UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ වියේදීම සුසිරිතෙහි යෙදෙන්න

තරුණ වියේදීම සුසිරිතෙහි යෙදෙන්න

තරුණ මදයෙන් ඈත්ව පුළුවන් වෙලාවට ජීවිතයේ කරදර එකින් එක වැඩි වීමට පෙර තරුණ කාලයේදීම ගුණ දහමට නැඹුරු වුණොත් අර වයසට ගොස් ලබන පසුතැවිල්ලට වඩා හොඳ වේවි. නරක වැඩ වලට දුසිරිතට පෙළඹෙනවාට වඩා දහමට නැඹුරු වී ශක්තිය තිබෙන කාලයේදී ජීවිතයෙන් ධාර්මික සතුටක් ලබන්න මහන්සි වෙනවා නම් වඩා හොඳයි

ඒ ආකාස අනන්තායතන සිතට අරමුණු වෙන්නෙ අනන්තවූ මනෝමය ආකාසයෙහි ඒ කිසි ද්‍රව්‍යයක් සිතට පේන හිස්කම. එය අරමුණු කරන හිත ඊට කලින් ඇති වූ සියලුම සිත්වලට වඩා සියුම්.

මේ තත්ත්වය ලැබූ තැනැත්තා ඒ මනෝමය අහසෙහි සිත පිහිටුවමින් නැවත නැවත ඉන් නැගිටිමින් හොඳට එය සිතට පුරුදු කර ගන්නවා. හොඳට පුරුදු කර ගත්තාට පසු අනන්ත අහසෙහි සිත පිහිටුවා යම් විටෙක ඉන් නැගී සිට සිහි කරනවා. ඒ තමා නැඟී සිටීමට පෙර හිතේ හැටි. ඒ සිත නම් අනන්ත අහසෙහි අවසාන කරපු නිසාම අනන්ත වු විඥානයයි.

ඒ ගත වූ සිත වර්තමාන සිතින් මෙනෙහි කරමින් එහිම සිත බඳිමින් ඉන්න පුරුදු කරනවා. එවිට සිත බඳිමින් ඉන්න පුරුදු කරනවා. එවිට ඇතිවන හිත විඥානක අනන්තායතන සිතයි. හෙවත් අනන්ත විඥානයෙහි බැඳී පවත්නා සිතයි.

මෙසේ කලින් කියූ සිත දැන් අරමුණු කිරීමේදී අරමුණ ඉතා සියුම් නිසා අරමුණු කරන ඒ සිත ඉතා සියුම්. එය විඤ්ඤාණංචායතන සිත එයට සමවැද හෙවත් ඒ සිතින් අරමුණු කරමින් සිතෙහි පිහිටුවමින් බොහෝ වෙලා ඉන්නවා. නැගිටිනවා. නැවත නැවත මේ විදිහට එකඟත්වය හොඳට පුරුදු කර ගන්නවා. කැමැති විටෙක ඉන් නැගී සිටින්න. සිත කැමැති වෙලාවක් ඒ තත්ත්වයේ ඉන්න. කැමැති තැනදි එය ඇති කැර ගන්නවා. ඒ ශක්තිය විඤ්ඤාණංචායතන ධ්‍යාන සිතයි. මෙම ධ්‍යානය හොඳට පුරුදු කළ පසු ඔහු ධ්‍යානයෙන් නැගිට හෙවත් හිත ඉවත් කර ගෙන සළකා බලනවා. කලින් තිබූ ආකාසඤ්ඤායතන සිතේ නැති බව. ඒ ධ්‍යාන සිතේ දැන් මේ මොහොතේ කිසිදෙයක් නැති බව අරමුණු කරනවා. බොහෝ උත්සාහයෙන් මෙය කිරීමේදී ඔහුට පුළුවන් අර නැති බවෙහි හිත පිහිටුවන්න. ( නැති බව අරමුණු කර සිත එහි පිහිටුවන්න. ) ඒ සිතට අප ආකංචඤ්ඤායතන සිත ඔහුට ලැබී ඇතැයි කියනවා.

ආකිංචඤ්ඤායතන යනු කලින් ඇතිවූ සිතේ නැති බවයි. ඒක අරමුණු කරන සිතයි. දැන් ඔය නැතිවූ මේ නැති බව අරමුණු කරන හිත අතිශයින් සියුම්. සූක්ෂමයි. මේ ලැබූ ධ්‍යාන තත්ත්වයෙහි බොහෝ වේලා ඉන්න පුරුදු කරනවා. ඉන් නැගිටින්න කැමැති විධියට පුරුදු කරනවා. එය හොඳට පුරුදු වූවායින් පසු ඒ ධ්‍යාන තත්ත්වයෙන් නැගී සිටිනවා.

එසේ නැගී සිට තමාට ඇතිවූ ආකිංඤ්ඤායතන ධ්‍යාන සිතේ ආකාරය සිහි කරනවා. ඒ ඉතා සියුම් වූ ධ්‍යාන සිතේ ආකාරය මතක් කරගෙන ඒ පිළිබඳව හිත බඳිනවා. එය අරමුණු කරන්න පටන් ගන්නවා. ඒ අරමුණේ සිත ස්ථිරව කැමැති තාක් කල් පවත්වන්න ඔහුට පුළුවන් වුණාම ඒ අරමුණු කරමින් සිතක් ඇතිවෙනවා. ඒ සිත මේ තාක් ඇතිවුණාවූ සියලුම සිත්වලට වඩා සියුම්. සංඥාවක් ඇත්තෙත් නැත. නැත්තෙත් නැහැයි කියන තරමට සිතක් ඇත්තෙත් නැත. නැත්තෙත් නැහැයි කියන තරමට ඒ සිත සියුම්. ඊට දී තිබෙන නම නේවසඤ්ඤා නාසඤ්ඤායතන සිත කියලයි. ඊට නේවචිත්ත නාචින්තායතන කියන්නත් පුළුවනි. නේව වේදනා හා වේදනා තිබ්බත් වරදක් නෑ. ඒ සිතේ සියුම්කම කොයි තරම් ද කියතොත් ඒ ධ්‍යානයෙන් නැගී සිට ඒ දිහා බලා ඉන්න විට හිතත් ඇත්තෙත් නෑ. නැත්තෙත් නෑ කියන තරමටම සියුම් බව පේනවා. එහි තත්ත්වය පැහැදිලි කිරීමට නිදර්ශනයක් කියන්නම්. අපි හිතමු බෝතලේක තිබෙන තෙල් බේතක් බෝතලේකට වත්කරලා කියලා. දැන් අප කියන්නෙ අර පළමු බෝතලේ තෙල් නෑ කියල. නමුත් ඇඟිල්ල ගාල බැලුවොත් අර පළමු බෝතලේ තිබෙන තෙල් ඒ ඇඟිල්ලේ ගෑවෙනවා. තෙල් මායම තිබෙනවා. යාන්තම් තෙල් තිබෙනවා. ඔන්න ඔය වගේ සිතත් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන තරමට සිතක් තමයි නිරෝධය ඇතිවන්නේ. ඔය තත්ත්වයට සිත දියුණු කරාම නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. ධ්‍යානයක් පදනම් කරගෙන විපස්සනාව වඩල රහත් වූ කෙනෙකුටත් අනාගාමී වූ කෙනකුටත් මේ කියූ අන්දමට රූප ධ්‍යානයේ පටන් ධ්‍යානවලට සම වැදී සිත සියුම් කරගෙන ඇවිත් අන්තිමට නේවසඤ්ඤා නාසඤ්ඤායතන තත්ත්වයට සිත පමුණුවලා ඒ කියන්නේ සිතත් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන තත්ත්වය පමුණුවා ඊළඟට සිතේ හටගැන්ම නවත්වන්න පුළුවන්. සිතීම හෙවත් අරමුණු ගැනීමේ ක්‍රියාව සම්පූර්ණයෙන් නවත්වන්න පුළුවන්. ඒ තත්ත්වය තමයි නිරෝධය කියන්නෙ.

ඒ තත්ත්වයට පැමිණි තැනැත්තා වැඩිම ගණනේ සතියක් ඒ තත්ත්වයෙන් ඉන්නවා. කිසිම අරමුණක් නොගෙන කිසිම සිතීමක් නොගෙන. ඒක තමයි නිරෝධ සමාපත්තියට සමවැදීම කියන්නෙ. මෙසේම සතියකින් පසු ඒ තැනැත්තා ඉන් නැගී සිට නැවත සිතීමේ ක්‍රියාව කරන්න පටන් ගන්නවා. ඒ තත්ත්වයෙන් නැගී සිටින තැනැත්තා එදාම යම් ආහාරයක් ලැබිය යුතුයි. ඒ සතියක් නිරාහාරව සිටි නිසයි. ආහාරයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙනවා. එබැවින් එදා එතුªමාට දෙන දානය මහත්ඵල මහානිශංස එකක් වෙනවා.

ඉතින් නිරෝධ සමාපත්තිය කියන්නෙ ශරීරයක් තුළ ඉඳගෙන මේ ලෝකය තුළදීම නිර්වාණ තත්ත්වයට පත්වීමයි.

ප්‍රශ්නය - සමහර ගිහි පැවිදි වැඩිහිටියන්ගේ මතයක් වශයෙන් අද ඇතැම් තරුණ පිරිස් පන්සලට ඇති නැඹුරුවීම් මඳ යැයි කීවොත් ...

පිළිතුර-එසේ වන්නේ නම් ඊට ඒ තරුණ ඇත්තන්ගෙ ආශ්‍රය ප්‍රධාන සාධකයක් ලෙස බලපා හැකියි. පරිසරයට හා ආශ්‍රයට වැඩි දෙනා ගුණ දහමට නැඹුරු අයම ආශ්‍රය කරන්නේ නම් එසේ වීමට ඉඩක් නෑ.

නවීන තාලයට යුරෝපයෙන් බෝවී ගිය සමහර දේ නිසා ධර්මය ඉගෙන ගන්න ඒ අය අකැමැති ඇති. කොයිතරම් සතුටින් විනෝදයෙන් ඒ තරුණ කාලය ගත කළ යුතුව ඇත්දැයි යනුවෙන් සමහර විටෙක ඒ තරුණ අය සිතනවා වෙන්නත් පුළුවන්. ඒ කොයි තරම් සතුටින් විනෝදයෙන් කාලය ගත කළත් ඒ තරුණ මදයෙන් මත් වූ කාලයේදී පමණක් විය හැකියි.

ජීවිතයේ ප්‍රශ්නවලට කරදරවලට ගැටලුවලට මුහුණ දෙන විට කොයිතරම් දහමෙන් ඈත්වී සිටි අයකුට වුවත් පන්සලට නො ගොසින් දහමට නැඹුරු නොවී සිටීමට අපහසු වෙනවා.

ඉතින් විශේෂයෙන් වයසට යන විට ආගම හැර වෙන පිහිටක් නෑ කියන තත්ත්වයට පත්වන්නෙත් අර තරුණ පිරිස්මයි.

තරුණ මදයෙන් ඈත්ව පුළුවන් වෙලාවට ජීවිතයේ කරදර එකින් එක වැඩි වීමට පෙර තරුණ කාලයේදීම ගුණ දහමට නැඹුරු වුණොත් අර වයසට ගොස් ලබන පසුතැවිල්ලට වඩා හොඳ වේවි. නරක වැඩ වලට දුසිරිතට පෙළඹෙනවාට වඩා දහමට නැඹුරු වී ශක්තිය තිබෙන කාලයේදී ජීවිතයෙන් ධාර්මික සතුටක් ලබන්න මහන්සි වෙනවා නම් වඩා හොඳයි.

ප්‍රශ්නය - මෛත්‍රී භාවනාවෙන් සහ ආනාපානසති භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල දෙආකාර වන්නේ ඇයි ?

පිළිතුර - සමථ යනු ධ්‍යාන වැඩීමයි. විදර්ශනා භාවනාව යනු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සැළකීමයි.

මෛත්‍රී භාවනාව දියුණු කිරීමෙන් ධ්‍යාන ලබන්න පුළුවන්. ආනාපාන සතියෙන් සමථයත්, විදර්ශනාවටත් හුරු කරගන්නත් පුළුවන්.

සමථ භාවනාව වැඩීමේදී ප්‍රවේශම් නොවුණහොත් ඉන් පිරිහෙනවා.

අහසින් යන සාමණේර හාමුදුරු නමක් ඇල්කෙතක් රකින ළඳුන් කියූ ගීතයක් ඇහිල එතැනට ආවා.

ලෞකික ධ්‍යාන වලින් සෘද්ධි ලැබූවන් ප්‍රවේශම් නොවුණහොත් පිරිහෙන්න පුළුවන්. සමථවලින් ලබන ධ්‍යානයෙන් වුවත් ධ්‍යානාංගවල අනිත්‍ය දුක්ඛ ස්වභාවය මෙනෙහි කිරීමෙන් විපස්සනාව වඩන්න පු‍්‍රළුවන්. ධ්‍යාන පාදක විපස්සනාව කියන්නෙ එයයි.

ප්‍රශ්නය – බුද්ධෝත්පාද කාලයක් තුළ නැතිනම් එක් යුගයක් තුළ පහළ වන්නෙ එක බුදුවරයකු පමණ ද ?

පිළිතුර – එක් කාලයකදි එක් බුදුවරයකු පමණයි පහළ වන්නෙ. බුදුවරු දෙනමක් එක කාලය තුළ පහළ වන්නේ නෑ.

ප්‍රශ්නය – මහනායක හාමුදුරුවනේ සතර සතිපට්ඨානය හඳුන්වා දෙනවා නම් ...

පිළිතුර - සති යනු එළඹ සිටි සිහියයි. හොඳට සිතේ ඇති කර ගන්නා සෝදිසිමත් කමයි. ඊට යෝනිසෝ මනසිකාරය කියලත් කියනවා.

එසේ සිතේ සෝදිසියෙන් බැලිය යුතු කරුණු හතරට තමයි සතර සතිපට්ඨානය කියන්නෙ. පළමුව මේ කය නැතිනම් මේ ශරීරයේ හැටි සිහියෙන් බලන්න ඕනෑ. මේ ශරීරය හැදිල තියෙන්නෙ මොනවායින් ද ? අඩංගු වී තිබෙන්නෙ මොනවාද යනුවෙන් සිහියෙන් බැලීමයි කායානු පස්සනාව කියන්නෙ.

එවිට හිසකෙස්, ලොම්, නිය, දත් ආදි දෙතිස් කුණුපයෝ සිතට පෙනෙන්න වෙනවා. මේ ආදී වශයෙන් එළඹ සිටි සිහියෙන් බලන විට ශරීරයේ ස්වභාවය නොයෙක් අයුරින් පෙනෙන්නට පටන් ගන්නවා. හුස්ම ගැනීම හුස්ම පිටකිරීමත් ඊට අයිති වෙනවා. ඒ ගැන බැලිය යුත්තේ සිහියෙන්.

කය ඔස්සේ සිත යවා පරීක්ෂා කිරීම කායානුපස්සනාවයි. එය හොඳට සිත දියුණු කරමින් බලමින් බලන්නට ඕනෑ.

ඒ ඒ වෙලාවට සිතේ ඇති වන සතුට අසතුට මධ්‍යස්ථ ගතිය හෙවත් උපෙක්ෂාව බලන්න ඕනෑ.


නිරෝධ සමාපත්තිය

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]