කෙලෙස් මහ වතුර
තරණය කරන පිළිවෙත
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් සංඝනායක
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
අම්පිටියේ
සිරිවිමල නා හිමි
පැතීමෙන් පමණක් නිවන ලබාගත නොහැකි බව සිතිය යුතුය. එපමණකින් නිර්වාණ
ධාතුව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිනම් එතරම්
පහසු දෙයක් ලොවම නැත. ඒ සඳහා
අවශ්‍යවන ප්‍රතිපදා පූරණයකින් තොරව
කිසිසේත් නිවන අවබෝධ කළ නොහැකිය.
ඒ අනුව ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා
ධර්ම වැඩිය යුතුය. අරි අටඟි මඟට පිවිසිය යුතුය. මැදුම් පිළිවෙත යනුවෙන්
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ
සඳහන් වන්නේ ද එයමයි.
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
චිරස්සං වත පස්සාමි
බ්‍රාහ්මණං පරිනිබ්බුතං
අප්පතිට්ඨං අනා යූහං
තිණ්ණං ලොකෙ විසත්තිකං
සුපින්වතුනි ,
බෞද්ධයාගේ පරම නිෂ්ඨාව නිර්වාණය හෙවත් නිවනයි. ඔහු විසින් සිදුකරනු ලබන
සියලු කුසල් නිවන ඉලක්ක කරගෙනම පවතී. මොක් සුවය, ලොවුතුරු සුවය,
සංසිඳීම් සුවය, ශාන්ත පදය ආදි විවිධ වදන් ධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නේ
මේ සුවය සඳහාමය. නිත්‍ය, ශුභ, සුඛ යන වචන නිර්වාණ ධාතුව සදහා භාවිත වේ.
හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු දෙය සංඛත ධර්ම වන අතර එසේ නොහටගත්
නිර්වාණය අසංඛත ධාතුව නමින් හැඳින්වේ. එය සදාකාලිකය.ඒ නිසාම පරම සැපත
යනුවෙන් දැක්වේ. ‘නිබ්බාණං පරමංසුඛං’ යන දේශනා පාඨයෙන්ද ඒ බව මැනැවින්
සනාථ වේ.
බෞද්ධයා මේ උතුම් සැපත ලබාගැනීම සඳහා සැම විටම ප්‍රාර්ථනා කරයි.
විශේෂයෙන් දානාදි පුණ්‍යකර්ම සිදුකොට ‘ඉදං මෙ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං
හොතු’ යනුවෙන් මේ පින්කම ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස හෙවත් නිවන් සැපත
සඳහා පවතීවා යි පැතීමට පුරුදුව සිටියි. එය ඉතා මැනැවි. එහෙත් පැතීමෙන්
පමණක් නිවන ලබාගත නොහැකි බව සිතිය යුතුය. එපමණකින් නිර්වාණ ධාතුව
ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිනම් එතරම් පහසු දෙයක් ලොවම නැත.ඒ සඳහා අවශ්‍යවන
ප්‍රතිපදා පිළිවෙත් පූරණයකින් තොරව කිසිසේත් නිවන අවබෝධ කළ නොහැකිය. ඒ
අනුව ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා ධර්ම වැඩිය යුතුය. අරි අටඟි
මඟට පිවිසිය යුතුය. මැදුම් පිළිවෙත යනුවෙන් දම්සක් පැවතුම් සූත්‍ර
දේශනාවේ සඳහන් වන්නේද එයමයි.මෙය එක්වරම නොව අනුපුබ්බ ප්‍රතිපදාවක්
වශයෙන් ක්‍රම ක්‍රමයෙන් වැඩිදියුණුවට පත්කරගත යුතුය. බුදු පසේබුදු
මහරහත් උත්තමයන් වහන්සේ අති දීර්ඝ කාලයක් එම ගුණධර්ම වැඩීමෙන්,
සපුරාලීමෙන් එම උත්තරීතර තත්ත්වයන්ට පත්වී වදාළ බව පැහැදිලිය.එකී
තුන්තරා බෝධියට පත්වීම සඳහා පිළිවෙළින් සාරාසංඛ්‍යෙය, දෙයාසංඛෙය්‍ය,
ඒකා සංඛෙය්‍ය වශයෙන් පෙරුම් පිරිය යුතු බව දැක්වේ.
පින්වත්නි, ඔබ අප සැම දෙනාගේම මුඛ්‍ය පරමාර්ථය මේ තුන්තරා බෝධියෙන්
එක්තරා බෝධියකින් නිවන් දැකීමයි. දුක උරුමකරගත් මේ සසරෙන් එගොඩවීමයි. ඒ
සඳහා සන්තානගත එක්දහස් පන්සියයක් පමණ කෙලෙස් ප්‍රහීන කළ යුතුය. ප්‍රධාන
ක්ලේශයක් වූ තෘෂ්ණාව සමූලෝත්පාටනය කළ යුතුය.
ඉහත සඳහන් ගාථාවෙන් ප්‍රකාශවන්නේ එම ක්ලේශය මුලිනුපුටා දැමීමේ
ක්‍රමවේදයයි.හෙවත් ක්‍රියා පිළිවෙළයි. එම ගාථාව ඇතුළත් වන්නේ සංයුක්ත
නිකායේ සගාථක වර්ගයේ “ඔඝ” සූත්‍රයේයි. එහි සඳහන් පරිදි එක්තරා
දේවතාවෙක් බුදුරදුන් වෙත පැමිණ මෙසේ විමසීය.
“නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේ කෙසේ නම් ක්ලේශ ප්‍රවාහය හෙවත් කෙලෙස්
නමැති මහවතුර තරණය කොට එගොඩ වූ සේක්ද?”
එවිට බුදුරජාණන් වහන්සේ, ‘අප්පතිට්ඨං ඛවාහං ආවුසො අනායුහං ඔඝ
මතරින්ති’ යනුවෙන් මම කෙලෙස් මහවතුරෙහි රැඳී සිටීමෙන්ද තොරව අනවශ්‍ය
පරිදි දැ¼ගලීමෙන්ද තොරව ඕඝය තරණය කෙළෙමි’ යි පිළිතුරුදී
වදාළසේක.තවදුරටත් උන්වහන්සේ ‘යම් හෙයකින් මා රැඳී සිටියා නම් මහවතුරෙහි
ගිලී යනවා. අනවශ්‍ය පරිදි දැඟලීම කළා නම් ඉවතට විසිවී යනවා.මේ මාර්ග
දෙකෙන්ම වැළැකී නිසි පරිදි පීනා එගොඩ වුණා යැ’ යි සඳහන් කොට වදාළ සේක.
ඒ ඇසූ දේවතාවා තම සතුට පළකරනුවස් ඉහත ස¼ඳහන් ‘අප්පතිට්ඨං අනුයුහං ‘ ආදි
ගාථාව ප්‍රකාශ කළේය.
එම ගාථාවේ තේරුම මෙසේය. ‘රැඳීත් නොසිට, දැඟලීමෙන්ද තොරව ලොවෙහි
විසත්තිකා නම් ලද, තෘෂ්ණාව තරණය කළ එහෙයින්ම කෙලෙස් පිරිනිවනින්
පිරිනිවුණූ බ්‍රාහ්මණයකු හෙවත් පව් නැසු උතුමකු බොහෝ කලකින් දකිමි’
යනුයි. මෙහි දැක්වෙන අප්පතිට්ඨ, අනායුහ යන න්‍යාය කෙලෙස් නැසීමට පමණක්
නොව ජීවිතයේ හැම කරුණකටම සම්බන්ධ කළ හැකිය.අධ්‍යාපනය, රැකී රක්‍ෂා,
ගමනාගමන, දෛනික කටයුතු සියල්ලම මෙයට ඇතුළත් බව සිතීම නිවැරැදිය. කිසිම
දෙයක් චින්තනමාත්‍රයෙන් පමණක් සිදුවන්නේ නැත. ඒ සඳහා ක්‍රියාත්මක වීම
අවශ්‍යයි. සිත සිතා සිටීම රැඳී සිටීමක් වැනිය. ක්‍රියාවට නැංවීම සිදුකළ
යුතුය. නිසි පරිදි කිරීමෙන් පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.
අනිසිලෙස කටයුතු කිරීම ඉවතට විසිවීමක් වැනි යැයි කිව හැකියි.
ලෞකික ලොකෝත්තර සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වත් කරගැනීම සඳහා
පිළිවෙත් දෙකක් බැහැරකළ යුතුය.එනම් අච්චොසක්කන ප්‍රතිපදාව සහ අතිධාවන
ප්‍රතිපදාවයි. අච්චොසක්කන ප්‍රතිපදාව අරමුණේ නිමග්නවීම හෙවත්
ගිලීසිටීමයි. අතිධාවන ප්‍රතිපදාව අරමුණ ඉක්මවා යෑමයි. හෙවත් සීමාව
ඉක්මවා යෑමයි. මේ දෙකම අපේක්‍ෂිත පරමාර්ථයට බාධාකරය.මෙය මී මැස්සාගේ
ගමනට සමාන කොට තිබේ.හෙමින් පමාවෙවී ගියොත් මල් රොන් ගත නොහැකිය.වෙනත්
මීමැස්සන් රොන් උරාගෙන ගොස් ඇති නිසාය. ඉතාවේගයෙන් ඉගිලී ගියහොත් රොන්
ඇති මල පසුකරගෙන යන්නට සිදුවේ. මේ පිළිවෙත් දෙකින් තොරව මැදුම්
පිළිවෙතට අනුව යා යුතුය. එය සාර්ථක මාර්ගයවේ.
අප තථාගතයන් වහන්සේ දම්සක් පැවතුම් සුතුරෙදි දේශනා කළ මජ්ඣිම පටිපදාව
මේ අනුව ඉතා වැදගත්ය. මේ නිසා පින්වත් ඔබ සැමද නිවැරැදි ප්‍රතිපදාවට
අනුව සසර මහොඝයෙන් එතෙරව, සතර මඟ සතරඵල ලබා උතුම් අමානිවන් සුවයෙන්
සැනසීමට අදිටන් කරගන්න
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා |