UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සංවේගය දනවන ඉසිපතනය නම් වූ සොඳුරු පින්බිම

පහන් සංවේගය දනවන ඉසිපතනය නම් වූ සොඳුරු පින්බිම

ධම්මරාජිකා ස්ථූපයට සමීපයෙන් පිහිටි ගන්ධකුටි විහාරය බුදුරදුන් වැඩ සිටිය කුටිය ලෙසින් මෙන්ම උන්වහන්සේ ප්‍රථම වස් සමාදානය සිදු කළ ස්ථානය ලෙසින් ද සැලකේ. දිගින් අඩි 18.29 ක් පමණ වන සම සතරැස් පදනමක් මත මෙම ගොඩනැගිල්ල ඉදිකොට ඇත. සියුං සියෑංගේ විස්තරයට අනුව පසුකාලයේ දී මෙම ගොඩනැගිල්ල විහාරයක් ලෙසින්ද භාවිත කොට ඇත. මෙහි වහල රනින් නිමවන ලද අතර ධර්මචක්‍ර ප්‍රවර්තන මුද්‍රාව නිරූපණය වන ‘තාම්‍රමය’ බුද්ධ ප්‍රතිමාවක් මෙහි වූ බවත් ප්‍රධාන විහාර මන්දිරය වටා සියගණනක් කුඩා ආරාම හා ස්ථූපයන් වූ බවත් හියුං සියෑං සඳහන් කරයි. එමෙන්ම ගන්ධකුටියට යාබදව හමු වූ ක්‍රි. ව. පළමුවන සියවසට අයත් බෝධිසත්ව පිළිමයක් සඳහන්ව ඇති. ‘චංකමන’ යන වචනය පදනම් කර ගනිමින් බුදුරජාණන් වහන්සේ සක්මන් කළ මළුවද ගන්ධකුටිය සමීපයේම වූ බව පුරාවිද්‍යාඥයින් විසින් අනුමාන කෙරේ

ඇසළ පෝය වනාහි බුද්ධ චරිතයට හා ඓතිහාසික ශාසනික සිද්ධිනට සම්බන්ධ වූ දිනයක් ලෙසින් සිහිපත් කෙරෙන බැවින් වාර්ෂික බෞද්ධ දින දර්ශනය තුළ ද එදිනට සුවිශේෂ තැනක් ලබා දී ඇත. සිද්ධාර්ථ කුමරුන් මායාදේවිය කුස පිළිසිඳ ගැනීම, වසර විසිනවයක් වැනි කාලයක් ගිහි සැප විඳ සියල්ලේ අනියත බව දැන සත්‍ය හා කුසලය (කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී) කුමක්ද යන්න සොයා ගිහිගෙයින් නික්මයාම හා සයවසක් දුෂ්කර ක්‍රියා කොට සර්වඥත්වයට පත්ව, තමා අවබෝධ කොට ගත් ධර්මය දේශනා කිරීම සඳහා බරණැස ඉසිපතනාරාමයට (බාරාණසියං විහරති ඉසිපතෙන මිගදායෙ) වැඩ පස්වග තවුසනට (පඤ්වග්ගියේ භික්ඛු) දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කිරීම හා පැවිදි බවට පත්කිරීම මෙදින සිදු වූ බුද්ධ චරිතය හා සම්බන්ධ වැදගත් සිද්ධීන් ලෙසින් පෙන්විය හැකිය.

දම්සක් පැවැතුම් සූත්‍රය දේශනා කිරීම සඳහා පසුබිම වූ බරණැස ඉසිපතානාරාමය ද මෙදින වඩාත් බෞද්ධ ජනතාවගේ අවධානයට ලක්වනු ලබන වැදගත් භාරතීය බෞද්ධ පූජනීය ස්ථානයක් වන අතර මේ සඳහා ඉසිපතන මුල්කොට ශාසනික වශයෙන් සිදු වූ වැදගත් කරුණු කීපයක් වේ. එනම් බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනය හා වස් සමාදානය, භික්ෂු ශාසනයේ ආරම්භය මෙන්ම ප්‍රථම පැවිද්ද, ප්‍රථම සෝවාන් හා රහත් භික්ෂූන් ශාසනයේ ඇතිවීම, යසකුල පුතුගේ පැවිද්ද, උපාසක උපාසිකා පිරිස ශාසනයේ ප්‍රථමයෙන් ඇතිවීම, ප්‍රථම රහත් සැටනම ධර්ම දේශනා කිරීම සඳහා වැඩම කිරීම යන කරුණු ඒ අතරින් වැදගත් ය. බෞද්ධයන් විසින් දැකිය යුතු බැලිය යුතු මෙන්ම වැඳ පුදා සංවේගයක් ඇති කරගත යුතු සතර ස්ථාන අතරින් එක් තැනක් ලෙසින් පළමු ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය ද පරිනිබ්බාන සූත්‍රයේ දක්වා ඇත. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන්ගේ පැවිද්දත් සමග සඟ සසුනේ මූලසම්භවය සනිටුහන් වන අතර උන්වහන්සේ සෝවාන් හා රහත්ඵලයට පත්වීමද මෙම භූමිය තුළ සිදුවීම නිසා බරණැස ඉතිපතනයේ ඓතිහාසිකත්වය නිරන්තරයෙන් වැඩි වූ අතර මෙම පුණ්‍යභූමිය දිගුකාලීනව වැදගත්ව පැවැති බව ද ඓතිහාසික සාක්ෂිවලින් සනාථ වේ. එබැවින් ඇසළ පෝයත් සමග මතකයට එන බරණැස ඉසිපතනාරාමයේ ඇති ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන මඳක් විමසා බැලිය යුතුය.

ඍෂිවරුන්ගේ වාස භූමියක් හෝ අසපුවක් මෙන්ම ඍෂිවරුන් නිරතුරුවම ගැවසීගත් ප්‍රදේශයක් වූ බැවින් ‘ඉසිපතන’ යන්නෙන් පුරාණයේදි මෙම ස්ථානය හඳුන්වනු ලැබුවද අද ‘සාර්නාථය’යන්නෙන් වඩාත් ප්‍රසිද්ධව ඇත. නීග්‍රෝධ මිග ජාතකයට අනුව බෝධිසත්වයන් වහන්සේ මුවන්ගේ ප්‍රධානියාව සිටි අවධියේ සාරංගනාථ නාමයෙන් හඳුන්වා තිබේ. ඇතැම්හු මෙම නාමය පදනම්කොට, මුවන්ගේ අභයභුමියක් (මිගදාය ලෙසින් සැලකු ඉසිපතනය සාර්නාථය ලෙසින් හඳුන්වන්නට ඇතැයි අනුමාන කෙරේ. එමෙන්ම හින්දු සමයට අනුව ශිව දෙවියන් හැඳින්වීම සඳහාද සාරංගනාථ වන විරුදය භාවිත කර තිබේ. එබැවින් කුමන අරුතක් මත හා කවර කලක සිට සාර්නාථ යන්න මේ ස්ථානයට භාවිත කරන්නේ ද යන්න පැහැදිලි නැත. එනමුත් මෙම ස්ථානයෙන් සොයාගත් ක්‍රි.ව. පළමුවන සියවසට පසු කාලීන වූ අභිලේඛන සාක්ෂිවලට ධර්මචක්‍ර විහාරය, සද්ධර්ම විහාරය, සද්ධර්ම ප්‍රවර්තන විහාරය, සද්ධර්ම ජින විහාරය යන නාමයන්ගෙන් ද මේ ස්ථානය හඳුන්වා ඇත.

සාර්නාථයේ ඓතිහාසිකත්වය ක්‍රි.ව. සවැනි සියවස දක්වා ඇත. ඈත අවධියකට සම්බන්ධ කරලීමට සාහිත්‍යමය මූලාශ්‍රයන් පොහොසත් මුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි විරලය. නමුත් මෞර්ය පාලන අවධිය වූ ක්‍රි.පූ. තෙවැනි සියවසේ සිට දෙළොස්වන සියවස තෙක් පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙම ස්ථානයේ ඇති බැවින් අඛණ්ඩ ඉතිහාසයක් සාර්නාථය සම්බන්ධයෙන් ගොඩනැඟිය හැකිය.

සංඝ සාමගි‍්‍රය අරභයා පේලි එකොළහකින් යුත් සංඝ සාමගි‍්‍ර ලිපියක්, උසින් අඩි හතළිහකට වැඩි, ධර්ම චක්‍රයක් සිය කයින් දරා සිව් දිශාවනට මුහුණ ලා වාඩි වී සිටින අලංකාර සිංහ රූපයන්ගෙන් සමවිත කුලුණු හිසක් ඇති රතුවන් ඔපවත් පාෂාණයන්ගෙන් නිමවන ලද කුළුනක අශෝකයන් විසින් ලියා ඇත. ඒනිසා ප්‍රථම අභිලේඛනය මේ ස්ථානයේ පිහිටුවීමේ ගෞරවය මෞර්ය පාලක අශෝකයනට හිමිවේ. එම ලිපියට අනුව මෙම ස්ථානයේ කිසිම භික්ෂුවක් හෝ භික්ෂුණියන් භේද නොවිය යුතු බවත් යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් සංඝභේදය ඇති කරලීම සඳහා උත්සාහ දරන්නේ නම් ඔහු හෝ ඇය සුදු වත් හඳවා අනාවාසයේ තැබිය යුතු බවත් මෙම ආඥාව සියලු භික්ෂුන්ට මෙන්ම භික්ෂුණින්ට ද දැන්විය යුතු බවත් එමෙන්ම බොහෝ දිනවල උපාසක උපාසිකාවන්ගේ මෙන්ම මහාමාත්‍රවරුන්ගේ දැන ගැනීම සඳහා ලියා තැබිය යුතු බවත් මෙහි සඳහන්ව ඇත. අශෝක රජුගේ අනුග්‍රහය මත සිදු කළ තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු මෙම ලේඛනය පිහිටු වන්නට ඇතැයි අනුමාන කෙරේ. මේ හා සමාන සංඝ සාමගි‍්‍ර ලිපි දෙකක් සාංචියෙන් මෙන්ම අලහාබාද් කෞශම්බියෙන් ද ලැබී ඇත. මෙම සාධකයනට අනුව සමකාලීන යුගයේ භික්ෂු මධස්ථානයක් ලෙසින් සාර්නාථය පැවැති බව ද මෙමගින් සනාථවේ.

තවද කුෂාණ යුගයට අයත් ලේඛනයක් මෙන්ම ගුප්ත යුගයට අයත් සම්මිතික නිකායිකයන්ගේ ලේඛනයක් ද අශෝක කුලුනෙහිම දැක ගත හැකිය. ගුප්ත පාලකයන් වන ස්කන්ධගුප්ත කුමාරගුප්ත රජුන්ගෙන් කනෞජයේ ගොවින්ද චන්ද්‍ර රජුගේ භාර්යාව වන කුමාරදේවියගේ මෙන්ම බෙංගාල පාලක වූ පළමුවන මහා පිලා රජු දවස ස්තිරපාල හා වසන්තපාල යන සොයුරන් විසින් මෙහි අභිලේඛන පිහිටුවා තිබේ. එමෙන්ම මෙම ස්ථානයට පැමිණී බැතිමතුන් විසින් කළ විවිධ පූජාවන් සම්බන්ධ තවත් අභිලේඛන රැසක් හමුවී ඇත. දහනමවන සියවසෙන් පසු මෙහි කළ පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයන් ලෙසින් දැනට විවිධ අවධිවලට අයත් අභිලේඛන සාක්ෂි හතළිස් එකකට නො අඩු ප්‍රමාණයක් සාර්නාථයෙන් හඳුනා ගනිමින් අර්ථ විවරණය කර තිබේ.

සාර්නාථයේ ඇති නටබුන් පිරික්සන විට එහි මුල් ස්ථූප නිර්මාණය ද මෞර්ය යුගයට අයත් බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව සනාථවන කරුණකි. ධම්මරාජිකා ස්ථූපය මෞර්ය යුගයේ දී ඉදිකරන ලද බව එම ස්ථානයේ කළ කැණීම් වලින් පැහැදිලි වේ. මුල් ස්ථූපය අඩි 13.45 ක පමණ විශ්කම්භයකින් යුතුව මෞර්ය යුගයේ දී නිමකරන්නට ඇතැයි ද පසුව කලින් කලට එහි විශ්කම්භය හා උස ප්‍රමාණය වෙනස් කරමින් ප්‍රතිසංස්කරණයන් කරන්නට ලදැයි ද පුරාවිද්‍යාඥයන් විසින් අනුමාන කෙරේ.

ධම්මරාජිකා ස්ථූපයට මඳක් ඔබ්බෙන් පිහිටි ධම්මෙච ස්ථූපය ද සාර්නාථයේ ඓතිහාසිකත්වය විදහා පෙන්වයි. සිලින්ඩරාකාර හැඩයකින් නිමවා ඇති උසින් අඩි 42.6 ක් පමණ හා විශ්කම්භය අඩි 28.5 පමණ වන මෙම ස්ථූපයේ මුල් නාමය ධර්ම චෙතිය බව ක්‍රි.ව. 1026 දී පිහිටුවන ලද අභිලේඛනයකින් සනාථ වේ. 20 වන සියවසේ මුල් කාර්තුවේ දී පුරාවිද්‍යාඥ ඇලෙක්සැන්ඩර් බනිම්හැම් විසින් මෙම ධම්මේඛ ස්ථූපයේ කළ කැණීමකින් ධාතු කරඬුවක් සොයා ගනු ලැබීය. ක්‍රි.ව. සවැනි, සත්වැනි සියවස්වලට අයත් බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් ලියන ලද එහි වූ “යෙ ධම්මා හේතුප්‍රභව“ යන වගන්තිය ද ඔහු විසින් කියවන ලදී. දම්සක් පැවැතුම් සූත්‍රයට සම්බන්ධ මෙම පාඨය පදනම් කරගනිමින් ඇතැම්හු බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනය පස්වග තවුසන් අරබයා මෙම ස්ථානයේදී දේශනා කරන්නට ඇති බව හා ඒ අනුස්මරණය කරනු පිණිස ධම්මෙඛ ස්ථූපය ඉදිකරන්නට ඇතැයි’ ද අදහස් කරති. එමෙන්ම මෙම ස්ථූපයේ ගර්භය වටා ඇති ගල් පුවරු මත මූර්තිමත් කොට ඇති මානව, සත්ව හා ලිය මෙන්ම මල් කැටයම් පුවරු පුරාතන භාරතීය කලා සම්ප්‍රදායේ ශිල්පීය ප්‍රතිභාව විදහා පෙන්වයි.

ධම්මරාජිකා ස්ථූපයට සමීපයෙන් පිහිටි ගන්ධකුටි විහාරය බුදුරදුන් වැඩ සිටිය කුටිය ලෙසින් මෙන්ම උන්වහන්සේ ප්‍රථම වස් සමාදානය සිදු කළ ස්ථානය ලෙසින් ද සැලකේ. දිගින් අඩි 18.29 ක් පමණ වන සම සතරැස් පදනමක් මත මෙම ගොඩනැගිල්ල ඉදිකොට ඇත. සියුං සියෑංගේ විස්තරයට අනුව පසුකාලයේ දී මෙම ගොඩනැගිල්ල විහාරයක් ලෙසින්ද භාවිත කොට ඇත. මෙහි වහල රනින් නිමවන ලද අතර ධර්මචක්‍ර ප්‍රවර්තන මුද්‍රාව නිරූපණය වන ‘තාම්‍රමය’ බුද්ධ ප්‍රතිමාවක් මෙහි වූ බවත් ප්‍රධාන විහාර මන්දිරය වටා සියගණනක් කුඩා ආරාම හා ස්ථූපයන් වූ බවත් හියුං සියෑං සඳහන් කරයි. එමෙන්ම ගන්ධකුටියට යාබදව හමු වූ ක්‍රි. ව. පළමුවන සියවසට අයත් බෝධිසත්ව පිළිමයක් සඳහන්ව ඇති. ‘චංකමන’ යන වචනය පදනම් කර ගනිමින් බුදුරජාණන් වහන්සේ සක්මන් කළ මළුවද ගන්ධකුටිය සමීපයේම වූ බව පුරාවිද්‍යාඥයින් විසින් අනුමාන කෙරේ.

ප්‍රධාන සිද්ධස්ථානයනට දකුණින් කිලෝ මීටර් භාගයක පමණ දුරකින් පිහිටි ඡුක්ඛන්දි හෙවත් සම්මුඛ චෙතිය බුදුරදුන්ට පස්වග තවුසන් හමු වූ ස්ථානය ලෙසින් සලකනු ලබන අතරම අශෝක රජුගේ නිර්මාණයක් ලෙසින්ද ඇතැම්හු විශ්වාස කරන මුත් සනාථ කරලීම සඳහා පුරාවිද්‍යාත්මක සාධක විරලය. උසින් අඩි 44 ක් පමණ වන ඡුක්ඛන්දී ස්ථූපය සම සතරැස් ආකාරයට නිමවා ඇත. මහල් කීපයක් ඇති අතර මෙහි උතුරු දොරටුවෙන් මුගල් පාලක අක්බර් විසින් පිහිටුවන ලද අභිලේඛනයක් සොයා ගෙන ඇත.

මීට අමතරව ප්‍රධාන විහාර භූමිය වටා විවිධ යුගයන්හි නිමවන ලදැයි සිතිය හැකි ආරාම සමූහයක් දැක ගත හැකිය. හියුං සියැං සඳහන් කරන ආකාරයට භික්ෂූන් එක්දහස් පන්සියයක් පමණ ඔහු පැමිණි සත්වන සියවස වන විට මෙම ස්ථානයේ වාසය කර තිබේ. කුමාරදේවියගේ අභිලේඛනයට අනුව ඇය විසින් ද භික්ෂූන් සඳහා ආරාමයක් මෙහි ඉදිකර තිබේ. පුරාවිද්‍යාඥයන් විසින් ආරාම සංකීර්ණයට අයත් ගොඩනැගිලිවල පදනම් රාශියක් දැනට මතු කර ගෙන ඇති අතරම සමහරක් තහවුරු කර ද තිබේ. එමෙන්ම විහාර භූමිය තුළ විවිධ යුගවලට අයත් වන, භෂ්මාවශේෂයන් තැන්පත් කරමින් ගලින් නිමවා කැටයමින් අලංකාර කර තිබෙන අනුස්මරණීය කුඩා ස්ථූපයන් රැසක් ද සුරක්ෂිතව ඇත .මෙහි වැඩ සිටි භික්ෂූන් හෝ එවකට ශාසනයේ ප්‍රධානින් ලෙසින් විසූ තෙරුන් වහන්සේලාගේ යැයි සිතිය හැකි මෙම කුඩා අනුස්මරණීය ස්ථූපයන් හා විහාර භූමියේ ඇති ඇතැම් ආරාමීය සැලසුම් ද මුල් කාලයේ දී ථෙරවාදී මධ්‍යස්ථානයක් වූ සාර්නාර්ථය පසු කාලය වන විට මහායානික භික්ෂුන්ගේ වාසභූ®මියක් වූ බව නිහඬව කියා පායි.

දැනට සාර්නාථයේ කර ඇති කැණීම් වලින් විවිධ යුගවලට අයත් බුද්ධ ප්‍රතිමා මෙන්ම බෝධිසත්ව පිළිම මෙන්ම අනෙකුත් මූර්තීන් රැසක් ද හමුවී ඇත. පස්වැනි සියවසට අයත් බුදුරදුන්ගේ ධර්මචක්‍ර මුද්‍රාව විදහා දැක්වෙන ‘සාර්නාථ බුද්ධ ප්‍රතිමාව ‘ලෙසින් ප්‍රසිද්ධ බුදු පිළිමය ඉන්දීය ප්‍රතිමාකරණයේ වර්ධන අවධියක් සනිටුහන් කරයි. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුද්ධ කයට සමාන උසින් හා මහතින් යුතුව මෙම පිළිමය නිමකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මූලගන්ධ කුටිය සමීපයෙන් හමුවූ කුෂාණ යුගයට අයත් විශාල බෝධිසත්ව ප්‍රතිමාවද සුවිශේෂ වූවකි. අක්ෂර සහිත පැරැණිතම බෝධිසත්ව ප්‍රතිමාව ලෙසින් මෙය සැලකේ.

අශෝක කුලුනෙහි වූ කුලුනූ හිස මෞර්ය කලා සම්ප්‍රදායේ විශිෂ්ටත්වය විදහා දක්වන අතර බෞද්ධ ධර්මයේ ඇති සුවිශේෂත්වය ව්‍යංගාර්ථවත්ව ප්‍රකාශ කරයි. සිංහයන් සිවුදෙන බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය සිංහ බව විදහා පෙන්වන අතර සිවු දිසාවට මුහුණලා ගරාදි 32 ක් පමණ ඇති විශාල ධර්ම චක්‍රයක් දරාසිටීමෙන් ධර්මය සිවු දිශාවනට පැතිරී ගිය ආකාරය දක්වයි. සිංහ රූපයනට පහතින් වෘත්තාකාර කොටසේ ඇත්, අස්, සිංහ, මෙන්ම ගව යන රූපයන් දක්නට ඇති අතර ධර්ම චක්‍ර මැදි කරගෙන වෘත්තය වටා දුවන ඉරියව්වක් මූර්තිමත් කරයි. සතර සත්ව රූපයන් ගෙන ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, හා ක්ෂුද්‍ර යන වර්ණයන් නිරූපිත වන්නට ඇතැයි සිතිය හැකි අතර ධර්ම චක්‍ර යෙදීමෙන් ධර්මය සෑම වරණයකටම සාධාරණය මෙන්ම ධර්මය තුළින් සැමට විමුක්තිය ලබාගත හැකිය යන්න අදහසක් ඉන් ඉස්මතු කෙරෙනු යැයිද අනුමාන කළ හැකිය. මේ සම්බන්ධ මතවාද රාශියක් දැනට ඉදිරිපත්ව ඇත. සාර්නාථයේ අශෝක කුලුනු හිස ඉන්දීය රාජ්‍ය ලාංඡනය බවට ද වර්තමානයේ දී පත්ව ඇත. මීට අමතරව ගලින් හා මැටියෙන් නිමවන ලද ප්‍රතිමා මානව,සත්ව මෙන්ම වෘකෂ ලිය හා මල් කැටයම් හා මූර්තින් පන්සියයකට නොඅඩු ප්‍රමාණයක් සාර්නාථයේ කළ කැණීම් මගින් සොයාගෙන ඇති අතර දැනට ඉන් බොහෝමයක් සාර්නාථ කෞතුකාගාරයේ තැම්පත් කර තිබේ.

දොළොස්වන සියවස තෙක් දියුණු බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙසින් පැවැති සාර්නාථය ඉන් පසු එල්ල වූ විදේශීය ආක්‍රමණයනට ක්‍රමයෙන් ගොදුරු වීමත් සමග එහි පරිහානියද කඩිනම් විය. හූණ ආක්‍රමණිකයකු වූ මිහිරකුල ආක්‍රමණිකයකු වූ ගුර්හි මොහොමඩ්ගේ සෙන්පතියකු වූ කුටුම් උද්දින් විසින් ද බොහෝ ආගමික බෞද්ධ සිද්ධස්ථානයන් විනාශ කොට ඇත. කැණීමකදී එකම කාමරයක තැම්පත් කොට තිබූ විශාල බුද්ධ ප්‍රතිමා රාශියක් සොයාගත් ඇලෙක්සැන්ඩර් බනිම්හැම් දක්වන ආකාරයට මෙලෙසින් එල්ල වූ ආක්‍රමණ අවස්ථාවකදී මෙහි විසූ භික්ෂූන් විසින් ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයෙන් මෙම ප්‍රතිමා බේරා ගැනීම සඳහා මෙසේ තැම්පත් කරන්නට ඇති බවය. කෙසේ වුවද දොළොස්වන සියවසෙන් පසු මෙම ස්ථානයෙන් ලැබෙන පුරාවිද්‍යාත්මක තොරතුරු සීමිත වීමෙන් පෙනීයන්නේ ද සාර්නාථයේ පැවැති ශ්‍රී විභූ®තිය ක්‍රමයෙන් පරිහානිය අවධියක් කරා ගමන් කළ බවකි.

18 වන සියවසේදී බෙනාරිස්වල ප්‍රාදේශීය අධිපතියකු ලෙසින් විසූ ජගත්සිංහ වැන්නන් වස්තු තණ්හාවෙන් විනාශ කරන ලද අතර ලක්දිවින් ඉන්දියාවට පැමිණි බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා බෞද්ධ සිද්ධස්ථානයන් පත්ව ඇති තත්ත්වයත් බෞද්ධ පුරාවස්තුවලට වන විනාශයත් සියැසින් දැක තිර අදිටනින් ගත් ක්‍රියා මාර්ගවල ප්‍රතිඵලයක් ලෙසින් වර්තමානයේදී සමස්ත බෞද්ධයනට බෞද්ධ සිද්ධස්ථානයක් ලෙසින් බුදුරදුන්ගේ ප්‍රථම ධර්මදේශනය කළ ස්ථානය මෙන්ම සඟ සසුනේ සමාරම්භය සනිටුහන් වන බරණැස සාර්නාථය බලා ගැනීමේ අවකාශයද සැලැසුනු බව සඳහන් කළ යුතුය.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]