ඓතිහාසික මෙහෙවරකට උරදුන්
හන්තාන රාජමහා විහාරය
සටහන
බණ්ඩාර පිලවල
ශ්‍රී ලංකාවේ පළමුව රජ වූ විජය කුමරු විසින් කුවේණිය සරණපාවාගෙන පසුව
අතහැර දමන ලද බව ඉතිහාසයෙහි කියැවෙයි. මේ පලායෑමට එරෙහිව ඇය සාප කරන්නී
ගල්තලාවක සිටය. එම ගල්තලාව හන්තාන කඳු මුදුනේ පිහිටා ඇතැයි විශ්වාස
කෙරේ. එම සාපය මුදවාලීමට පසුව රජ පැමිණි වසභ රජු එම ගල්තලාවේ දෙවොලක්
ඉදිකර හඳුන්මඬල නමින් නම් කළ පුවත ජනප්‍රවාදයේ එයි.
තවද ස්කන්ධ කුමරු, එනම් කතරගම දෙවියන් හන්තාන කඳුවළල්ලට අයත් උරුගල කඳු
මස්තකයේ වැඩ විසූ බවට මත පළවේ. විශේෂයෙන්ම කොහඹා කංකාරිය (ගම්මඩු
පූජාව) හන්තාන ඌරාගල කේන්ද්‍රය කරගෙන පැවැත්වේ. බෝධි සත්ව ගුණෝපේත
අපවත් වී වදාළ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් භාවානායෝගීව
වැඩ විසූ ඓතිහාසික ගල්ලෙන ද මෙම කඳුමුදුන ආශි‍්‍රතව දක්නට ඇත.
කන්ද උඩරට රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පූර්ණ අනුමැතිය ඇතිව
එවකට සිටි ගලබොඩ මහ අධිකාරම්තුමාගේ මඟ පෙන්වීම ඔස්සේ හන්තාන රාජමහා
විහාරය ඉදිකළ බව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ නිගමනය කර ඇත.
එකල සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාරයට අයත් මැද පන්සල් පාර්ශවයේ
වැඩ සිට අපවත් වී වදාළ ඉද්දමලුගොඩ ධම්මපාල අනුනායක මාහිමියෝ මෙම
විහාරස්ථානය ආරම්භයේදී අවවාද අනුශාසනා කළ සේක.එදා උන්වහන්සේ ආරම්භ කළ
ශාසනික මෙහෙවර ඉදිරියට ක්‍රියාත්මක කරනු වස් කරවිලගල ආනන්ද, සියම් මහා
නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක පදවිය හෙබවූ අඹගස්වැවේ රතනජෝති,
බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති වැල්ලව අත්ථදස්සි සහ ඇතුල්ගම ශ්‍රී
සෝභිත යන නාහිමිවරු සුවිශේෂ මෙහෙවරක් ඉටු කළහ.
විහාරාධිපති
ඇතුල්ගම
ශ්‍රී ධම්මදස්සි නා හිමි |
සිංහල රජ දවස විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා පූජා කළ හැට පස් අමුණක
නින්දගම දායක කාරකාදින්ගේ දායකත්වය ඇතිව ආරක්ෂා වේ. විහාරස්ථානය සතු
ගොදුරු ගමේ පවුල් හත්සියකට අධික සංඛ්‍යාවක් සහජීවනයෙන් වාසය කරති.
හෙළ රජ දවස වැඩ විසූ මහතෙරවරුනට වැඩම කිරීම සඳහා පූජාකළ දෝලාව තවමත්
විහාරස්ථානයේ සුරක්ෂිතව තැන්පත් කර ඇත.
විහාර මන්දිරය ඉදිරිපස ද්වාරය |
පෞරාණික විහාරාංගයන්ගෙන් සමලංකෘත මෙහි ඉපැරැණි විහාර මන්දිරයක් දක්නට
ඇත. මහනුවර යුගයට නෑකම් කියන දර්ශනීය බිතුසිතුවම් රැසකින් එම විහාර
මන්දිරය අලංකාර වේ. චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ සක්මන් මළු
සැදැහැවතුන්ගේ සිත් නිවීමට සමත්ය. විහාරස්ථානය අවට පරිසරය අතිශය
දැකුම්කළුය. සමීපයේ පිහිටි වැව එම දර්ශනීය බව තීව්‍රකරයි.
වත්මන් විහාරාධිපති තනතුර හොබවන්නේ පාතහේවාහැට ප්‍රධාන සංඝනායක ඇතුල්ගම
ශ්‍රී ධම්මදස්සි නාහිමියන් වහන්සේය. සැදැහැවතුන්ගේ ආධාර උපකාරයෙන්
උන්වහන්සේ විසින් ඉදිකරවන ලද නව සංඝාවාසය සහ අලංකාර මකර තොරණ විශේෂිතය.
පැරැණි සංඝාරාමය ලී කැටයම්වලින් අලංකෘතය. මැද මිදුලක්ද සහිතය. ආධාරක ලී
කණුවලින් සැදුම් ලත් මේ සංඝාරාමය අද වන විට ජරා ජීර්ණ තත්ත්වයට පත්ව
කඩා වැටෙන ස්වරූපයක පවතී.
මේ විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යටතේ පවතී. එහෙත්
විහාරයේ සංවර්ධන කටයුතු බොහොමයක් මන්දගාමී තත්ත්වයේ පවතින හෙයින් ඒ
සම්බන්ධව වඩාත් අවධානය යොමුවිය යුතුව ඇතැයි විහාරාධිපති හිමියෝ
කාරුණිකව සිහිපත් කර සිටිති.
ඡායාරූප
උදේනි රාජපක්ෂ |