේවල් ගැනද මෙහිදි
අවධානය යොමු කරන්නට අපට සිදුවෙයි. සමහර මව්පියෝ තම දරුවන්ට කිසිම
විවේකයක් නොදී යාන්ත්‍රික ජීවිතයකට ඔවුන් යොමු කරවති. දරුවන් අකැමැති,
දස්කම් නොදක්වන විෂය මාලාවන් හැදෑරීමට ඇතැමුන් තම දරුවන් බලහත්කාරයෙන්
මෙහෙය වන්නේ එමගින් සමාජ තත්ත්වයක් ළඟා කරගැනීමේ අදහසිනි. තම දරුවා
දොස්තර කෙනකු, ඉංජිනේරුවරයකු වනු දැකීම බොහෝ දෙනකුගේ පැතුමයි.
වැඩිහිටියන්ගේ ඕනෑකමට වැඩකරන්නට ගොස් ඉගෙනීම කඩාකප්පල් කරගත් බොහෝ
දරුවෝ අපේ සමාජයේ සිටිති. උසස් අධ්‍යාපනය සඳහා විෂය මාලා තෝරාගැනීම
දරුවන්ට ම පැවැරිය යුතු යැයි මෙයින් අදහස් නොවේ. දරුවන්ගේ කුශලතා
තිබෙන්නේ කවර අංශයකට දැ’යි සෙවිල්ලෙන් සිට ඒ මඟ යෑමට උපදෙස් දීම
වැඩිහිටියන්ගේ වගකීමයි. සමහර පාසල් දරුවෝ තම මවුපියන්ගේ නිලතල හා
ධනවත්කම නිසා පන්තියේ සෙසු ළමයි අතරේ කැපී පෙනෙන්නට නොයෙක් වැරැදි වැඩ
කරති. අන් අයද ඒවාට යොමු කරවති. වැරැදි දේවලට මුදල් යොදවති. එම නිසා
විමසා බැලීමෙන් තොරව දරුවන්ට මුදල් දීම හානිකරය. සැප සම්පත් වැඩිකම ද
සමහරවිට ඉගෙනුමට බාධාවකි. අපේ සමාජයේ බොහෝ දෙනකුට දුප්පත්කමේ අමිහිරි
අත්දැකීම් තිබේ. එහෙත් ඒ සියලු අගහිඟකම් අමතක කොට ඔවුන් ජීවිතය ජයගෙන
ඇත. සමාජයේ හා ජීවිතයේ දුක් දොම්නස් ගැනද අවබෝධයක් අප සැමට තිබිය
යුතුය. පුද්ගලයන් විඳින දුක්පීඩා දුරුකිරීම සඳහා සමාජ යහපතට යොමුවන්නේ
එවැනි දුක් ගැන දන්නා විටය.
නුවණ දියුණු කරගන්නට බාධාකරන කාරණා පහක් බුදුදහමේ සඳහන්වෙයි. එනම්
කම්සැපෙහි ඇලීම (කාමච්ඡන්ද), තරහ (ව්‍යාපාද), සිත කය දෙකෙහි උදාසීනකම
(ථීනමිද්ධ), නොසන්සුන්කම (උද්ධච්ච කුක්කුච්ඡ) හා සැකය (විචිකිච්ඡා)යි
.බුදුහාමුදුරුවන් ඒවා පැහැදිලි කර තිබෙන්නේ සත්‍යාවබෝධයට බාධා කරන
කරුණු වශයෙනි. ඒ කාරණා ගැන විමසීමෙන් බලන විට දරුවන්ගේ ඉගෙනීමටත්,
ජීවිතයේ දියුණුවටත් ඒවා අදාළ බව පෙනේ. නීවරණවලින් කරන්නේ නුවණ
වසාලීමයි.
පසිඳුරන් පිනවීම කෙරෙහි සිත ඇදී යෑම යොවුන් වියේ පසු වන දරුවන්ගේ
ඉගෙනීම කඩාකප්පල් වීමට හේතු වන ප්‍රධාන කාරණයකි. ඉගෙනීම කරන වයස පැරැණි
සමාජය පිළිගෙන තිබුණේ බඹසර වෙසෙන කාල සීමාවක් වශයෙනි. අද රට පුරා
පැතිරී ඇති අසභ්‍ය පොත් පත්, චිත්‍රපට, අන්තර්ජාලය වැනි දේවල් බොහෝ
දරුවන්ගේ මනැස කාමයෙන් මුසපත් කරයි. මවුපියන් මේ ගැන සැලකිලිමත්
නොවූවොත් දරුවන්ගේ ජීවිත අනතුරට පත්වෙයි. ඉගෙනීම සඳහා වන වයසෙහි දරුවන්
ඉගෙනීමට යොමු කිරීමට මවුපියන් වග බලා ගත යුතුය. කාමච්ඡන්දය දරුවන්ගේ
නුවණ වසාලන නීවරණයක් වන බැවිනි.
ඇතැම් දරුවෝ නොයෙකුත් හේතු නිසා තමන්ගේ ජීවිතයට ම ද්වේෂ කරති.
විභාගයෙන් සමත් නොවූ විට ඇතැම්හු දිවි නසා ගන්නට පෙළැඹෙති. එසේ කරන්නේ
තමා කෙරෙහි මෙන්ම වැඩිහිටියන් කෙරෙහි ඇතිවන ද්වේෂය හෙවත් ව්‍යාපාදය
හේතුවෙනි. පළිගැනීමේ චේතනාවෙනි. දුක්වේදනාවන් හා සාංසාරික වශයෙන් බලපාන
පාප කර්මයන් මිස එයින් ලැබෙන ප්‍රයෝජනයක් නැත. ‘මම පහ වසර
ශිෂ්‍යත්වයෙන් පාස්නොවුණොත් මගේ අම්මා වහ බොනවා කියලා කීවා. එහෙම
වුණොත් අම්මට කලින් මම වහබොනවා යැ’යි කුඩා දරුවකු පැවසූ කථාවක්
පුවත්පතක පළ වී තිබුණි. ඇතැම් මවුපියන් තම දරුවන් මත අසීමිත
බලාපොරෙත්තු ගොඩනඟා ගැනීම හා දරුවන්ගේ සිත්වලට කා වද්දන ඇතැම් අදහස්
ඉතා භයානකය. හැමදෙනා ම විභාගවලින් එකවර සමත් වන්නේ නැත. එය දිවිනසා
ගන්නට හෝ මනැස අවුල් කරගන්නට කරුණක් නොවන බව මවුපියන් මෙන්ම දරුවන්ද
තේරුම් ගත යුතුය.
සිත, කය, දෙකේ උදාසීනකම හඳුන්වන්නට බුදුදහමෙහි යෙදෙන්නේ ථීනමිද්ධ යන
වචන යයි. කම්මැලිකම හෙවත් උදාසීනකම පුද්ගලයෙකුගේ නුවණ දියුණුවට පමණක්
නොව එදිනෙදා ජීවිතයේ කටයුතුවලටද බාධාවකි. උත්සාහවත්ව වීර්යයෙන් කටයුතු
කිරීම බුදුදහමේ පදනමකි. අලසකම, පිරිහීමට මුල් වන බව බුදුදහමේ නොයෙක්
තැන්වල පෙන්වා දී තිබේ. දැන් ඉතා සීතලයි, දැන් ඉතා උෂ්ණ යි,දැන් වේලාසන
වැඩියි. දැන් නිදිමත යි ආදි වශයෙන් කියමින් තමන්ගේ කටයුතු කල් දමන
දරුවෝ සිටිති. එය ඉගෙනීමට බාධාවකි. මේ මොහොතේ කළ යුතු දෙය මේ මොහොතේ ම
කිරීම දියුණුවේ ලක්ෂණයකි. ඒ බව දරුවන්ට පහදා දිය යුතුය. නොසන්සුන්කම
හෙවත් කලබලයට පත්වීම ඇතැම් දරුවන් තුළ දක්නට ලැබනෙ තවත් ලක්ෂණයකි.
විභාග ප්‍රශ්න පත්‍රයක් දුටු විට සමහරු අනවශ්‍ය ලෙස කලබල වෙති. එයින්
තමන් දන්නා දෙය පවා පිළිතුරු වශයෙන් ලියන්නට නොහැකි වෙයි. අනුන්ගේ
අදහස් හා මතවාද ඉවසා දරාගත නොහැකිව සමහරු කෝප වෙති. තමන් කියන දෙයම
නිවැරැදි යැ’යි වාද කරමින් අනුන් සමඟ ගැටෙති. අනුන්ගේ මතවාදවලට තමන්
එකඟ නොවන්නේ නම්, සාමකාමීව තම මතය ඉදරිපත් කිරීම සදාචාරවත් ය. ක්‍රීඩා
කිරීමේදී වුවද ඉවසීම වැදගත්ය.
ඉගෙනීම සඵල කරගන්නට පමණක් නොව ජීවිතයේ බොහෝ ප්‍රශ්න විසඳාගන්නට ද
මානසික සංවරය වුවමනා වෙයි. ඒ සඳහා භාවනාවට හුරුවිය යුතුයි. එදිනෙදා
ජීවිතයේ කරන කටයුතුවලින් මඳක් සැනසීම ලබන්නටත්, බාහිර අරමුණුවලින් සිත
නිදහස් කරගන්නටත් ආනාපානා සති හා මෛතී‍්‍ර භාවනා ඉතා සුදුසුය. පාඩම්
කරන විට නොයෙකුත් අරමුණු සිතුවිලි මනැසට ගලා එන්නේ නම්, දරුවන් කළ
යුත්තේ ටිකවෙලාවක් භාවනාවේ යෙදීම යි. බුද්ධාගම පොත්වලින් උගත් දේවලින්
ජීවිතයට ප්‍රයොජන ගත යුතු යි.එක දිගට පාඩම් කිරීමේදී මෙන්ම රැකියාවක්
කිරීමේදි ඇතිවන කායික හා මානසික වෙහෙස නිවාගන්නටත් භාවනාව සුදුසුය.
දරුවන් සමග මවුපියන් ද භාවනාවට යොමුවන්නේ නම් ඔවුන්ගේ උනන්දුව
වැඩිවෙයි. දිනපතා දිනචරියාවෙන් සුළුවේලාවක් ඒ සඳහාද වෙන්කර ගත යුතුයි.
තමන් දන්නා සරල දේවල් තුළින් ජීවිතයට සැනසීම උදාකර ගන්නට අපේ සමාජයේ
බොහෝ දෙනා උනන්දු වන්නේ නැත. කායික මෙන්ම මානසික විවේකය ජීවිතයේ සෑම
කටයුත්තකට අවශ්‍ය වන්නකි. එය ලැබෙන්නේ මුදල් හා භාණ්ඩ රැස්කිරීම තුළින්
නොවේ.
සැකය යන වචනය ධර්මයෙහි හඳුන්වන්නේ විචිකිච්ඡා නීවරණය යනුවෙනි. එමඟින්
නුවණ ආවරණය වෙයි. දැනුම නිරවුල් කරගන්නට නම් සැකය අවශ්‍ය දෙයකි.
ගුරුවරයෙකුගෙන් අපැහැදිලි යමක් විමසන්නේ එබැවිනි. නමුත් කිසියම් විෂයක්
හෝ පාඩමක් හදාරන විට,මෙය ඉගෙනීම මට අමාරු වෙයි, විභාගයෙන් අසමත්වෙයි
කියා සැකයෙන් කටයුතු කිරීම හොඳ නැත. එය පරාජයට මුල පිරීමකි. මට මේ දෙය
කරන්නට පුළුවන් යන ආත්ම විශ්වාසයක් තමන් කරන්නට සුදානම් වන දේ පිළිබඳ
ගොඩනගා ගත යුතුය. සිදුහත් බෝසතුන් බුදුවීම සඳහා දැඩි අධිෂ්ඨානයකින්
යුතුව බෝ මැඩ වැඩ හිඳි අයුරු අපි දනිමු.බෞද්ධයන් වන අප ජීවිතයේ යහපත
සඳහා කටයුතු කළ යුත්තේ උන්වහන්සේ මෙන් දැඩි අධිෂ්ඨානයකිනි. |