ඇලීමෙන් තොර වින්දනයට
සංගීතය බාධාවක් නොවේ
මහනුවර අස්ගිරි මහා විහාරීය
කාරක සංඝ සභික
මැදගම ධම්මානන්ද හිමි
සේලෝ යථා ඒකඝනෝ වාතේන න සමීරති
ඒවං රූපා රසා සද්දා ගන්ධා ඵස්සා ව කේවලා
ඉට්ඨා ධම්මා අනිට්ඨා ච නප්පවේදෙන්ති තාදිනෝ
ඨිතං චිත්තං විප්පමුත්තං වයං වස්සානුපස්සති
බුදුරදුන්ගේ සමයෙහි ශීත වනයෙහි වැඩ සිටි සෝණ කොලිවිස හාමුදුරුවන්ට
දිනක් මෙබඳු සිතිවිල්ලක් ඇතිවුණි. “මේ මහණ ජීවිතයෙන් මට ප්‍රයෝජනයක්
නැත. මට සිත සංවර කරගන්නට බොහොම අමාරු යි. නොයෙකුත් කෙළෙස්වලින් සිත
නිතරම පිරෙයි. මගේ නිවසෙහි බොහෝ සම්පත් ඇත. ඒ නිසා, උපැවිදිව ගිහියකු
ලෙස සැප විඳිමින් පින් දහම් කරගත්තොත් හොඳයි”. යනු උන්වහන්සේගේ සිතෙහි
හටගත් හැඟීම යි. මේ සිතිවිල්ල පරසිත් දන්නා නුවණින් දැනගත් බුදුරජාණන්
වහන්සේ සෝණ හාමුදුරුවන් විපතට වැටීම වැලැක්වීම සඳහා මෙසේ ඇසූහ.
“සෝණ ඔබ ගිහි ජීවිතයේ කළේ කුමක් ද? “ ස්වාමීනි, මම වීණා වාදකයෙක්
වූවෙමි. සෝණ, වීණාවෙහි තත් වැඩියෙන් තද කළොත් වාදනයේ දී ස්වරය මිහිරිව
නැඟෙයි ද? නැත, ස්වාමීනි,”
“එසේම, තත් ලිහිල් ලෙස තැබුවොත්, වාදනයේ දී ස්වරය මිහිරි ලෙස නැඟෙයි ද?
“
“එසේ නොවේ, ස්වාමීනි, වීණාවේ තත් සම මට්ටමකින් තැබූ විට, නාදය ඉතා
මිහිරිව මතු වෙයි.”
එම සාකච්ඡාව නිමා වන්නේ සෝණ තෙරුන් දිරිමත් කොට ධර්මාවබෝධය සඳහා යොමු
කෙරෙන උපදෙසකිනි. බුදුරදුන් පවසන්නේ කාමාදී ආශ්‍රවයන්ගෙන් මිදීම සඳහා
වීර්යය හා ඉඳුරන් සමව තබාගත යුතු බව යි. “සෝණ, ඔබ හඬ පාලනය සඳහා වීණාවේ
තත් සමව තබා ගන්නා ආකාරයට ම සිත දමනය කිරීමේ දීත් කටයුතු කළ යුතු යි.
වීර්යය ප්‍රමාණය ඉක්මවා ගියොත්, සිත කලබලයට හා නොසන්සුන් බවට පත් වෙයි.
එසේම වීර්යය, අඩුවීම නිසා කුසීතකම ඇති වෙයි. ඒ නිසා ඉන්ද්‍රියයන් සම
තත්ත්වයකින් පවත්වා ගතයුතු යැ’ යි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට උපදෙස්
දුන්හ.
මෙම විස්තරය දැක්වෙන්නේ අංගුත්තර නිකායේ ඡක්කනිපාතයේ සෝණ සූත්‍රයේ ය.
සිත දමනය කරගන්නට නො හැකිව මහණකමම එපා වී සිවුරු හැර යන්නට සැරසුණ සෝණ
තෙරණුවෝ බුදුරදුන්ගේ උපදෙස් අනුගමනය කිරීමෙන් රහත් බව ලැබූහ. ඉන්පසු
බුදුරදුන් හමුවට වැඩි උන්වහ්නසේ ෙමසේ පැවසූහ.
“ තද ගල් පර්වතය සුළඟකින් සෙලවිය නො හැක. එසේම පසිඳුරන් හා ගැටෙන රූප,
ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණුවලින් රහත් බවට පත්වූවන්ගේ සිත
නොසැලෙයි” යනුවෙනි. ඉහත සඳහන් ගාථාවෙහි දැක්වෙන්නේ එම අදහස යි.
බුදුරජාණන් වහ්නසේ දහම් දෙසීමේ දී අසන පුද්ගලයාට වැටහෙන, ඔහුට ගැලපෙන
කරුණු ඔස්සේ එය සිදුකරන බව සෝණ තෙරුන් පිළිබඳ මෙම පුවතෙන් පැහැදිලි
වෙයි. එසේම සංගීතය පිළිබඳ බුදුරදුන් තුළ වැටහීමක් තිබුණ බව ද පෙනේ. ඒ
බව තහවුරු වන තවත් නිදසුන් ත්‍රිපිටකයේ දක්නට ඇත.
පංචසිඛ බුදුරදුන් හමුවෙහි වීණා වාදනය කිරීමේ පුවත ඉතා ප්‍රකට වූවකි.
තත් සර නඟමින් ඔහු ගැයුවේ සූරියවච්චසා පිළිබඳ ප්‍රේම ගීතිකා ය.
පංචසිඛගේ වීණාවේ තත්සර හා ගීතසර මැනවින් ගැලපුන බව බුදුරදුන් පවසා ඇත.
උන්වහන්සේ සංගීතය රස වින්ද බවක් එයින් අදහස් නොවේ.
ගායනය, වාදනය හා රංගනය යනු අනාදිමත් කාලයක සිට මිනිසුන්ගේ හැසිරීම්
රටාව සමඟ බැඳුනකි. මනසේ ඇතිවන සොම්නස, දොම්නස වැනි හැඟීම් පළකිරීම සඳහා
විවිධ ශබ්ද, නාද රටා සහ අංග චලනයන් යොදා ගැනීම මිනිසුන්ගේ සිරිතකි.
ඇතැම් විට එසේ කරන්නේ සතුටක් විඳින්නට හෝ වියෝ දුක් තුනීකර ගැනීමට යි.
නැතිනම්, අන් අයට සතුටුදායක වින්දනයක් ලබාදීමට යි. සංගීතය මගින් සිදු
කෙරෙන්නේ ශ්‍රාවකයාගේ රස භාව හෙවත් හැඟීම් උද්දීපනයකි. සංගීතයෙන්
පුද්ගලයකුගේ සිත සමාධි ගතකිරීමට හැකියැ යි සමහරු පවසති. එයින් එක්තරා
අන්දමක මානසික ඒකග්‍රතාවයක් ඇතිවන බව සත්‍යයකි. සංගීත ශාස්ත්‍රයේ එන
රාග තාලවල ප්‍රභේද පවතින නිසා සිත තුළ කරුණා, ශාන්ත වැනි ස්වභාවයන් ද
ඇති විය හැක. එහෙත් බුදු දහමේ දැක්වෙන්නේ සංගීතය මගින් ඇති කරන අන්දමේ
සමාධියක් නොවේ. බුදුදහමේ සඳහන් සමාධිය චිත්ත දමනය කරන්නකි.
බුදුදහමේ සඳහන් ආර්ය විනයට අනුව ගීතය යනු වැළපීමකි. හැඩීමකි. ගිහියන්
වුවත්, නච්ච, ගීත, වාදිත, විසූක දස්සනයන්ගෙන් වෙන් වන බවට අටසිල්
සමාදන් වන විට අදිටන් කරගන්නේ ඒවා සිත පාලනය කර ගැනීමට බාධාවක් වන නිස
යි. ගායනය හා වාදනය මගින් හැඟීම් ඇවිස්සෙන නිසා එය ආර්ය මාර්ගයට
පිළිපන් කෙනකුගේ ගමනට බාධාවකි. දහම තේරුම් ගත් කෙනෙකු ගීතයෙහි ඇලෙන්නේ
නැත. සිහියෙන් යුතුව කටයුතු කරන තැනැත්තා ශබ්දය අසා එහි නො ඇලෙ යි.
විරාගී සිතින් යුතුව එය විඳි යි. එහෙත් එම ශබ්දයේ බැස ගෙන නොසිටි යි.
එසේම සමාහිත සිතින් දහම දකිනා අය තම සිත අභිභවා පංචතූර්ය නාදය වෙත ඇඳී
නො යන බව මහා කාශ්‍යප තෙරණුවන් පවසා ඇත. එක් අවස්ථාවක ලකුණ්ටක භද්දිය
;තරණුවන් වනයේ වෙසෙන විට එහි පැමිණි පිරිසක් බෙර සහ වීණා වයමින් විනෝද
වූහ. නිර්වාණය කෙරෙහි සිත යොමුකර ගෙන සිටි භද්දිය තෙරණුවන්ගේ සිත ඒ
මිහිරි නාදයෙන් කම්පනයට පත් නො වෙයි. සියලු දේවල්හි යථා ස්වභාවය දන්නා
උන්වහන්සේ තම අදහස් දක්වන්නේ මේ අයුරිනි. “ යම් කෙනෙක් ඇතුළතත් දකී ද,
පිටතත් දකී ද, ආවරණයකින් තොරව සියල්ල දක්නා හෙතෙම ශබ්දය අසා එයට ඇදී
නොය යි.”
සංගීතය කෙරෙහි බුදු දහම දක්වන ආකල්පය පැහැදිලිව තේරුම් නො ගන්නා කෙනකුට
එය සංගීතයට එරෙහිව යන දහමකැ යි හැඟෙන්නට ඉඩ ඇත. එය වැරැදි ය. වනගතව වැඩ
වෙසෙමින් විහඟුන්ගේ නාදයට සවන් දෙමින් නිරාමිසව සොබාදහමේ සුවය විඳි
තෙරවරුන්ගේ හා තෙරණියන්ගේ උදානයන් රාශියක් ථෙර ථේරි ගාථාවල දැක්වේ.
නිල්වන් ගෙලැති මනා පිල්බරින් යුත් විසිතුරු පක්ෂීන් සුමධුර හඬින් නාද
කරන විට වනයේ ධ්‍යාන වඩන අයගේ සිත එහි ඇලෙන බව තාලපුට තෙරණුවෝ පවසති.
“වටුවන්ගේ හඩින් ද, දඬු ලෙහෙනුන්ගේ නාදයෙන් ද මාගේ සිත නො සැලෙන්නේ
සිත නිවන අරමුණු කරගත් නිස යි”. ඒ රාමණෙය්‍යක තෙරණුවන්ගේ උදානය යි.
බුදුදහම නැඹුරු වූ අපේ පැරණි ගිහි සමාජය කටයුතු කළේ බෞද්ධ ආර්ය මාර්ගයට
අනුකූලව යි. ඒ නිසා සාහිත්‍යකරණයේ දී සංයමයක් දක්නට තිබුණි.
කලා නිර්මාණවලින් බලාපොරොත්තු වුණේ පුද්ගලයන්ගේ මානසික සංවරය හා
ගුණධර්ම වර්ධනය යි.
ඉතිරි කොටස ජූලි 29 වන දා පත්‍රයේ
|