ඉහළවත්ත ශ්‍රී ජයසුමනාරාමයේ
ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රවේදී, පරිවේණාචාර්ය
වෙලගෙදර අනෝමසිරි හිමි
යමකු නින්දා පරිභව කරන අදහසෙන් නොව අනුග්‍රහ බුද්ධියෙන් තවකකුගේ ඇති
වරද දකීද , තරවටු කොට හෝ අවවාද කරයි ද, එසේ වරද පෙන්වා දෙන කරුණාවන්ත
පඬිවරයා නිධානයක් පෙන්වා දෙන්නකු සේ සලකා සේවනය කළ යුතුයි. එබඳු කෙනකු
ඇසුරු කරන්නාට වැඩක්ම වේ. අවැඩක් සිදු නොවේ. ළදරුවා කියන දෙය හෝ කාරුණික
නම්, එයට පවා ඇහුම්කන් දී ඔහු කී දේ තුළ හෝ ගත යුත්තක් ඇතොත් ගත
යුතුයි.
එය අනතිමානි ගුණයයි.
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
නිධීනං ව පවත්තාරං - යං පස්සෙ වජ්ජ දස්සිනං
නිග්ගයිහ වාදිං මේධාවිං - තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජ මානස්ස - සෙය්‍යො හොති න පාපියො
ධම්ම පදය – පණ්ඩිත වග්ගය
කාරුණික පින්වතුනි,
අප භාග්‍යවත් වූ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ
වැඩවසන සමයෙක රාධ නම් භික්ෂුවක අරභයා ඉහත ගාථා ධර්මය දේශනා කළ සේක. එහි
තේරුම මෙසේයි.
යමකු නින්දා පරිභව කරන අදහසෙන් නොව අනුග්‍රහ බුද්ධියෙන් තවකකුගේ ඇති
වරද දකීද , තරවටු කොට හෝ අවවාද කරයි ද, එසේ වරද පෙන්වා දෙන කරුණාවන්ත
පඬිවරයා නිධානයක් පෙන්වා දෙන්නකු සේ සලකා සේවනය කළ යුතුයි. එබඳු කෙනකු
ඇසුරු කරන්නාට වැඩක්ම වේ. අවැඩක් සිදු නොවේ.
අප බුදුපියාණන් වහන්සේ කප් සුවහස් කාලයක් පාරමී පුරා අවබෝධ කරගත් ශ්‍රී
සද්ධර්මය ඉතාම නිර්මල ආර්ය දහමකි. එය ජීවිත යථාර්ථය අපට පෙන්වා දෙයි.
මිනිස් ජීවිතය නිරන්තරයෙන් ආශාවන්ගෙන් ගහනයි. මිනිසා යනු උසස් මනැසක්
ඇත්තායි. හැම විටම ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියන්ගේ
ක්‍රියාකාරිත්වය මත මිනිස් ජීවිතය රඳා පවතී. මේ ඉන්ද්‍රිය
ක්‍රියාකාරිත්වය තුළ දිවිගෙවන සත්වයා නිරතුරුවම සැප සොයයි. ඔහු සොයන මේ
සැපය කුමක් ද ? නිරන්තරව ඉන්ද්‍රියන් පිනවීමයි. එහෙත් ඉඳුරන් පිනවීමේ
මේ ආශාව සත්වයා සැපය කරා නොව දුක වෙතම පමුණුවයි.
අපි අනවබෝධයෙන් ඉන්ද්‍රියන් පිනවමින් අසීමිත ආශාවන් තෘප්ත කරගැනීම
වෙනුවෙන් ජීවිතය පවත්වාගෙන යන හෙයින් දුක කුමක්දැයි නිවැරැදි ලෙස
නොදකිමු. එහෙත් දුක යනු ඉඳුරන් පිනවීමෙන් ලබන සැපය තුළම පවතින්නකි.
එසේනම්, අප තුළ ඇතිවන අසීමිත ආශාව හෙවත් තෘෂ්ණාව පිළිබඳ යථාර්ථය අවබෝධ
කරගතහොත්, එයින් අපට සසර දුකෙන් නිදහස් විය හැකියි. එවිට එය නිරාමිස
සුවයක් මෙන්ම නිවන් සුවය ද වන්නේය.
දුකෙහි යථාර්ථය දහම් ඇසෙන් දැකගත යුතුයි. ඒ සඳහා පණ්ඩිතයන්ගේ එනම්
කල්‍යාණ සද්ජනයන්ගේ ඇසුර ඉතා වැදගත් වෙයි. ළදරුවා කියන දෙය හෝ කාරුණික
නම්, එයට පවා ඇහුම්කන් දී ඔහු කී දේ තුළ හෝ ගත යුත්තක් ඇතොත් ගත
යුතුයි. එය අනතිමානි ගුණයයි. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළ
ඉහත ගාථා ධර්මය තුළින් ද දක්වා වදාරන්නේ අනුග්‍රහ බුද්ධියෙන් වරද
පෙන්වා දෙන නුවණැති සද්පුරුෂයා නිධානයක් පෙන්වා දෙන්නකු සේ සලකා ඇසුරු
කළයුතු බවයි.
අප තුළ ඇති අසීමිත ආශාවන් යටපත් කොට කෙලෙස් මල බිඳ දමා යථාර්ථය දකින
අයුරු ද ඉහත ගාථා ධර්මය ඇසුරෙන් අපට විමසා දැන ගැනීමට හැකිය. මහත්
උත්සාහයෙන් අප හරිහම්බ කරන්නේ මුදල් ය. එය ධනයයි. එබඳු ධනයක් අවශ්‍යයි.
එහි වරදක් නැත. එහෙත් සද්ධර්මය නමැති මහත් ධනය කෙනකු උපයා ගන්නේ නම්
ඔහුට ඇතිවන සුවය හා සැනසීම අතිමහත්ය. එයින් ඔහුට ආර්ය සත්‍යය අවබෝධ
කරගැනීමට හැකිවනු නියතය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති ‘
නිධීනං’ යන වචනය ඔස්සේ විමසා බලන විට, තමන් ඉපැයූ ධනය අනවශ්‍ය ආකාරයට
වියදම් නොකර සුදුසු අවස්ථාවල ප්‍රයෝජනයට ගැනීම සඳහා නිධන් කොට තැබීම
ගැනද සිහිපත් වේ. එසේ නිධන් කර තබන සම්පත් ‘ නිධීනං’ ලෙස පෙන්වා වදාළහ.
ධනය හරිහම්බ කිරීම මෙන්ම තැන්පත් කිරීම ද අවබෝධයෙන් කළ යුතුය. නොයෙක්
ආපදාවන්ගෙන් විනාශ වන්නට නොදී සොර සතුරන්ගෙන් ආරක්ෂා වන ලෙස තැන්පත්
කරන ධන නිධාන ආකාර සතරක් පිළිබඳ ද ධර්මයෙහි විස්තර වේ. එයින් ‘ ථාවර
නිධාන’ යනු පොළොව හාරා පොළොව තුළ හෝ නොඑසේනම් උඩක හෝ ගල් ගුහාවක හෝ
තැන්පත් කරන ලද රන්, රිදී, මුතු මැණික්, කහවණු ආදී වස්තු සම්භාරයයි.
දෙවැන්න වන ‘ ජංගම නිධාන’ යනු දැසි දස්, ඇත්, අස්, ගව, එළු, කුකුළු,
ඌරු ආදී ඉරියව් පැවැත්මෙන් යුක්ත වන්නාවූ සත්ව සමූහයා වේ. තුන්වැනිව ‘
අජංගම නිධාන’ වශයෙන් දැක්වෙන්නේ මිනිසා විසින් ඉගෙන ගනු ලැබූ ශිල්ප,
කර්මාන්ත ආදියෙන් උපයා ගනු ලබන ධනය යි. ‘අනුගාමික නිධාන’ වශයෙන්
දැක්වෙන සිව් වැන්නෙන් අදහස් වන්නේ, දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම,
බණ ඇසීම සහ බණ දේශනා කිරීම ඇතුළු ඒ ඒ අවස්ථාවලදී එක්රැස්් කර ගන්නා වූ
කුසල කර්ම ආදියයි. ඒවා සුදුසු අවස්ථාවලදී නිසි ප්‍රයෝජන ලැබෙන මහත්
ආනිශංසදායක නිධානයක් බඳුය.
මේ නිධාන අතුරෙන් අනුගාමික නිධානයෙහි වන මහත් වටිනාකම වටහාගන්නා
තැනැත්තා සසර ගමන කෙටි කරගැනීම වෙනුවෙන් බොහෝ කුසල් දහම්හි නිරත වෙයි.
අසීමිත ආශාවන් තුළ ජීවත් වී සසර දුකට පත් නොවී, දුකෙහි යථාර්ථය දකිමින්
සැපය වූ නිවන සොයා ආර්ය පර්යේෂණයක යෙදෙන්නට උත්සාහ ගනියි. ඒ සඳහා
නිරන්තරයෙන් දහම දකින පුද්ගලයා පණ්ඩිතයකු විය යුතුයි. පණ්ඩිතයා හැමවිටම
යහපත් සිතුවිලි සිතයි, යහපත් වචන කථා කරයි, එසේම හේ යහපත් කර්ම සිදු
කරයි. ඒ නිසා අප නිරතුරුව මෙය සිහියේ තබාගෙන නුවණින්, ප්‍රඥාවෙන්,
හික්මීමෙන් කටයුතු කළ යුතු අතරම අනුගාමික නිධානයන් තැන්පත් කරගත
යුතුයි.
සැවැත් නුවර එක් දුප්පත් බමුණෙක් විය. ඔහුට ජීවිතය ගෙවා ගැනීමට නොහැකි
වූ නිසා, ආරාමයට ගොස් භික්ෂූන් වහන්සේට වත් පිළිවෙත් කර, මළුපෙත් අමදා,
දෙන දෙයක් භුක්ති විඳ පින් දහම් කරගෙන සිටියේය. දිනක් අලුයම ලොව බලා
වදාරණ භාග්‍යවතුන් වහන්සේට පින්වන්ත රාධ බමුණා පෙනුණි. ඔහුට රහත් වීමට
පින ඇති බැව් දැනගත් තථාගතයන් වහන්සේ රාධ බමුණා හමුවට පැමිණ, බමුණ
කුමක් කරන්නේදැ’යි විමසූ සේක. එවිට ඔහු, “ ස්වාමීනි, මම භික්ෂූන්ට බත්
බුලත් ආදියෙන් සංග්‍රහ කොට වසම්හ” යි කීය.
“රාධ තොපටත් බත් බුලත් ආදියෙන් උන්වහන්සේ සංග්‍රහ කරනවාද ?”
“එසේය ස්වාමීනි, එහෙත් ස්වාමීනි, මා මහණ වීමට යි කැමැති”
එවිට භාග්‍යවතුන් වහන්සේ සියලුම භික්ෂූන් කැඳවා, “මහණෙනි, මේ රාධ බමුණා
කළ උපකාරයක් සිහි ඇති කෙනෙක් වේදැ”යි විමසූ සේක. එවිට සැරියුත් මහ
තෙරණුවන් වහන්සේ “ස්වාමීනි දිනක් මා රජගහනුවර පිඬු චාරිකාවේ යෙදෙන විට
මොහු බත් හැන්දක් බෙදූ බව සිහි ඇතැ” යි කීහ. “එසේ නම් කළ උපකාරයට
කෙළෙහි ගුණ සැලකීමක් වශයෙන්, සසර දුකින් මිදෙනු කැමැති මොහු මහණ කළයුතු
යැ” යි බුදු හිමියෝ වදාළහ. “එසේය ස්වාමීනි මොහු මහණ කරම්හ” යි කියා
සැරියුත් හිමියෝ ඔහු මහණ කළහ.
රාධ භික්ෂුව දාන ශාලාවට ගිය කල්හි හැමදාම කෙළවර ආසනයම හිමි විය. මුල
සිට දානය පිළිගන්වාගෙන එන විට කෙළවර ආසනයට එන්නට පෙර දානය අවසන් වේ. ඒ
නිසා බත්, කැඳ ආදියෙන් රාධ භික්ෂුව මහත් පීඩාවට පත් විය. සැරියුත්
තෙරණුවෝ මේ බව දැනගෙන, රාධ භික්ෂුව සමඟ පිඬු සිඟා වැඩියහ. එහිදී උන්
වහන්සේ රාධ භික්ෂුවට අවවාද කළහ. මේ දේ කළ යුතුයි, මේ දේ නොකළ යුතුයි,
මෙසේ පිළිපැදිය යුතුයි වශයෙන් අවවාද දුන්හ. දින කිහිපයකට පසුව රාධ
භික්ෂුව රහත් බවට පත් විය. සැරියුත් තෙරණුවන් රාධ රහතන් වහන්සේ සමඟ
භාග්‍යවතුන් වහන්සේ හමුවට ගොස් එකත් පසෙක හිඳ ගත් විට උන්වහන්සේ රාධ
රහතන් වහන්සේ පිළිබඳ තොරතුරු විමසූ සේක. එවිට සැරියුත් තෙරණුවන් දන්වා
සිටියේ බොහෝම කීකරු, වැරැද්ද කියා දෙනවාට කැමැති, අවවාද දෙනවාට සතුටු,
වරදක් පෙන්වා දුන්විට තරහ ගන්නේ නැති, සුවච කීකරු ගෝල නමක බවයි.
ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ, “මහණෙනි, කීකරු හා සුවච විය
යුතුයි, අන්‍යයන්ගේ රළු වචනයට නොකිපිය යුතුයි, තමාට වඩා බාල කෙනෙක් වුව
ද අවවාද වශයෙන් යමක් කියයි නම් අවවාදය බාල නොවන නිසා සැදැහින් පිළිගත
යුතුය, අවවාද කරන්නා වූ කල්හි ධනයෙන් පිරිහි සිටි කල නිධන් කියන්නකු සේ
උසස් කොට සැලකිය යුතුයි, එවැනි අයකු ආශ්‍රය කිරීමට සුදුසුයි, එයින්
යහපතක් ම වේ, නපුරක් නොවේ” යනුවෙනි.
දැන් ඔබට ද මනාව අවබෝධ වනවා ඇති මේ කෙටි දහම් කරුණු විමසීම තුළින් අප
ළඟා කරගත යුතු ධනය කුමක් ද යන්න. මෙය ගවේෂණාත්මක ඇසකින් බලා හදවතින්
ක්‍රියා කරන්න. ඔබට ද මට ද ඉතා ම ඉක්මනින් මේ ගෞතම සම්බුද්ධ ශාසනය
තුළදීම ආර්ය සත්‍ය වටහා ගෙන සසර දුකින් අතමිදීමට පින, කුසලය ලැබේවා !
ඔබ සැමට තෙරුවන් සරණයි
|