UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පදවිගම්පල ගුණානන්ද නා හිමි

පදවිගම්පල ගුණානන්ද නා හිමියෝ මෙයට වසර 19 කට පෙර අපවත් වී වදාළහ. කෑගල්ල පදවිගම්පල ග්‍රාමයේ 1913 දී ජන්මලාභය ලැබූ මේ පින්වත් කුමරා රඹුක්කන දැලිවෙල විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූහ.

14 වැනි වියෙහිදි මවුපිය ආශිර්වාදය මැද උඩපමුණුව රජමහා විහාරාධිපතිව වැඩ විසූ හීනටිපනේ ධම්මානන්ද නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1927 දී ප්‍රවෘජ්‍යාවට පත්වූහ.

තම ගුරු දේවයාණන් වහන්සේ යටතේ පැවිදිවියට අවශ්‍ය මූලික අධ්‍යාපනය ලබාගත් උන්වහන්සේ පසුව, බෙලිගම්මන පිරිවෙන මහනුවර සංඝරාජ පිරිවෙන කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන හා පිළියන්දල තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය යන පිරිවෙන් තුළින් භික්‍ෂූ අධ්‍යාපනය ලබා 1942දී ප්‍රාචීන විභාගයට පෙනී සිටියහ.

1933 දී මහනුවර අස්ගිරි මහා විහාරීය උපෝෂතාගාරයේදි උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1935 දී කොළඹ බල පොකුණ රජමහා විහාරය පිළියන්දල, තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරය බටකැත්තර ශ්‍රී සුමනාරාමය යන විහාරස්ථානයන්හි නේවාසිකව වැඩහිඳිමින් බෞද්ධ සැදැහැවතුන්ගේ ආගමික හා ශාසනික කටයුතු වෙනුවෙන් අපරිමිත මෙහෙයක් නොපිරිහෙලා ඉටු කළහ.

එවකට පිළියන්දල තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ තුම්බෝවිල සුදර්ශන නාහිමියන් විසින් එම අවධිය වන විට පොල් අතු සෙවිලි කළ කුඩා ආවාසයක්ව පැවැති තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාමයෙහි අධිපති ධුරය මුන්වහන්සේට පවරනු ලැබූහ.

1954 දී තුම්බෝවිල එම ආවාසයට වැඩම කළ උන්වහන්සේ එතැන් පටන් ප්‍රදේශයේ දායක දායිකාවන්ගේ සිත් දිනා ගනිමින් එම ආවාසය සියලු විහාරාංගයන්ගෙන් සමන්විතවූ අංගසම්පූර්ණ පින් බිමක් බවට සංවර්ධනය කිරිම සඳහා ක්‍රියා කළේ දැඩි අධිෂ්ඨානයකිනි. ආගමික හා ශාසනික වශයෙන් ඉමහත් සේවාවක් ඉටුකළ ගුණානන්ද නාහිමියෝ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව හසල දැනුමක් හා අවබෝධයක් තිබුණි.

1956 දී බෝකුන්දර නගරයේ ගුණානන්ද ආයුර්වේද ආරෝග්‍ය ශාලාව ආරම්භ කරමින් උන්වහන්සේ පුරා වසර 30 ක් මුළුල්ලෙහි රෝගීන් විශාල පිරිසක් සුවපත් කළහ. උන්වහන්සේගෙන් සම්බුද්ධ ශාසනයටත් සමාජයටත් රටටත් සිදුවූ අමිල සේවාව අගැයීමට 1985 දී ‘ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මානන්ද’ ගෞරව නාමය සහිත සල්පිටි කෝරළේ ද්විතීය අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.

මෙවන් ආගමික ශාසනික හා සමාජිය මෙහෙවරක් ඉටුකරනු ලැබූ පදවිගම්පල ගුණානන්ද නාහිමියෝ 1994 අපි‍්‍රයෙල් 16 වැනිදා අපවත් වී වදාළහ.

උන්වහන්සේට නිවන් සුව ලැබේවා!


කොක්මාදුව අරියකිත්ති නා හිමි

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය, පලල්ල, වට්ටක්ගොඩ, ශ්‍රී නිදංගලාරාමය යන උභය විහාරාධිපති වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී කොක්මාදුව අරියකිත්ති නා හිමියන්ගේ තෙමස්පූර්ණ ගුණ සමරු පින්කම් මාලාව මැයි මස 04 – 05 යන දිනවලදී කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී රාත්‍රී ගුණ සමරු ධර්ම දේශනාවක් පවත්වා පසු දින ශතාධික මහා සංඝරත්නය උදෙසා සඟ සතු මහ දානයක් පූජා කිරීමට විහාරාධිපති පූජ්‍ය කැටවල ඉන්දසාර හිමියන් ප්‍රධාන ශිෂ්‍ය පිරිස හා දායක පිරිස කටයුතු යොදා ඇත.

කොක්මාදුව අරියකිත්ති නාහිමියන් මාතර, කොක්මාදුව වැවේගොඩදී 1953.01.23 වන දින ජන්ම ලාභය ලැබූහ. වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක තෙල්ලුඹුරේ ශ්‍රී අරියවංස නාහිමියන්ගේ හා කර්මාචාර්ය කොක්මාදුව සරණපාල හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස 1970.06.12 වන දින පැවිදි විය. තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමයේ නාකියාදෙණිය ශ්‍රී සරණපාල මහ පිරිවෙණින් අධ්‍යාපනය ලැබීය. 1976.06.09 වන දින මල්වතු මහා විහාරයේ දී උපසම්පදා විය. කැලණිය විශ්වවිද්‍යාල මඟින් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත් උන්වහන්සේ 1984 දී පාසල් ගුරු සේවයට පිවිස වසර 29ක් අධ්‍යාපනික සේවයක් සිදු කළහ.

තෙමසකට පෙර අපවත් වී වදාල කොක්මාදුව අරියකිත්ති ස්වාමීන් වහන්සේට නිවන්සුව පතමි.


ශ්‍රී කවීශ්වර නා හිමි

දේශීය විදේශීය වශයෙන් බුදුසසුනට ජාතියට මහ¼ගු සේවයක් කර ආභිධර්මිමකාචාර්ය මහෝපාධ්‍යාය නාවලපිටිය වේළුවනාරාමාධිපතිව සිටි සුගත සද්ධර්වාගිශ්වර ඇම්.යූ. ශ්‍රී කවිශ්වර නායක හිමියන් අපවත් වී වසර 45 කි.

1890 සැප්තැම්බර් 02 වැනිදා මීමනදී උපත ලබා 1905 දී පැවිදි ජීවිතයට පත්වී 1910 මැයි 10 වැනි දින බුරුම රටේදි ඇම්. යූ. ශ්‍රී විනයාංකාර හිමියන් ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උපසම්පදා විය. 1920 උපසම්පදා භික්ෂුවක් ලෙස ලංකාවට වැඩම කොට නාවලපිටිය නගරය ආශ්‍රය කරගෙන ශාසනික සේවාව ආරම්භ කරන ලදී.

1920 නාවලපිටිය වේළුවනාරාම විහාරය ආරම්භ කර ධර්ම ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇත. ඒවා අතර දුසිරිත් මර්දනය, බෞද්ධ ප්‍රතිපත්ති දීපනිය, බෞද්ධ මාර්ග දර්ශනය විහාරගම පාලනය හා බුද්ධ නීතිය ඥාණලෝකය දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය ග්‍රන්ථ රැසක් රචනා කරන ලදී.

කටුගස්තොට ශ්‍රී සිංහලරාමය සීගිරියේ සීගිරි පබ්බතාරාමය ලිදුලේ ශ්‍රී මහින්දාරාමය හා උලපනේ ඉසිපතනාරාමය විහාරස්ථාන වැඩි දියුණු කරන ලදී. නාවලපිටිය පස්භාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දරුවන්ගේ ඥානාලෝකය සඳහා ශ්‍රී කවිශ්වර වේළුවනාරාමය විහාරයේ ආරම්භ කල ශ්‍රී සුගත ධර්මෝද දහම් පාසල අද වන විට දරු දැරියන් 800 ක් දහම් අධ්‍යාපනය ලබති. 1968 මැයි 21 වැනිදා මෙම නා හිමියන් අපවත් විය.

උන්වහන්සේ කල ආගමික සංස්කෘතික සමාජිය මහ¼ගු සේවය අදත් ජනතාව සිහි කරති.


ගෙලිඔය ලොකු හාමුදුරුවෝ

සසුනඹරේ දිලෙන තරුවක් වන් ‘ගෙලිඔය ලොකු හාමුදුරුවෝ’යනුවෙන් කාගේත් ආදර ගෞරවයට පාත්‍රවී සිටින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය,ගෙලිඔය ශ්‍රී ජනරංජනාරාමාධිපති පුවක්දෙණියේ පඤ්ඤාරතන නා හිමියන් 97 වෙනි විය සපුරා,ඉකුත්දා (මාර්තු 8-11) සිවුදිනක් පුරා තත්විහාරස්ථ දායක කාරකාදීහු දීර්ඝායු පතා පින්කම් මාලාවක් පැවැත්වූහ.

1919 පෙබරවාරි 04 දා කෑගල්ල දිසාවෙ පුවක්දෙණිය ගම්මානයේ ජන්ම ලාභී ව මොලගොඩ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1934 දී පුවක්දෙණිය බෝධි රුක්ඛාරාමයේදී පුවක්දෙණියේ පඤ්ඤාරතන නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත්ව ගම්පොල වනවාස පිරිවෙනේදී ධර්මශාස්ත්‍රෝද ග්‍රහණය කළ හිමියෝ 1940 මැයි 06 දා කැලණිගඟ උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා වූහ.

1945 දී ගෙලිඔය ශ්‍රී ජනරංජනාරාමාධිපති පදවියට පත් පුවක්දෙණිය පඤ්ඤාරතන හිමියෝ 1955 බුද්ධජයන්තිය මුල්කරගෙන විහාර මන්දිරය ඉදිකර ශාසනික කටයුතු කරගෙන යන අතරේ වත්මන් ගෙලිඔය රජයේ මහා විද්‍යාලය 1952 දී තමන්වහන්සේගේ විහාරස්ථානයේ ඇරඹූහ. ප්‍රදේශයේ දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණවගාවන් සඳහා විහාරස්ථානයේ දහම් පාසලක් පවත්වා ගෙනයමින් විහාරස්ථදායක කාරකාදීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් කාගේත් ආදර ගෞරවයට පාත්‍රව වැඩ විසූ ගෙලිඔය ලොකු හාමුදුරුවෝ යනුවෙන් ඇමතු පුවක්දෙණියෝ පඤ්ඤාරතන මාහිමියෝ උඩුනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ සභික ධූරයකට පත්ව පසුව අනුවිජ්ජක ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක තත්වයට පත්ව 1980 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභාවට පත්වූහ. 1999 දී නිකායේ මහෝපාධ්‍යාය ධූරයට පත් ගෙලිඔය ලොකු හාමුදුවෝ කන්ද උඩරට පමණක් නොව ශාසනික සේවා කටයුතු වලින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රසිද්ධියට පත් මහ තෙරනමක්ව අදටත් බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරති.

ගෙලිඔය ශ්‍රී ජනරංජනාරාමාධිපති පුවක්දෙණියේ පඤ්ඤාරතන ලොකු හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමු.


නාමල්වත්තේ ආනන්ද හිමි

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ විශේෂ කර්මාචාර්ය තැඹිලිපොල රජ මහා විහාරය, කෝන්මිටියන පුරාණ මල්ගල විහාරය,රුක්අත්තනේ පුරාණ විහාරය,මැද්දේගොඩ පුරාණ ටැම්පිට විහාරය, යන සිව්මහා විහාරාධිපති ශාසන කිර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ , සමාජ සුබ සාධන ආචාර්ය සාහිත්‍ය කලා ශිරෝමනී ග්‍රන්ථකරන විභූෂණ ආචාර්ය කාව්‍ය කලා විභූෂණ ශ්‍රී සද්ධර්ම වාගීශ්වර අධ්‍යාපන දර්ශනවේදී පණ්ඩිත නාමල්වත්තේ ශ්‍රී ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත සියම් මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව වෙතින් “ ධර්ම කීර්ති ශ්‍රී සීලරතන” යන ගරු නාම සම්මුතිය සහිත කුරුණෑගල මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

බුදුසරණ ඇතුළු පුවත්පත් රැසකට ලිපි ලේඛන සපයන හිමිනමක් ලෙසද දම් රස වෑහෙන තල්පත් වරුණ, ”සොඳුරු දිවි පෙවෙතකට මඟ චුල්ල හත්ථි පදෝපම සූත්‍ර වර්ණනාව මතක වස්ත්‍රය පාංශුකූලය හා බුදු සිවුරේ වංස කථාව ආදි ග්‍රන්ථ සම්පාදනය කොට සාහිත කෙත පෝෂණය කිරීමෙහිලා උත්සුක වන කතුවරයෙකු ලෙසද උන්වහන්සේ ප්‍රකටය. සමාජ සුබ සාධනය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කරන අතර දහම් පාසල් ප්‍රධානාචාර්යවරයෙකු විභාග ශාලාධිපතිවරයෙකු තරග විනිසුරුවරයෙකු උත්තර පත්‍ර පරීක්‍ෂකවරයෙකු ලෙසද ක්‍රියා කෙරෙති.

දක්‍ෂ ධර්ම දේශකයෙකු පරිත්ත භාණකවරයෙකු ලෙස පළාතේ ගෘහස්ත ප්‍රවෘජිත සැමගේ ඉමහත් ගරු සම්භාවනාවට පත්ව ජාත්‍යාගමික කාර්යන්හිදි පුරෝගාමීව ක්‍රියා කරන විශේෂ කුසලතා වලින් හෙබි යතිවරයාණ කෙනෙකි.

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]