වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සබ්බෙ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
එස මග්ගො විසුද්ධියා’ති
සුපින්වතුනි,
හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියල්ල වෙනස්වෙමින්, විපරිණාමයට පත්වෙමින්,
විනාශයට පත්වෙන බව තථාගත දේශනාවයි. නිත්‍ය වූ ජීවයක්, වස්තුවක් තුන්ලෝක
ධාතුවෙහිම නැත. සත්වයා යන්නෙන් අදහස් කරන පංචස්කන්ධ ලෝකය (රූප, වේදනා,
සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ද කැඩෙන බිඳෙන සුළුය. මිනිසාය, දෙවියන්ය,
බඹුන්ය යන සුගති ලෝක සත්වයන්ද, ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූල තුනම
මුල්කරගෙන සතර අපාගත වූ සත්වයන් ද ගස්, ගල්, පර්වත, ඇළදොළ, ගංගා,
සාගරය, මහපොළොව, යාන වාහන, ගේ දොර සහ නගර යන සියලු සංඛත ස්වභාවයෙන්
පවතින යමක් ඇද්ද ඒ සියල්ල විනාශයට පත්වන සුළු ය.
ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර යන නාම ධර්මයන්ද ආපෝ, තේජෝ, වායෝ,
පඨවි යන සතර මහා භූතයන්ගෙන් හටගත් රූපයන්ද අප කැමැති පරිදි, ස්ථිර
නොවන්නේ ය. ජිවි, අජිවි සියල්ල හටගෙන විනාශයට පත්වේ.
මෙලෙස හටගෙන විනාශයට පත්වන, දුකට පත්වන, අනාථ භාවයට පත්වෙන දේ කුමක්ද?
ඇස හටගෙන බිඳෙන සුළුය. කන, නාසය, දිව, ශරීරය සහ මනැසද හටගෙන බිඳෙන
සුළුය. ඇස හටගෙන විනාශ වන්නේ නම් දුක ඒ තුළ නිර්මාණය වී ඇත. එයින් අනාථ
ස්වභාවයම ප්‍රකට වේ. ‘ඉච්ඡ’ යනු සිතක පහළවන කැමැත්තයි. ඇස සැමදා සුවසේ
පවතිවා’යි ඇස කෙරෙහි කැමැත්ත පහළ වේ. ඔබ ඇස දිරීමට, විනාශයට පත්වෙනවාට
කැමැති නැත. එහෙත් ඇස ජරා, ව්‍යාධි, මරණ ධර්මයන්ට නතුවන බැවින්, කැමැති
වූවත්, කැමැත්ත පරිදි, පැතු පරිදි අඛණ්ඩව නොපවති. එනම් ‘අනිච්ච’ නම්
වේ.
එසේ නම් ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ යන්නෙන් අදහස් වන්නේ, අවිද්‍යාසහගත
රැස්කරගත් සියලු දේ කැමැත්තට විරුද්ධව ක්‍රියාත්මක වීමේ ස්වභාවයෙන්
යුතු වන අතර එය ලොව පරම සත්‍යතාවද වන බවයි. මෙසේ සංඛාරයන්ගේ (හේතු
ප්‍රත්‍යයන්ගෙන් හටගත්) විපරිණාමය හෙවත් දුකට පත්වීම නුවණින් දැකීම
කලකිරීමට හේතු සාධක වේ. එය ආර්ය මාර්ගයට, විශුද්ධියට පත්විය හැකි
ප්‍රතිපදාවයි.
ලෝක සත්වයාට විශුද්ධියට පත්වන නිවැරැදි මාර්ගය දේශනා කරනු ලබන්නේ සම්මා
සම්බුදුපියාණන් වහන්සේ විසින්මය. ඒතාක් සත්කැල අන්ත දෙකට සිත
හසුරුවමින් අනාර්ය ප්‍රතිපදාව තුළින් මිච්ඡා සීලය, මිච්ඡා සමාධිය සහ
මිච්ඡා මාර්ගයම බහුල ලෙස වඩති. සමාදන්වෙති. එයින් මුළාවටම පත්වෙති. ඒ
බව මනා ලෙස ප්‍රථම ධම්ම චක්කපවත්තන සූත්‍රයෙන් හෙළිදරව් කරයි. කාම
සුඛල්ලිකානු යෝගය තුළින් චිත්ත සත්තානය අඳුරට වැටෙන අයුරු ද ශරීරයට
අධික දුක් දීමෙන් තවදුරටත් දුකට ම පත්වන අයුරු මෙහිදි පැහැදිලි කරයි.
හීනො - ලාමක වූ, ගම්මො - ග්‍රාම්‍ය නැතහොත් පහත් වූ, පොථුජ්ජනිකො -
පුහුදුන් සත්වයන්ටම අයත් වූ, අනරියො - අනාර්ය භාවයට පත්කරවන, අනත්ථ
සංහිතො - අවැඩම ආශ්‍රය කළා වූ ක්ලේශ කාම, වස්තු කාමයන්හි නැවත නැවත
යෙදීමක් ඇද්ද එසේ වූ කාමසුඛල්ලිකානු යෝගය අත්හල යුතු බව දේශනා කළ සේක.
දුක්ඛො - දුකට කාරණ වූ, අනරියො - ආර්ය මාර්ගයෙන් වෙන් වූ, අනත්ථ සංහිතො
- අවැඩටම හිත වූ ශරීරයට අධික දුක් දීම නම් වූ අත්තකිලමතානුයෝගය ද අත්හළ
යුතු ය. මෙසේ මේ අන්ත දෙකම අත්හැරිය යුතු බැව් දේශනා කළ සේක.
එහෙත් නිසි මඟට නොපිළිපන් බෞද්ධ, අබෞද්ධ සැමදෙනාම මෙම අන්තදෙකට සිත
හසුරුවමින් ඇලීම්, ගැටීම් බහුල කරමින් සසර වඩන බව කිව යුතුමය. එහි
අහිතකර තත්ත්වය මුළු සමාජයම වසාගෙන ඇතිබව වර්තමානයේ සිදුවන ක්‍රියා
තුළින් මනාව පැහැදිලි වේ.
ඇස සතුටු කිරීමට, පිනවීමට මැදුම් මාවතෙන් බැහැර වී සීමාවන් ඉක්මවා
කටයුතු කිරීමට උත්සාහ කිරීමෙන් දෙලොවම පිරිහීමට හේතුවන බව තේරුම් ගත
යුතුය. සැනසීම, සන්තුට්ඨීය ඇත්තේ මැදුම් මාවත අනුගමනය කිරීම තුළය.
අසාරයට බැඳීම අත්හැර නිවීමට සිත පත්කරන මාර්ග අංග අට වැඩිමෙන් සියලු
දුකෙන් මිදී ලබන ශාන්ත වූ සැපය ළඟා කර ගැනීමට හැකි බව තථාගතයන් වහන්සේ
දේශනා කළ සේක.
මැදුම් මාවත අප කාගේත් ලෝභ ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි දුරුකර, සසර
ආදීනවය සහ බියකරු බව වටහාදෙයි. සියලු සංස්කාරයන් විනාශයට පත්වන බව ද
ප්‍රත්‍යක්‍ෂ කරදෙයි. ත්‍රිලක්‍ෂණය විවෘත කොට හෙළිකරමින් ආර්ය සත්‍ය
අවබෝධයෙන් ලෝකෝත්තර දහම් ඇස පහළ වීමටද එයම හේතු වෙයි.
පංච කාමයන්හි අධික ලෙස ගිජුව එයම සේවනය කිරීම දහම් ඇස පහළ කරගැනීමට
බාධක වන බව හොඳින් තේරුම් ගත යුතු ය. සියලු දුක් හටගන්නේ මේ පංච කාම
වස්තුන් මුල් කරගෙනය. ඇසෙහිත් බාහිර රූපයෙහිත් සාර වූ, නිත්‍ය වූ
සැපයක් නැත. සතර මහා ධාතුන්ගෙන් හටගත් සියලු රූපයන් ජරා, ව්‍යාධි, මරණ
ස්වභාවයට පත්වී විනාශයට පත්වේ. විනාශයට පත්වන දේ අතහැරීම සැපයට
කාරණයක් බව බුදුන්වහන්සේ දේශනා කළ සේක. පංච කාමයෙහි ඇලීම අවිද්‍යා සහගත
සිතෙහි පහළවන ස්වභාවයකි. විඤ්ඤාණය යනු මායාකාරයෙකි. නැතිදෙයක් ඇති ලෙස
මවා පෙන්වයි. එය නුවණින් නොදැක පුහුදුන් ජනයා පස් ආකාරයකින් ඡන්ද
රාගයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි බැඳී යති. එයින්ම සැනසීම
වැසී, වැනසීම හෙවත් අන්ධභාවයට, දාසභාවයට පත්වීම සිදුවෙයි.
ඇසට අරමුණු වන රූපය කෙරෙහි අවිද්‍යා සහගත ව ඉෂ්ඨ, කාන්ත, මනාප, පි‍්‍රය
ස්වරූපී සහ කෙලෙස් වසඟයට යන ආකාරයෙන් බැඳී තණ්හාවට දාසවීමෙන් තම සිත
අපවිත්‍ර කරගනී. ගිලන් සිතකින්ම වාසය කරයි. එනම් ලෝභ, ද්වේෂ, මෝහ,
ගින්නෙන් දැවෙමින් නිරන්තරයෙන් කර්ම රැස් කරගනී. එම නිසා ලොව්තුරා
බුදුන්වහන්සේ, පුහුදුන් අශ්‍රැතවත් පුද්ගලයාගේ ඇස අවුළගෙනය; කන, නාසය,
දිව, කය, මනැස යන ආයතන හයම ඇවිළිලාය; රාග ගින්නෙන්, ද්වේශ ගින්නෙන්,
මෝහ ගින්නෙන්, ජාතියෙන් ජරාවෙන්, ව්‍යාධියෙන් මරණයෙන් ඇවිළිගෙනය; එම
සිත නිරතුරුව ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස කෙලෙස් ගින්නෙන්
ඇවිළීගෙනයැයි දේශනා කළ සේක.
මෙසේ ඇවිළගත් සත්වයන් දුකෙන් මිදෙන්නේ නැති බව පහදා දුන් සේක. එසේ නම්
ඔබ සිතන්න, සියලු කළහ, විවාද, දුෂ්චරිත, ලේ වැගිරීම් සහ ඝාතන ආදි ගිනි
හටගත්නේ ඇසත්-රූපයක්, කනත්-ශබ්දයත්, නාසයත්- ගන්ධාරම්මණයත්, දිවත් -
රසයත්, කයත් - පහසත්, මනැසත් - සිතුවිලිත් තත්ත්වාකාරයෙන් තේරුම් නොගත්
නිසාම බව. ආදීනවය හෙවත් දෝෂය නුවණින් විමසා නොබැලීමයි ඊට හේතුව. එසේ
නම් දිවා රාත්‍රි ඔබ රැස්කර ඇත්තේ දුක් පිණිසම හේතුවන චේතනා පහළ කරමින්
නැවත නැවත ඉපදීම් බිඳීම් ස්වභාව කොට ඇති ජාති ධර්මය නොවේද? මරණ ධර්මය
නොවේද?
වරක් රූප සෞන්දර්යය නිසා අහංකාරයෙන් මත්ව බුදුන්වහන්සේ දක්නට නොගොස්
සිටි ජනපද කල්‍යාණි නන්දා නමැති භික්‍ෂුණීයට ද, සිරිමා නම් නගර
සෝභීනිගේ රූප ශෝභාව දැක උපන් ඡන්දරාගයෙන් මත් වී ආහාර පවා වැළැඳීමක්
නොකොට සසුන් කෙතෙහි සුවය අත්හැර නිදාහුන් එක් භික්‍ෂුවකට ද
බුදුන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් සම්මා දිට්ඨියට පත්ව නිවන් සුවය සලසා
ගැනීමට හේතු වූ විජයසූත්‍රය හෙවත් කාය විච්ඡන්දනික සූත්‍රය ඔබගෙත්
ගිලන් සිත නිවා ගැනීමට, විදර්ශනා පිණිස, එදිනෙදා කටයුතු සහනශීලීව
කරගැනීමට භාවිත කරත්වා! බලාපොරොත්තු වන සැනසීම අත්පත් කරගැනීමට මෙයම
උපකාරී වේවා !
ළදරු, තරුණ, මහලු යන සියලු දෙනාගේම ශරීර කූඩුව ජරාවෙන් පිරී ඇත. විවිධ
රෝගයන්ගෙන් ගහන වී ඇත. අනුවණයා කාය වර්ධනය සඳහා රස මියුරු ආහාර පාන
මහත් ඇල්මෙන් වළඳයි. අගනා වස්ත්‍රයෙන් වසාගෙන ඇත්තේ දුර්ගන්ධ හමන,
පණුවන් ආදි සත්වයන්ගේ ගොදුරක් බව නොදකී. ඒ තාක් රූපය කෙරෙහි මානයෙන්,
උඩඟු සිතින් සිතා ආශ්වාදය සොයමින් ජාති, ජරා, ව්‍යාධිය මිහිරි කොට උරා
මත්වෙයි. කාමයන්හි අතෘප්තිමත්ව කලුරිය කොට දුගතියට වැටෙයි.
එසේ වන්නේ ජරා, ව්‍යාධි, මරණයට පත්වන බව නුවණින් දුටුවේ නැති නිසා ය. ඒ
සඳහා සද්පුරුෂ ඇසුර සේවනය කළේ නැති නිසා ය. අන්ධානුකරණයෙන්, තණ්හාවට,
දාස වී කටයුතු කිරීමෙන් ඔබද තරුණ මදයෙන්, ආරෝග්‍ය මදයෙන් හා ජීවිත
මදයෙන් යන තුන් මදයෙන් මත් වී සිත අපිරිසුදු කරගෙන අකුසල් රැස්කොට
දුගතියට වැටීමට බලාපොරොත්තු නොවිය යුතු ය. එම නිසා රූපයේ ආදීනවය මෙනෙහි
කොට, ක්‍රමයෙන් එහි අසාරය දැක, ජන්දරාගය අවම කර ගැනීමට කාය ගතාසතිය
වැඩීමට උනන්දු විය යුතු ය. එය වැඩිමෙන්ම සිත සමථයට පත්වේ. ධ්‍යානාංග
වැඩිමට මහත් උපකාරයක් වෙයි. ත්‍රි ලකුණු වැටහීමට විදර්ශනාව පුරුදු
පුහුණූ විය යුතු ය. යෑම්, සිටීම්, ඉඳීම්, නිදාගැනීම් ආදි ය චේතනාව මුල්
වී සිදුවේ.
සිත්වල බලය උපකාරීවීමෙන් වායුව ශරීරය පුරා පැතිරී සියලු ක්‍රියා
සිදුවේ. කරවන කෙනෙකු නැත. මේ සතර ඉරියව්ව තුළ මරණයට පත්වීමට පුළුවන.
ආයුෂය ගෙවීයෑමට පුළුවන. එසේ සිතා ජීවිතය අනියතයි, මරණය නියතයි යනුවෙන්
සිතීමට සිත පුරුදු කරන්න.
කන, බොන ආහාරය විෂවීමෙන්, අපත්‍යවීමෙන් මරණය සිදුවේ. එසේ සිතා, ගඩුවක්,
පිළිකාවක් සුව නොකළ හැකිවාක් මෙන් කොපමණ රස මියුරු ආහාර දුන්නත් කය
ස්ථිර කරගත නොහැකි බව වටහාගත යුතු ය.
එසේ නුවණින් මෙනෙහි කිරීම ඡන්ද රාග ගිනි නිවීමට හේතු වේ. අකුසල්
රැස්වීමට තිබෙන හේතු විනාශ වෙයි. හේතු නැතිවීමෙන් දුක නිරුද්ධ වෙයි.
කොපමණ ඥාති සමූහයා පිරිවරා සිටියත් මරණයත් සමඟ ඔබේ කුණුකය සොහොනට දමා
සැමදෙන අනපේක්‍ෂිතව නිවෙස් කරා පැමිණ තම කටයුතුවල යෙදෙති. සොහොනේ
කුණුකය පණුවෝද, හිවල්ලුද ආහාරය කොට ගනිති. මෙලෙස අසාරය මෙනෙහි කරන්න.
එවිට යථාර්ථය අවබෝධය වී සියලු දුකින් මිදීමට හැකියාව ලැබේ. |