UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහ නා හිමි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක පදවියෙන් පිදුම් ලද තිරිකුණාමලය ගෝමරන්කඩවල රංගිරි උල්පත රාජමහා විහාරය, උප්පුවේලි ශ්‍රී ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අධිපති සිරි සුගත සාසනවංසාලංකාර සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය

අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහා නා හිමි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහානායක පදවියට පත්වී වදාළ අති පූජනීය සිරිසුගත සාසනවංසාලංකාර සිරි සද්ධම්මවංස පාල ගණාචරිය අහුන්ගලලේ සිරි සීල විසුද්ධි අභිධාන මාහිමිපාණන් වහන්සේ ධර්මෝපදේශයන්ට අනුකූලව භික්‍ෂු ජීවිතය පවත්වාගෙන යන දුර්ලභ ගණයේ උතුමන් වහන්සේ නමකි.

මුන්වහන්සේ අහුන්ගල්ලේ කැකිරිවත්ත සිරිවිජයාරාමයේදී ප්‍රවෘජ්‍යා භූමියට පත්ව ස්වකීය ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාගේ සහ අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ රංදොඹේ සංඝරාජ මහා විහාර ශික්ෂාලංකාර පිරිවෙනෙහි ධර්මාචාර්යයන් වහන්සේලාගේ මගපෙන්වීම නිසි පරිදි ලබාගෙන තරුණ යතිවරයන් වහන්සේ නමක් වශයෙන් මනාවූ භික්ෂු ආකල්පවලින් යුතුව ස්වකීය පැවිදි ජීවිතය ආරම්භ කර මේ වන විට වයෝවෘද්ධ,තපෝවෘද්ධ, ගුණෝවෘද්ධ, ඥානවෘද්ධ, මහ තෙරුන් වහන්සේ නමකගේ තත්ත්වයට පත්වි සිටිති.

ලබාගත් උතුම් පැවිද්ද දිවි හිමියෙන් ආරක්‍ෂා කරගෙන කුඩා වරදෙහි ද බිය දක්නා සුලුව ශික්ෂාකාමීව විනය ගරුකව ලාභසත්කාරවලට ගිජු නොවී සැහැල්ලු පැවතුම් ඇතිව මහණදම් පුරන නාහිමියන් තුළ කැපී පෙනෙන උදාර ගුණාංග බොහෝය. ශ්‍රද්ධාසම්පන්නබව, ශික්ෂාකාමී බව, විනයගරුකත්වය, හිරි ඔතප් සම්පන්න බව, උජුපටිපන්න ගුණය, ආදර්ශවත් නායකත්වය,නොපසුබට උත්සාහය, නිර්භීතබව, පරාර්ථකාමී බව, කාරුණික බව ...යන ආදිය ඉන් ස්වල්පයකි.

තිස්වසරක යුද සමය තුළ බිහිසුණු යුද්ධයේ අති භයංකර බව, කුරිරුබව නිසාම උන්වහන්සේ කම්පාවට පත්වූ අවස්ථා කීපයකි. ස්වකීය විහාරස්ථානය වන උප්පුවේලි විහාරයේ වැඩ සිටියදී එම විහාරස්ථානය ඉදිරිපිට උප්පුවේලි පොලිසියට එල්ලවූ ප්‍රහාර,ආගමික කටයුත්තකට වැඩමවන අවස්ථාවේ නිලාවැලි ප්‍රදේශයේදී එල්ලවු ප්‍රහාරය, මහ මග වැඩමකරවන විට මොරවැවදී එල්ලවූ ප්‍රහාරය ඉන් කීපයකි. අදත් උන්වහන්සේ පීඩා විඳින ප්‍රහාරයකට මුහුණ දුන්නේ 1985 වසරේ කච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරයේදීය. මෙහිදී රුදුරු ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවූ උන්වහන්සේ සමග සිටි පොලිසියේ හා නාවික හමුදාවේ සෙබළුන් කීප දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙද්දී උන්වහන්සේගේ ජීවිතය ආරක්ෂාවූයේ තෙරුවන් සතු ගුණ බලයෙන් හා තමන් වහන්සේගේ නොකැලල් පැවිදි දිවියේ අනුහසින් විය යුතුය. එහෙත් මෙම ප්‍රහාරයේදී බලවත් ලෙස තුවාල ලැබූ උන්වහන්සේගේ ශරීරයෙහි එම ප්‍රහාරයේ උණ්ඩවල කොටස් අද දක්වාත් තැනැපත්ව ඇත. ඉන් වසරක් ගතවෙන තැන 1986 උන්වහන්සේ මුහුණපෑවේ තම හදවත බෙහෙවින් සසලකරවූ ඉතාම වේදනා සහගත අවස්ථාවකටය. දරුසෙනෙහසින් හදා වඩාගත් තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වූ බලංගොඩ සෝභිත හිමියෝ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් බස් රථයක අටවා තිබූ කාල බෝම්බයකට අසුවී කන්තලේ ප්‍රදේශයේදී මව්බිම වෙනුවෙන් දිවි පිදූහ.

මෙම සිදුවීම නා හිමියන් තුළ බලවත්ම සංවේගයක් ජනිත කරවීමට හේතු විය.මෙම අමානුෂික ඝාතනය නිසා ඇතිවූ වේදනාව උන්වහන්සේ උපයෝගි කරගත්තේ ස්වකීය ශිෂ්‍ය රත්නයට උපහාර දක්වා පින් අනුමෝදන් කරවීම පිණිස මෙබඳු ම්ලේච්ඡ ප්‍රහාරවලින් දිවි රැකගැනීමේ ගැටලුවට මුහුණ පා යන එන මං නැතිව සිටි අසරණ ජනතාවට පිහිට වීමටය. මේ ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කර පදිංචි කරවීමට තමන් වහන්සේගේ උප්පුවේලි විහාරස්ථානයට ලැබුණ ත්‍රිකුණාමල නගරයේ ඉතා වටිනා ඉඩමක් වූ අක්කර 03 1/2ක පමණ භූමි භාගය එම ජනතාවට පරිත්‍යාගර විවිධ පරිත්‍යාශීලින්ගේ සහ සංවිධානවල සහයෝගයෙන් නිවාස 32 ක් තනා “ශ්‍රී සෝභිත ගම්මානය” නමින් ගම්මානයක් ඉදිකර ජනතාව පදිංචි කරවූහ. ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගම්බිම් අතහැර යන ජනතාව දුටුවිට තවදුරටත් නිහඬව සිටිය නොහැකි තැන ජනතාව නැවත පදිංචි කරවීමේ අති භාරදූර කාර්යයට අතගැසූහ. ගෝමරන්කඩවල රංගිරි උල්පත ගම්මානය වැනි ගම් කීපයක් නැවත ජනාවාස වූයේ ඒ අනුවය. ත්‍රස්තවාදී තර්ජන නොඅඩුව පැවති වටපිටාවක මහ වනය මැද උන්වහන්සේ නැවත ගමක් ඉදිකළහ. කටුමැටිගසා ගෙවල් තැනූහ. පරිත්‍යාගශීලින් වෙත වැඩමවා විවිධ ආධාර ලබාගත්හ. මේ සියල්ලට වඩා දුෂ්කර වූයේ යුද බිය නැති ප්‍රදේශවලට ගොස් ආරක්‍ෂාකාරීව සිටි ජනතාව සොයා ගොස් ඔවුන් තුළ ආත්ම විශ්වාසය හා චිත්ත ධෛර්ය ඇතිකර, ජීවත්වීමට කිසිම ආදායමක් නැති ත්‍රස්තවාදී තර්ජනවලින් නොමිදුණු වටපිටාවක මහ වනයක් මැද පිහිටි ගමකට ආපසු පැමිණීමට කැමති කරවා ඔවුන් කැඳවාගෙන ඒ මය.

නා හිමියෝ ත්‍රස්තවාදීන්ට බියෙන් ගම හැරයාමේ ආදීනව හා මව්බිම රැකගැනීමේ අවශ්‍යතාවය ඔවුනට පෙන්වා දුන්හ. ඔවුන් තුළ චිත්ත ධෛර්ය ඇතිකළහ. සියලු වගකීම් උන්වහන්සේ භාර ගත්හ. ගොවිතැනක් කර ජීවන මාර්ගයක් සකසා ගන්නා තෙක් ඔවුන් ජීවත්කරවන බවට ඇපවූහ. ඒ විශ්වාසය මත ඔවුහු උන්වහන්සේ හා එක්වූහ.ආපසු ගමට පැමිණියහ. වැව් දෙකක් ප්‍රතිසංස්කරණය කරවූහ. කෘෂි උපකරණ බීජ පොහොර සපයා දුන්හ. විවිධ පරිත්‍යාගශීලින් පොළඹවා වියළි සලකා ආදිය සපයා දුන්හ. නාහිමියන්ගේ දුරදක්නා නුවණත් අප්‍රතිහත ධෛර්යයත් ඍජු තීන්දු තීරණත් නිසා රංගිරි උල්පත, කුරුඟම, ඔන්නිච්චං කුලම ආදී ගම්වල ජනතාව අද වන විට ගෙවතු සරුකරගෙන යම් පමණකට මාර්ග, ජලය, විදුලිය වැනි පහසුකම් සහිතව බියෙන් සැකෙන් තොරව ජීවත් වෙති. සිංහල ජාතිය මෙම ප්‍රදේශවලින් පලවා හැරිමට ත්‍රස්තවාදීන්ගේ උත්සාහයන් නිරායුධ බුද්ධපුත්‍රයන් වහන්සේ නමක විසින් ව්‍යර්ථ කරන ලද්දේ ඒ අන්දමටය.

ත්‍රස්තවාදී තර්ජන මැද වුවද ආර්ථික සමෘද්ධිය සලසා ගත හැකි නම් තමන්ගේ කෘෂිකාර්මික කටයුතුකරගෙන යාමට පහසුකම් ඇත්නම් ගම රට අතහැර යන ජනතාව නතර කරගත හැකි බව වටහා ගත්හ. රණවිරුවන්ගේ ශ්‍රමයත්, රජයෙන් සහ සම්පත් දායකයින්ගෙන් ලබාගත් සම්පතුත් උපයෝගි කරගෙන ඇටඹ වැව, නාවා උල්පතවැව, කුරුඳුගම වැව,අහැටු වැව, කුඩා කුඹුක් වැව සහ රංගිරි උල්පත් වැව වැනි වැව් ප්‍රතිසංස්කරණය වූයේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵල වශයෙනි. අද අක්කර සිය ගණනක් වගා කරගෙන පවුල් සිය ගණනක් ජීවත් වන්නේ උන්වහන්සේට පින්දෙමිනි.

ත්‍රිකුණාමල නගරයේ උප්පුවේලි විහාරස්ථානය ආරම්භ කර මේ වන විට අවශ්‍ය සියලු ගොඩනැගිලි ප්‍රමාණවත්ව ඉදිකර අවසන් කර තිබේ.බිහිසුණු යුද්ධය සක්‍රීයව පැවති වකවානුවේම, ගෝමරංකඩවල රංගිරි උල්පත මහ වනය මැද පිහිටි රංගිරි උල්පත රජමහා විහාරය කෙරෙහි අවධානය යොමුකර අද වන විට එය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කර තිබේ. විහාර භූමියේ රමණීය කඳුගැටයක් මත ශ්‍රී‍්‍ර ලංකාවේ ප්‍රථම රණවිරු සෑය නමින් වටිනා චෛත්‍යය ඉදිකළ අතර එහි විහාර මන්දිරය, බෝධි ප්‍රාකාරය, සංඝාවාසය පමණක් නොව අංග සම්පූර්ණ විශ්‍රාම ශාලාවක් ඉදිකර හමාරය. එමතු නොව විනයකර්ම සිදු කිරීමට සීමාවක් සම්මත කර ද සීමාමාලකයක්ද ඉදිකළහ.මෙම විහාරස්ථානයේ චෛත්‍යය දක්වා ගමන් කිරීමට ඉදිකර ඇති ශෛලමය පියගැට පෙළ වුණද පැරණි රජකාලයෙන් පසුව කරන ලද විස්මිත නිර්මාණයකි.

සෙම්බිමලේ කිණිහිරාය කන්ද චේතියගිරි විහාරය, කුච්චිවේලි සමුද්‍රගිරි පුරාණ රජමහා විහාරය, කුරුඳුගම රජමහා විහාරය, කහටගස්දිගිලිය දිය මයිලගස්වැව විහාර,කුරුණෑගල තෝරයාය ඩම්මද වත්ත සුදර්ශනාරාමය වැනි විහාරස්ථාන ඉදිකරමින් ප්‍රතිසංස්කරණය කරමින් අවශ්‍ය ගොඩනැගිලි ඉදිකර භික්‍ෂූන් වහන්සේලා පදිංචි කරවමින් ගන්නා උත්සාහය ශාසනයේ පැවැත්මට ඉතා හිතකරය.

කෙතරම් විහාරස්ථාන ඉදිකළත් එම විහාරස්ථාන ආරක්‍ෂා කරගෙන පවත්වාගෙන යමින් සැදැහැවතුන්ගේ කුදු මහත් ආගමික අවශ්‍යතා ඉටුකිරීමට සුදුසු භික්ෂූන් වහන්සේලා නොමැති නම් සම්බුදු සසුන සුරක්ෂිත නොවන බව වටහාගත් නාහිමිපාණෝ සුදුසු කුල දරුවන් පැවිදි උපසම්පදා කර ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ අධ්‍යාපනය ලබාදීමට දුර දක්නා නුවණින් යුතුව ක්‍රියා කළහ. එහි ප්‍රතිඵල වශයෙන් මාඑළියේ සෝරත හිමි, මාලිගාතැන්නේ ධම්මකිත්ති හිමි, නාගොල්ලේ කස්සප හිමි, වැහිගල සාරද හිමි, වම්බටුවැවේ සීලානන්ද හිමි, රංගිරි උල්පත සුගතවංස හිමි සහ රංගිරි උල්පත සුදස්සන හිමි යන මනා භික්ෂූ ආකල්ප වලින් යුතු, ගුරුදේවයන් වහන්ස්ගේ මග අනුගමනය කරමින් රට දැය සමයට සේවය කළ හැකි භික්ෂු පරපුරක් ශාසනයට දායාද වී ඇත.

කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කිසිම දේශපාලන කාර්යයකට සම්බන්ධ වී නැති කිසිම අවස්ථාවක ඡන්දය පාවිච්චිකර නැති උන්වහන්සේ මධ්‍යම රජයේ, පළාත් සභාවල සහ ප්‍රාදේශීය සභාවල රජයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිතුමන්ලාගේ ගෞරවයට පාත්‍රව සිටින අතර අවශ්‍ය හැමවිටම ආශිර්වාදයත් සහයෝගයත් ලබාගැනීමට උන් වහන්සේට හැකියාව තිබේ. විශේෂයෙන්ම උන්වහන්සේ අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ ගෞරවයටත් ප්‍රසාදයටත් පාත්‍රව සිටිති.

බිහිසුණු යුද සමයේ ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ගේ මාරාන්තික ප්‍රහාර හමුවේ බියගුළුව පලා නොගොස් ජීවිතය ගැන පවා නොසලකා විවිධ වදවේදනාවන්ට ලක්වෙමින් මව්බිමත් සම්බුද්ධ ශාසනයත් ජාතියත් ආරක්‍ෂා කරගැනීමට සැමදා කැපවුණු නාහිමිපාණන් වහන්සේ සැමදා සැමවිට රණවිරුවන්ට සමීපව සිටිමින් ඔවුනට පිහිට වෙමින් ආශිර්වාද කරමින් අවවාද අනුශාසනා කරමින්, ඔවුන් දිවි පරදුවට තබා කරන උදාර සේවය සැමවිට අගය කරමින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමට කටයුතු කළහ. එපමණක් නොව තම ආරාම පවා රණවිරුවන්ගේ අවශ්‍ය කටයුතු සඳහා වෙන්කර දෙමින් තමන් වහන්සේට ලැබෙන බොහෝ පිරිකර පවා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලබාදීමට පසුබට නොවූහ. ජීවත්ව සිටින රණවිරුවන්ට පමණක් නොව තම අගනා ජීවිතය මවුබිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන් වෙනුවෙන් මෙයට වසරකට පෙර ආරම්භ කළ වාර්ෂික මහා දානමය පින්කම අද දක්වාත් සිදුකරති.

නා හිමියන් ඉතාම සද්භාවයෙන් අවංකව සිදුකරන උදාර මෙහෙවර වටහාගත් බොහෝ පරිත්‍යාගශීලිහු නිරන්තරයෙන් මෙම සද් කාර්යන්ට දායකත්වය ලබාදෙති. එපමණක් නොව මේ සඳහා විවිධ සංවිධාන වලින් ලබාදෙන යෝධ ශක්තිය නිසා ඉතාමත් ඵලදායී වු සේවාවන් රාශියක්ම පහසුවෙන් සිදුකිරීමට නාහිමියෝ සමත්ව සිටිති. රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනය, ජයග්‍රහණය සංවිධානය, මහජන බැංකුව් බෞද්ධ සංගමය, තවලම සංවර්ධන පදනම, තලගල ශ්‍රී සිද්ධාර්ථ ආදිය එබඳු සංවිධානවලින් කීපයකි.

අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහා නා හිමිපාණන් වහන්සේ තමන් වහන්සේ නිස්සරණාධ්‍යාශයෙන් සිදුකරන ජාතික ආගමික සාමාජික මෙහෙවර වෙනුවෙන් කිසිවිටෙක ප්‍රතිලාභ අපේක්ෂා නොකරති. ගරු සම්මාන තනතුරු ආදී කිසිවක් ඉල්ලා නොසිටිති. එහෙත් නිරායාසයෙන්ම උන්වහන්සේ වෙත පැවිදි ගිහි සැමගේ ස්තුති ප්‍රශංසා ගෞරව සම්මාන ගලා ආවේය. විවිධ තනතුරුවලට උන්වහන්සේ පත්කරගනු ලැබූහ. ත්‍රිකුණාමල පුරවැසි කමිටුවේ ආරම්භයේම ප්‍රධාන සභාපති පදවිය, ශ්‍රී ලංකා යුදහමුදාවේ සහ නාවික හමුදාවේ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක පදවිය ආදී බොහෝ තනතුරුවලට මුන්වහන්සේ පත්කරගන්නා ලද්දේ සියලු දෙනාගේම කැමැත්ත අනුවය.


අපමණ සතුටක්

ත්‍රිකුණාමල, උප්පුවේලි ශ්‍රී ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානය, ගෝමරන්කඩවල රන්ගිරිඋල්පත රජමහා විහාරය කුච්චවේලි සෙම්බිල් රජමහා විහාරය, කුරුදුගම රජමහා විහාරය, තෝරයාය දම්මඩවත්ත ශ්‍රී සුදර්ශනාරාමය, තලපත්පිටිය ශ්‍රී ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථානයන්හි අධිපති අමරපුර සිරි සද්ධධම්වංශ මහානිකායේ අනුනායක ධුරන්ධර සිරි සුගත සාසනවංශාලංකාර ,විනයාචාර්ය අසරණ සරණ අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක පදවියෙන් පිදුම් ලැබීම අගයමින් පැවැත්වෙන සමරු උළෙලේදී මා සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරණු ලබන්නේ අප්‍රමාණ සතුටකිනි.

1975 කුඩා පොල්අතු මඩුවක් සාදාගෙන රාත්‍රි කාලයගත කිරීම සඳහා විශාල පලුගසක් උඩ පැලක් ඉදිකරවාගෙන කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති එළදකුලම (මසන් වැව) ගණ කැලෑවෙන් වැසී ගිය පුරාණ රජමහා විහාරස්ථ වාසීව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ශාසන කටයුතු ආරම්භ කළ උන්වහන්සේ ඉන්පසු සෙම්බිමලෙයි නමින් ප්‍රකට කිණිහිරියා කන්ද පුරාණ රජමහා විහාස්ථානය 1978 කුච්චවේලි පොලිස් ස්ථානය අසල සමුද්‍රගිරි පිච්චමල් විහාරය යනාදි නැගනෙහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වල්වැදි අභාවයට හා විනාශයට පත්වෙමින් තිබූ පෞරාණික වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් නැගෙනහිර පළාත තුළ බෞද්ධ අභිමානය නැවත නගා සිටුවීම සඳහා අමිල මෙහෙවරක් කරන බව අප කවුරුත් දන්නා කරුණකි.

1985 දී ත්‍රස්තවාදීන් විසින් කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය අසල තිබූ නාවික හමුදා කදවුරටත්,පොලිස් ස්ථානයටත් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයන්හිදී උන්වහන්සේගේ දකුණූ අතට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් මාස ගණනාවක් රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවූ අතර උන්වහන්සේගේ ඥාතීන් සහ හිතවතුන් යළිත් තම ගම් ප්‍රදේශයට පැමිණෙන ලෙස කරන ලද ඉල්ලීම් පසෙකලා සුව වීමෙන් පසු, නැවතත් බුද්ධ පුත්‍රයෙකු ලෙස නොබියව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශාසනික සහ ජාතික මෙහෙවර දිගින් දිගටම ඉටුකිරීම මා මේ අවස්ථාවේදි ගෞරව පූර්වකව අගය කරමි.

වසර 40 කට ආසන්න කාලයක් පාරාර්ථකාමිත්වය පෙරදැරිව තමා වෙත පැමිණෙන අසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් මෛත්‍රීය සහ කරුණාවෙන් යුතුව නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ඇතිකිරීමේලා කැපවූ පූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහා නායක ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂත් සිදුකරගෙන යනු ලබන ජාතික සහ ශාසනික මෙහෙවර තවදුරටත් සාර්ථකව ඉදිරියට කර ගෙන යාමට අවශ්‍ය ශක්තියත් ධෛර්යයත් හා නිරෝගි සුවයත් ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.


බෞද්ධාභිමානයට මහත් රුකුලකි

ශ්‍රී ලංකාවේ මේවන විට වැඩ වාසය කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා 37512 අතරින් අග්‍රගණ්‍ය තත්වයෙහිලා ගිනිය හැකි අති ගෞරවණීය ඔබවහන්සේට අමරපුර සද්ධම්මවංශ මහා නිකායේ මහානායක පදවිය හිමිවීම පිබිදෙන ශ්‍රී ලංකාවේ බෞද්ධාභිමානයට මහත්වු රුකුලකියි මම සිතමි. ඝාතනය, භීෂණය මතම පදනම් වූ ත්‍රස්තවාදය පැවති යුගයේ පවා ජනතා හිතකාමී අමිල මෙහෙවරක් කළ නායක ස්වාමීන්වහන්සේ සමස්ත සඟ පරපුරටම ආදර්ශයක් ලබාදී තිබේ. ගෝමරන්කඩවල ඓතිහාසික රන්ගිරිඋල්පත රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගත් අනභිභවනීය මෙහෙවරක නියුතු නායක ස්වාමීන්වහන්සේ මා නියෝජනය කරන මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුරු හොබවන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මහාර්ථ වූත්,අභිමානවත් වූත් සුපින්බර මානව සම්පතක් ලෙස නිර්ලෝභීව අගය කරමි. ශ්‍රී ලංකාවේ පිහිටි විහාරස්ථාන 10812 අනුව බලන කළ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන හෙයින් ඒ සම්බන්ධයෙන්ද ජාතික මට්ටමේ අවබෝධාත්මක වැඩපිළිවෙළක් වෙත යාම වැදගත් වනු ඇතැයි සිතමි.

මා ත්‍රිකුණාමලය ප්‍රමුඛ නැගෙනහිර පළාතේ රාජකාරි සඳහා පැමිණුනේ 2007 මැයි 10 දින ලද ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය තනතුරත් සමගිනි. එදා සිට අද දක්වාම දිස්ත්‍රික්කය පුරා ගම්නියම් ගම්වල ඇවිද කෙතරම් නම් විඩාපත්ව විහාරස්ථානයට පැමිණුනද ඒ තුළින් ලැබෙන සිසිලස හා සැනසීමට මා අදත් පි‍්‍රය කරමි. එසේ වුවද පවතින අධික කාර්ය බහුලත්වය මත එම සැනසීම පවා අහිමි වනුයේ සමස්ත මහජනතාව වෙනුවෙන් පැවරී ඇති රාජකාරි ඉටුකිරීමට වෙන්ව ඇති පැය 24ද ප්‍රමාණවත් නොවන හෙයිනි.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන ශ්‍රී සුගත ශාසනවංශාලංකාර ,විනයාචාර්ය, අසරණ සරණ අති පූජ්‍ය අහුංගල්ලේ සිරි සීල විසුද්ධි මහා ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් ජාතික ආගමික සමාජීය නොනිමි මෙහෙවරෙහි නිරතවීමට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණ ලැබේවායි මම පෞද්ගලිකව මෙන්ම අප රජය වෙනුවෙන්ද නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමි.


අගය කරමු

නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිරි සද්ධම්මවංස මහානිකායේ මහානායක ධුරයට පත්වූ බව දැන බලවත් සන්තෝෂයට පත්වීමි. වැලිසර නාවික හමුදා මූලස්ථාන පින්කමේ දී සෑම වර්ෂයකම හමුවීමේ දී නායක ස්වාමින් වහන්සේ තුළ පවතින ධීර වීර ගතිගුණත්, නිහතමානීත්වයත් පිළිබඳව කතාබහ කිරීමෙන් අපි දැන සිටියෙමු. ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයකට සම්භාවනීය මහා නායක තනතුරක් ලැබීම කලාතුරකින් සිදුවන්නකි. මහා භයානක යුද සමයේ දී පවා එම ප්‍රදේශයේ වාසය කරමින් වෙහෙර විහාර රැකගෙන ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ශක්තියක් වෙමින් නා හිමියන් කළ විශේෂ සේවයට මෙසේ උපහාර දැක්වීමට ශ්‍රී සද්ධම්මවංස නිකායේ කාරක සංඝ සභාව ගත් උදාර තීරණය ද අපි අගය කරමු. තවදුරටත් සම්බුද්ධ සාසනයටත් ජාතියටත් සේවය කිරීමට නායක ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් ශක්තිය ලැබේවායි මෙම සන්තෝෂ ජනක අවස්ථාවේ අපි ද ප්‍රාර්ථනා කරමු.


සුදුස්සාට සුදුසු පදවිය පිරිනැමීමකි

සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ දැනට කැප කරන මහා සංඝයා වහන්සේ දැයේ මුර දේවතාවන් ලෙස අතීතයේ පටන්ම අප අතර පවතින මතයකි. භික්‍ෂූන් වහන්සේ සිය ජීවිතය කැප කරමින් කටයුතු කරන්නේ සම්බුද්ධ ශාසනයේත් රටේත් ජනතාවගේත් යහපත පිණිසමය.

දිගු කලෙක සිට අප හඳුනන නැගෙනහිර පළාතට මහත් ආලෝකයක් වූ ඓතිහාසික රංගිරි උල්පත රාජ මහා විහාරය, උප්පුවේලි ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණනාවකම ආධිපත්‍ය දරන අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි නාහිමියන්ට අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ‘සුධර්මා’ කාරක සංඝ සභාවේ අභිමතය පරිදි මහා නායක ධුරය පිරිනැමීම සුදුස්සාට සුදුසු පදවිය පිරිනැමීමකි. අපගේ බලවත් පී‍්‍රතියට එය හේතුවයි.

මහත් වීරෝදාර ගති ඇති එමෙන්ම ශාසනික කටයුතු කෙරෙහි මහා පරිචයක් ඇති ස්ව නිකායේ ආරාම පන්සියයකට අධික ප්‍රමාණයක් හා භික්‍ෂූන් වහන්සේ 4000ට අධික ප්‍රමාණයක් ඇති අතර එම විහාරස්ථාන හා භික්‍ෂූන් පිළිබඳ අවබෝධයක් ඇති මහතෙරනමට මෙබදු නායකධුරයක් පිරිනැමීම අතිශයින්ම කාලෝචිතය.

එසේම වසර තිහක් අතිබිහිසුනු යුද සමයක ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැඩ වසමින් ජනතාව උනන්දු කරවමින්,ප්‍රදේශය අතහැර නොයන ලෙසට අවවාද අනුශාසනා කරමින්, ගමක් ගානේ වැඩම කරමින් විපතටපත් වූවනට සහන සලසමින් හා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වැඩම කරමින් ත්‍රිවිධ හමුදාව, පොලිස් හා සිවිල් ආරක්‍ෂක රණවිරුවන්ට ආශිර්වාද පතා පිරිත් නූල් බඳීමින් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රටවැසියන් වෙනුවෙන් බෝධිපූජා පවත්වමින් මෙම නායක හිමිපාණන් ඉටුකළ ජාතික මෙහෙවර බෙහෙවින් අගය කළ යුතුය.

නැගෙනහිර පළාතේ ජාතික ශාසනික හා සමාජ සේවා කටයුතුවලදී අප සමග සහයෝගයෙන් කටයුතු කරන අපට අනුශාසනා කරන අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධිමහා නාහිමිට ශතවර්ෂාධික කාලයක් නිදුක් නිරෝගි සුව ලැබ එම ධූරයේ කටයුතු කිරීමට තෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරමි!


සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ සුධර්මා කාරක සංඝ සභාව මඟින් තිරිකුණාමලය ගෝමරන්කඩවල රංගිරි උල්පත රාජමහා විහාරය උප්පුවේලි ශ්‍රී ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු විහාර ගණයේ අධිපති අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි අනුනාහිමියන් වෙත ‘සිරි සුගත සාසන වංසාලංකාර, සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහෝපාධ්‍යාය යන ගරු නාම සම්මුතිය සහිත අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීම නිමිත්තෙන් මැයි මස 04 වැනි දා පෙරවරු 10.06 ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ සිරි ඤාණිස්සර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන්ද 4 වන දා පස්වරු 2 ට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන් ප්‍රධානත්වයෙන් අග්‍රමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් බළපිටිය, වැලිතර මහදු නදී උදකුක්ඛේප සීමා මාලක විහාර පරිශ්‍රයේ දී පැවැත්වේ.


අභිනව මහා නා හිමියන්ගේ සඟ පරපුර

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහා නායක පදවියට පත් අභිනව මහා නා හිමියන් වහන්සේ දක්‍ෂිණ ලංකාවේ ගාලු වැල්ලබඩ පත්තුවේ පිහිටි සම්බුද්ධ ශාසනයේ උන්නතියට මහඟු මෙහෙවරක් ඉටු කළ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා බිහිකළ රන්දොඹේ මහා මංගල සමුද්‍රාරාම මහා විහාර සඟ පරපුරට උරුමකම් කියන මහ තෙරුන් වහන්සේ නමකි.

වර්තමානයේ මෙම විහාරාස්ථානය සංඝරාජ මහා විහාරය ලෙස හඳුන්වනු ලබයි. මෙම විහාරස්ථානය වූ කලි දඹදෙණිය අග්‍ර රාජධානිය කොට රාජ්‍යශ්‍රීයට පත් කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමන්ගේ නියමයෙන් දේවපතිරාජ නම් අමාත්‍යවරයා විසින් ආරම්භ කරන ලද බෞද්ධ විහාරස්ථානයකි. කලින් කළ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටිය ද මුහුදු බඩ ප්‍රදේශ ආක්‍රමණය කළ පෘතුගීසි, ලන්දේසි යුගවල හටගත් දේශපාලන විපර්යාසයන් නිසා මෙම ස්ථානය මුළුමනින්ම වාගේ නෂ්ඨාප්‍රාය වී ගියේ ය. මෙම සිද්ධස්ථානයේ ආවාස ආදිය ගොඩනඟා තමන්ගේ කල්‍යාණ මිත්‍ර වූ හෑගල්ලේ සෝමානන්ද තෙරුන් වහන්සේ වැඩමවාගෙන අවුත් එහි (මහා මංගල සමුද්‍රාරාමයේ) නවත්වා ගත්හ. මෙය සිදුවන්නේ 1797 දී පමණය. මේ කාලයේ කොස්ගොඩ පරතරකාදූවේ චන්දසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කොස්ගොඩ දූවේ සිරි නිඛේතාරාමාධිශ්වරව වැඩ විසූහ. මහා මංගල සමුද්‍රාරාමවාසි සෝමානන්ද තෙරුන්වහන්සේත්, චන්දසාර තෙරුන් වහන්සේත් ඉතා හිතෛශීව ඇසුරු කළ මිතුරන් වූහ.

මේ අතර සෝමානන්ද තෙරුන්වහන්සේ, තමන්වහන්සේගේ අවසාන කාලයේ දී තම හිත මිත්‍ර පරතරකාදුවේ චන්දසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ රන්දොඹේ මහා මංගල සමුද්‍රාරාමයට වැඩමවා ගෙනවිත් එහි නවත්වා ගත්හ. සෝමානන්ද තෙරුන්වහන්සේගේ අපවත්වීමෙන් පසු එම විහාරස්ථ දායක සභාවත්, අමරපුර සමාගමේ සංඝයා වහන්සේලාත්, එක් රැස්ව 1812 දී පරතරකාදූවේ චන්ද්‍රසාර ස්වාමිපාදයන් වහන්සේ රන්දොඹේ මහා මංගල සමුද්‍රාරාමයෙහි අධිපතීත්වයට පත් කර ගත්හ. ඉන්පසු උන්වහන්සේ එම විහාරස්ථානය ශීඝ්‍ර ලෙසින් දියුණු කරන ලදී.

න්දොඹේ මහා මංගල සමුද්‍රාරාමය, කොස්ගොඩ පරතරකාදූවේ සිරිනිඛේතාරාමය, පරගහතොට සිරි සුනන්දාරාමය, රන්දොඹේ කන්දේගොඩ ගලගොඩවත්තේ විහාරය, කරන්දෙනියේ තපෝදනාරාමය, ගනේගොඩ පුරාණ විහාරය යන විහාරස්ථානයන්හි අධිපතීත්වය දැරූ කොස්ගොඩ පරතරකාදුවේ චන්ද්‍රසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ වනාහි කලින් සියම් සමාගමේ බෙන්තර ගලපාන විහාරාධිපතිව වැඩ සිටි වැව ඉන්දසාර මහා ස්ථවිරපාදයන් වහන්සේලාගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදි උපසම්පදාව ලැබ පසුව සියම් සමාගමෙන් ඉවත්ව සිරිලක අමරපුර සමාගම ආරම්භ වූ වකවානුවේ එම සමාගමේ ආදිකර්තෘ වූද බෝධිසත්ව ගුණෝපේත වැලිතොට සිරි ඥානවිමල තිස්ස මහානා හිමියන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1803 දී කොස්ගොඩ දූවේමෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී නැවත පැවිදි උපසම්පදාව ලබා අමරපුර සමාගමට එක්වූහ. මෙලෙස අමරපුර සමාගමට එක්ව සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ මෙම පරතරකාදූවේ චන්ද්‍රසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශිෂ්‍යවරයන් වහන්සේලා හත් නමක් වූහ. උන්වහන්සේලා නම් වශයෙන් මෙසේ ය.

1. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර වැල්ලබඩ චන්ද්‍රජෝති මාහිමි.
2. රන්දොඹේ ධම්මජෝති මාහිමි.
3. මාදම්පේ ගුණරතන මාහිමි.
4. තුඩුවේවත්තේ සම්මතලද මහා තිස්සය ඝණාචරිය පඤ්ඤාසීහ මාහිමි.
5. සුගත ශාසන ශෝධක ඕමත්තේ අභයතිස්ස නාහිමි.
6. සුගත ශාසන ධජ විනයාචරිය රන්දොඹේ ධම්මාලංකාර මහ නාහිමි.
7. වැලිතර විමලතිස්ස නා හිමි.

ඉහත දැක් වූ ධර්මධර, විනයධර, ශාසන මාමක මහා තෙරුන් වහන්සේලා පරතරකාදූවේ චන්ද්‍රසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලෝ සසුන් වෙත දායාද කළ ශිෂ්‍යවරයන් වහන්සේලාය. උන්වහන්සේගේ අවසාන කාලයේ දී තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර වැල්ලබඩ චන්ද්‍රජෝති හිමියන් ප්‍රමුඛ අනෙකුත් සියලු ශිෂ්‍යයන් වහන්සේලා කැඳවා ආරාම වස්තු ආදිය පොරොන්දු පත්‍රයකින් ලියා අත්සන්කොට උන්වහන්සේලා වෙත පවරා දී අපවත්වූහ. මෙය සිදු වන්නේ 1854 නොවැම්බර් මස 27වන දිනදීය.

මෙසේ අඛණ්ඩව අර්ධ වර්ෂයක් පැවත ආවාවූ සිරිලක අමරපුර සමාගම උපසම්පදා විනයකර්මයකදී පැන නැගුණ සීමා සංකරයක් හේතු කොටගෙන දෙකඩ විය. සීමා සංකරය පිළිගත් පාර්ශවයේ ප්‍රධානියා වූයේ අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ ආදි කර්තෘ වූ සිරි සද්ධම්ම වංශපාල ලංකාගොඩ ධීරානන්ද ඝණාචරිය නා හිමියන් ය. මෙම නා හිමියන්ගේ පාර්ශවයට (අමරපුර සිරි සද්ධිමවංශ මහා නිකාය) පරතරකාදූවේ චන්ද්‍රසාර මහා ස්වාමීන් වහන්සේගේ සියලුම ශිෂ්‍යවරයන් වහන්සේලා ඇතුළත් වූ අතර එදා සිට මේ දක්වා උන්වහන්සේලාගේ ශිෂ්‍ය පරපුර නිකායික උන්නතිය වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරනු ලැබේ. පරතරකාදූවේ චන්ද්‍රසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රන්දොඹේ මහා මංගල සමුද්‍රාරාමය, පරගහතොට සිරි සුනන්දාරාමය, ඇතුළු විහාර ගණයේ අධිපතීත්වය දැරූ වැල්ලබඩ චන්ද්‍රජෝති මහා ස්ථවිරයන් වහන්සේට සිටි එකම ශිෂ්‍යයන් වහන්සේ වූයේ රන්දොඹේ මහා මංගල සමුද්‍රාරාමය, පරගහතොට සිරි සුනන්දාරාමය, අහුන්ගල්ල කැකිරිවත්තේ සිරි විජයාරාමය ඇතුළු විහාර ගණයේ අධිපතීත්වය දැරූ සිරි අරිවංශාලංකාර රන්දොඹේ සිරි සීලානන්ද මා හිමියන් ය. උන්වහන්සේට ද ශිෂ්‍යවරයන් වහන්සේලා හත් නමක් වූහ. උන්වහන්සේලා නම්,

1. සිරි අරියවංශාලංකාර අහුන්ගල්ලේ රතනජෝති මාහිමි.
2. සිරි සුගත ශාසන විනයසිරි ධජ අහුන්ගල්ලේ විමලජෝති මා හිමි.
3. අහුන්ගල්ලේ උපසේන මා හිමි.
4. වැලිතර අග්ගසිරි මා හිමි.
5. සිරි සුගත ශාසන වංශාලංකාර වැලිතර සිරි සීලාධාර නා හිමි.
6. සිරි සුගත ශාසන වංශාලංකාර වැලිතර සුමනසිරි නාහිමි.
7. සිරි අරියවංශාලංකාර අහුන්ගල්ලේ සීලවංශ මා හිමි.

ඉහතින් දැක් වූ මහා ස්වාමිපාදයන් වහන්සේලා අතුරින් අභිනව මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේලා වන්නේ අංක 5, 6, 7 යටතේ සඳහන්ව ඇති නා හිමියන් වහන්සේලා ය.

අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ අභිනව මහා නායක පදවියට පත් අප මහා නාහිමියන් වහන්සේට පැවිදි සහෝදරයන් වහන්සේලා තුන්නමකි. උන්වහන්සේලා නම්,

1. අපවත් වී වදාළ සිරි අරියවංශාලංකාර කොස්ගොඩ සුගතනන්ද හිමි.
2. ශාස්ත්‍රපති අහුන්ගල්ලේ සීලව මා හිමි.
3. ශාස්ත්‍රපති අහුන්ගල්ලේ සීවක මාහිමියන් වේ.

 

බක් මස අටවක පෝය

බක් මස අටවක පෝය මැයි මස 02 වැනිදා පූර්වභාග 05.40 ට ලබයි.
03 වැනි දා සිකුරාදා පූර්වභාග 03.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 02 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 09 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 02

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]