ඇසළ අව අටවක 2013 ජූලි 29 වන
දා
වස් කාලයේ දී පිනට ම යොමු වෙමු
මේ වස්සාන සමය යි. ඉකුත් ඇසළ පුර පසළොස්වක පෝදා පොහොය සීමාවට
ඒකරාශි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේ පොහොය විනය කර්මය සිදු කරන
ලදී.
එසේ පොහොය විනය කර්මය සිදු කළ භික්‍ෂූන් වහන්සේ ඇසළ අව පෑළවිය
දා වස් විසීමේ උතුම් චාරිත්‍රයෙහි නිරත වූහ.
සම්මා සම්බුදුපියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ශාසනික
චාරිත්‍රයක් ඉටු කරන භික්ෂූන් වහන්සේ එසේ පෙර වස් විසීමෙහි
නිරත වූහ.
විහාරස්ථ සතර පේරුවේ දායක දායිකා බොහෝ පිරිසක් විහාරස්ථානයට
ඒකරාශි වන විශේෂ දිනය පුර පසළොස්වක පොහොය දවසයි. ඒ නිසාම බොහෝ
විහාරස්ථානවල දායක පිරිස් විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම
යොදාගනු ලබන්නේ වස්සාන සමයෙහි ඇසළ පුර පසළොස්වක පෝදාටය.
වස් විසීමේ චාරිත්‍රය ඉටුකරන භික්‍ෂූන් වහන්සේට උපස්ථාන
කිරීමෙන් මහත් පින්කම් සමුදායක කොටස්කරුවන් ලෙස සතුටුවීමට දායක
පිරිසට අවස්ථාව උදාවනු ඇත.
වස්සාන සමයේදී වෙසෙසින්ම භික්‍ෂූන් වහන්සේ විහාරස්ථ දායක පිරිස
පිනට නැඹුරු කරවීම සඳහා මාර්ගෝපදේශකත්වය සලසනු ලැබේ.
ඇතැම් විට විහාරස්ථානයේ නව විහාරාංගයක් ඉදිකරවීමෙන් වෙසෙසින්ම
වස් කාලය අනුස්මරණීය පුණ්‍ය කාලයක් ලෙස පවත්වා ගෙන යාමට උත්සාහ
කිරීම ද අගය කළ යුතුය.
වස්සාන සමය තුළ දිනපතා බුද්ධ වන්දනා, බෝධි වන්දනා, සෙත් පිරිත්
දේශනා ආදිය ද විශේෂ පහන් පූජා ආදිය ද විවේක දිනයන්හිදී විශේෂ
ධර්ම දේශනා ආදිය පැවැත්වීමට ද දායක පිරිසෙහි උනන්දුව මත
කැපවීමෙන් කටයුතු කරනු ලැබේ. චීවර මාසය ද ඇතුළු ව වස් කාලය
පුරා භික්‍ෂූන් වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කිරීමට
නිරන්තරයෙන් කටයුතු කරන දායක පිරිස විසින් සතරපේරුවේ දායක
පිරිස් සහභාගි කරවා ගනිමින් වැඩි පිරිසකට දායකත්වය සඳහා අවස්ථා
ව ද සලසමින් ගිලන්පස, ශීල දානය, දාවල දානය වශයෙන් පූජා කිරීම ද
කටයුතු සලසනු ලැබේ.
අනෙකුත් කාලයට වඩා සැදැහැවත් දායක පිරිස ද භික්‍ෂූන් වහන්සේට
ඇප උපස්ථාන කිරීමට බෙහෙවින් ඇප කැප වී කටයුතු කරනු ලබන්නේ
වස්සාන සමය තුළදී වසරකට වරක් උදාවන එම මහඟු අවස්ථාව තම තමන්ගේ
සසර ගමනටද මහෝපකාරි වන පින් සිතිවිලි උපදවා ගැනීමට ය.
භික්‍ෂූන් වහන්සේද විශේෂ ගුණ දහම් පුරමින් ස්වකීය පැවිදි දිවිය
මගින් සිව්පසයෙන් උපස්ථාන කරනු ලබන දායක පිරිස වෙත මහත් කරුණා
පෙරදැරිව අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා පවත්වමින් දෙ ලොව
දිවිමග සාර්ථක කර ගැනීමට ප්‍රත්‍ය උපකාර කරමින් වැඩ වෙසෙති.
මේ අනුව බලන විට අන් කාලවලටත් වඩා වස් කාලය හෙවත් වස්සාන සමය
ගිහි පැවිදි අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කරනු ලබන විශේෂිත
කාලයකි. එමෙන්ම ගමයි, පන්සලයි අතර සුහදතාවය තව තවත් වර්ධනය කරන
කාලයකි.
කුඩා දරුවාගේ පටන් වියපත් තැනැත්තා දක්වා බොහෝ දෙනා
නිරන්තරයෙන් කවදත් ඒකරාශි වන ස්ථානය විහාරස්ථානය යි. තම වටිනා
කාලයෙන් සුළු වේලාවක් හෝ විහාරස්ථානයට පැමිණ දාගැබ්, මහ බෝ
සෙවනෙහි ආශිර්වාදය ලබමින් තම ජීවිතයට ආධ්‍යාත්මික සහනය, සැනසීම
ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතුම වේ.
අස්ථීර වූ ජීවිතයෙන් සාරවත් යමක් තම සසර ගමනෙහි ශක්තිය ලෙස
පුණ්‍ය ශක්තිය ළඟා කර ගැනීමට උත්සාහ කරන බොහෝ දෙනා ඉහත දැක්වූ
ලෙස සිත පිනට දහමට නැඹුරු කර ගැනීමට උනන්දු වෙති.
ඒ අතර කලාතුරකින් කෙනකු කර්මඵල අවිශ්වාසය නිසා ම පිනට පමණක්
නොව පිනට නැඹුරුවන තැනැත්තාට පවා පින් සිතිවිලි යටපත් කරවීමට
ක්‍රියා කරන අය පවා සමාජයේ නැත්තේ නොවේ.
එහෙත් එවන් අයහපත් සිතිවිලිවලට පෙළඹෙන තැනැත්තාට පවා කර්මය,
කර්ම ඵලය ගැන දැනුම, අවබෝධය ළඟා කරදීමට උදාවූ වස් කාලය යොදා
ගැනීමට ගිහි පැවිදි අප කවුරුත් උත්සාහ කළ යුතුය.
කෙනෙක් පින් දහම් කළද නරක නපුරු අයහපත්, පහත් දේ කරන අයද
සමාජයේ නැත්තේම නොවේ. එබැවින් ජීවිතය දෛනිකව දහමට අනුව පවත්වා
ගෙන යමින් අයහපත් අය පවා ඒ සදහම් මගට යොමු කරවා ගැනීමට මෙකල
උදාවී ඇති වස්කාලය උපයෝගී කර ගනිමු.
එවිට කලාතුරකින් හෝ අසන්නට ,දකින්නට ලැබෙන අයහපත් ක්‍රියා අවම
කර ගැනීමට එය පහසු මගක් වනු ඇත. |