UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිවින් බුද්ධාගම අතුරුදන් වූයේ ඇයි

දඹදිවින් බුද්ධාගම අතුරුදන් වූයේ ඇයි

තථාගත පරිනිර්වාණයෙන් පසු තිතිකාදීන්ගේත් නෛර්ය්‍යණික ශ්‍රී සද්ධර්මයට විවිධ උපද්‍රව පැමිණිය හැකි බැව් දුටු මහාකාශ්‍යප, ආනන්ද, උපාලි ආදි මහා රහතන් වහන්සේ රජගහනුවරදී පළමුවරට ධර්ම සංගීතියක් කළහ. මින් වර්ෂ 100කට පමණ පසු භික්‍ෂූන් අතර මතභේදයක් ඇතිවීමෙන් මහා සංඝයා වහන්සේලා විශාලා මහ නුවරට රැස්ව දෙවන වරට ධර්ම සංඝායනාවක් පැවැත්වූහ. මීට මුළුමනින්ම එකග නුවූ භික්‍ෂූහු කොසඹෑ නුවරදී ධර්ම සංඝායනාවක් කළහ. මෙසේවෙන්වූ පක්‍ෂය “මහා සාංඝික” නමින් ද පුරාණ මතයම  පිළිගත් පක්‍ෂය “ථෙරියනිකාය” යන නමින්ද ප්‍රසිද්ධ විය

නඛො කස්සප, පටවිධාතු සද්ධම් මංඅන්තරධාපෙති, නාපො ධාතු, නතෙජො ධාතු, නවායො ධාතු, අථකො තෙඉධෙව උප්පජ්ජන්ති, මොඝ පුරිසා යෙ,ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති

කාශ්‍යපය, පෘථිවි ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි ,ආපො, තෙජො, වායො ධාතුද සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වැළිත් සද්ධර්මය අන්තර්ධාන කරන තුච්ඡ පුරුෂයෝ මේ ශාසනයෙහි උපදිත්

භාරත දේශය බුද්ධාගමේ ජන්මභූ®මිය පමණක් නොව එය අන්‍ය දේශයන්හි ප්‍රචාරය කිරීමේද මුල්වූ ස්ථානය යි. ක්‍රි. පූර්ව 20 පමණේදී චීන දේශයේද 3 වන 4 වන ක්‍රිස්තු ශත වර්ෂයන්හි කොරියා හි ජපන් දේශයන්හි ද 7 වන ශතවර්යෙහි සියම් දේශයෙහිද බුද්ධාගම ව්‍යාප්ත විය.

ඊට බොහෝ කලකට පෙර ක්‍රි.පූර්ව 4වන ශත වර්ෂයේදී බුද්ධාගම ලක්දිව ව්‍යාප්ත වූ බව ලාංකිකයන්ට විශේෂයෙන් මතක් කරදීම අනවශ්‍යයි. මෙකී දේශයන්හි හා මින් පසුව බුද්ධාගම ව්‍යාප්ත වූ අන්‍ය දේශයන්හිද භාරත දේශය හා මහත් සම්බන්ධයක් පැවැත්තේය. නාලන්දා, වික්‍රමශීලා, ඔදන්තපූරියන විද්‍යාලයන්ට ලෝකයේ නොයෙක් දේශවලින් අපමණ විද්‍යාර්ථිහු පැමිණියහ. එකල භාරත දේශය ශ්‍රේෂ්ඨ සභ්‍යතාවය චිත්‍ර ශිල්පය, වාස්තු විද්‍යාව යනාදීන් ඉතා උසස් තත්ත්වයක් පැවැතුණේ ය.

මෙකල ජපන්, ටිබැට් , චීන යන උතුරු රටවල ද, ලංකා බුරුම සියම් යන දකුණූ රටවල ද, බුද්ධාගම ව්‍යාප්තව තිබියදීත් භාරත මාතාවගේ සර්ව ශ්‍රේෂ්ඨ පුත්‍රයාණන්ගේ ඉගැන්වීම වූ බුද්ධාගම ජන්ම භූමියෙන්ම අතුරුදන්වීම කනගාටුවට කරුණකි. මෙයට හේතුව විමසීමේදී බෞද්ධ ඉතිහාසය ආරම්භ කාලය සිටම සැකෙවින් වත් කරුණු විග්‍රහ කර ගත යුතුයි.

අප බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවුයේ ක්‍රි.පූර්ව 543 වන වර්ෂයේදීය. තථාගත පරිනිර්වාණයෙන් පසු තිතිකාදීන්ගේත් නෛර්ය්‍යණික ශ්‍රී සද්ධර්මයට විවිධ උපද්‍රව පැමිණිය හැකි බැව් දුටු මහාකාශ්‍යප, ආනන්ද, උපාලි ආදි මහා රහතන් වහන්සේ රජගහනුවරදී පළමුවරට ධර්ම සංගීතියක් කළහ. මින් වර්ෂ 100කට පමණ පසු භික්‍ෂූන් අතර මතභේදයක් ඇතිවීමෙන් මහා සංඝයා වහන්සේලා විශාලා මහ නුවරට රැස්ව දෙවන වරට ධර්ම සංඝායනාවක් පැවැත්වූහ. මීට මුළුමනින්ම එකග නුවූ භික්‍ෂූහු කොසඹෑ නුවරදී ධර්ම සංඝායනාවක් කළහ.මෙසේවෙන්වූ පක්‍ෂය “මහා සාංඝික” නමින් ද පුරාණ මතයම පිළිගත් පක්‍ෂය “ථෙරියනිකාය” යන නමින්ද ප්‍රසිද්ධ විය. මේ නිකායවයෙන් වාතසි පුත්‍ර, මහිංසාසක ආදිනිකාය 18ක් ඇති විය. පූර්වොක්ත දෙපක්‍ෂයෙහි මත භේද ඇතිවීමට හේතු වු එක් කරුණක් නම් තථාගතයන් වහන්සේ පිළිබඳ ඔවුනොවුන්ගේ ඇති පිළිගැනීමේ වෙනස්කම යි. තථාගතයන් වහන්සේගේ ධර්මය මෙන් ශරීරය ද ලෝකෝත්තරය යනු එක් පක්‍ෂයක විශ්වාසය විය.

ඔව්හු තථාගතයන් වහන්සේ සර්වප්‍රකාරයෙන්ම අලෞකික තැනැත්තකු කළහ.

තථාගත පරිනිර්වාණයෙන් වර්ෂ 200කට පමණ පසු බුද්ධ ධර්මය වැළඳගත් ධර්මශෝක මහ රජු විසින් මොග්ගලීපුත්ත තිස්ස මහාක්‍ෂීණශ්‍රවයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාටලී පුත්‍ර නගරයෙහිදි තුන්වන ධර්ම සංඝායනාවක් කරවන ලදී. මහින්ද මහරහතන් වහන්සේ ආදි ධර්ම ධූත පිරිස ලංකාදීප ආදි දේශ දේශාන්තරයන්ට යවන ලද්දේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. තිරශ්චීනයෝ යයි වෙනසක් නොදක්වා මිනිසුන්ට මෙන් අසරණ තිරිසනුන්ට පළමුවන වරට ආරෝග්‍ය ශාලාදිය කරවන ලද්දේද මෙයින් පසුවය.

මෞර්ය පරම්පරාවේ අන්තිම රජතුමා “බෘහත්රථ” නම් විය. එතුමාගේ “පුෂ්‍යමිත්‍ර” නම් සෙනෙවියා එතුමා මරා රාජ්‍ය තමා අයත් කොට ගෙන “ශුංගා” නමින් අභිනව රජ පරම්පරාවක් ඇති කළේය.

හෙතෙම තම නූතන රාජ බලය ස්ථිර කර ගැනීම පිණිස බ්‍රාහ්මණයන්ට මහත් උපකාර කරමින් බුද්ධාගම මුලෝච්ජින්න කිරීමට මහත් ආයාස දැරුවේය.මොහුගේ කාලයේදී කලක් අතහැර පැවැති සත්ව බලි යාගය නැවතත් ආරම්භ විය. “ බ්‍රාහ්මණයෝ සැම විටම සර්වප්‍රකාරයෙන්ම ගෞරවාභියෝය”යන මතය ස්ථීර කරමින් ස්මෘතිපොත් රාශියක් ලියන ලදී. ආගම, ඉතිහාසය, ජනකථා යනාදිය සංග්‍රහකොට මහා භාරත නම් මහා ග්‍රන්ථය රචනා කරන ලද්දෙත් මොහුගේ කාලයේදීය.මේ කාලයේදි සංස්කෘත භාෂා දියුණුකරනු පිණිසද අනල්පෝත්සාහ දරන ලදී. මේ නිසා බෞද්ධ ධර්මාවලම්භිජනයන්ගේ බල බිෙඳත්ම ථෙරිය සර්වාස්ථිවාදි භික්ෂූන් සාංචි, මථූරා ප්‍රදේශයන්ට පලා ගියාක් මෙන් අන්‍ය නිකායික භික්ෂූහුද වෙනත් ප්‍රදේශයන්ට පලා ගියහ.

පෞරාණික මත හා සිරිත්විරිත් පිළිබඳ ගරු කිරීම උසස්ලෙස පැවැතියේ ථෙරිය නිකායේ ය. සර්වස්තිවාදීහු මථුරාවට පැමිණී නොබෝ කලකින්ම ස්වකීය ධර්මය බමුණන්ට පි‍්‍රය වූ සංස්කෘත භාෂාවට පෙරළා ගත්හ. එසේද වුවත් ථෙරවාදී භික්‍ෂූහු මුල පටන් පැවැති ලෙස මූලමාගධියෙන්ම ත්‍රිපිටකය තබා ගත්හ.මෞය¸ සමාජ්‍යයාගේ අභාවයෙන් පසු භාරතයෙහි ඇතැම් කොටස් ගී‍්‍රක් ජාතිකයනට අයත් විය. ගී‍්‍රක් රජවරු බොහෝ සෙයින් බෞද්ධයෝම වූහ. එහෙයින් තම යටත් ප්‍රදේශ පාලනය පිණිස පත් කරන ලද ක්‍ෂත්‍රප (ප්‍රතිරාජ) බෞද්ධ ධර්මයට ප්‍රතිපක්‍ෂ නොවූහ. එමතු නොව, බෞද්ධ ධර්මයට අනුබලද දුන්හ. එහෙයින්ද ප්‍රධාන වෙළෙඳ මාර්ගයෙහි මථුරාව පිහිටා තිබුණූ හෙයින්ද එහි පැවැති සරවස්ථිවාදය අනේක දේශයන්හි පැතිර යන්නට පටන් ගත්තේ ය.

ගී‍්‍රක්වරුන්ගෙන් පසු “යුචි” නම් රාජ පරම්පරාවක් ඇති විය. “ කනිෂ්ක”නම් ප්‍රසිද්ධ පෘථිවිපාලකයාද මේ පරම්පරාවට අයත් ය. අශෝක චක්‍රවර්තින්සේ වසුමිත්‍ර, අශ්වඝොෂ, ආදි ආචාර්යන් වහන්සේ ලවා ධර්ම සංඝායනාවක් මේ රජතුමා විසින් කරවන ලදී.මේ සංගීතියෙහිදි “විභාෂා” නමින් ලියන ලද ටීකාව අනුගමනය කළ ඇතැම් සර්වාස්ථි වාදීහු”වෛභාෂික”නමින් ප්‍රසිද්ධ වූහ.

“වෛභාෂික” මතය උතුර දෙසපැතිර යද්දි “විදර්භ” (දැනට “බරාර්”) නම් ජනපදයෙහි ආචාර්ය නාගාර්ජුන නම් ශ්‍රේෂ්ඨ පඩිවරයෙක් ඇති විය. උන්වහන්සේ ශූන්‍ය වාදය ගැන අනර්ඝ ග්‍රන්ථයක් ලියා මාධ්‍යමික වාදය ඇති කොට මහායාන බුද්ධාගමේ මහත් අභිවෘද්ධියක් ඇති කළහ.

4 වන ශත වර්ෂයේදි වස්වන්ධූ සහ උන්වහන්සේගේ සහෝදර “අසංග” යන ආචාර්යවරු සෞත්‍රාන්තික සහ යොගාචාර යන වාදයට බොහෝ අනුබල දුන්හ. මෙසේ 4 වන ශතවර්ෂය වන විට භාරත දේශයෙහි ප්‍රාන බෞද්ධ වාද සතරක් ඇති විය.මෙයින්, වෛභාෂික, සෞත්‍රාන්තික යන මාතාවලම්භීහු බුද්ධ,පච්චේක, බුද්ධ, අරහන්ත යන යානත්‍රයම පිළිගත්හ. එසේද වුවත් මාධ්‍යමික යොගාචාරවාදින් විසින් ගරුකොට ගන්නා ලද්දේ බුද්ධායනය පමණකි. සැම සත්වයන්ගේම විමුක්තිය සඳහා ව්‍යායාම කිරීමේ අදහසින් බුද්ධායනය හෙවත් බෝධිසත්වයානය, ගරුකොට සලකන හෙයින් තමන් යන මාර්ගය මහා යාන යැයිද, තම විමුක්තිය පමණක් සිදු කරගැනීම පිණිස යන මාර්ගයෙකැයි සලකන අභීත් බෞද්ධයන් පතන තැනැත්තන්ගේ මාර්ගය හීනයානයයිද ඔවුහු ව්‍යවහාරයට ගත්හ. ඔවුහු ස්වකීය මහායානයට ඇති දැඩි භක්තිය නිසාම හීනයානය ඉතා පහත්කොට දැක්වූහ. මේ බෞද්ධ සත්ව යානය ලෝකයේ ව්‍යාප්ත කිරීමට ඔව්හු අවලොකී තෙශ්වර මඤ්ජු ශ්‍රී ආකාශ ගර්භ යනාදි නොයෙක් මනඞ කල්පිත බෝධි සත්වයන් ඇතිකරමින් ශාරිපුත්‍ර මහා මෞද්ගල්‍යානය මහ රහතුන් මුක්ත නිර්වාණ පදයෙන් ඇද අමුකත්ත බෝධි සත්ව සංඛ්‍යාවෙහි ලා දැක්වූහ.

මෙසේ සියල්ලන් බෝධි සත්වයානයම පැතිය යුතුය යන අදහසින් ස්වකීය මත ඇතුළත් කොට රචිත සූත්‍රයද බුද්ධ ධර්මයට එකතු කළහ. කණිෂ්ක කාලයෙන් පෙර මූනීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රතිමා කරවන බවක් අපි නොදනිමු. මහායාන අදහස් ව්‍යාප්ත වන කල්හි සිතින් මවා ගන්නා ලද බෝධිසත්වයන්ගේ සහ නොයෙක් දේවතාදීන්ගේත් අප්‍රමාණ ප්‍රතිමා කරවීමද ආරම්භ විය. මේ ප්‍රතිමාවන්ට දේවාල කරවීමටද පූජා පැවැත්වීම පිණිසද අප්‍රමාණ ධනය විනාශ කරන ලදී. අපේ ත්‍රිපිටකයෙහි එන සූත්‍ර වලටත් “වඩා විශාල වූද වඩා පින් දිය හැකි වූද “ සූත්‍ර ඔවුන් විසින් රචනා කරන ලදී. ඒ සූත්‍ර කියවිය නොහැකි තරම් දිග වැඩි බව හැඟුණූ විට ඉතා කෙටි “ධාරණී” වශයෙන් සකස් කරන ලදී. මෙසේ ක්‍රමයෙන් මන්ත්‍ර කී පමණින් තමන් පතන අදහස ඉෂ්ට කරගත හැකිය යන මත්ත්‍රායනයට මග පෑදුණේය.

හීනයානයෙහි ඒ ඒ තැනැත්තන්ගේ විර්යාදියෙහි පමණින් ඔවුන්නොවුන්ට යෝග්‍ය ලෙස බුද්ධ පුත්‍යෙක බුද්ධ අභීත් යන යානත්‍රයෙන් කැමැති එකකට පැමිණීම උගන්වනු ලැබේ. “ස්වාර්ථය මුළුමනින්ම අමතක කොට පරාර්ථිය කිරීමෙහි යෙදෙන් නමෝ” යැයි පවසමින් මහායානිකයෝ පාර්ථියට වඩා ආත්මාර්ථියට ගරුකරන හීන යානිකයෝ යම්සේ ශික්‍ෂා පදයන්ට ගරු කෙරෙද්ද එසෙයින් අප විසිනුත් ගරු කිරීම අනවශ්‍යය යි සැලකූහ. මේ මතය නිසාම ඔවුන්ගේ ශීලය පිළිබඳව ඇති සැලකිල්ල ක්‍රමයෙන් අඩු විය. ඔවුන් අතර ගුප්ත වශයෙන් දුශ්චරිතයන්ට මුළුමනින්ම ඉඩ දෙන “ශුභ්‍යසමාජ” වැනි සමාජ ආරම්භ විය. මහායානිකයන්ට තම කොටසට විශේෂ වු විනය පිටකයක් නැතිහෙයින් ඔවුහු සර්වස්ථවාදීන්ගේ විනයානුකුලව මහණවී බෝධිසත්ව යානය හා කිවනොහැකි තරම් අයහපත් තාන්ත්‍රික අදහස් මිශ්‍රකොට ගෙන අතිශයින් දුශ්ශීලව කල් ගත කරන්නට පටන් ගත්හ. අටවන ශත වර්ෂයේදී බෞද්ධ නිකාය සියල්ලම පාහේ මහායාන මතය අනුගමනය කරන්නට පටන් ගත්හ. ඔවුහු මතුපිටින් සිවුරු හැඳගෙන ඇතුළතින් මන්ත්‍රයානිකයන්ව සියලු අබෞද්ධ ක්‍රියාවන්ට අනුබල දෙමින් සිටියෝය. එකල්හි ඔවුන් අතර “සිද්ධ පුරුෂයෝ 84 දෙනෙක් ඇතිවූහ. මොවුන් උගත්කමින් ඉතා උසස් වූවත් කවීත්වයෙන් ප්‍රහර්‍ෂයෙන් බැබලුණත් චරිතයෙන් නම් අතිශය හීන තත්ත්වයක සිටියහ. වනයන්හි නිර්වස්ත්‍රව සිටීම ඔවුන්ගේ සාමාන්‍ය ප්‍රතිපත්තියයි. ඔවුන්ට සුරාපානය පිණිස හිස්කබල් මිස අන්‍ය භාජන නොතිබුණේය.

මෙවැනි වජ්‍රයානිකයන්ගේ අදහස් ගරු කරන ජනයා තුළ ශීල ප්‍රතිපත්තිය පිළිබඳ පැවැති ගෞරවය සම්පූර්ණයෙන් නැති විය. එකල සුරා පානාදියෙන් තම සිහිය නසාගත් භාරතීයයෝ නොසිතිය හැකිතරම් මුළාවට පත්ව සිටියහ.

දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මෙසේ දුශ්චරිතයෙහි යෙදි සිටි භාරතීයන් තුළින් සාමත්‍ථය්‍ය අතුරුදන් වී තිබියදී බ්‍රාහ්මණයන් විසින් උපදවන ලද ජාති භේදය නිසා ජන සමාජය කැබලි වී යද්දි නොයෙක් මිථ්‍යා විශ්වාසයන් නිසා විමංසන බුද්ධිය සම්පූර්ණයෙන් යටපත් වී තිබියදී එකල වයඹ දෙසින් ඇතැම් ජාතිකයෝ ආක්‍රමණය කළහ. ඔවුන් විහාරයන්හි රැස්කරන ලද ධන රාශිය පැහැර ගනිමින් දහස් ගණන් දේව බෝධිසත්ව ප්‍රතිමාවන් නාලන්දා වැනි මහා විද්‍යාලයන්හි පැවැති පොත් රාශිය දවා හලුකර දමමින් අසුවූ අසුවු සියලු වටිනා දේ විනාශ කළහ.

මහමත් බිංබීත්ත්‍යාර් නමැති සෙන්පති ගැන අශ්වාරෝහක භටයන් දෙසියයක් සමඟ පැමිණ මෙ පෙදෙස නිරායාසයෙන් යට කරගන්නා විට මොවුන්ට සියලු බල පරාක්‍රම ඇතැයි සලකන ලද දහස් ගණන් දෙවියන්ගෙන් කිසිම පිහිටක් නොලැබුණේය. මහත් බල ඇතැයි මහත් ගෞරවයෙන් සලකනු ලබන තාරා දෙවියන්ගේ ප්‍රතිමාව දහස්ගණන් කැබලි වලට පොඩිකර දමන ලදී. දහස් සංඛ්‍යාත භික්ෂූන්ගේ රුධිරයෙන් ඔවුන්ගේ අසිපත දවා බොහෝ විහාර මුලසුන් කරන ලදී.

මෙකී විපතින් අපරාධ හානිය අපමණය. ජීවිත විනාශයත් ඉතා අගනා පොත් රාශියක් අයවීම හා කර්මාන්ත අතින් ඉතා සැලකිය යුතු ගොඩනැගිලි රාශියක විනාශ සිදුවු නමුත් ඉන් එක්තරා යහපතක්ද ඇති විය. එනම් මිනිසුන්ගේ දෙවියන් ගැන පැවැති ප්‍රමාණතික්‍රාන්ත විශ්වාසය හා මන්ත්‍ර තන්ත්‍රාදියෙන් ඕනෑම බලවත් දෙයක්කළ හැකි යැයි පැවැති මිත්‍යා විශ්වාසයත් මහ ප්‍රවාහයකට අසුවු දඬුකඩක් මෙන් මද ප්‍රතිශ්ථාවකුදු නැතිව ගසා ගෙන යෑමයි.

මෙසේචෛත්‍යරාම හා භීක්‍ෂූන් මුළුමනින්ම නැතිවීමෙන් ආගමික කටයුතු කිරීමට ක්‍රමයක් නැතිවූයෙන් ආගම අමතක වී ගියේය. ඔවුනතුරෙන්

බුද්ධාගම මෙසේ ක්‍රමයෙන් තම ජන්ම භූමිය වූ භාරත දේශයෙන් අතුරුදන්විය.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]