අධ්‍යාත්මය
පිරිසුදු
කර ගනිමු
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
මේ දිනවල විහාරස්ථානයකට යන ඔබට අයං වස්සාන කාලො යනුවෙන් ප්‍රදර්ශනය වන
පුවරුවක් දැකිය හැක. විහාරස්ථානයේ වාසය කරන අයටත්, පිටස්තරින්
විහාරස්ථානයට පැමිණෙන අයටත් මේ මඟින් වැසි සමය හෙවත් වස්සාන සමය බව
සිහිපත් කරවයි. ඇසළ පුර පසළොස්වක් පොහොය දින පොහෝ විනය කර්ම සිදුකොට,
පසුදින වස් ශික්‍ෂාපදය සමාදන්වීමෙන් උපසපන් භික්‍ෂූන් වහන්සේලා පෙර වස්
සමාදන් වූහ. උන්වහන්සේලා ඉදිරි තෙමසක කාලය එනම් වප් පුර පොහොය දින තෙක්
වස් ශික්‍ෂා පදය ආරක්‍ෂා කරති. මේ තෙමසක කාලය හඳුන්වන්නේ පින් වැඩෙන
කාලයක් හැටියටයි. මේ කාලය තුළ ගිහි පැවිදි දෙපිරිසම එක්ව නොයෙක් ආකාරයේ
පින්කම් පැවැත්වීමට කටයුතු යෙදීම ඊට හේතුවයි.
ඇතැම් විහාරස්ථානවල තෙමස තුළම දිනපතා මල් පහන් පූජා හා ධර්ම දේශනා
පැවැත්වේ. සතිපතා බෝධි පූජා, මල් පෙරහර, ශ්‍රමදාන ආදී නොයෙක් පින්කම් ද
පැවැත්වේ. බොහෝ දෙනා පින්කම්වලට උනන්දුවෙන, පින්කම්වල නියැලෙන කාලයක්
බැවින්, පින්කම් යනු මොනවාද? පින්කම්වලින් ලැබෙන ප්‍රතිඵල මොනවාද?
යන්නත් පිළිබඳ කරුණු ස්වල්පයක් ගෙනහැර දැක්වීම කාලෝචිතය.
පින් හා කුසල් යන වචන දෙක බොහෝ විට වෙනසක් නොකර භාවිත කරති. ඇතැම්හු
පින් හා කුසල් එකක් නොව දෙකක් යැයි කියති. තවත් සමහරු එහි කිසිදු
වෙනසක් නැතැයි ද කියති. ඇතැම් ලිපි ලේඛන වල පවා මේ පිළිබඳ නිශ්චිත
නිගමන ඉදිරිපත් කොට නැත. පින හඳුන්වා ඇත්තේ හදයං පුනාතීති පුඤ්ඤං
යනුවෙනි. ඒ අනුව සිත පිරිසුදු කරන ධර්මතාව පින යනුවෙන් හඳුනාගත හැක. ඒ
අනුව දානය, සීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන්වීම, වත්පිළිවෙත්
කිරීම, වැඩිහිටියන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම හා
සම්මා දිට්ඨිය දියුණු කිරීම යන ක්‍රියාකාරකම් පුණ්‍යක්‍රියා ලෙස
හඳුන්වා ඇත. පුණ්‍යක්‍රියා, පාපක්‍රියා හා කුසලක්‍රියා, අකුසලක්‍රියා
ලෙස බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කොට දක්වා ඇත්තේ අප විසින් සිතා මතා
සිදු කරනු ලබන ක්‍රියා කාරකාරකම්ය. සිතා මතා කරනු ලබන හැම ක්‍රියාවකටම
මුල් වන්නේ සිත බව බුදුසමය පැහැදිලිව උගන්වයි. ජීවිත කාලය තුළදී අප
ක්‍රියා සිදු කරනු ලබන්නේ සිත, කය හා වචනය යන ආයතන තුනෙනි. කය හා
වචනයෙන් කෙරෙන ක්‍රියාවනට ද සිත මූලික වෙයි. සිත පිරිසුදු කිරීම පින
නම් වන බැවින්, මේ ආයතන තුනෙන් සිදු කෙරෙන ක්‍රියාකාරකම් වලින් සිත
පිරිසුදු කෙරෙන ක්‍රියා පුණ්‍යක්‍රියා ලෙස හැඳින්විය හැක. අංගුත්තර
නිකාය අට්ඨක නිපාතයේ දැක්වෙන පරිදි පුණ්‍යක්‍රියා වස්තු තුනකි. එනම්
දානය, සීලය හා භාවනාවයි. සංයුක්ත නිකාය වනරේප සූත්‍රයට අනුව, මල් ඵල
උයන්වතු වැවීම, වනවගාව, ඒ දඬු පාලම් දැමීම, පැන්හල් පැන්පොකුණු ආවාස
සාදාදීම, දිවා රෑ දෙකෙහි පින් වැඩෙන පින්කම් ලෙස දක්වා තිබේ. ඛුද්දක
නිකාය ඉති වුත්තක පාලියේ දැක්වෙන මා පුඤ්ඤභායී සූත්‍රයේ මෙසේ දැක්වෙයි.
‘ මා භික්ඛවෙ පුඤ්ඤානං භායිත්ථ සුඛස්සෙතං අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස
මනාපස්ස යදිදං පුඤ්ඤානි’ මහණෙනි පින් කිරීමට භය නොවන්න, ඉෂ්ට වූ කාන්ත
වූ මනාප වූ සැපය පිනයැයි හඳුන්වන බව එහි අර්ථයය. ඒ අනුව පින යනු සැපයට
කියන තවත් නමකි. තමන් වහන්සේ දිගු කලක් පුරුදු පුහුණු කරන ලද පින්කම්වල
ප්‍රතිඵල වශයෙන් මහත් සෘද්ධිමත් බව හා මහානුභාව සම්පන්න බව ලැබූ බව ද
බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දී දක්වා තිබේ. පුණ්‍යක්‍රියා පිළිබඳව
ධම්ම පදයේ එන මේ ගාථාව ද වැදගත් අදහසක් ගෙන එයි.
පුඤ්ඤං චෙ පුරුසො කයිරා කයිරාථෙ තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ සුඛො පුඤ්ඤස්ස උච්චයො
පින්කම් නැවත නැවත කළ යුතුයි, එමෙන්ම කැමැත්තෙන් කළ යුතුයි, වැඩි
වැඩියෙන් පින් රැස් කිරීම යනු සැප වැඩි කර ගැනීමකැයි එයින් කියවේ.
ඉහතින් දක්වන ලද සූත්‍රපාඨ හා ගාථා පාඨවල අර්ථ විමසා බැලීමේ දී
ප්‍රකටවන්නේ පිරිසුදු සිතිවිලි ඇතිව කරන ක්‍රියා, පුණ්‍යක්‍රියා බවත්,
පින්කම්වල ප්‍රතිඵල වශයෙන් සසර සැප ලැබෙන බවත් ය.
පුඤ්ඤ යන පදය මෙන්ම කුසල යන්න ද බොහෝ සූත්‍ර දේශනාවල සඳහන් වෙයි.
අටුවාචාරීන් වහන්සේලාට අනුව පාප සහගත සිතිවිලි කපාදමන, නසාලන, විනාශ
කරන, සොලවන ධර්මතාවය කුසලයයි. අපගේ සිත අපිරිසුදු කරන, කිලිටි කරනු ලබන
කෙලෙස් සහගත සිතිවිලි නැති කිරීම, ඉවත් කිරීම මේ අනුව කුසලය යනුවෙන්
හඳුනා ගත හැක. සිතිවිලිවල නිවැරදි බව ඇතිකර ගැනීම ද කුසලයයි. කොසල්ලං
වුච්චති කුසලං යන අර්ථ දැක්වීමට අනුව ප්‍රඥාවෙන් උපදින බැවින් කුසල යන
නම ලැබී තිබේ. කුසල් දියුණු කරන විට වැඩෙන්නේ ප්‍රඥාවයි. කුසලයෙන්
ප්‍රඥාවත් ප්‍රඥාවෙන් කුසලයත් වැඩෙයි.
යථාපි පුප්ඵ රාසිම්හා කයිරා මාලා ගුනෙබහූ
එවං ජාතෙන මච්චෙනන කත්තබ්බං කුසලං බහුං
ධම්ම පදයේ සඳහන් මේ ගාථාවෙන් කියවෙන පරිදි මල් මාලා ගොතන්නෙකු නොයෙක්
වර්ණයෙන්, හැඩයෙන් යුත් මල් ගෙන අලංකාර මල්මාලාවක් ගොතන්නාක් මෙන්,
උපන් මිනිසා විසින් නොයෙක් ආකාරයේ කුසල් රැස් කළ යුතු බවයි.
“සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා” යනුවෙන් දැක්වෙන පරිදි සියලු
බුදුවරයින් වහන්සේලාගේ අනුසාසනයත් සියලු පව්කම් වලින් වැළකී කුසල් එක්
රැස් කළ යුතු බවයි. නිතර නිතර හුරු පුරුදු කළ යුතු කුසල් දහයක් දස
කුසල් වශයෙන් දක්වා ඇත. සතුන් මැරීමෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාමය
වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීම, කේලාම්කීම, නපුරු වචනකීම හා වැඩකට
නැති වචන කතා කිරීම යන වචනයෙන් සිදු කෙරෙන වැරදිවලින් වැළකීම ද, විෂම
ලෝභය, තරහව හා මිථ්‍යා දෘෂ්ඨියෙන් වැළකීම යනුවෙන් ඒවා සඳහන් වෙයි.
අංගුත්තර නිකාය ඒකක නිපාතයේ එන සම්මා දිට්ඨි සූත්‍රයට අනුව, කෙනෙකුට
නූපන් කුසල් උපදවා ගැනීමටත්, උපන් කුසල් වැඩිදියුණු කරගැනීමටත් සම්මා
දිට්ඨිය උපකාරී වෙයි. අභිධර්මයේ දී සියලු ම කුසල් සිත් කාමාවචර,
රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර කුසල් සිත් වශයෙන් සතර වැදෑරුම් කොට
දක්වා ඇති අතර, ඒවා කුසලා ධම්මා යනුවෙන් මිසක පුඤ්ඤා ධම්මා යනුවෙන්
හඳුන්වා නැත.
සච්ච විභංග සූත්‍රයේ සම්මා වායාම මාර්ගාංගය පැහැදිලි කර ඇත්තේ මෙසේ ය.
“මේ සස්නෙහි මහණ නූපන් අකුසල ධර්මයන් නූපදනා පිණිස, උපන් ලාමක අකුසල
ධර්මයන් දුරු කරනු පිණිස, නූපන් කුසල ධර්මයන් උපදවනු පිණිස, උපන් කුසල
ධර්මයන්ගේ පැවැත්ම, නොනැසීම, බහුලත්වය, විපුලත්වය, වර්ධනය, පරිපූර්ණ බව
පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්යය පවත්වයි, සිත නගයි, ප්‍රධාන
වීර්යය කෙරෙයි. ඇවැත්නි මේ සම්මා වායාමයැයි කියනු ලැබේ.” දීඝ නිකාය
සම්පසාදනීය සූත්‍රයේද කුසල් පිළිබඳව හැඳින්වීමක් තිබේ. ඒ මෙසේයි,
භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්ම විෂයෙහි දහම් දෙසන සේක් ද, මෙය ඔබ කෙරෙහි
වූ අනුත්තරීය ගුණයෙකි, සතර සතිපට්ඨානයෝය, සතර සම්‍යග් ප්‍රධානයෝය, සතර
සෘධි පාදයෝය, පංච ඉන්ද්‍රියෝය, පංච බලයෝය, සප්ත බෝධ්‍යංගයෝය, ආර්ය
අෂ්ටාංගික මාර්ගය යනු ඒ කුසල ධර්මයෝය. මෙතැන සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම
කුසල ධර්ම නමින් හඳුන්වන අතර මේවා වැඩිය යුතු යැයි ද, එසේ වැඩීමෙන්
විමුක්තිය සාධනය කළ හැකිවෙතැයි ද උගන්වයි. පින හා කුසලය පිළිබඳ
සූත්‍රාගතව කරුණු රැසක් ඇතත්, මෙකී සංකල්ප දෙක පිළිබඳ ප්‍රමාණවත්
අවබෝධයක් ලබා ගැනීමට මෙතෙක් දක්වන ලද කරුණු ප්‍රමාණවත් යැයි හැඟේ. පින
සසර පැවැත්මට උවමනා බැවින් සසර පැවැත්ම පිළිබඳ විශ්වාස කරන හැම දෙනා
පින් රැස් කළ යුතුය. පෙර කරන ලද පින් ඇති බව නිසා මෙලොව සැප විඳින බව
මංගල සූත්‍රයේ දැක්වෙයි. මෙහි සැප යනු ලෞකික තෘප්තියයි, ලෞකික වශයෙන්
දැහැමි, තෘප්තිමත් දිවි පැවැත්මකින් තොරව ලෝකෝත්තර විමුක්ති සාධනයට
පිළිවෙත් පිරිය නොහැක. එබැවින් පින මිනිසුනට ප්‍රායෝගික ඵලදායක
ක්‍රියාවකි. සසර දුක් විඳීමට අකමැති සියලු දෙනා පින් කළ යුතු ය.
පින සසර පැවැත්මට උපකාරී වුවද, කුසලය සසර පැවැත්මට නොව නැවැත්මට උපකාරී
වෙයි. එය නිවණට තුඩු දෙන්නකි. සම්මා වායාමය තුළින් අකුසල් දුරු කළ යුතු
අතර කුසල් වැඩෙන මගට යොමු කරවයි. කුසලය භාවනාමය වශයෙන් සංවර්ධනය
කිරීමෙන් ආර්ය මාර්ගයට පිවිසිය හැකි බව දක්වා තිබීමෙන් එය පැහැදිලි
වෙයි. බෞද්ධ ඉගැන්වීම කුසලාකුසල ධර්මයන් අධ්‍යාත්මයෙහි උපදින බවයි.
අකුසල ධර්මයන් නිසා අධ්‍යාත්මය පරිහානිය කරා පමුණුවයි. කුසල
ධර්මයන්ගෙන් අධ්‍යාත්මයේ පිරිසුදු බව ඇති කරවයි. ඒ අනුව බුදු සමයේ පරම
නිෂ්ඨාව ලෙස සැලකෙන නිවණ අවබෝධ කර ගැනීමට සියලු අකුසල ධර්මයන් ප්‍රහීණ
කළ යුතු ය. මෙතෙක් දක්වන ලද පැහැදිලි කිරීම් වලට අනුව පින හා කුසලය යනු
එකක් නොව දෙකක් බව ඔබට වැටහෙනු ඇත. එහෙත් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ
එන මේ දේශනා පාඨය වෙනත් අදහසක් අප තුළ ජනිත කරවයි. “පංචිමෙ භික්ඛවෙ
පුඤ්ඤාභිසන්දා කුෂලාභිසන්දා සුඛස්සාහාරා, සොවග්ගිකා, සුඛවිපාකා,
සග්ගසංවත්තනිකා, ඉට්ඨාය, කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති’ මහණෙනි
සුව ගෙන දෙන, සැප ගෙන දෙන, අග්‍ර වූ සම්පත් සලසාදෙන, සුගතිය පිණිස
හේතුවෙන පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ පස් දෙනෙකි. මේ සූත්‍ර පාඨයට
අනුව එකම කරුණක් සඳහා පින, කුසලය යන වචන දෙකම යෙදී ඇත. මෙයින් පැහැදිලි
වෙන්නේ පින් හා කුසල් දෙකක් නොව එකක් බවයි. මේ පිළිබඳ ධර්මය මැනවින්
පරිශීලනය කරන වියතුන්ගේ අවධානය යොමුවේවා. |