ඇසළ පුර පසළොස්වක 2013 ජූලි 22 වන දා
ඇසළ පොහොය
වෙස්සන්තර ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව පහළ වූ බෝසතාණන්
වහන්සේ දෙව්බඹුන්ගේ ඇරැයුමෙන් පස්මහ බැලුම් බලා දඹදිව කපිල
වස්තුපුරයෙහි සුද්ධෝදන මහ රජතුමාගේ අග මෙහෙසිය වූ මහාමායා
දේවිය කුස පිළිසිඳගන්නා ලද්දේ ඇසළ පුන් පෝදාකය.
සතර පෙර නිමිති දැක ගිහි ගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය සිදු කරන
ලද්දේ ද ඇසළ පුන් පෝදාකය. රාහුල කුමරුගේ උපත සිදු වූයේ ද ඇසළ
පුන් පෝදාකය.
ශාන්තිනායක අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ උත්තරීතර ධර්මය ලොව
පහළ වූ අසිරිමත් දිනය ඇසළ පුන් පෝදාය. දුකත්, දුකට හේතුවත්,
නිවනත්, එය ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ලොවට දේශනා කළ ඒ
අසිරිමත් ඓතිහාසික දිනය චින්තන ප්‍රබෝධයක්. ආධ්‍යාත්මික
සුවයක්, ආගමික උද්‍යෝගයක් මෙන්ම සමාජ පුනරුදයක් උදාකළ
සුවිශේෂීම වූ දිනයකි.
ගෞතම බුදුපියාණන් වහන්සේ ඇතුළු පස්වග මහණුන්ගේ ප්‍රථම
වස්සුපගමනය බරණැස ඉසිපතනයේ දී සිදුවූයේ ද ඇසළ පුන් පෝදාකය.
බුදුපියාණන් වහන්සේ ගණ්ඩම්බ රුක මුලයේ දී තීර්ථකයන්ගේ මානය
දුරු කිරීම සඳහා යමාමහ පෙළහර දැක්වූයේ ද ඇසළ පුන් පෝදාකය.
තව්තිසා දෙව්ලොවට බුදුපියාණන් වහන්සේ වැඩම කර මාතෘ දිව්‍ය
රාජයා ප්‍රධාන දෙවියන්ට විජම්බණ දේශනා කරන ලද්දේ ද ඇසළ පුන්
පෝදාකය.
මේ අනුව බලන විට බෝසත් සිරිතේ මෙන්ම අසිරිමත් බුදුසිරිතේ
අනුස්මරණීය සිද්ධීන් රැසක් සිහි ගන්වන ඓතිහාසික දිනයකි ඇසළ පුර
පසළොස්වක පොහොය දිනය.
එමෙන්ම ලංකා ශාසනික ඉතිහාසයේ ද ඓතිහාසික සිද්ධීන් රැසක්
අනුස්මරණය කැරෙන ඓතිහාසික දිනයකි ඇසළ පුර පසළොස්වක පොහොය.
ශ්‍රී බුද්ධ වර්ෂ 847 දී කිත්සිරි මෙවන් රජ දවස හේමමාලා කුමරිය
හා දන්තකුමරු විසින් මෙරටට වැඩම කරවන ලද දළදා වහන්සේ වෙත
පූජෝපහාර දක්වමින් වාර්ෂිකව සිදු කරනු ලබන දළදා පෙරහරේ ආරම්භය
සිදු වූයේ ද ඇසළ පුර පසළොස්වක පෝදකය.
ස්වර්ණමාලි මහා සෑ රදුන් සඳහා මංගල ශීල ප්‍රතිෂ්ඨාපනය සිදු
කිරීමත් එහි ධාතූන්වහන්සේ නිදන් කිරීමත් සිදු වූයේ ද ඇසළ පුන්
පෝදාකය.
උදාර ශාසනික චාරිත්‍රයක් ද ඉටු කරනු ලබන ඇසළ පුර පසළොස්වක
පොහොය භික්‍ෂූන් වහන්සේට මෙන්ම ගිහි සැදැහැවතුන්ට විශේෂ පුණ්‍ය
කාලයක් ලෙසද සඳහන් කළ හැකිය.
ශාසනික ප්‍රතිපත්තිවලට අනුව භික්‍ෂූන් වහන්සේලාට වස් එළඹීමට
දින දෙකක් නියම කර ඇත. පෙරවස සහ පසුවස වශයෙන් එම දින දෙක
හඳුන්වනු ලැබේ. ඇසළ පුන් පෝදා පොහොයකරඇසළ අවපෑළවිය දිනයෙහි
පෙරවස් එළඹෙන අතර නිකිණි පුන් පෝදා පෝය කොට නිකිණි අවපෑලවිය දා
පසුවස් එළඹෙනු ලැබේ.
මේ අයුරින් බලන විට ශාසනික ප්‍රතිපදාවන් ආරක්‍ෂාවට භික්‍ෂූන්
වහන්සේ ඇප කැප වී ක්‍රියා කරන දිනයක් ලෙසද ඇසළ පොහොය ශාසනික
ඉතිහාසයට එකතු වී ඇත.
අතීතයේ දී අභිනවයෙන් නිවසක් තැනු විට එම නිවසෙහි වස් කාලය තුළ
දී භික්‍ෂූන් වහන්සේට ඇරැයුම් කොට වස් වසා වඩා හිඳුවා
සිව්පසයෙන් එම හාර මාසය තුළ ඇප උපස්ථාන කිරීමෙහි සිරිතක්
පැරැණි සමාජය තුළ පැවැතිණි.
එවන් උතුම් චාරිත්‍ර වර්තමාන සමාජයෙන් පවා ඉටු වන්නේ නම් බොහෝ
විට ගිහි සමාජයට ලැබෙන ආගමික මෙහෙවර මඟින් සමාජයේ ඇතිවන
අඩුපාඩු මඟහරවා ගැනීමට ද එය මහෝපකාරී වනු ඇත.
පිනට නැඹුරු වූ සිත හැම විට භික්‍ෂූන් වහන්සේගේ
මාර්ගෝපදේශකත්වය අගයමින් ඉඩ ලද හැම විට යම් අරමුණක් පෙරමුණු
කරගෙන ආගමික කටයුතු කෙරෙහිම නැඹුරුවීමට අමතක නොකළ බවද සිහිපත්
කළ යුතුව ඇත.
බෞද්ධ සැදැහැවතුන් අද පවා භික්‍ෂූන් වහන්සේට වස් ආරාධනාව සිදු
කර එම වස්කාලය පුරා සොයා බලමින් සිව් පසයෙන් ඇප උපස්ථාන
කිරීමෙහි යෙදී සිටීම දක්නට ලැබීම පවා සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව
වර්ධනයට හේතුවනු නොඅනුමානය.
පොදුවේ ගම්වැසියන් ගමේ විහාරස්ථානයට ඒකරාශී වී පැරැණි සිරිතට
අනුව දැහැත් ගොටු පිළිගන්වා වස් ආරාධනාව සිදු කර ගිහියන්
වශයෙන් භික්‍ෂු සමාජය වෙත ඉටු කළ යුතු යුතුකම නොපිරිහෙලා
ඉටුකිරීමට සැදී පැහැදී සිටීම දුටුවන් නෙත් සිත් පහන් කරවයි.
අනුස්මරණීය ආගමික දිනයකදී ආගමික කටයුතු කෙරෙහිම තම ජීවිතය
හැකිතාක් නැඹුරු කරවීමට උත්සාහ කිරීම බෞද්ධයා සතු වගකීම සේම
යුතුකම ද වනු ඇත. |